වෙනිසුවෙලානු ඉතිහාසයේ නොමැකෙන සිමොන් බොලිවාර් ගේ වික්‍රම

වෙනිසුවෙලාව යන නම ඇසූ සැණින් වර්තමානයේ දී ඔබගේ මතකයට නැගෙන්නේ බංකොලොත් වී ගිය උද්ධමනය අහස උසට නැඟි රටක් බව ප්‍රකාශ කිරීම වරදක් නොවේ. සත්‍ය වශයෙන් ම ඔවුන් අතීතයේ මෙලෙස බංකොලොත් වී සිටි රටක් නොවන බවත්, ඔවුන් දකුණු අමරිකානු කලාපයේ සිටි ස්ථාවර රටක් බවත් ප්‍රකාශ කළ යුතු යි. වෙනිසුවෙලාවට ඒ තත්වයට ළඟාවීමට සිමොන් බොලිවාර් යන නාමය සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා.

සිමොන් බොලිවාර් – www.nationalgeograpic.com

වෙනිසුවෙලාව පමණක් නොව දකුණු අමරිකානු කලාපයේ ඇති කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු, බොලිවියා සහ උතුරු අමරිකානු කලාපයේ ඇති පැනමාව තුළත් සිමොන් බොලිවාර් වීරයෙක් ලෙසින් සලකනවා. එයට හේතුව වන්නේ ඔහු වසර ගණනාවක් මුළුල්ලේ ස්පාඤ්ඤ ආක්‍රමණයන්ට එරෙහි ව සටන් කරමින් මේ රටවල් නිදහස් කර ගැනීම සඳහා කළ සේවය යි. වර්තමානයේ වෙනිසුවෙලාව තුළ භාවිත වන බොලිවාර් නම් මුදල් ඒකකය සහ බොලිවියාවේ නම ද ඔහුට ගරු කිරීමක් වශයෙන් නම් කර තිබෙනවා. දකුණු අමරිකානු කලාපයේ වික්‍රම පෑ සිමොන් බොලිවාර් සම්බන්ධයෙනි මෙම ලිපිය.

සිමොන් බොලිවාර්

1783 වසරේ ජූලි මස 24 වනදා සිමොන් හෝසේ ඇන්ටෝනියෝ ඩි ලා සැන්ටිස්මා ට්‍රිනිඩෑඩ් බොලිවාර් වයි පලාසියොස් යන නමින් ඔහු වෙනිසුවෙලාවේ දී උපත ලැබුවා. වෙනිසුවෙලාවේ හමුදා කර්නල් වරයකුගේ දරුවෙක් උපත ලැබූ හෙයින් ඔහුට කුඩා කල සිට කිසිදු අඩුපාඩුවක් දැනුණේ නෑ.

සිමොන් බොලිවාර් ගත කළේ සියල් සැප සම්පත් සහිත ජීවිතයක්. එකල ස්පාඤ්ඤ යටත් විජිතයක් වූ වෙනිසුවෙලාවේ බොලිවාර් පවුලට ඉහළ තත්ත්වයක් හිමි ව තිබුණා. කෙසේ වුවත් එකල ස්පාඤ්ඤ පාලනය නිසා දකුණු අමරිකානු වැසියන් ගත කළේ අසාධාරණකම්වලින් බැට කමින්.

බොලිවාර් කුඩා කාලයේ ඔහුගේ මාපියන් සමඟ සිටින සිතුවමක් – www.knowladgesnacks.com

බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙක් වන ජෝන් ලින්ච් සිමොන් බොලිවාර් ගේ ජීවිතය හඳුන්වා දී තිබෙන්නේ සියල්ල ලැබූ සහ සියල්ල අහිමි වූ දිවියක් වශයෙන්. එයට හේතුව වන්නේ ප්‍රථමයෙන් ම ඔහුගේ පියා 1786 වර්ෂයේ දී ක්ෂය රෝගය වැලඳී මිය යාමත්, ඔහුගේ මව 1792 දී ක්ෂය රෝගයෙන් ම මිය යාමත් නිසා යි. මේ නිසා වයස අවුරුදු 10 ක් වන්නටත් පෙර සිමොන් බොලිවාර්ට තම මාපියන් අහිමි වුණා. ඔහු කුඩා කාලයේ වහල් සේවකයන් යටතේ හැදී වැඩුණු බවට සඳහන්. කෙසේ වෙතත් 1793 වර්ෂය වන විට අධ්‍යාපනය ලැබීම සඳහා යුරෝපයට ගමන් කිරීම වෙනුවෙන් ඔහුට අවස්ථාව හිමි වුණා.

