මුල් කාලයේ සිටම මිනිසුන් තම අවශ්‍යතාවන්ට සරිලන පරිදි ගංගා හැඩ ගස්වන්නටත් උත්සාහ කළා. මේ උත්සාහය නිසා බිහිවන වේල්ලට සමස්ත මිනිස් ඉදිකිරීම් අතර වැදගත් තැනක් හිමිවෙනවා. වේල්ල පිළිබඳ සංකල්පය ඉතා සරල යි. එය ගඟක ජලය රඳවා තබා ගන්නා තාප්පයක්. අද වන විට මිරිදිය ජලාශ නිර්මාණය කිරීම, පාංශු ඛාදනය වැළැක්වීම, ගංවතුර පාලනය කිරීම ආදිය සඳහා වේලි භාවිතා කරන අතර, 20 වන සියවසේ සිට ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහාත් වේලි භාවිතා කිරීමෙන් පෘථිවියේ ප්‍රධානම බහුකාර්ය මානව ඉංජිනේරු ව්‍යාපෘතිවලින් එකක් බවට “වේල්ල” පත්වනවා.
කෙසේ නමුත් පාරිසරික හේතූන් හෝ ඉදිකිරීමේ දුර්වලතා නිසා මෙවන් ව්‍යාපෘති අසාර්ථක වූ අවස්ථා ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් හමුවනවා. 2000කට වැඩි ජනතාවකට දිවි අහිමි කළ ඉතාලියේ වයොං වේල්ලේ සිදුවීම එවැන්නක්. සාමාන්‍යයෙන් වේලි කැඩී යෑමෙන් ඇතිවන ජලගැලීම්වලින් මෙවැනි අනතුරු සිදුවුවත්, මෙහි විශේෂත්වය වන්නේ වේල්ලට කිසිදු හානියක් සිදු නොවීම යි.
වයොං වේල්ල ඉදිකිරීම
දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණුවීම සිදුවුණා. සෑම රටකම පාහේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සිදුකරන රාජ්‍ය වියදම් ප්‍රමාණය 75%කින් පමණ කපා හැරුණා. ඉතාලිය ද, 1950-63 කාල සීමාවේ දී සිය දළ දේශීය නිෂ්පාදිතය 6%කින් වර්ධනයකර, 1961 වෙද්දී 8.3%ක ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගන්නට සමත් වුණා. මේ හේතුවෙන් ආයෝජනයන් ගලා ආ අතර, විදුලි බල නිෂ්පාදනය අරමුණු කරගත් වයොං වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල්ගල තැබෙන්නේ ඒ අනුව යි.
වේල්ල ඉදිකෙරෙන්නේ පියාවේ ගංගාවට එකතු වන අතු ගංගාවක් වන වයොං ගංගාව හරස් කරමින්. මෙය පිහිටා තිබෙන්නේ ඉතාලියේ වැනිසියේ සිට සැතපුම් 60ක් දුරින් පිහිටි ලොන්ගරෝන් ප්‍රදේශයේ යි. ලොන්ගරෝන් නගරයට ඉහළින් ඇති කැසෝ සහ ටොක් යන කඳු ද්විත්වය යාකරමින් වයොං පටු වේල්ල ඉදිකෙරුණා. ජලාශයේ ජලය පිරවීමට සැලසුම් කළේ එම හුණුගල් කඳු අතර වූ දැඩි බෑවුමක් සහිත ද්‍රෝණියට යි. ජලාශ නිම්නයේ පතුලේ සිට, සිරස් බෑවුමක් සහිත ටොක් ශිඛරයේ මුදුනට අඩි 4800ක පමණ උසක් පවතිනවා.
