ලාඕසය 2018 වසරේ අගෝස්තු මස පළමුවැනි දා සිට වලංගු ගමන් බලපත්‍ර දරන ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව සිය රටට ඇතුළුවීමේ ඉඩහසර ලබාදුන්නා. ලාඕසය ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්. සංචාරකයෙකුට එහි බලා කියාගන්නට ඇති ස්ථාන බොහොම යි. එහි සංචාරය කරන්නට තීරණය කර සිටින ඔබ වෙනුවෙන් අපි ලාඕසය පිළිබඳ මූලික තොරතුරු, ඉතිහාසය හා සංචාරක ස්ථාන පිළිබඳව විස්තරයක් ගෙන එන්නට අදහස් කළා.
ලාඕසයේ පිහිටීම
ගිනිකොනදිග ආසියාවේ පිහිටි රටක් වන ලාඕසය පිහිටා ඇත්තේ ඉන්දු – චීන අර්ධද්වීපයේ වයඹදිගට වන්නට යි. සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වට වූ රාජ්‍යයක් වන මෙය චීනය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, හා මියන්මාරයෙන් වට වී තිබෙනවා. ලාඕසයේ සම්පූර්ණ භූමි වපසරිය ව. කි. මී. 236,800ක් වෙනවා. මින් ව. කි. මී. 2%ක් පමණ ජලයෙන් පිරී තිබෙනවා. ලාඕසයේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 7ක් පමණ වෙනවා.
ලාඕසය කඳුකර රටක් වන අතර මෙහි උතුරුදිග ඇති සමහර කඳු මුදුන් මීටර 2,800ක් තරම් උස යි. මෙහි නැගෙනහිර හා උතුරු පෙදෙස් ඝන වනාන්තරවලින් වැසී ඇති අතර මියන්මාරය, හා තායිලන්තය සමග මායිම් වෙන්නේ මීකොං නදියෙනුයි.
ලාඕසයේ ඉතිහාසය
ලාඕසයේ මීට වසර 10,000කට පෙරත් මානවයින් විසූ බවට සාක්ෂි හමු වී තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් මීකොං ගංගා ඉවුර අසබඩ ජනාවාස බිහි වී තිබෙනවා. මේ ජනාවාස බුදු දහමෙන් බොහෝ සේ ආභාසය ලබා තිබෙනවා. මේ නිසා අදටත් එහි බහුතරය බෞද්ධයින් වන අතර ලාඕසය පුරා පැරණි බෞද්ධ සිද්ධස්ථානවල නටඹුන් හමුවෙනවා. වියැංතියැං ලාඕසයේ අගනුවර බවට පත්ව තිබෙන්නේ 1560 දී යි. කෙසේ නමුත් 1575 දී බුරුමය විසින් වියැංතියැං යටත් කරගන්නා අතර, කෙටි කලෙකින් එය නැවත ලාඕසය ගෙන එක්සේසත් රාජ්‍යයක් බිහිකිරීමට නොකෙඔ කොඋමනෙ රජතුමා සමත් වෙනවා.
17 වැනි සියවස ලාඕසයට සමෘද්ධිමත් සියවසක් වුණා. සෞලියාවොන්ග්සා රජතුමා යටතේ රට දියුණුවෙන් දියුණුවට පත් වූ නමුත් ඉක්මනින්ම එය කුඩා රාජ්‍ය ත්‍රිත්වයකට කැඩී යනවා. ලාඕසයේ බලය බිඳී යාම ප්‍රයෝජනයට ගත් සියම එහි වැඩි කොටසෙහි බලය තමන් යටතට ගන්නවා.
ලාඕසය ප්‍රංශ යටත් විජිතයක් බවට 19 වන සියවස අග භාගයේ දී පත්වෙනවා. ප්‍රංශ ජාතිකයින් වියැංතියැං නැවත ලාඕසයේ අගනුවර බවට පත්කොට පාලනය ගෙන යනවා. දෙවන ලෝක යුද සමයේ ජපානය ලාඕසය ද ආක්‍රමණය කරනවා. මේ සමයේ බිහි වූ ලාඕ ඉස්සාරා නම් කණ්ඩායමක් ප්‍රංශය නැවත් ලාඕසයට ඇතුල්වීමට ඉඩ නොදීමට සටන් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1953 දී ලාඕසයට නිදහස ලැබෙනවා. 1975 දී ලාඕසය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් වුණා.
