තුන් දාර කැස්බෑවා, තෙල් කැස්බෑවා හෝ වවුල් කැස්බෑවා යන නමින් හඳුන්වන කැස්බෑ වර්ගයේ පිරිමි සතුන් කිසිවිටෙකත් මුහුදින් ගොඩට නොඑන අතර වැඩිහිටි සතෙකුගේ බර සාමාන්‍යයෙන් කිලෝ නමසියයකට වැඩි වේ. විශාල ඇඳක තරම් ප්‍රමාණයෙන් ලොකු මෙම කැස්බැ වර්ගය ලොව බරින් වැඩිම සහ විශාලතම උරගන් වර්ගයක් ලෙස සැලකෙන අතර අන් කැස්බා වර්ග ලෙසම බිත්තර දැමීමට ගැහැණු සතුන් ගොඩබිමට පැමිණේ. ලොව සිටින මුහුදු කැස්බෑවන් වර්ග හයක් අතරින් වර්ග පහක්ම ලංකාවේ වෙරළ තිරයට කාලයකට වරක් පැමිණෙන්නේ බිත්තර දැමීම සඳහායි.
මෙම ලිපියේ අප දක්වා ඇත්තේ ලංකාවට පැමිණෙන මෙම මුහුදු කැස්බෑ වර්ග පහ පිලිබඳ කෙටි සටහනකි.
1. බටු කැස්බෑවා/මඩ කැස්බෑවා (Lepidochelys olivacea)
ලංකාවේ වෙරල තිරයේ සැරිසරන කැස්බෑවුන් අතරින් බරින් සහ ප්‍රමාණයෙන් කුඩාම ලෙස සැලකෙන මෙම කැස්බෑ වර්ගයේ පිටතින් ඇති කටුවේ ලා කොළ/අළු පැහැය නිසාම ඔවුන්ට මෙම නම වැටී ඇත. මෙම කැස්බෑවුන් දිගින් සෙන්ටිමීටර් 80 පමණ වන අතර ඔවුන්ටම ආවේනිකවූ වකුටු වූ උඩු ඇන්ද නිසා හඳුනාගැනීම පහසු වේ.
ලංකාවේ වැල්ල ආසන්න ප්‍රදේශ වල කැදලි තැනීමට පැමිණෙන මෙම බටු කැස්බෑවන් සතුන් සියගණනක් හෝ, විටෙක දහස් ගණනකින් පමණ සමන්විත වන කැදලි සංකීර්ණ සාදන අතර එක බටු කැස්බාවකු වරකට සෙන්ටිමීටර් 3-4.5 පමන දිගින් යුත් බිත්තර 50-160 අතර ප්‍රමාණයක් දමයි. සති 6-8 පමණ කාලයකදී බිත්තර වලින් පිටතට පැමිණෙන කැස්බෑ පැටවුන් වෙරල තිරයෙන් කෙලින්ම යන්නේ මුහුදටය.
2. පොතු කැස්බෑවා (Eretmochelys imbricata)
ඔලිව් කොළ පැහැති පිටත කටුවක් සහිත පොතු කැස්බෑවා සාමන්‍යයෙන් තරමින් විශාල වන අතර මොවුන්ගේ හක්ක/ඇන්ද ඉදිරයට නෙරා ගොස් සිහින් වන්නේ කුරුල්ලෙකුගේ හොටයක් මෙනි. බොහෝවිට ගල්පර, මෝය ආශ්‍රිත පෙදෙස්, කලපු සහ bays වල දක්නට ලැබෙන මෙම කැස්බෑ විශේෂය වඩාත් ප්‍රිය කරන්නේ ඇල්ගී, කොරල් සහ ගල්මාළු ආහාරයට ගැනීමටය.
පොතු කැස්බෑවුන් වරකට බිත්තර 175 පමණ දමන අතර පැටවුන් පැමිණීමට මාස දෙකක් පමණ ගත වේ. පොතු කැස්බෑ මස් විෂ සහිත වන අතර ඒ ආශ්‍රිත මරණ කිහිපයක් වාර්තා වී ඇතත්, මොවුන් වඳවියාමේ තර්ජනයට ලක්ව ඇත්තේ කැස්බෑ කටු වලින් කරන විවිධ පනා, ආභරණ ආදිය සඳහා දඩයම් කිරීම නිසාය.
3. කණ්නාඩි කැස්බෑවා, ඔළු ගෙඩි කැස්බෑවා (Caretta caretta)
මීටර් 1.2 පමණ දිගට වැඩෙන කන්නාඩි කැස්බෑවන් පහසුවෙන් හඳුනාගතහැක්කේ ඔවුන්ගේ රතු දුඹුරු වර්ණය සහ විශාල හිස නිසාය. කලපු, මෝය සහ මුහුදු බොකු ආශ්‍රිතව වෙසෙන මෙම කැස්බෑ වර්ගය crustacean සහ mollusc සතුන් ආහාරයට ගන්නේ ඒ සඳහාම පරිනාමය වූ උල් හොටය භාවිතයෙනි.