1957 ජූලි මාසයේ දී ඉදිකිරීම් ආරම්භ කෙරුණු වේල්ල දෙවක් ආරුක්කු ස්වභාවයක් ගන්නවා. එහි උස මීටර 262ක් (අඩි 860) වන අතර දිග මීටර 160ක්. වේල්ලේ පතුලේ පළල මීටර 27ක් ද, මුදුනේ දී පළල මීටර 3.4ක් ද වන පරිදි නිමවා තිබෙනවා. මෙහි සමස්ත ජල ධාරිතාවය ඝන මීටර මිලියන 168 ඉක්මවනවා. වයොං වේල්ල තැනූ සමාගම වූයේ ආද්‍රියාතික බලශක්ති සංස්ථාව (SADE) යි. එහි අයිතිකරු දෙවන ලෝක යුධ සමයේ ඉතාලියේ ඇමතිවරයෙකුව සිටි අයෙක්. යුද්ධයෙන් පසු ආණ්ඩුව බිඳවැටුණත්, ඔහු නව ආණ්ඩුවල සහායෙන් ව්‍යාපෘතිය ඇරඹුවා.
විශේෂඥයින්ගේ විරෝධතා
ජලාශයට මායිම් වන ටොක් කන්දේ බෑවුම අතීතයේ නාය යාමක් සිදුවූ ප්‍රදේශයක්. වේල්ල ඉදිකිරිමේ දී ප්‍රදේශයේ වැසියන් විසින් ඒ සම්බන්ධව ඉදිකිරීම්භාර ඉංජිනේරුවරුන් හා භූ විද්‍යාඥයින් වෙත අනතුරු හැඟවූවත්, ඒ ගැන එතරම් තැකීමක් සිදුකෙරුනේ නැහැ. වේල්ල ඉදිකිරීම අරඹා වසර දෙකකට පසු, 1959 දී, ඒ අවට පාරවල පැලීම් සහ ඉරිතැලීම් ඇතිවුණු නිසා පරිසරවේදීන් විසින් මෙම ව්‍යාපෘතිය අනතුරුදායක බවත්, කන්ද අස්ථාවරබව සිය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් බලධාරීන් ඉදිරියේ කියා සිටියත්, ඒවා ද නොසලකා හැරුණා.
වේලි භූමිය අසල නායයෑම් නැවත සිදුවිය හැකි බවටත් මහා විනාශයක් ඇතිවනු ඇති බවටත් ප්‍රාදේශීය පුවත්පතක ලිපියක් පළ වන්නේ ද වේල්ල ඉදිකරන කාලයේ දීම යි. මෙය ප්‍රදේශයේ ජනතාව අතර කතාබහක් ඇති කළ නමුත්, ටික කලකට පසු රජය විසින් පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ “අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැරීම හා සාමයට බාධා කිරීම” සිදුකළා යි කියමින්. වේල්ල ඉදිකරන්නන් ජනතාවගේ ආරක්ෂාව සහතිකබව ප්‍රකාශ කළ නමුත්, මොන්ටි ටොක් කන්දෙහි ස්ථායිතාව ගැන අවිශ්වාස කළ ජනයා එය “ඇවිදින කන්ද” යනුවෙන් ද නම් කළා.
1960 වන විට ගංගා ද්‍රෝණිය පිරවීම ආරම්භ වූ අතර, ඒ වන විට වේල්ල ආණ්ඩුවේ පාලනයට පවරාගෙන තිබුණා. මේ කාලයේ දී අවට ප්‍රදේශයේ සුළු නාය යෑම් සහ භූ චලන ඇතිවුණා. පළමු ජල පිරවීමේ දී අඩි 600ක් දක්වා ජලය පිරීම සිදුවූ අතර, ජලාශය පිරවීමෙන් පසු ටොක් කඳු ශිඛරයේ ජලාශයට ඉහළින් ඇති කොටසේ විශාල පැලුමක් ඇතිවුණා. මෙය එතරම් හොඳ සලකුණක් නොවන බව ඒ වන විට බොහෝදෙනා අවබෝධ කරගෙන තිබුණා. 1960 නොවැම්බර් 4 වනදා හදිසියේම කන්දේ ඝන මීටර මිලියනයක පමණ කොටසක් නායගොස් ජලාශයට එක්වුණා. මෙය හේතුවෙන් අඩි 7ක් උස රැල්ලක් ජලාශ තලය මත ඇතිවුණු නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදු වූයේ නැහැ.