යුරෝපා ජීවිතය

සිමොන් බොලිවාර් ගේ මව මිය යාමට වසර දෙකකට පෙර ඔහු මිගෙල් හෝසේ සැන්ස් නම් නීතීඥයකු ගෙන් අධ්‍යාපනය ලැබුවා. 1793 දී මූලික අධ්‍යාපනය ලැබූ ඔහු1795 වන විට තම මාමා සමඟින් ජීවත් වුණා. ඔහුගේ මාමා වූ කාර්ලෝස් පලාසියොස් සිමොන්, ගුරුතුමා වූ සිමොන් රොද්රිගෙස් සමඟ තැබීමට කටයුතු කළා. එතැන මාස 2 ක් පමණක් රැඳී සිටි බොලිවාර් නැවත තම පවුලේ නිවස වෙතට යාමට උත්සුක වුණා.

පසුව වෙනිසුවෙලානු බුද්ධිමතුන් ලෙසින් ප්‍රකට ඇන්ඩ්‍රෙස් බෙලෝ සහ ෆ්‍රැන්සෙස්කෝ ඇන්ඩුහාර් යටතේ ඔහු අධ්‍යාපනය ලැබුවා. 1797 දී සිමොන් රොද්රිගෙස් නිදහස් ව්‍යාපාරයක කුමන්ත්‍රණයක් සිදු කළ බවට චෝදනා කොට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ පාලනය කටයුතු කළා. ඉන් අනතුරු ව හමුදා නිලධාරියෙක් වූ සිමොන් බොලිවාර් වසර 2 ක් ඉක්ම යද්දී ස්පාඤ්ඤය බලා පිටත් කිරීමට ඔහුගේ මාමා තීරණය කළා. ඒ අනුව 1799 ජනවාරි මස 19 වන දින සිමොන් බොලිවාර් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් බලා පිටත් වුණා.

19 වන ශතවර්ෂයේ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් පැවති අන්දම – www.maletaconruedas.com

ස්පාඤ්ඤය වෙතට පැමිණි බොලිවාර් එතැන් පටන් එස්ටෙබාන් නම් අයෙක් සමඟ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළා. වෙනිසුවෙලාවේ දී ඔහු ලැබූ අධ්‍යාපනයක් නොමැති බවත් බොලිවාර් ඉතා නූගත් තැනැත්තෙක් බවත් වටහා ගත් එස්ටෙබාන්, ස්වදේශිකයෙක් සහ රජයේ නිලධාරියෙක් මාර්ගයෙන් ඔහුට අධ්‍යාපනය ලබා දුන්නා. බොලිවාර් ස්පාඤ්ඤයයේ දී හොඳින් අධ්‍යාපනය ලැබුවා. ස්පාඤ්ඤයේ බලයට පත් මැනුවෙල් ගොඩෝයි එස්ටෙබාන්ට ව්‍යාජ චෝදනා ගොනු කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

රාජකීය අවසරයකින් තොරව දියමන්ති පැළඳ සිටීමේ වරදට සිමොන් බොලිවාර්ට උසාවියෙන් දඬුවම් ද නියම වුණා. කෙසේ හෝ එකල ස්පාඤ්ඤයේ සිටි ධනවතෙක් වූ කැරකස් ක්‍රියෝල් ගේ දියණිය වන මාරියා තෙරේසා හමු වූ සිමොන් බොලිවාර් ඇය හා විවාහ ගිවිස ගැනීමට කටයුතු කළා. මාස කිහිපයක් යද්දී එම විවාහය අසාර්ථක ව නිමාව දුටුවා. 1802 වර්ෂය වන විට ස්පාඤ්ඤයේ සිට වෙනිසුවෙලාව බලා පැමිණීමේ අපේක්ෂාව ඇති ව සිමොන් බොලිවාර් නැව් නැඟීමට තීරණය කළා.