ඉතා දුර්ලභ මෙම කන්නාඩි කැස්බෑවා ලංකාවේ දකුණු සහ ගිනිකොණ වෙරළාශ්‍රිතව සැප්තැම්බර් සහ මාර්තු මාස වලදී දැකගත හැකිය.
කන්නාඩි කැස්බෑවා වරකට බිත්තර 175 පමණ දමන අතර පැටවුන් එන්නේ බිත්තර දමා මාස දෙකකට පමණ පසුවය.
4. ගල් කැස්බෑවා, මස් කැස්බෑවා, වැලි කැස්බෑවා (Chelonia mydas)
තරමක් විශාල ප්‍රමාණයකට වැඩෙන ගල් කැස්බෑවාගේ කටුව ඔලිව් හෝ දුඹුරු පැහැයක් ගන්නා අතර කටුව උඩින් බැලීමේදී පපුවක හැඩරුවට සමාන වේ. අන් කැස්බෑවුන් මෙන් වකුටු වූ හොටයක් මෙම වර්ගයට නොමැති අතර පිරිමි සත්වයා ගැහැණු සත්වයාට වඩා තරමින් කුඩා වේ.
මෙම කැස්බෑ වර්ගය වසර පුරාම බිත්තර දමන අතර කැදැල්ලක සාමාන්‍යයෙන් බිත්තර 100-175 පමණ දැකගත හැක. අන් කැස්බෑවුන් මෙන්ම මෙම වර්ගයේද බිත්තර දමා මාස දෙකක් පමණ විට පැටවුන් පැමිණේ.
නිවර්තන කලාපිය මුහුදු වල වැඩිලෙස සැරිසරන මෙම කැස්බෑවුන් වැල්ල සහිත දුපත් වල වැඩි වශයෙන් දැකගත හැක.
5. තුන් දාර කැස්බෑවා, තෙල් කැස්බෑවා, වවුල් කැස්බෑවා (Dermochelys coriacea)
මුහුදු කැස්බෑවුන් අතරින් පමණක් නොව, ලොව වසන සියලු උරගයින් අතරින්ද විශාලතම වර්ගය ලෙස සැලකෙන තුන් දාර කැස්බෑවා ලොව වේගවත්ම කැස්බෑ වර්ගය ලෙසද නම්දරයි.
දියවැල් (currents) හරහා විශාල දුරක් ගමන් කරන මෙම කැස්බෑ වර්ගය මීටර් 1200 තරම් ගැඹුරු මුහදේ කිමිදේ. මෙම වර්ගයේ පිටතින් ඇත්තේ කටුවකට වඩා වෙනස් අධික ඝනකමින් යුත් සමකි, මෙම වර්ගයේ වැඩිහිටි කස්බාවකු දිගින් මීටර් 2.5 පමණ වන අතර ඉහත සඳහන් කල විශේෂිත පිට කටුවේ ඇති දාර මගින් මෙම කැස්බෑ වර්ගය හඳුනාගත හැක.
දැල්ලන්, ඇල්ගී වර්ග සහ jellyfish ආහාරයට ගන්නා මෙම කැස්බෑ වර්ගය සාමාන්‍යයෙන් මුහුදේ සිටින jellyfish ගහනය පාලනය කරන අතර මොවුන්ගේ කැදලි ඉතා ගැඹුරට හාරනු ලබයි.
එක කැදැල්ලක බිත්තර 130 පමණ දැකගත හැකි අතර බිත්තරයක් සෙන්ටිමීටර් 5 පමණ දිගකින් යුත් වේ.
මෙහි දක්වා ඇති කැස්බෑ වර්ග සියල්ලම ලංකාවේ දැනට පවතින නීතියෙන් ආරක්‍ෂිත වන අතර එම වර්ග සියල්ලම වඳවීයාමේ තර්ජනයටද ලක් වී තිබෙන්නේ සාගර දුෂණය, මාළු දැල් සහ කැස්බෑ දඩයම්කරුවන් නිසාය. නමුත් ඒ පිලිබඳ විස්තර කිරීමට නම් තව වෙනම ලිපියක් ලිවීමට සිදුවේ.
පහත සඳහන් මුලාශ්‍ර වලින් කරුණු උපුටාගන්නා ලදී.
A photographic guide to the Snakes and other reptiles of Sri Lanka by Indraneil Das and Anslem de Silva (Published by New Holland Publishers, UK)
Creature Report by Grosset and Dunlap (Published by the Penguin Group)