මේ 1964 වසරේ ජූලි 14 දින යි. තරුණ කාන්තාවක් ටැන්සානියාහි ගවේෂණයක යෙදෙමින් සිටියි. ඇය ගවේෂණය කරමින් සිටින්නේ චිම්පන්සීන් පිළිබඳව යි. මේ වන විට ඇය එම කාර්යය මාස හතරක් මුළුල්ලේ කරමින් පවතියි. ඇයගේ අධ්‍යයනයෙන් ඇයට සොයාගත හැකි වූ දෙයක් වූයේ චිම්පන්සීන් ගස්වලින් කොළ අතු කඩා එයින් කොළ ඉවත් කර ඉතිරි වන කෝටු කැබැල්ල ආයුධයක් ලෙස යොදාගන්නා බව යි.
ජේන් ගුඩෝල් යනු ආයුධ භාවිතා කළ හැක්කේ මිනිසුන්ට පමණි යන මතය අභියෝගයට ලක් කළ පළමුවැනියා ය. චිම්පන්සීන් පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයෙන් ඇයට, උන් එකිනෙකා වැළඳගෙන සිපගන්නා ආකාරය හා වෛර වූ විට පළිගන්නා ආකාරය දක්නට ලැබුණි. චිම්පන්සී කණ්ඩායම්වල සිටින සමහර ගැහැණු චිම්පන්සීන් තමන්ට වඩා බාල චිම්පන්සීන් මරා දමා කණ්ඩායමේ තමන්ගේ ස්ථානය රැක ගැනීමට උත්සාහ කළ බවක් ජේන් නිරීක්ෂණය කළාය. “මගේ අධ්‍යයනයේ පළමු වාර දහය තුළ මම සිතාගෙන හිටියේ චිම්පන්සීන් මිනිසුන්ට වඩා පැති කිහිපයකින්ම ප්‍රියමනාප ලක්ෂණ පෙන්වනවා කියා. නමුත් එකපාරටම අපිට දැකගන්න පුළුවන් වුණා එයාලට මිනිස්සුන් වගේ දරුණු වෙන්න පුළුවන් කියලා.”යැ යි ජේන් මේ ගැන අදහස් දක්වා සිටියි.
ජේන් හට චිම්පන්සීන් කෙරෙහි ඇල්මක් ඇති වූයේ කුඩා කල සිටම යි. තම පියා වයස අවුරුදු එකේ දී ම තමන්ට චිම්පන්සියෙකුගේ සෙල්ලම් භාණ්ඩයක් මිල දී ගෙන දීම නිසා කුඩා කල පටන් ඇයට මෙම සතුන් කෙරෙහි ඇල්මක් ඇති වූ බව පෙනේ. ඇය මෙම සෙල්ලම් චිම්පන්සියාට ‘ජුබිලී’ යන නාමය තැබී ය. “මගේ අම්මගේ යාළුවෝ ඒ සෙල්ලම් සතාට ගොඩක් බය වුණා, එයාලා හිතුවා මේ සතා මාව බය කරලා රෑට සුවපහසු නින්දක් මට ලබාදෙන්නෙ නැතිවේවි කියලා.”යැ යි ජේන් තම කුඩා කල පිළිබඳව මතක් කරයි.
ටාර්සන් සහ ඩොක්ටර් ඩූලිට්ල් කෘති ඇයගේ කුඩා කාලයේ ප්‍රියතම කෘති අතර විය. ජේන් කුඩා කල සිට හැදී වැඩුණේ මව හා මිත්තණිය සමග යි. ඇයගේ හීනය වූයේ කවදා හෝ අප්‍රිකාව ගවේෂණය කරමින් පරිසරය පිළිබඳ විශේෂඥයෙකු වීම යි. එහෙත් වැඩිදුර අධ්‍යාපනය සදහා ඇයට මුදල් නොතිබූ නිසා ඇයට කුඩා කුඩා රැකියා කරමින් තම ජීවන වියදම් සොයාගැනීමට සිදුවිය.
1956 දී කෙන්යාවේ සිටි තම කුඩා කල මිතුරියක් ඇයට කෙන්යාවට පැමිණෙන ලෙස ඇරයුම් කළාය. සේවිකාවක් ලෙස මාස ගණනක් ඉතිරි කළ මුදල් යොදාගෙන ඇය මොම්බාසා වෙත ගුවන් ටිකට් පතක් මිල දී ගත්තා ය.