නැවත වෙනිසුවෙලාවට

ඔහු වෙනිසුවෙලාව වෙත යන විට පෙර සඳහන් කළ මාරියා තෙරේසා සමඟ පැවති සම්බන්ධය නැවත අලුත් කර ගැනීමට සිමොන් බොලිවාර් සමත් වුණා. නැවත වෙනිසුවෙලාව වෙත පැමිණ 1802 මැයි මස 26 වනදා ඔවුන් දෙපළ විවාහ වූවා. එවර ද එම සම්බන්ධ වැඩි කලක් පැවතුණේ නෑ. කහ උණ වැලඳීම හේතුවෙන් මාරියා තෙරේසා 1803 ජනවාරි මස 23 වනදා මරණයට පත් වුණා. ඇයගේ අහිමි වීමෙන් පසුව සම්පූර්ණයෙන් ම බිඳ වැටී ගිය සිමොන් නැවත තම ජීවිතය ඇති තෙක් විවාහ නොවී සිටීමට තීරණය කළා. වෙනිසුවෙලාව හැර දා නැවත යුරෝපය බලා ගමන් කිරීමට ද ඔහු උත්සුක වුණා.

තම බිරියගේ මරණයෙන් ශෝකී ව සිටි සිමොන් නැවතත් ස්පාඤ්ඤය වෙතට ළඟා වූවා. ඉන් අනතුරුව තම මාමණ්ඩිය සහ තවත් පෙර මිතුරු වෙනිසුවෙලානු ජාතිකයන් කිහිප දෙනෙක් සමඟ ම ඔහු සමීප සම්බන්ධතා පැවැත්වූවා. ඉන් අනතුරු ව ඔහුගේ කුඩා කල මිතුරෙක් වූ ෆර්නැන්ඩෝ රොද්රිගෙස් සමඟින් පැරිසිය බලා ගමන් කළ බොලිවාර් එහි රැඳී සිටමින් නැපෝලියන් ගේ අධිරාජ්‍යයේ තත්ත්වයන් විමසුවා. ඉන් අනතුරුව මිතුරන් සමඟ රෝමය බලා පිටත් ව යමින් තව තවත් තම යුරෝපා සංචාරය පුළුල් කළා.

අමරිකාවේ වොෂිංටන් හි ඇති සිමොන් බොලිවාර් ගේ පිළිරුවක් – www.tripadvisor.com

මෙම සංචාරය අවසන් භාගයට ගමන් කරද්දී ස්පාඤ්ඤ පාලනයෙන් තමන්ගේ රට සහ ඒ අවට කලාපය මුදාගත යුතු බවට සිමොන් බොලිවාර් වටහා ගත්තා. ඒ වෙනුවෙන් තමන්ට ඇති හැකියාව ද මනාව පාලනය කරගනිමින් විවිධ සම්බන්ධතා ගොඩ නඟා නැගීමට ද කටයුතු කළා. 1805 අගෝස්තු මස 15 වනදා ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් ගෙන් දකුණු අමරිකානු කලාපය මුදා ගන්නා බවට සිමොන් බොලිවාර් ප්‍රතිඥා ලබා දුන්නා.

අධිරාජ්‍යවාදීන්ට එරෙහිව

1807 වර්ෂයේ දී නැවත වතාවක් තම මවුරට බලා පැමිණීමේ අරමුණින් නැව් නැඟුණු බොලිවාර් ප්‍රථමයෙන් ම අමරිකාවට පැමිණියා. එතැන් පටන් මාස 6 ක කාලයක් අමරිකාවේ රැඳී සිටිමින් තව තවත් සම්බන්ධතා වැඩි කර ගැනීමට ඔහු කටයුතු කළා. 1807/08 දී අයිබීරියානු අධිරාජ්‍ය ආක්‍රමණය කළ නැපෝලියන් එහි සිටි ස්පාඤ්ඤ හිතවාදීන් ඉවත් කොට පාලනය කිරීමේ අයිතිය තම සහෝදරයාට ලබා දුන්නා. මෙම පුවත වෙනිසුවෙලාව වෙත ළඟා වූයේ 1808 ජූලි මාසයේදී යි. 1808 නොවැම්බර් මාසයේ දී වෙනිසියුලාවේ කපිතාන් ජනරාල් ජුවාන් ද කැසාස් ස්වාධීන ආණ්ඩුවක් ඉල්ලා සිටිය ද එය සාර්ථක වූයේ නෑ. එම පෙත්සමට සිමොන් බොලිවාර් අත්සන් කිරීමෙන් වැලකී සිටියා

