Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“මර්සි ෂිප්ස්”: රෝහල් බවට හැරුණු දයාවේ නෞකා

ජිම් පැටර්සන් යනු නාවික ඉංජිනේරුවකු ලෙස තම වෘත්තීය ගමන ඇරඹූ පුද්ගලයෙක්. වෘත්තීය තුළ සාර්ථකත්වයක් අත්කර ගත්තත්, ඔහු ජීවිතයේ යම් වෙනසක් අපේක්ෂා කරමින් සිටියා. පැටර්සන්ගේ රැකියා ස්වභාවය අනුව නිතර ම ලෝකය පුරා යාත්‍රා කරන්නට සිදුවීම සාමාන්‍ය කරුණක්. එවැනි නාවික ගමනක් අතරතුර ඉක්වදෝරයට ගොඩ බැසීමේ අවස්ථාවක් ඔහුට උදා වුණා. පැටර්සන් සිය ජීවිතය තුළ පැතූ වෙනස හරියාකාර ව හඳුනා ගත්තේ ඉක්වදෝරයට සම්ප්‍රාප්ත වීමෙන් පසුව යි. 

“ඉක්වදෝරයේ ග්වයකිල් නගරයේ ගඟක් අසබඩ සිටි මිනිසුන් කෑම ඉල්ලා සිඟමන් යැදපු හැටි මට තවම මතක යි. ඔවුන් අධික කුසගින්නකින් පීඩා වින්දා. ආපසු නිවස කරා පැමිණි විගස  දේවගැතිතුමන් මුණගැසී මගේ අත්දැකීම බෙදා ගත්තා. අවුල් ජාලාවක් මෙන් පෙනෙන මේ ලෝකය තුළ වෙනසක් වෙනුවෙන් මට කළ හැකි දේ ගැන මං ඔහුගෙන් විමසා සිටියා.”

නාවික ඉංජිනේරුවකු ලෙස පැටර්සන් සතු ව තිබෙන කුසලතාව සහ ඔහු අපේක්ෂා කරන වෙනස යන ද්විත්වයට ම සාධාරණයක් ඉටු කළ හැකි විසඳුමක් ලබා දීමට දේවගැතිතුමන් සමත් වුණා. මීට වසර 34 කට පමණ පෙර ජිම් පැටර්සන් “මර්සි ෂිප්ස්” සමඟ එක් වුණේ ඒ මඟ පෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙසට යි. එතැන් පටන් අද දක්වා නාවික මෙහෙයුම් සහ විධායක උපදේශකයකු ලෙස ජිම් පැටර්සන් “මර්සි ෂිප්ස්” වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා.

“මර්සි ෂිප්ස්” වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් දරුවෙකුගේ පරිවර්තනය – thetravelingtraveler.com 

රෝහල් බවට හැරුණු දයාවේ නෞකා

 “මර්සි ෂිප්ස්” යනු ජාත්‍යන්තර මට්ටමෙන් පැතිරුණු එක්තරා පුණ්‍ය ආයතනයක්. ඔවුන් සපයන සේවා සම්බන්ධයෙන් කිසිදු මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ. ලෝකයේ විශාලත ම රාජ්‍ය නොවන රෝහල් පද්ධතියක් ඔවුන් සතු ව පවතින අතර, ඒ රෝහල් පද්ධතිය පුණ්‍යායතනයට අයත් සුවිසල් නෞකා තුළ පවත්වා ගෙන යනවා. ලෝක ජනගහනයෙන් 50% ක් පමණ වෙරළ තීර ආශ්‍රිත ව ජීවත් වන හෙයින්, පාවෙන රෝහල් හරහා වැඩි පිරිසකට සේවා සැපයීමේ සැලැස්මක් “මර්සි ෂිප්ස්” සතු යි.

