වෙරළ සාද සහ රාත්‍රී සමාජ ශාලා තුළ දිය වී යන තාරුණ්‍යය

මීට පෙර අවස්ථාවක දී අප ශ්‍රී ලාංකේය බාහිර සමාජ ස්ථරයට යටින් ක්‍රියාත්මක වෙමින් ක්‍රමයෙන් හිස ඔසවන කෙම්සෙක්ස් සහ එහි බලපෑම පිළිබඳ සාකච්ඡා කරනු ලැබුණා. නමුත් මෙවන් සමාජ ගැටළු විවෘත සාකච්ඡාවට බඳුන්වීමේ දී ඒ කෙරෙහි සමාජය දක්වන ඇතැම් ආකල්ප හරහා පෙනී යන්නේ, තත්ත්වය ඉතා අහිතකර ලෙස උද්ගතව ඇති වටපිටාවක් තුළ පවා, නිසි අවබෝධයක් නොමැතිකමින් හෝ විශ්ලේෂණාත්මක, ගවේෂණාත්මක දැනුම හඹා නොයෑම නිසා මෙවැනි කාරණා කෙරෙහි විරෝධාකල්ප ගොඩනැඟෙන බව යි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙවැනි සිදුවීම් කෙතරම් සුලබව, සංවිධානාත්මකව සිදුවේ ද යන්න හඳුනා ගැනීම නොවලහා සිදුකළ යුත්තක් බව පැහැදිලිව පෙනී යන කරුණක් වී තිබෙනවා. 

බොහෝ අවස්ථාවල දී මත්ද්‍රව්‍ය නාමයන් ඒ අයුරින්ම සමාජගත කිරීම හා ලිංගික ක්‍රියාකාරකම් ආශ්‍රිත කාරණා සමාජ ගතකිරීම නොකළ යුතු බවත් ඒ හරහා කූට ලෙස ඇබ්බැහිකාරක මත්ද්‍රව්‍ය සහ ලිංගික ක්‍රියාකාරකම් සඳහා සමාජය හුරු කරවන බවත්, බොහෝ දෙනා විශ්වාස කරන බව පැහැදිලි ලෙස අනාවරණය වනවා. මේ සඳහා ඉතා පැහැදිලි විග්‍රහයක් සමාජගත කිරීම ඉතා වැදගත් බව ඒ අනුව පෙනී යන කාරණාවක් වී තිබෙනවා. 

වෙරළ සාද, රාත්‍රී සමාජ ශාලා සාද හා එහි ස්වභාවය

ශ්‍රී ලංකා අන්තරායකර ඖෂධ පාලන ජාතික අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වෙරළ සාද සහ රාත්‍රී සමාජශාලා සාද ආශ්‍රිතව සිදුකළ පර්යේෂණ තුළින්, මත්ද්‍රව්‍ය දුර්භාවිතය තුළින් සිදුවන සමාජ, ආර්ථික, වෛද්‍යමය, නෛතික හා වසංගතමය තත්වයන් පිළිබඳ විශ්ලේෂණාත්මක හා ගවේෂණාත්මක විවරණයක් සිදුකර තිබෙනවා. ඒ හරහා මෙතෙක් මෙවැනි මාතෘකා සමාජගත කිරීමේ දී ඇතිවන බොහෝ ගැටළු සඳහා ඉතා නිවැරැදි හා නිරවුල් පිළිතුරු ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන් මේ සඳහා කොළඹ හා ඒ අවට තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත රාත්‍රී සමාජශාලා සහ වෙරළ සාද පර්යේෂණ නියැදීන් ලෙස යොදාගෙන තිබේ. ඊට අමතරව අවශ්‍ය තොරතුරු රැස් කිරීමේ දී,

  • රාත‍්‍රී සමාජශාලාවල අධ්‍යක්‍ෂවරුන්/ කළමනාකාරවරුන්
  • රාත‍්‍රී සමාජශාලාවල මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්
  • සමාජශාලාවල ආරක්‍ෂක නිලධාරී/ පහළ ශ්‍රේණියේ සේවකයෙක්
  • අදාළ ප‍්‍රදේශයේ පොලිස් නිලධාරීන් 
  • අදාළ ප‍්‍රදේශයේ ඖෂධහලක හිමිකරුවෙක්/ ඖෂධවේදියෙක්
  • සමාජ මාධ්‍ය භාවිත කරමින් සමාජ ශාලා සාද ප‍්‍රවර්ධනය කරන පුද්ගලයෙක්

යොදාගෙන ඇති අතර ඒ හරහා තොරතුරු පිළිබඳ නිරවද්‍යතාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. 