1810 වසරේ පෙබරවාරි මස වන විට ස්පාඤ්ඤයේ VII වන ෆර්ඩිනැන්ඩ් රජතුමා ප්‍රංශ ආක්‍රමණ හමුවේ දැඩි අපහසුතාවකට පත්ව සිටියා. මේ හේතුවෙන් ස්පාඤ්ඤ රජය විසුරුවා දැමීමට පවා සිදු වුණා. මේ සිදුවීමෙන් පසුව ස්පාඤ්ඤ රාජ්‍ය පාලනයෙන් ස්වාධීන වූ උත්තරීතර ජුන්ටාවක් නිර්මාණය වුණා. පෙර පෙත්සමට අත්සන් නොකළ සිමොන් බොලිවාර් ගේ පූර්ණ සහයෝගය මේ ජුන්ටාව වෙත හිමි වූවා. එය ඔවුන් වෙනුවෙන් ලබා දුන්නේ අතිරේක ශක්තියක්.

VII වන ෆර්ඩිනැන්ඩ් රජතුමා – www.onthisday.com

ස්පාඤ්ඤ පාලනය නවතා ගැනීමට මහා බ්‍රිතාන්‍ය සමඟින් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට නීතීඥ ලුයිස් ලෝපෙස් මෙන්ඩෙස් සහ ඇන්ඩ්‍රෙස් බෙලෝ කටයුතු කළා. ජුවාන් වින්සෙට් අමරිකා එක්සත් ජනපදයට ගමන් කළේ අවශ්‍ය ආයුධ මිලට ගැනීමට යි. බ්‍රිතාන්‍ය බලා ගිය ඔවුන් සිමොන් බොලිවාර් ගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් රිචඩ් වෙලෙස්ලි හමු වුණා. ඔවුන් වෙනිසුවෙලානු නිදහස වෙනුවෙන් ඔහුත් සමඟ තර්ක කළා. නමුත් එම සාකච්ඡා සිතූ පරිදි සාර්ථක වූයේ නෑ. සිමොන් බොලිවාර් ඇතුළු පිරිස නැවත වෙනිසුවෙලාව බලා ගමන් කළා.

අසාර්ථක නිදහසක්

බොලිවාර් බ්‍රිතාන්‍යයේ සිටින අතරවාරයේදී උත්තරීතර ජුන්ටාව නව ප්‍රතිසංස්කරණ යටතේ මැතිවරණයක් පැවැත්වූවා. බොලිවාර් සහ මිරැන්ඩා ඉන් අනතුරුව මෙම කොංග්‍රසයට නායකත්වය ලබා දුන්නා. අවසානයේ ඔවුන්ගේ කැප කිරීම් මත වෙනිසුවෙලාව 1811 ජූලි මස 05 වන දා නිදහස හිමි කර ගත්තා. නිදහස ලැබූවත් ස්පාඤ්ඤ හමුදා නැවත වෙනිසුවෙලාව අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් පසු වුණා. 1812 මාර්තු මස ඇතිවූ දරුණු භූමිකම්පාවක් නිසා වෙනිසුවෙලාවට දැඩි හානි වූ අතර ස්පාඤ්ඤ පාලනය නොමැති වීම හේතුවෙන් ඇති වූ දේව සාපයක් යැයි මෙය ප්‍රසිද්ධ කරමින් ස්පාඤ්ඤ හමුදා එහි වාසි ලබා ගත්තා

අඩපණ වී සිටි වෙනිසුවෙලාව නැවත ආක්‍රමණය කළ ස්පාඤ්ඤ හමුදා බටහිර වෙනිසුවෙලාව අත්පත් කර ගත්තා. සිමොන් බොලිවාර් 1812 මැයි මස 04 වන දින පුවෙර්ටෝ කැබෙලෝ වෙත පැමිණ නැවත සටන් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නෑ. බොලිවාර් සහ පිරිස ලා ගුවෙයිරා වෙත පලා ගියත් මිරැන්ඩා අත්අඩංගුවට ගැනුණා. අවසානයේදී සිරගත වූ මිරැන්ඩා 1816 ජූලි මස 16 වනදා ස්පාඤ්ඤයේ කාඩිස් හී බන්ධනාගාරක දී අවසන් ගමන් ගිය බව සඳහන්.

