සියවස් ගණනාවක් තිස්සේ ඉන්දියානුවන්ගේ නොමඳ අවධානය දිනා ගත් පැරණි ම සංස්කෘතික සාම්ප්‍රදායක් ලෙස ‘නැටුම් කලාව’ හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්දියානු සංස්කෘතිය වර්ණවත් කරන සම්භාව්‍ය නැටුම් සියල්ල ම පාහේ ආරම්භ වී ඇත්තේ දෙවිවරුන් සඳහා සිදුකරනු ලබන පූජාවන් ලෙස වන අතර බොහෝමයක් ඉන්දියානු නැටුම් ලතාවන් සමන්විත වන්නේ පොදු අත් මුද්‍රා කිහිපයක් කේන්ද්‍ර කරගෙන යි. එසේ ම ඇතැම් නර්තනාංග මඟින් ඉන්දියානු ජන සමාජය තුළ ප්‍රචලිත පුරාවෘත්තයන් හි දැක්වෙන කථාන්තරයන් නිරූපණය කිරීම ද සිදුවෙනවා.
මුල් කාලයේ දී දෙවිවරුන් වෙනුවෙන් කැප කරන ලද දෙවොල් තුළ රඟ දැක්වූ සම්භාව්‍ය ඉන්දියානු නැටුම්, අද වන විට සැණකෙළි, විවාහ මංගල්‍යයන්, බොලිවුඩ් චිත්‍රපටි වැනි නොයෙක් මාධ්‍යයන් ඔස්සේ ඉන්දියානු සංස්කෘතිය ලොවට විදහා දක්වන සොඳුරු අංගයක් බවට පත් වී අවසන්. ඉන්දියානුවන් අතර පමණක් නොව ලොව පුරා රටවල් බොහෝමයක ජනප්‍රිය සම්භාව්‍ය ඉන්දියානු නැටුම් හි මූලාරම්භය සිදු වූ ආකාරය ඔබ දැන සිටියා ද? මේ ලිපිය ප්‍රකට ඉන්දියානු සම්භාව්‍ය නර්තනාංග කිහිපයක් ගැන යි.
භරතනාට්‍යම්
තමිල්නාඩු සහ කර්ණාටක යන දකුණු ඉන්දියානු ප්‍රාන්තයන් හි වඩාත් ජනප්‍රිය ‘භරතනාට්‍යම්’ නැටුම් කලාවේ ආරම්භය සිදු වී ඇත්තේ අදින් වසර 2,000කට පමණ පෙර යි. ඉන්දියානුවන්ගේ විශ්වාසය අනුව බ්‍රහ්ම දෙවිඳුන් විසින් පූජනීය නැටුම් කලාවක් ලෙස සැලකෙන භරතනාට්‍යම් හි නියැලෙන අයුරු භරත නම් ප්‍රකට ඍෂිවරයාට හෙළිදරව් කර ඇති අතර, පසු ව ඔහු විසින් එය ‘නාට්‍ය ශාස්ත්‍ර’ නමින් සංස්කෘතික බසින් ලේඛනගත කර තිබෙනවා. සාම්ප්‍රදායික ව තනි නැටුම් ශිල්පිනියක් විසින් රඟ දක්වනු ලබන භරතනාට්‍යම් කලාව සැලකෙන්නේ ඉන්දියානු සංස්කෘතිය සතු පැරණි ම සම්භාව්‍ය නර්තනාංගය ලෙස යි. දකුණු ඉන්දියාවේ පැරණි කෝවිල් බොහෝමයක භරතනාට්‍යම් හි යෙදෙන නළඟනන්ගේ බිතු සිතුවම් සහ මූර්ති දැකගැනීමට හැක. ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වන අන්දමට එය ‘භාව’ හෙවත් හැඟීම් සහ සිතුවිලි, ‘රාග’ හෙවත් ස්වරයේ මධුරතාවය, සහ ‘තාල’ හෙවත් රිද්මය ඉස්මතු වන අයුරින් රඟ දැක්විය යුතු වෙනවා.
කතකලි
කේරළයෙන් බිහි වූ ‘කතකලි’ නැටුම් කලාවේ දී මූලික වශයෙන් සිදුවන්නේ නර්තනයක් අනුසාරයෙන් කථාන්තරයක් කියාපෑම යි. කතකලි නර්තනයේ ඇති විශේෂත්වයක් ලෙස සංගීතය සමග මුසු වූ දෑත් සහ දෙපා හැසුරුමට අමතර ව අදහස් පෙන්නුම් කිරීම සඳහා මුහුණෙන් අභිනයන් දැක්වීම හැඳින්විය හැකියි. එහි දී කතකලි නර්තනයේ යෙදෙන නැටුම් ශිල්පීන් දීප්තිමත් වර්ණ යොදාගනිමින් සංකීර්ණ රටා මතු වන ලෙස මුහුණු වර්ණ ගැන්වීම සිදුකරනවා. එසේ ම කේරළ ප්‍රාන්තය තුළ පිළිගත් පැරණි සටන් ක්‍රම සහ ක්‍රීඩා චාරිත්‍ර දැක්වීම සඳහා ඔවුන් වෙස් මුහුණුවලින් සහ අලංකාර ඇඳුමෙන් සැරසෙන අවස්ථා ද නැතුවා ම නොවෙයි. අදින් වසර 1,000කට පමණ පෙර නිර්මාණය වූ බවට සැලකෙන කතකලි නැටුම් කලාව සඳහා රාමායණය සහ ශිව දෙවිඳුන්ගේ චරිතය ඇසුරු කර ගනිමින් බිහි වූ ජනශ්‍රැතීන් ඉහළ දායකත්වයක් ලබාදෙන්නට ඇති බව යි ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ.