 විශාල පරාසයකින් පැතිරුණු සෞඛ්‍ය සේවා රාශියක් මේ පාවෙන රෝහල් මිනිසුන්ට සපයනවා. සියලු ම ආකාරයේ ශල්‍යකර්ම, මානසික සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය සේවා පිළිබඳ පුහුණු සැසි, ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් මෙන් ම, කෘෂිකාර්මික ව්‍යාපෘති ඇරඹීම දක්වා වූ පුළුල් පරාසයකින්  “මර්සි ෂිප්ස්” මිනිසුන්ට සහන සලසනවා. ලෝකයේ නවීනත ම වෛද්‍ය උපකරණ සහ තාක්ෂණයෙන් පවා ඔවුන් සන්නද්ධ යි.  

 මුහුණේ අසාමාන්‍ය පටක වර්ධන ඉවත් කිරීමේ සැත්කම්, අස්ථි සහ පේශීන්ගේ විෂමතා නිවැරදි කිරීමේ සැත්කම් සහ ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධයෙන් “මර්සි ෂිප්ස්” කාර්ය මණ්ඩලය සුවිශේෂී නිපුණත්වයක් දරනවා. මේවා මිල අධික සැත්කම් හෙයින්, දරිද්‍රතාවයේ පත්ලට ම වැටී සිටින මිනිසුන්ට “මර්සි ෂිප්ස්” හරහා විශිෂ්ට සේවයක් සැපයෙනවා.

ස්වෙච්ඡා සේවිකාවක් වූ හැනා තයිබර්ග් උපකාර අවැසි දෙදෙනකු සමඟ – nurse.com 

 පුණ්‍යායතනයේ සේවයන් මූලික ව කේන්ද්‍රගත ව පවතින්නේත් මානව සංවර්ධන දර්ශකයේ පහතින් ම සිටිනා රටවල් ආශ්‍රිත ව යි. ඒ අනුව බටහිර අප්‍රිකානු කලාපයට ඔවුන් විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් මිනිසුන් මිලියනයකට වැඩි ප්‍රමාණයකට “මර්සි ෂිප්ස්” වෛද්‍ය සේවා සපයා ඇති අතර, ඒ වෙනුවෙන් ඔවුන්ගේ නෞකා වාර 500 කට වැඩි ගණනක් කලාපයේ වරායන් තුළට යොමු කර තිබෙනවා.

මර්සි ෂිප්ස් ඇරඹුණු හැටි

 1964 දී ඩොන් ස්ටීවන්ස් නමැති දහනව හැවිරිදි තරුණයෙක් කිසියම් කටයුත්තක් සඳහා කණ්ඩායමක් සමඟ බහාමාස් රාජ්‍යයට පැමිණ තිබුණා. ඒ අතරතුර “ක්ලියෝ” නමැති චණ්ඩ මාරුතයේ බලපෑමට බහමාස් රාජ්‍යයත් යටත් වුණා. ඩොන් සහ ඔහුගේ තරුණ කණ්ඩායම ගුවන් යානා අංගනයකට ඇතුළු වී කුණාටුවෙන් ආරක්ෂාව සලසා

සංකල්පයේ නිර්මාතෘ, ඩොන් ස්ටීවන් – mercyships.org

ගත්තත්, බහමාස් ජාතිකයන් බොහෝමයක් “ක්ලියෝ” හමුවේ වාසනාවන්ත වුණේ නැහැ. අනතුරට පත් වූ මිනිසුන් හදිසි සෞඛ්‍ය පහසුකම් සහ ඖෂධවල අගහිඟතා හමුවේ අසරණ වන අයුරු දුටු ඩොන් ස්ටීවන්, බලවත් කම්පාවට පත් වුණා.   