ජලාශයකට ජලය පිරවීමෙන් අසල කඳුවලට ද දිය සීරාව ගමන්කර ජලය උරා ගැනෙනවා. කඳු පෘෂ්ඨ තෙතබරිත වීමෙන් අවසානයේ පස් කොටස් ගැලවී යාම සිදුවනවා. ටොක් කන්ද ආශ්‍රිතවත් සිදුවූයේ මෙය යි. මේ නිසා නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ජලාශයේ ජල මට්ටම අඩි 450ක් දක්වා පහළ දැමීමට ඉංජිනේරුවන් කටයුතු කළා. 1961 ඔක්තෝම්බර් මාසයේ දී ජලාශයේ ඉහළ හා පහළ ප්‍රදේශ සම්බන්ධ කිරීම සඳහා උමඟක් ඉදිකිරීම ද අවසන් කෙරුනා. ඒ, හදිසියේ ඇතිවන නායයාමක දී මේ ප්‍රදේශයන් දෙක එකිනෙකින් වෙන්වීම වළක්වාලීමට යි. ඒ අතරම, කන්දේ ස්ථායීතාව නිරීක්ෂණය කිරීම සඳහා පීඩනමාන, ගවේශන ළිං ඇතුළු උපකරණ ද සවි කෙරුණා.
මහා ව්‍යසනය
1962 නොවැම්බර් මාසයේ දී අධික වර්ෂාවත් සමග, ජලාශයේ ජල මට්ටම නැවතත් අඩි 780ක් දක්වා ඉහළ ගියා. මේ සිදුවීම නිසා, අවට කඳු දිනකට අඟල් 0.5ක් බැගින් ජලාශය දෙසට චලනය වී තිබෙනවා. ජලාශයේ ජල මට්ටම නැවත පහත දැමීමට ඉංජිනේරුවන් කටයුතු කරන්නේ ඉන් අනතුරුව යි. 1963 ගිම්හාන සෘතුවේ දී ඇතිවන වර්ෂාපතනය හේතුවෙන් ජල මට්ටම අඩි 814ක් දක්වා උපරිමයකට පැමිණෙනවා. එවිට සිදුවන චලනයේ ප්‍රමාණය දිනකට අඟල් 1.2ක්. 1963 ඔක්තෝම්බර් මස 04 වනදා එය දිනකට අඟල් 8 දක්වා වැඩිවනවා. ඒ හේතුවෙන් ලොන්ගරෝන්හි වැසියන්ට ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට නිවේදන නිකුත් කිරීමට එහි නගරාධිපතිවරයා පියවර ගන්නවා. නමුත් ජලාශයේ ඉංජිනේරුවන් සහ SADE සමාගම පැවසුවේ එවැන්නක් සිදු කිරීමට තරම් ගැටලුවක් ඇතිවී නොමැති බව යි.
1963 ඔක්තෝම්බර් 09 වනදා රාත්‍රිය වන විට ජලාශයේ ජල මට්ටම සටහන් වන්නේ අඩි 782ක් ලෙස යි. ජාල මට්ටම පැවතුනේ වේල්ලේ ඉහළ කෙලවරේ සිට අඩි 80ක් පමණ පහළින්. එදින කන්දේ විශාල නාය යෑමක් ඇතිවන බවටත්, පැයට සැතපුම් 20ක පමණ වේගයෙන් ජලාශය මතත පතිතවන පස් කොටස් හේතුවෙන් විශාල රැල්ලක් නිර්මාණය වනු ඇති බවටත්, වේල්ලේ ඉහළින් ජලය යම් ප්‍රමාණයක් පහතට පැමිණෙනු ඇති බවටත්, පහත බිමේ සිටි ජනතාවට නිවේදනය කෙරුණා. අපේක්ෂා කළ පරිදිම නාය යෑමක් සිදු වූවත්, එය සියලු ගණනය කිරීම්වලට වඩා දරුණු ගණයේ එකක් වුණා.