19 වන ශතවර්ෂයේ වෙනිසුවෙලාව – www.aboutbosquecountry.com

නිව් ග්‍රැනේඩා වෙත පළා ආ සිමොන් බොලිවාර් එහි සිටිමින් නැවත ස්පාඤ්ඤ ආක්‍රමණයන්ට පහර දීම උදෙසා සැලසුම් සකස් කළා. නිව් ග්‍රැනේඩාව වෙතට කෙරෙන ස්පාඤ්ඤ ආක්‍රමණයන් වැලැක්වීම සහ වෙනිසියුලාව ආක්‍රමණය කිරීම වෙනුවෙන් ඔහු නිව් ග්‍රැනේඩා රජයේ ද සහාය පැතුවා. එයට සාර්ථක ප්‍රතිචාර ලැබුණ අතර බොලිවාර් උක්ත කාලයේ දී මැග්ඩලේනා ගඟ සහ කුකුටා නගරය ස්පාඤ්ඤ ජාතිකයන් ගෙන් මුදා ගත්තා. නිව් ග්‍රැනේඩා ඔහුට ගෞරවනීය පුරවැසිභාවය පවා පුද කළා. 1813 මැයි 14 වන දා නව සටන් ව්‍යාපාරයක් ආරම්භ කරමින් දකුණු අමරිකාව තුළ සිටිනා සියලු ම ස්පාඤ්ඤ ජාතිකයන් මරා දමන මෙන් අණ ලබා දුන්නා.

ගැටලු රැසක් සමඟ පෙරට

1814 ජනවාරි මස 02 වනදා සිමොන් බොලිවාර් වෙනිසුවෙලා පාලකයා බවට නම් වුවත් ඔහුට හිමි වූයේ බටහිර ප්‍රදේශය පමණ යි. නැවත වතාවක් වෙනිසුවෙලාව ආර්ථික වශයෙන් දුර්වල වද්දී නැවත වතාවක් සිමොන් බොලිවාර්ට පසු බැසීමට සිදු වුණා. එකල ඔහු රාජ්‍ය ද්‍රෝහියෙක් බවට නම් කර පිටුවහල් කළා. අනතුරුව 1815 වර්ෂයේ දී පැමිණි බොලිවාර් නිව් ග්‍රැනේඩා හමුදාවකට අණ දෙමින් කාටජිනා ප්‍රදේශය පාලනය කළ ඩෙල් කැස්ටිලෝ මරා දමන්නට සමත් වුණා.

1815 දී ජැමෙයිකාවේ කිංග්ස්ටන් වෙත පැමිණි ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළත් එයින් ගැලවී බොලිවාර් හයිටි වෙත පැමිණියා. හයිටි ජනාධිපති සමඟින් මිත්‍රත්වයක් ගොඩ නඟා ගෙන සියලු වහලුන් නිදහස් කරන බවට ප්‍රතිඥා දෙමින් ඔහු හමුදා සහාය ලබා ගත්තා. එතැන් පටන් 1818 වනතෙක් විවිධ සටන්වලට බොලිවාර් අණ දුන් අතර ඇතැම් සටන් පරාජයට පත් වීමටත් සිදු වුණා. එම කාලය තුළ තවත් වතාවක් ඔහු ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන ඉතිහාස පොත්වල සඳහන් වනවා. ඔහුගේ ම දේශපාලන ප්‍රතිපත්තියක් සමඟ 1819 වන විට ජාතික සම්මේලනයක් පවත්වා මැතිවරණ සංවිධානය කිරීම කෙරෙහි ඔහු තම අවධානය යොමු කර තිබුණා.