ඇතැම් වෙරළ සාද බොහෝවිට අවසාන වන්නේ ඉතා අප්‍රසන්න අත්දැකීම් ඉතිරි කරමින් (Micheal Manning via Flickr)

මීට අමතරව සහභාගීත්ව නිරීක්ෂණය හරහා රාත්‍රී සමාජශාලා තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ගේ චර්යාවන්, මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය වන අයුරින් අභ්‍යන්තර හා බාහිර පරිසරය සකස් වී ඇති ආකාරය, මත්ද්‍රව්‍ය සංසරණය වන ආකාරය, සාද සංවිධානය වන ආකාරය, ඒවා තුළ භාවිතයට ගැනෙන උප සංස්කෘතික චර්යා රටා, සංකේතාත්මක අංග වැනි කාරණා හරහා පර්යේෂණයේ දත්තවල නිරවද්‍යභාවය තහවුරු කර තිබුණා. ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව තුළ පවා ප්‍රධාන නගර ආශ්‍රිතව සමාජශාලා කේන්ද්‍ර කරගත් විනෝදකාමී ක්‍රියාකාරකම් මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය වෙමින් පවතින බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ හරහා හිපොප්, විද්‍යුත් නර්තන සංගීතය (EDM) වැනි ක්‍රියාකාරකම් හරහා තුරුණු පිරිස් එම ස්ථානවලට ඇදගැනීමේ ක්‍රමවේදයක් සමාජශාලා හිමිකරුවන් භාවිතා කරන බව සඳහන් වෙනවා. එමෙන්ම මෙම ඒකාරාශිවීම් තුළ දී, අපරාධකාරී චර්යා, මත්ද්‍රව්‍ය අලෙවිය, භාවිතය සහ ප්‍රවර්ධනය මෙන්ම අපචාරී චර්යා වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුවන බව ඔවුන් හඳුනාගෙන තිබුණා. මීට අමතරව මත්ද්‍රව්‍ය භාවිතය සමඟ සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටීමේ අනාරක්ෂිත, අපගාමී, අවධානම් චර්යා සඳහා තරුණ ප්‍රජාව යොමු වීමේ ප්‍රවණතාවක් ද මෙවැනි ස්ථානවල දී හඳුනාගැනීමට හැකි වූ බව ඔවුන් සඳහන් කර තිබෙනවා. 

අන්තරායකර ඖෂධ පාලන ජාතික අධිකාරිය මඟින් සිදුකර ඇති මෙම පර්යේෂණය හරහා ඔවුන් ප්‍රධාන කරුණු ද්විත්වයක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

  • වෙරළ සාද සහ රාත්‍රී සමාජශාලා සාද අතර මත්ද්‍රව්‍ය භාවිතයේ තත්ත්වය සහ එහි නව ප්‍රවණතාවන් මොනවා ද?
  • අදාළ සංදර්භය තුළ ක්‍රියාත්මක වන උප සංස්කෘතික රටා සහ ඒවා හරහා මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය වන්නේ කෙසේ ද? 

ඒ අනුව පැහැදිලිව පෙනී ගොස් තිබුණේ මෙම සංදර්භය තුළ ඇම්ෆිටමින් වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ මට්ටම පවතින බව යි. ඇම්ෆිටමින් භාවිතයේ ගෝලීය ප්‍රවණතාවය හා සසඳන විට ශ්‍රී ලංකාව තුළ මේවා ඉතා බහුලව භාවිතයට ගැනීම සිදු නොවුණත්, රාත්‍රී සමාජශාලා සාද සහ වෙරළ සාද ආශ්‍රිතව මෙම වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතය වාර්තා වීම අඛණ්ඩව සිදුවන බව ඔවුන් හඳුනාගෙන තිබුණා. 