1963 ඔක්තෝබර් 9 වන දා රාත්‍රී දහය පසුවද්දී ගසුත්, ගලුත් සමග මොන්ටි ටොක් කන්ද වේගයෙන් පහතට පැමිණෙන අයුරු වේල්ලේ ඉංජිනේරුවන් දුටුවා. නායගොස් තිබුණේ සැතපුම් 1.5ක් පමණ දිග, සැතපුමක් පමණ ගැඹුරක් ඇති සුවිසල් පස් කන්දක්. එම පස් කන්දේ ප්‍රමාණය ඝන මීටර 260,000,000ක් පමණ වූ අතර එය ජලාශයේ උපරිම ධාරිතාව මෙන් දෙගුණයක් පමණ වුණා! පැයට සැතපුම් 60 ක වේගයෙන් පැමිණි පස් සහ මඩ නිසා තත්පර 45ක් තුළ ගංඟා ද්‍රෝණිය සම්පූර්ණයෙන්ම පිරී ගිය අතර එහි රැස්කොට තිබූ ජලය ඝණ මීටර 50,000,000ක් අඩි 820ක් උසට විහිදුණු අතර, දිය රැළි දෙකක් සුනාමි රැල්ලක් ආකාරයෙන් පහළ ගම්මාන වෙත කඩාවැදුණා. ජලාශයේ ඉහත්තාවේ තිබූ ඉරටෝ නම් ගම්මානය පිටුපසට පැමිණි රළ පහරෙන් විශ්මයජනක ලෙස බේරී තිබුණා. වේල්ල දෙසට පැමිණි රළ පහර, වේල්ලේ කට මට්ටමට වඩා අඩි 330ක් පමණ උස එකක් බැවින් ටොන් මිලියන 275ක පමණ මහා ජල කඳක් වේල්ල මතින් ඉවතට ගලා ගියා. එම ගංවතුර පහළ ඇති ලොන්ගරෝන් නගරය දෙසට ගමන් කළේ එහි සිටි 5000ක් පමණ වූ ගම්වැසියන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට යි. පහළ තිබූ ගම් 5 ක් මුළුමනින්ම යට වී ගියා.
විනාශයක තරම
ලොන්ගරෝන් නගරයෙන් 80%ක් පමණ මුළුමනින් විනාශ වුණා. නගරයේ තිබූ ගොඩනැගිලි 372න් ඉතිරිව නැගී සිටියේ ගොඩනැගිලි 22ක් පමණ යි. සෙසු සියල්ලම මඩ සහ ගල්වලින් වැසී ගොස් තිබුණා. රැල්ල නිසා නගර වැසියන් 1910 දෙනෙකු මරණයට පත්වුණා. පවුල් 350ක සාමාජිකයින් මුළුමනින්ම විනාශ වී ගියා.
ජල පහර වේල්ල මතින් පැමිණ පොළවේ ගැටෙද්දී විශාල වායු ගැබක් නිර්මාණය වී තිබූ අතර, එයින් හිරෝෂිමා පරමාණු බෝම්බය පිපිරීමේ දී නිර්මාණය වුණු වායු ගැබට වඩා පිපිරුම් බලයක් නිර්මාණය වුණා. මේ නිසා මියගිය අයගේ සිරුරු බොහොමයක් හමු වී ඇත්තේ නිරුවත් ලෙස යි. වායු කුහරයේ පිපිරීම නිසා මිනිසුන් ඇඳ සිටි ඇඳුම් පවා ගැලවී ගොස් තිබුණා.
එම සිදුවීමෙන් දිවි ගලවාගත් දොළොස් හැවිරිදි මිකෙලා කොලෙටි නම් දැරියකගේ ප්‍රකාශයක දැක්වුණේ, ඇය සිටි තැන පහළින් විශාල සිදුරක් නිර්මාණය වී තමන් නිදාසිටි ඇඳ පොඩි පට්ටම් වනුත්, තමනුත් ඒ දෙසට ඇදී යනුත් දැනුණු බව යි.වායු පිපුරුම අති විශාල අකුණක් පුපුරා යන හඬින් ඇසුණු බවත්, විදුලිය ද ඇණ හිටි බවත් ඇය වැඩි දුරටත් පවසනවා. ජල කඳ ඇය සිටි ප්‍රදේශයට පැමිණ ඇත්තේ ඉන්පසුව යි. ඇයට එය මුලින් ඇසී තිබුණේ යකඩ ගොඩක් රෝල් වෙමින් තමන් දෙසට පැමිණෙන ආකාරයට යි.