 සෞඛ්‍ය සේවා සපයන නෞකාවක් ගැන ඔහුට අදහසක් පහළ වුණේ මෙතැන් සිට යි. ඩොන් ස්ටීවන්ගේ අදහස යථාර්තයක් බවට පත් වීමට තවත් දශකයකට අධික කාලයක් ගත වුණා. 1978 දී අරමුදල් සම්පාදකයන් හරහා “වික්ටෝරියා” නමැති නෞකාව ´අමෙරිකානු ඩොලර් මිලියනක් ගෙවා හිමි කර ගැනීමට ඩොන් ස්ටීවන් සමත් වූ අතර, නෞකාව පාවෙන රෝහලක් බවට පත් කිරීමේ කටයුතු ඇරඹුණා.

1982 දී ශල්‍යකර්ම කුටි තුනක් සහ ඇඳන් 40 ක වාට්ටු සංකීර්ණයකින් යුතු රෝහලක් ලෙස පරිවර්තනය වූ නෞකාව, “ඇනස්ටේසිස්” යන නාමයෙන් මෙහෙයුම් කටයුතු ඇරඹුවා. එතැන් පටන් “අෆ්‍රිකා මර්සි” ඇතුළුව නෞකා හතරක් දක්වා වර්ධනය වූ “මර්සි ෂිප්ස්” පුණ්‍යායතනයට, වඩාත් පුළුල් ලෙස සේවා සැපයීමට හැකි වුණා.

මර්සි නෞකාවක කාර්ය මණ්ඩලය සතුට සමරන මොහොතක් – twitter.com 

 කාලයත් සමඟ නෞකාව ඩොන් ස්ටීවන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් වුණා. ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය පුරා වසර දහයක් නෞකාව සිය නිවහන කර ගනිමින් සේවා සැපයූවා. පුණ්‍යායතනයේ ජාත්‍යන්තර මෙහෙයුම් මධ්‍යස්ථානය ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටුවීමෙන් පසු ඔවුන්ගේ දීර්ඝ සමුද්‍ර ජීවිතයට මඳ විරාමයක් ලැබුණා.

මේ දක්වා “මර්සි ෂිප්ස්” පුණ්‍යායතනය මානුෂීය කටයුතු සම්බන්ධයෙන් සම්මාන රැසක් දිනා ගෙන තිබෙනවා. ස්ටීවන් පවුලේ මානුෂීය මෙහෙයුමෙන් ප්‍රබෝධමත් වූ වෘත්තිකයන් බොහෝමයක් ස්වෙච්ඡාවෙන් තම සේවය සැපයීම සඳහා වරින් වර “මර්සි ෂිප්ස්” සමඟ සම්බන්ධ වෙනවා.

“මර්සි ෂිප්ස්” කියන්නේ එකම අරමුණක් වෙනුවෙන් විවිධ වෘත්තිකයන් එකතු වන තැනක් – zippia.com 

මර්සි ෂිප්ස්” තුළ ජීවිතය

 ඩොන් ස්ටීවන් මුල් වී නිර්මාණය කරන ලද පාවෙන රෝහල් සඳහා අවශ්‍ය වන්නේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ නාවුක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පමණක් ම නොවෙයි. සැබවින් ම “මර්සි ෂිප්ස්” යනු විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් එකට එකතු වන සමූහයක් වැනි තැනක්. ඕනෑම වෘත්තිකයකුට තම සේවය ලබා දිය හැකි කුමන හෝ අවකාශයක් පුණ්‍යායතනය සලසා දී තිබෙනවා.

පරිපාලකයන්, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සැපයුම් අංශවල සේවයේ නියුතු පුද්ගලයන්, කළමනාකරුවන්, රචකයන්, ඡායාරූප ශිල්පීන්, මාධ්‍යවේදීන්, අරක්කැමියන්, ගුරුවරුන්, ඒ සඳහා උදාහරණ කිහිපයක් වෙනවා. එක් එක් සේවාව වෙනුවෙන් අදාළ වෘත්තිකයා කැප කළ යුතු කාලයත් ආයතනය යෝජනා කර තිබෙනවා. ඇතැම් විට එම කාලය මාස කිහිපයක සිට අවුරුද්දක් හෝ දෙකක් දක්වා විය හැකි යි.