පර්යේෂණ අරමුණු:

  • ඇම්ෆිටමින් වර්ගයේ මත්ද්‍රව්‍ය හා රාත‍්‍රී සමාජශාලාවල භාවිතා වන මත්ද්‍රව්‍යවල ස්වාභාවය, ඒවා භාවිතයේ ස්වභාවය සහ ඒ ආශි‍්‍රත ප‍්‍රවණතාවන් හඳුනාගැනීම.
  • රාතී‍්‍ර සමාජ ශාලා ආශි‍්‍රත මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ උප සංස්කෘතික සාධක සහ පුද්ගල චර්යාවන්වල ස්වභාවය අධ්‍යයනය කිරීම.
  • රාත‍්‍රී සමාජශාලවල මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ගේ ප‍්‍රජා හා සමාජ පැතිකඩ නිර්ණය කර ගැනීම.
  • ඇම්ෆිටමින් වර්ගයේ මත්ද්‍රව්‍ය හා සමාජශාලාවල භාවිතා වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවත්නා විවිධ මිථ්‍යා මත හඳුනාගැනීම.
  • සමාජශාලා මත්ද්‍රව්‍ය සහ අනෙක් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය වර්ග භාවිතය අතර සබඳතාවයක් පවතින්නේ නම් එය හඳුනාගැනීම.
  • ඇම්ෆිටමින් වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතය හා සමාජශාලා ආශ‍්‍රිත මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීම හා නිවාරණය උදෙසා සුදුසු උපායමාර්ග සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම.
තුරුණු ජීවිත මේ හරහා වේගයෙන් විනාශය කරා රැගෙන යයි (iStock sturti)

පර්යේෂණ ප‍්‍රශ්න:

  • රාත‍්‍රී සමාජශාලා සහ වෙරළ සාද ආශ‍්‍රිතව භාවිත වන මත්ද්‍රව්‍ය වර්ග, ඒවා භාවිත කරන රටාවන් සහ ඒ ආශ‍්‍රිත චර්යාවන් වල ස්වාභාවය කෙබඳු ද?
  • රාත‍්‍රී සමාජශාලා ආශ‍්‍රිත මත්ද්‍රව්‍ය භාවිතයේ නව ප‍්‍රවණතා මොනවා ද?
  • සමාජශාලා ආශ‍්‍රිතව මත්ද්‍රව්‍ය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන උපායමාර්ග මොනවා ද?
  • ඇම්ෆිටමින් වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධව පුද්ගලයින් විසින් නිර්මාණය කරගෙන  ඇති මිථ්‍යා විශ්වාස මොනවා ද?
  • සමාජශාලාවල මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ගේ ප‍්‍රජා සමාජ පැතිකඩ සකස් වී ඇත්තේ කෙසේ ද?

මොනවද “සමාජශාලා මත්ද්‍රව්‍ය” කියන්නෙ?

සමාජශාලා මත්ද්‍රව්‍ය වර්ගීකරණයට ලක් කිරීම තරමක් අපහසු කාරණාවක් ලෙස හඳුනාගෙන තිබුණත්, පොදු වර්ගීකරණ දෙකක් යටතේ සමාජශාලා මත්ද්‍රව්‍ය වර්ගීකරණය සිදුකොට තිබෙනවා. 

  • ඖෂධවේදය හෝ රසායනික පදනම මත සිට කරනු ලබන වර්ගීකරණය
  • අදාළ මත්ද්‍රව්‍ය වර්ගය භාවිත කරනු ලබන සන්දර්භය මත සිට කරනු ලබන වර්ගීකරණය

තත්ත්වය එසේ වුවත් සාම්ප්‍රදායික සාද අවස්ථාවන්හි දී ද මත්ද්‍රව්‍ය භාවිතයට ගනු ලබන බැවින් මෙලෙස සන්දර්භය අනුව වර්ගීකරණය කිරීමේ පවා දුෂ්කරතා පැන නැඟී තිබෙනවා. කෙසේ වෙතත් සමාජශාලා සාද සහ වෙරළ සාද සුවිශේෂි අවස්ථාව ලෙස සලකා බැලීමේදී පොදුවේ එහිදී බහුලව භාවිතයට ගනු ලබන මත්ද්‍රව්‍ය රැසක් හඳුනාගෙන තිබෙනවා.