කතක්
‘ප්‍රේමයේ නර්තනය’ ලෙස සැලකෙන ‘කතක්’ නැටුම් කලාවේ ඇරඹුම සිදු වී ඇත්තේ නිරතුරු ව ම සංචාරයේ යෙදීම ප්‍රිය කළ උතුරු ඉන්දියානු කවියන් හේතුවෙන්. ඔවුන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සංචාරය කරමින් සංගීතය සහ නැටුම් යොදාගනිමින් පැරණි පුරාවෘත්තයන් ප්‍රචලිත කිරීම සිදු කළ බව යි සඳහන් වන්නේ. කතක් නැටුම් සඳහා වැඩි වශයෙන් පදනම් වී ඇත්තේ රාධා සහ ක්‍රිෂ්ණා අතර පැවති සදාකාලික ආදරය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ ජනශ්‍රැතීන් ය. එය බොහෝ විට රඟ දක්වා ඇත්තේ රජවරුන් සහ වංශවතුන් පිනවීම සඳහා යි. එසේ ම මූගල් රාජ සමයේ දී කතක් නර්තනාංග වඩාත් ශෘංගාරාත්මක ලෙස හැඩ ගැසුණු බව යි සඳහන් වන්නේ.
මනිපුරි
රාධා සහ ක්‍රිෂ්ණාගේ සදාකාලික ආදරය පදනම් කර ගනිමින් ඊශාන දිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයෙන් බිහි වූ ‘මනිපුරි’ නැටුම් කලාව වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙන්නේ විවාහ මංගල්‍යයන් සහ හින්දු ආගමික සැණකෙළිවල දී යි. අනෙක් නර්තනාංගයන්ට සාපේක්ෂ ව මනිපුරි නැටුමේ දී සුමට සහ සුන්දර චලනයන් මතින් නිම වූ වඩාත් රිද්මයානුකූල රැඟුම් දැකගැනීමට ලැබෙනවා. ඇතැම් විටෙක යුගල නර්තනයක් ලෙස කලඑළි බසින මනිපුරි නැටුම් කලාවේ දී නළඟනන් බොහෝ විට සැරසෙන්නේ අලංකාර ලෙස හැඩ ගන්වන ලද හැඩයෙන් බරණියක් හා සම ‘කුමිල්’ නම් සාම්ප්‍රදායික මනිපූර් මංගල ඇඳුමෙන්. සාමාන්‍යයෙන් නැටුමට අමතර ව මනිපුරි නර්තනාංගයක දී පොතේගුරු විසින් කථාන්තරය විස්තර කිරීම සහ සමූහ ගායනාවන් සිදුවෙනවා.
කුචිපුඩි
අනෙකුත් නැටුම් කලාවන් හි දී මෙන් ම ‘කුචිපුඩි’ නර්තනයේ දී නැටීම සහ ගීත ගායනය යන ක්‍රියා ද්විත්වය ම සිදුකරන්නේ අදාළ නැටුම් ශිල්පීන් විසින්. ගිනිකොන දිග ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙන් බිහි වූ කුචිපුඩි නර්තනය, මුල් කාලයේ දී රඟ දක්වා ඇත්තේ පුරුෂයන් විසින් වුව ද වර්තමානයේ දී වැඩි වශයෙන් එහි නිරත වන්නේ කාන්තාවන් වන අතර එහි පියවරයන් විශාල වශයෙන් පූජා චරිත්‍ර මත පදනම් වී තිබෙනවා. ඒ අනුව කුචිපුඩි නර්තනයක් අතරතුර දී ශුද්ධ වූ දිය ඉසීම, සුවඳ දුම් දැල්වීම, සහ දෙවියන් යැදීම බහුල වශයෙන් සිදුවන අතර එය ඉන්දියාව තුළ ජනප්‍රිය පූජා නර්තනයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. බොහෝ විට කුචිපුඩි නැටුම් රඟ දැක්වෙන්නේ ක්‍රිෂ්ණා හෝ විෂ්ණු දෙවිඳුන් උදෙසා යි.
ඔඩිසි
නැගෙනහිර දිග ඉන්දියාවේ වෙරළබඩ ප්‍රාන්තයන් ආශ්‍රිත ව බිහි වූ ‘ඔඩිසි’ නැටුම් කලාව, අතිශය සංකීර්ණ නර්තනාංගයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ශිව, සූර්යා, සහ ශක්ති වැනි හින්දු දෙවිවරුන් වෙනුවෙන් රඟ දැක්වෙන එය කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් නිර්මාණය කර ඇති නර්තනයක් වන අතර එහි එන චලනයන් බොහෝමයක් පැරණි දේවාලයන් හි දැක්වෙන දේව ඉරියව් හි අනුකරණ ලෙස සැලකෙනවා. ප්‍රකාශක නැටුමක් වන ඔඩිසි නර්තනයේ දී යොදාගන්නා මුද්‍රා සංඛ්‍යාව 50 ඉක්මවන බව යි වාර්තා වන්නේ. එසේ ම පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මඟින් හෙළිදරව් වී ඇත්තේ අදටත් භාවිතයේ පවතින පැරණි ම ඉන්දියානු සම්භාව්‍ය නර්තනාංගය, ඔඩිසි නැටුම් කලාව බව යි.
කවරයේ පින්තූරය : © Pordeshia