ලාඕසයේ භූගෝලීය ලක්ෂණ හා දේශගුණය
ලාඕසයේ භූමියෙන් 70%ක් පමණ කඳුකර ලක්ෂණ පෙන්වනවා. මින් සැලකිය යුතු ප්‍රමාණයක් වන ගහනයෙන් යුතු වන අතර, ලාඕසය තුළ ඉතා දුර්ලහ ශාක වර්ග රැසක් හා සත්ත්ව විශේෂ 1,200ක් පමණ ජීවත් වෙනවා. ලාඕසයේ දකුණු හා මධ්‍යම ප්‍රදේශ මීටර 1200ක පමණ සාමාන්‍ය උසකින් යුක්ත වෙනවා. ලාඕසයේ උසම කඳු මුදුන මීටර 2,820ක උසකින් යුක්ත යි. මෙහි ජල දහරා රාශියක් ද ඇති අතර ඒවා බොහොමයක් මීකොං නදිය පෝෂණය කරනවා. මෙහි භූමියෙන් 80%ක් පමණ කෘෂිකාර්මික බිම් පිහිටා තිබෙනවා.
ලාඕසයට වර්ෂාව ලැබෙන්නේ මෝසම් මඟිනුයි. මෙහි බොහෝ ප්‍රදේශවල මැයි සිට සැප්තැම්බර් දක්වා වූ තෙත් කාලයත්, ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා වූ වියලි කාලයත් හොඳින්ම අත්දකින්නට පුළුවන්. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් පමණ වන නමුත්, කඳුකර භූමියක් හෙයින් ශීත කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 -10 දක්වා පහළ වැටීම සිදුවිය හැකියි. උස් කඳුකරවල උෂ්ණත්වය ජලය මිදෙන මට්ටමට වුව පත්විය හැකියි.
ලාඕසයේ සංචාරක ස්ථාන
ලාඕසය සංචාරය කිරීමට ඉතාම සුදුසු රාජ්‍යයක් වෙනවා. ඔබ ස්වභාව සෞන්දර්යයට ප්‍රිය කරන්නෙක් නම්, වනාන්තර මධ්‍යයෙන් පියමනින්නට කැමති අයෙක්නම් ලාඕසය තුළ එවැනි සංචාරක ස්ථාන රාශියක් තිබෙනවා.
බොකෙඔ ස්වභාවික රක්ෂිතය
බොකෙඔ ස්වභාවික රක්ෂිතය නම් කොට තිබෙන්නේ නෂ්ටව සිට 1997 දී නැවත හමු වූ කළු මුහුණ සහිත ගිබන් සත්ත්වයින් සංරක්ෂය කිරීම සඳහා යි. මේ සතුන්ට අමතරව මෙහි අලින්, වලසුන්, කොටින් හා මී හරකුන් වැනි සතුන් ද නැරඹිය හැකි යි. මෙහි මුහුදු මට්ටමේ සිට අඩි 1,600 සිට 5,000 තරම් වූ කඳු ගැට පිහිටා ඇති නිසා පක්ෂි විශේෂ රාශියක් ද නැරඹිය හැකියි. රාත්‍රියක් නැවතීමේ පහසුකම් ද මෙහි තිබෙනවා.
ෆවුසි කඳුගැටය
ලාඕසයේ හදවත ලෙස සැලකෙන ලුඅන් ප්‍රබාන්ග් නුවර 1995 වසරේ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වූයේ එහි වූ ඉපැරණි ගෘහ නිර්මාණශීල්ප අනුව සුසැදි ගොඩනැගිලි නිසා යි. මේ නගරයේ මධ්‍යයට වන්නට මීටර 100ක පමණ උසකින් යුත් ෆවුසි කඳුගැටය පිහිටා තිබෙනවා. මේ මතට නැගීමෙන් නගරයේ අලංකාරය මෙන්ම ඉතා අලංකාර ලෙස මීකොං නදිය දෙසින් හිරු බැස යනු ද දැකිය හැකියි. මේ කඳුගැටය මුදුනට වන්නට හා ඒ අතරමඟ අලංකාර මෙන්ම පැරණි බෞද්ධ විහාරස්ථාන පිහිටා තිබෙනවා.