වයස අවුරුදු 26 වන විට ටැන්සානියාහි ගවේෂණය ඈ ආරම්භ කළා ය. මෙම පෙදෙස චිම්පන්සීන් කෙරෙහි එතරම් ප්‍රකට පෙදෙසක් නොවී ය. ගවේෂණයේ යෙදුණ ද ජේන් හට ඒ පිලිබඳව උපාධියක් තිබුණේ නැත. තිබුණේ පරිසරය සතා සිවුපාවන් කෙරෙහි ඇල්ම පමණි.
ජේන්ගේ සොයාගැනීම් මිනිසාගේ චිම්පන්සීන් කෙරෙහි තිබූ මතයන් බොහෝ දුරට වෙනස් වීමට හේතු විය. චිම්පන්සීන්ගේ හැඟීම් හදුනාගැනීමට ඇයට හැකි වූ අතර උන් ශාක භක්ෂක පමණක් නොවන බව සොයාගත්තේ ද ඇය යි. දඩයම් කිරීමට යන චිම්පන්සි කණ්ඩායම කොලොබස් වඳුරෙක්ව ගසක් මත තනි කර ඌට පැන යාමට ඇති ඉඩ අහුරා එම වඳුරාව මරා ආහාරයට ගැනීම ඇය අධ්‍යයනය කළා ය. චිම්පන්සීන් හාදු දීම, වැළඳ ගැනීම, පිටට හේත්තු වී සිටීම, හා කිති කැවීම වැනි මනුෂ්‍ය ක්‍රියාකාරකම් අධ්‍යයනය කළා ය.
ඇය ‘In the Shadow of Man’ නමින් එළිදැක්වූ කෘතියේ අඩංගු වූ කරුණු බොහෝ විවේචනයට ලක් වූ අතර ඒ හේතුවෙන් තමන් කරමින් සිටි උපාධියෙන් ද ඇයව නෙරපන ලදී. ඇය පරීක්ෂාවට ලක් කළ චිම්පන්සීන්ට අංක නොදී ‘ෆිෆි’ සහ ‘ඩේවිඩ් ග්‍රේබියර්ඩ්’ වැනි විවිධ නාමයන් දුන්නා ය. මෙය එකල මේ පිලිබඳ විශේෂඥයන්ගේ විවේචනයට ලක් විය. මෙසේ බොහෝ විවේචනයන්ට ලක් වුව ද වර්තමානය වන විට ඇයගෙන් සිදු වූ සේවය අති මහත් ය. එකල සම්මතයේ තිබූ කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකළ මතවාදයන් ඇය දැඩි අභියෝගයකට ලක් කළා ය.
ඇගේ පෞද්ගලික ජීවිතය ගත් විට ඇය දෙවරක් විවාහ විය. 1964 දී ඇය ඡායරූප ශිල්පියෙකු වූ හියුගෝ වැන් ලැවික් සමග විවාහ වූ අතර ඔවුන් දෙදෙනාට එක් පිරිමි දරුවෙක් විය. 1974 දී ඔවුන් දෙදෙනා දික්කසාද විය. ඉන් වසරකට පසු ඇය ටැන්සානියාහි මන්ත්‍රීවරයෙක් වූ ඩෙරෙක් බ්‍රයිසිසන් සමග විවාහ විය. ඔහු 1980 දී පිළිකාවක් වැළඳී මියයන ලදී. තමන් දෙවියන් ගැන කුමන අදහසක් දරනවාදැ යි ඇයගෙන් ඇසූ විට ඇය පැවසුවේ මෙවන් අදහසක්; “මට කිසිම අදහසක් නැහැ දෙවියන් කියන්නේ කවුද, මොකක්ද කියලා. ඒත් මම ආත්මීය ශක්තියක් ගැන විශ්වාස කරනවා. වනාන්තරයේ ඉද්දී ඒ දේ හොඳටම මට දැනෙනවා. ඒ දේ මොකක් වුණත් මට වඩා විශාල ශක්තිමත් දෙයක්. ඒක මට දැනෙනවා. මට ඒ ඇති.”
ඇය කළ සේවය උදෙසා ගෞරව නාම විශාල ප්‍රමාණයක් ලැබුණු අතර සම්මාන 50කට අධික සංඛ්‍යාවක් හිමි විය. ඇය විසින් තම ජීවිත කාලය පුරාවට කළ ගවේෂණවලින් ලත් දැනුමෙන් කෘති 30කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර, ඇයගේ ජීවිත කතාව අළලා චිත්‍රපට 40කට අධික ප්‍රමාණයක් ද නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.
මූලාශ්‍රයයන්:
unbelievable-facts.com
කවරයේ පින්තූරය – ජේන් ගුඩෝල් චිම්පන්සියෙක් සමග (pinterest.com)