පාවෙන රෝහල් වාට්ටුවක් – startribune.com

 නෞකා තුළ පවතින මිනිස් සබඳතා ඉතා සාමකාමී ලෙස පවත්වා ගැනීමට පුණ්‍යායතනය කටයුතු කරනවා. සියල්ලන් ම තම තමන්ගේ දැනුම සහ කුසලතාව හරහා පොදු මෙහෙවරක් සාක්ෂාත් කර ගැනීමට එකතු වී සිටින හෙයින්, සියල්ලන්ට ම සමාන තැනක් හිමි වෙනවා. ගෝලීය මට්ටමෙන් නෞකාවට ප්‍රජාව එකතු වීමේ පසුබිම හරහා ලෝකය පුරා ව්‍යාප්ත වූ මිත්‍ර ජාලයක් ඇතිකර ගැනීමේ හැකියාවත් මෙහි තිබෙනවා. නෞකාව බොහෝ රාජ්‍යවලට සංක්‍රමණය වන නිසා සුළු කාලයක් තුළ සංස්කෘතික විවිධත්වය මනා සේ අත්විඳීමටත් පුළුවන්.

 “මර්සි ෂිප්ස්” පුණ්‍යායතනයට එකතු වන ස්වෙච්ඡා වෘත්තිකයන්ට දින, සති, මාස ගණනක් තෙරක් නොපෙනෙන සයුරේ හුදෙකලා වීමට සිදු වෙනවා. එපමණක් නොව, වෙනස් ම පරිසරයක් තුළ සිටිනා මිනිසුන් පිරිසක් සමඟ කටයුතු කිරීමටත් සිදු වෙනවා. මේ නිසා අලුතෙන් ම සේවයට බැඳෙන්නකුට නෞකාව තුළ ජීවිතය මුල දී අභියෝගාත්මක විය හැකි යි. එවැනි පුද්ගලයන්ට සහාය වන වැඩසටහන් නෞකාවල ක්‍රියාත්මක වෙනවා. එහිදී අදාළ පුද්ගලයා හෙළි කරන අත්දැකීම්වල රහස්‍යභාවය සුරක්ෂිත කිරීමටත් ආයතනය බැඳී සිටිනවා.

“මර්සි ෂිප්ස්”නෞකාවක ඇතුළත දර්ශනයක් –  mercyships.org 

නෞකා තුළ පවත්නා පහසුකම්

 ස්වෙච්ඡා සේවයට බැඳුණු වෘත්තිකයන්ට අවශ්‍ය සියලු මූලික පහසුකම් මර්සි නෞකා තුළ තිබෙනවා. නැව් කුටි තුළ අවකාශය තරමක් සීමා සහිත යි. බොහෝවිට සාමාජිකයන් කිහිප දෙනකුට ඒවා බෙදා හදා ගැනීමට සිදු වෙනවා. ඒ හැරුණු විට අන්තර්ජාල පහසුකම් ඇතුළු ව අනෙකුත් සියලු ම පහසුකම්වලින් නැව් කුටි නිර්මිත යි. සෞඛ්‍යාරක්ෂිත බව රැකෙන පරිදි ආහාර සපයා දීමටත් ආයතනය කටයුතු කරනවා. ලොන්ඩරි කාමර, කොණ්ඩා සැකසීමේ පහසුකම්, බැංකු, තැපැල් කාර්යාල, ශරීර සුවතා මධ්‍යස්ථාන, පුස්තකාල ඇතුළු එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන බොහෝ සේවා කුඩා නගරයක් ආකාරයෙන් මේ පාවෙන රෝහල් තුළ ඉදිකර ඇති බව පැවසෙනවා.