වර්තමානයේ අන්දීස් කඳුවැටිය දකින්නට ලැබෙන ආකාරය – www.adventurelife.com

අවසානයේ දී වෙනිසුවෙලාවේ ජනාධිපති බවට පත් වූ සිමොන් බොලිවාර් එතැන් සිට අන්දීස් කඳුවැටිය හරහා කොලොම්බියාව වෙතට ගමන් කළා. තම හමුදාවක් සමඟ බොගොටා හි සිටි ස්පාඤ්ඤ ජාතිකයන් පරාජයට පත් කරමින් ඉන් අනතුරුව කොලොම්බියාව සහ වෙනිසුවෙලාව එකට එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. සිමොන් බොලිවාර් එවර සටන්වලින් සාර්ථක වෙමින් කොලොම්බියාවේ බලය ද තහවුරු කර ගනිමින් වෙනිසුවෙලාව සහ කොලොම්බියාව ඒකාබද්ධ රාජ්‍යක් බවට පරිවර්තනය කිරීමට සමත් වුණා.

ඉක්වදෝරය පේරු සහ බොලිවියා

එම සටන්වලින් අනතුරුව බොලිවාර් දකුණු අමරිකාවේ ඇති පේරු සහ ඉක්වදෝරය වෙත තම අවධානය යොමු කළා. ඒ වන විට චිලී සහ පේරු මුදා ගත් ආජන්ටිනා ජාතික ජනරාල් හෝසේ ද සැන් මාර්ටින් බොලිවාර්ට විශාල තර්ජනයක් වුණා. ඔහුට 1821 දී කොලොම්බියාව සහ ඉක්වදෝරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්ග්‍රස් බලය ද හිමි වුණා. සැන් මාර්ටින් සහ සිමොන් බොලිවාර් අතර ගුවාකියල් සමුළුවේ දී සාකච්ඡා පැවැත්වූවත් ඒවා සාර්ථක වූයේ නෑ. කෙසේ වෙතත් රෝගාතුර වී දේශපාලන වශයෙන් හුදෙකලා වූ සැන් මාර්ටින් තම තනතුරු වලින් ඉවත් වුණා.

1822 වසරේ දී ඉක්වදෝරය වටා ගමන් කරමින් එය ඈඳා ගැනීමට ඔහු සැලසුම් සකස් කළා. 1823 දී බොලිවාර් පේරු වෙත පැමිණියත් එහි සිදුවූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට පිටුවහල් වීමට සිදු වුණා. 1824 පළමු මාස ද්විත්වයේ උණ රෝගයෙන් පීඩා විඳි සිමොන්, අනතුරුව සේනා සංවිධානය කරමින් ගොස් පේරු හී ලිමා අත්පත් කර ගත්තා. පේරු කොන්ග්‍රසය ඉන් අනතුරු ව සිමොන් බොලිවාර් තම රටේ නායකයා ලෙසින් නම් කළා.

සිමොන් බොලිවාර් සටනකට නායකත්වය දෙමින් – www.historynet.com

1824 දෙසැම්බර් මස 09 වනදා අයාකුචෝ සටනේ නායකත්වය ගත් බොලිවාර් එම සටනෙන් සියලු ම පේරු රාජකීයයන් පරාජයට පත් කිරීමට සමත් වුණා. 1825 දී ඔහු පේරු සහ කොලොම්බියා පාලනයෙන් ඉවත් වුවත් එය පිළි නොගත් කොංග්‍රසය නැවතත් ඔහු පාලකයා බවට නම් කළා. ඉන් පසුව 1825 දී පේරු හි සංචාරය කළ ඔහු අගෝස්තු මස 06 වනදා නව බොලිවියාව නිවේදනය කළා. බොලිවියාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද රැගෙන ආවා. නැවත කොලොම්බියාව වෙත පැමිණෙන ලෙස ඔහුට ලැබූ ආරාධනය නිසා සිමොන් බොලිවාර් කොලොම්බියාව වෙත ගියා.