නොන්ග් කියඋ
මෙය ලුඅන් ප්‍රබාන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති ඉතා ජනප්‍රිය සංචාරක ස්ථානයක්. මෙහි පැමිණෙන්නෙකුට ඇවිදීම, කඳු නැගීම, පාපැදි සංචාර ආදියෙහි නිරත විය හැකියි. නම් ඔඋ ගංගාව ඔස්සේ ඉදි කර ඇති පැරණි පාලමත්, පා ටොක් ස්වභාවික ගුහා සංකීර්ණයත් මෙහි නැරඹිය හැකි අලංකාර ස්ථාන අතර වෙනවා.
කුඅන්ග් සි දිය ඇල්ල
ලුඅන්ග් ප්‍රබාන්ග් සිට කි. මී. 29ක් තරම් දුරකින් පිහිටා ඇති මේ සුන්දර දිය ඇල්ල එම ප්‍රදේශයේ පිහිටා ඇති විශාලම දිය ඇල්ල යි. එය මීටර 50ක උපරිම උසකින් යුක්ත වන අතර, දිය ඇල්ල නැරඹීමට අමතරව ඒ සමග ඇති ස්වභාවික තටාකයෙහි හා තවත් තදාසන්න දිය පහරවල විනෝද වන්නටත් සංචාරකයින්ට පිළිවන්.
තැම් කොන්ග් ලො ගුහා සංකීර්ණය
පු හින් බුන් ජාතික උද්‍යානයේ පු හින් බුන් නදිය තදාසන්නව පිහිටා ඇති හුණුගල්වලින් සෑදුණු ගුහාවක් වන මෙය ගිනිකොනදිග ආසියාවේ ස්වභාවික පුදුමයන්ගෙන් එකක්. එය කි. මී. 6.5ක පමණ දිගකින් යුතු වන අතර මීටර 91ක පමණ උපරිම උසකින් යුක්ත යි. මෙහි කොනක එමරල්ඩ් පැහැති ජලය සහිත පූජනීය පොකුණක් තිබෙනවා. මෙය ඔස්සේ නදිය මතින් බෝට්ටු සවාරියක් යාම ඉතා හොඳ අත්දැකීමක් වන අතර මේ අවටින් නවාතැන් පහසුකම් සොයා ගැනීම ද ඒ තරම්ම අපහසු නැහැ.
වට් පු
වට් පු ලාඕසයේ පවතින තවත් යුනෙස්කෝ ලෝක උරුමයක්. මෙහි අර්ථය ‘කඳුකර විහාරය’ යන්න යි. මෙහි 5 වන සියවසට අයත් ඉපැරණි ප්‍රතිමා හා නටඹුන් තිබෙනවා. මේ පෞරාණිකභාවයත්, අවට පරිසරයේ සුන්දරත්වයත් නැරඹීමට නන් දෙසින් සංචාරකයින් මෙහි ඇදී එනවා.
වැන්ග් වියැං
වැන් වියැං සංචාරක නගරයට වියැංතියැං සිට පැය 4ක පමණ ගමනකින් පසු ළඟා විය හැකියි. මෙය වඩා ප්‍රසිද්ධ වී ඇත්තේ ඒ පසුබිමින් පිහිටන අලංකාර කඳු පන්තිය නිසා යි. මීට අමතරව මෙහි එක් අන්තයකින් ගලා බසින නාම් සොන්ග් ගංගාව අසබඩ විවේකීව ගත කරන්නටත් සංචාරකයින්ට හැකියාව තිබෙනවා
ඉහත සඳහන් කළ ස්ථානවලට අමතරව සංචාරක ආකර්ෂණය දිනාගත් තවත් ස්ථාන රාශියක් ලාඕසයේ පිහිටා තිබෙනවා. දිනෙක ඔබත් එහි සොබා සෞන්දර්යය විඳගන්න.
කවරයේ පින්තූරය – amari.com