 දිගු කාලයක් ස්වෙච්ඡා සේවයේ යෙදීමට අවැසි නම් වෘත්තිකයන්ට තමාගේ පවුලේ සාමාජිකයන් නෞකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔවුන් සමඟ පැමිණෙන දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩ ව පවත්වා ගැනීමේ පහසුකම් පවා නෞකා තුළ තිබෙනවා. මීට අමතර ව, සේවයට පැමිණි වෘත්තිකයන්ට සැකසූ විවිධ පුහුණු පාඨමාලා නෞකා තුළ ක්‍රියාත්මක වෙනවා. අනාගතයේ දවසක නැවත ඔවුන්ගේ සේවය ලබා දීමට කරන දිරි ගැන්වීමක් ලෙස මෙම පුහුණු පාඨමාලා සැකසී තිබෙනවා.

ලෝකයේ විශාලත ම සිවිල් නෞකා රෝහල වූ “ග්ලෝබල් මර්සි” සිය මංගල ගමනට සූදානම් වෙමින් – news.cision.com 

 මර්සි නෞකාවකට ගොඩවෙන හැටි

 පෙර සඳහන් කළ පරිදි ම විශාල ක්ෂේත්‍ර පරාසයක වෘත්තිකයන් “මර්සි ෂිප්ස්” පුණ්‍යායතනයට අවශ්‍ය වෙනවා. ඔවුන් ලැයිස්තු ගත කර ඇති සේවා “මර්සි ෂිප්ස්” නිල වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි යි. තමාට සේවය සැපයිය හැකි ක්ෂේත්‍රය තෝරා ගත් පසු වෙබ් අඩවිය හරහා ම අයදුම් කිරීමේ පහසුකම සපයා තිබෙනවා.

අයදුම්පත් තෝරා ගැනීමට යම් කාලයක් ගත වන අතර, අයදුම් කළ සේවාව පුරප්පාඩු වීම හා අයදුම්කරු කොතෙක් දුරට පුරප්පාඩුව සඳහා ගැළපෙනවා ද යන්න නීර්ණය කිරීමෙන් පසු පිළිගැනීමේ ලිපියක් අයදුම්කරුට ලැබෙන්න සලස්වනවා. මූලික තොරතුරු, සේවාව ලබාදිය යුතු කාල පරාසය, දැරිය යුතු වියදම්, පුහුණුවක් අවශ්‍ය නම් ඒ පිළිබඳ විස්තර, ආදී සියලු තොරතුරු එම ලිපියේ අඩංගු යි.

සාරාගේ කතාව

 ජර්මනියේ සිට පැමිණි සාරා, ඇයගේ දීර්ඝ කාලීන රැකියාවෙන් ඉවත් වී මඳ විවේකයක් ලබා ගැනීමට තීරණය කළ තැනැත්තියක්. පැහැදිලි කළ නොහැකි රැකියා පරතරයක් තබා ගැනීමට වඩා ස්වෙච්ඡා සේවය වෙනුවෙන් එම විවේක කාලය කැප කිරීම වඩාත් උචිතයැ යි ඇයට සිතුණා.

 “මා ඊළඟ පියවර සඳහා සූදානම් බවත්, ඊට පෙරාතුව මඳ විවේකයක් ගැනීම සුදුසු  බවත් දැනගෙන සිටියා. එතකොට තමයි ‘මර්සි ෂිප්ස්’ මගේ මතකයට ආවේ. මාස තුනක් ස්වෙච්ඡා සේවයට කැප වෙන්න මං තීරණය කළත්, කාලය නොදැනිම ගෙවිලා ගියා. මාස හයක් ගත වුණා. ඒත් නෞකාව අතහරින්න මා තවම සූදානම් නැති බව හැඟුණා. එතැන් සිට තවත් වසරක් මා සේවා කාලය දීර්ඝ කර ගත්තා. ඊට පස්සේ තවත් වැඩිපුර වසරක් මං නෞකාවේ සේවය කළා”

ඇය තම අත්දැකීම එලෙසින් වචනවලට පෙරළා තිබුණා.