පුදුමයට කරුණ වන්නේ මෙම මහා ව්‍යසනයෙන් වේල්ලේ ඉහළම කොටසට සුළු හානි සිදුවීම හැරුණුකොට වෙනත් කිසිදු ආපදාවක් සිදු නොවී තිබීම යි. විශේෂයෙන්ම වායු පිපුරුම නිසාවත් වේල්ලේ බැම්මේ පිපුරුමක් හෝ සිදුවී නැහැ. එය අදත් එලෙසින්ම ලොන්ගරෝන් නගරයට ඉහළින් නැගී සිටිනවා. නමුත් එය අද වන විට ජලාශයක් ලෙසින් භාවිතා වන්නේ නැහැ. ආපදාව සිදු වූ ස්ථානයෙන් වයොං ද්‍රෝණියට නව පොම්ප පද්ධතියක් එක් කරන ලද අතර, එය විලේ ජලය නියත මට්ටමක තබා ගැනීමට උපකාරී වනවා. එමෙන්ම වේල්ලේ බයිපාස් උමඟ ද දිගුකර තිබෙනවා. එමඟින් පියාවේ ගංගා මිටියාවතට ජලය ආරක්ෂිතව ගලා යා හැකියි. ලෝන්ගරෝන් සහ පියෙව් නිම්නයේ අනෙකුත් ගම්මාන නැවත ගොඩනඟන ලද අතර, වයොං වේල්ලේ ව්‍යසනයෙන් දිවි ගලවාගත් බොහෝ දෙනා අලුතින් ඉදිකරන ලද වයොං නම් ගම්මානයක පදිංචි කෙරුණා.
අනතුරෙන් පසු රජය එය නොතකා හරින්නට උත්සාහ කළේ, අනතුර “ස්වභාවික ව්‍යසනයක්” ලෙස අර්ථ දක්වමිනුයි. නමුත් ආණ්ඩුවට විරුද්ධ කොමියුනිස්ට් පක්ෂයකිනුත්, මාධ්‍යවලිනුත් දිගින් දිගටම එල්ල වූ පීඩනය නිසා නඩු විභාගයක් පැවැත්වුණා. එහිදී SADE සමාගමේත්, ජාතික විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කීපදෙනෙකුටත් එරෙහිව නඩු තීන්දුව ප්‍රකාශ වුණත්, ඉතාලි ආණ්ඩුව SADE සමාගමට එරෙහිව නඩු පැවරුවේ නැහැ.
අද, ලෝන්ගරෝන් ගම්මානයේ ඇත්තේ ව්‍යසනය සිහිවීම සඳහා නිර්මාණය කරන ලද අනුස්මරණ පල්ලියක් පමණ යි. එම පල්ලිය වයොං වේල්ල අසල පිහිටුවා තිබෙනවා. එහි අභ්‍යන්තරය වේල්ලට මඳක් සමාන වන අතර එහි ද කැපී පෙනෙන ලෙස බෑවුම් සහිත කොන්ක්‍රීට් බිත්ති තිබෙනවා. වේල්ලේ කොටසක් 2002 සිට මහජනතාවට විවෘතකර තිබෙනවා.
2008 දී යුනෙස්කෝ සංවිධානය විසින් වයොං ව්‍යසනය මිනිස් නිර්මාණයක් නිසා සිදුවූ ලොව විශාලතම ව්‍යසනයන් අතරින් එකක් බව ටද නම් කළා. සුවිසල් ඉංජිනේරු ව්‍යාපෘතිවල දී සුළු හෝ අනතුරු ඇඟවීමේ සලකුණක් නොසලකා හැරීමෙන් සිදුවිය හැකි දැවැන්ත විනාශය අද වයොං වේල්ල අපට මතක්කර දෙනවා.