අවසන් සමය

කොලොම්බියාව වෙත පැමිණ නඩු ඇසීම් සහ සිර දඬුවම් ලිහිල් කිරීමේ කටයුතුවල නිරත වූ ඔහුට කොලොම්බියාවේ ජනාධිපති ධූරය හිමි වුණා. බොලිවියාවේ මූල්‍ය කටයුතු හැසිරවීම සම්බන්ධයෙන් සැන්ටැන්ඩර් සහ බොලිවාර් අතර ගැටුමක් නිර්මාණය වුණා. මේ හේතුව නිසා ඔවුන් දෙදෙනා සතුරන් වෙද්දී සිමොන් බොලිවාර්ට එරෙහි කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මක වෙමින් තිබුණා.

කොලොම්බියා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වීමට ඔහු කීප වරක් ම උත්සාහ කළත් ඒවා කොංග්‍රසය ප්‍රතික්ෂේප කළා. මේ අතර සැන්ටැන්ඩර් ගේ හිතවාදීන් කැරැල්ලක් මඟින් බොලිවාර් මරා දැමීමට උත්සාහ කළත් එය ද සාර්ථක වූයේ නෑ. මෙකල මානසික අවපීඩන තත්ත්වයක සිටි ඔහු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබුණා. නැවත වතාවක් කොංග්‍රසය එය ප්‍රතික්ෂේප කළා. කෙසේ වුවත් වෙනිසුවෙලාවේ ඇතිවූ ප්‍රශ්න නිසා එරටින් පිට ව කොලොම්බියාවේ බොගොටා වෙත පැමිණි බොලිවාර් 1830 දී කොලොම්බියාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා.

සිමොන් බොලිවාර් ගේ අවසන් මොහොත දැක්වෙන සිතුවමක් – www.thecollecter.com

වෙනිසුවෙලාවෙන් පිටුවහල් වීමත් අවසන් සමයේ ගත් ක්‍රියාමාර්ගවල අසාර්ථක භාවයත් නිසා බොලිවාර් තමන් සතු සියල්ල විකුණා දමා 1830 මැයි 08 වනදා බොගොටා වලින් පිටත් වුණා. විදේශ ගත වීමට උත්සාහ කළත් සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම හේතුවෙන් ඔහු සැන් මාර්ටා වෙත පැමිණියා. එහිදී ක්ෂය රෝගය වැලඳීමෙන් සිමොන් බොලිවාර් නම් අසාහාය චරිතය 1830 දෙසැම්බර් මස 17 වනදා මරණයට පත් වුණා. ඔහුගේ මළ සිරුරට අවසානයේ අන්දවා තිබුණේ ණයට ගත් කමිසයක් බව ද සඳහන්. ඔහුගේ දේහය නැවත 1876 වර්ෂයේ දී වෙනිසුවෙලාවේ නිර්මාණය වූ සොහොන් ගැබක් වෙතට රැගෙන ගියා.

විරුද්ධවාදීන් ගේ විස පෙවීමක් නිසා බොලිවාර් මරණයට පත් වූ බව සෙවීම සඳහා ඔහුගේ සිරුර 2008 දී එවකට වෙනිසියුලා නායක හියුගෝ චාවේස් ගේ අණින් ගොඩ ගත්තා. එහිදී අනාවරණය වූයේ සිමොන් බොලිවාර් ගේ සිරුරේ ආසනික් විෂ වීමෙන් ක්ෂය රෝගය උත්සන්න වූ ලක්ෂණ පෙන්නුම් කරන බව යි. කොලොම්බියාවේ පළමු ජනපති, පේරු රාජ්‍යයේ 6 වන ජනපති සහ බොලිවියාවේ පළමු ජනපති වන ඔහු අදටත් දකුණු අමරිකාව තුළ අමරණීය චරිතයක්. බොලිවියාවට එම නම අන්තර්ගත වීමටත්, වෙනිසුවෙලා මුදල් ඒකකය බොලිවාර් වීමටත් ප්‍රධාන හේතුව සිමොන් බොලිවාර් ම බවත් සඳහන් කළ යුතු යි.

කවරයේ ඡායාරූපය - සිමොන් බොලිවාර් ගේ සිතුවමක් - www.ancientorigins.com
මූලාශ්‍ර -
www.nationalgeograpic.com
www.studentsofhistory.com

Related Articles

Exit mobile version