සිවු වසරකට පසු සාරා දිගින් දිගට ම මර්සි නෞකා සමඟ සම්බන්ධ වී වැඩ කිරීමට උනන්දු වුණා.

දුප්පතුන්ට අස්වැසිල්ලක් වෙමින් සියලු සෞඛ්‍ය සේවා නොමිලේ ම ලැබෙනවා – www.al-enterprise.com 

තම හැකියා වඩාත් මානුෂීය අන්දමින් යෙදවීම හරහා ජීවිතයේ වෙනසක් අපේක්ෂා කරමින් පැමිණි සාරා, ජිම් පැටර්සන් වැන්නවුන් බොහෝමයක් “මර්සි ෂිප්ස්” වටා එක්රොක් වී සිටිනවා. වාර්ෂික ව පුණ්‍යායතනය කරා එලෙස පැමිණෙන ස්වෙච්ඡා සේවකයන් ගණන දහසකට අධික යි.

ස්වෙච්ඡා සේවයේ වැදගත්කම

 ස්වෙච්ඡා සේවය ශ්‍රී ලංකාව තුළ තවමත් විශාල වශයෙන් ප්‍රචලිත වී නැහැ. රටේ ආර්ථික තත්ත්වයට සාපේක්ෂ ව ලබන ආදායම සමඟ වෘත්තිකයන්ට නිරන්තරයෙන් ගැටීමට සිදුවන නිසා ස්වෙච්ඡා සේවයට කැමැත්ත තිබුණත්, ජර්මනියෙන් පැමිණි සාරා මෙන් ක්‍රියා කිරීම අපට තරමක් අපහසු යි. නමුත්, කුඩා කාල පරාසයකට යටත්ව හෝ ස්වෙච්ඡා සේවයේ නිරත වීමෙන් පුද්ගලයකුට විශාල වෘත්තීය වටිනාකමක් සහ මානසික තෘප්තියක් ලැබිය හැකි යි.

ස්වෙච්ඡා සේවය මඟින් දක්ෂ සහ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් වෘත්තිකයන් බිහි කළ හැකි යි –
stories.usatodaynetwork.com 

 තරගකාරී ලෝකය තුළ බොහෝ පුද්ගලයන් තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කර ගැනීමේ අරගලයක නිරත වෙනවා. රැකියාව තුළ ආතතියට පත් වීමේ හැකියාවත් ඒ අනුව වර්ධනය වෙනවා. මේ දෙඅංශය සමබර කර ගත හැකි ආයතනික සංස්කෘතියක් බිහි කළ හැකි නම් පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණත්වය මීට වඩා අර්ථවත්ව රටේ දියුණුව වෙනුවෙන් යොදාගත හැකි යි. බොහෝ බටහිර රටවල් ස්වෙච්ඡා සේවයට වෘත්තිකයන් යොමු වීම සම්බන්ධයෙන් යම් යම් දිරි ගැන්වීම් පවා සිදු කරන්නේ මේ නිසා යි.

අද ඔවුන් තම රටට පමණක් නොව ලෝකයට ම උදව් කළ හැකි දක්ෂ සහ මානුෂීය ගුණාංගවලින් හෙබි වෘත්තිකයන් බිහි කරමින් සිටිනවා. ආයතනික රාමුව තුළට කොටු කර ගැනීමෙන් පමණක් එවැනි දක්ෂ වෘත්තිකයන් බිහි වේවියැ යි සිතීම උගහට යි. “මර්සි ෂිප්ස්” පුණ්‍යායතනයේ කතාව ඔබ හමුවට ගෙන ආවේ ඒ පිළිබඳව යම් සංවේදනයක් ඇති කිරීම උදෙසා යි.

කවරයේ ඡායාරූපය: පුණ්‍යායතනයට අයත්  "මර්සි ෂිප්ස්'' නෞකාවක් - qlik.com

මූලාශ්‍ර:

www.marinelink.com

www.ship-technology.com

www.mercyships.org

Related Articles