  • ඇම්ෆිටමින්
  • මෙතැම්ෆිටමින්
  • එක්ස්ටසි 
  • කොකේන් 
  • කෙටමින් 
  • හයිඩ්‍රොක්සිබියුටරේට් හෙවත් GHB
  • වාෂ්පශීලී මත්ද්‍රව්‍ය
බහුවිධ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මෙහි ඇති ඉතා භයානක තත්ත්වයක් (fedhealth.co.za)

මීට අමතරව ගංජා සහ මධ්‍යසාර මෙවැනි ස්ථාන තුළ භාවිතයට ගන්නා බව හඳුනාගනු ලැබුණත් ඒවා වීදි මත්ද්‍රව්‍ය හෝ සමාජශාලා මත්ද්‍රව්‍ය යන කාණ්වලට ගොනු කිරීමේ අපහසුතාවයක් පවතින බව ඔවුන් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් සංදර්භය අනුව ගත් කළ ගංජා සහ මධ්‍යසාර සහ අනෙකුත් මනෝකාරක මත්ද්‍රව්‍ය ද මෙහිලා සලකන අවස්ථාවන් පවතින බව සඳහන් වෙනවා.  

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට 2017 වර්ෂය අවසාන වන විට මත්ද්‍රව්‍ය භාවිතය නිසා 585,000ක පිරිසක් මරණයට පත් වී තිබෙනවා. මිලියන 35කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයේ අතුරු ආබාධවලින් පීඩා විඳිමින් සිටිනවා. ඉන් සෑම හත් දෙනෙකුගෙන් එක් අයෙක් පමණක් ප්‍රතිකාර සඳහා යොමු වන බවත් සඳහන් වෙනවා. 

මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ලක් වූ පිරිසෙන් 47%ක් HIV ආසාදනයට ගොදුරු වී තිබෙනවා. සාමාන්‍ය ජනගහණය තුළට වඩා මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා පිරිසට HIV ආසාදනය වීමේ 23 ගුණයක සම්භාවිතාවක් තිබෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා. 

සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ ලක්ෂණ සහ චර්යාත්මක ස්වභාවය

සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර හා සාමාන්‍ය මට්ටමේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර පැහැදිලි වෙනස්කම් රාශියක් දැක ගැනීමට හැකියාව පවතිනවා. 

  • මාදක ගණයේ මත්ද්‍රව්‍ය (නිද්‍රාශීලි බව ඇති කරන) භාවිතා කරන්නන්ට වඩා සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුළුල් පරාසයන් තුළ බහුවිධ මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරනු ලබයි.
  • වීදි මට්ටම තුළ මාදක ගණයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට සාපේක්ෂව සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වයසින් අඩු හෝ තරුණ පිරිසක් වීම ද විශේෂ ලක්ෂණයකි.
  • සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිත කරනන් ඔවුන්ගේ ඇම්ෆිටමින් වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත චර්යාවන් සමග යම් ආකාරයක පුළුල් මනෝව්‍යාධිමය තත්ත්වයන් පෙන්නම් කරනු ලබයි.
  • සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඉහළ වශයෙන් සමාජශීලීත්වය ඇතිකර ගැනීමේ අරමණින් එම මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබයි.
  • සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිත කරනන්, අනෙකුත් මාදක ගණයේ මත්ද්‍රව්‍ය භාවිත කරනන්ගෙන් වෙනස්ව තමන්ව හඳුනාගැනීමට කැමැත්තක් දක්වන අතර, වීදි මට්ටමේ මත්ද්‍රව්‍ය භාවිත කරනන් සම්බන්ධයෙන් පවත්නා සමාජ අවමානය හේතුවෙන් ඔවුන් පවතින ප‍්‍රතිකාර සේවාවන් සඳහා ඇතුළත් වීමට මැලිකමක් දක්වයි.
  • සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ප‍්‍රතිකාර ලබාගැනීමට අඩු කැමැත්තක් දක්වන අතර ප‍්‍රතිකාරවලට ඇතුළත් වුව ද ප‍්‍රතිකාර මධ්‍යස්ථාන හෝ ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය සමග දුර්වල හෝ අවම මට්ටමේ සම්බන්ධතාවයක් පවත්වා ගනියි.
  • සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිත කරනන් බොහෝ අවස්ථාවල සිය මත්ද්‍රව්‍ය භාවිතයත් සමඟ උද්ගත වන ගැටලුවලට සහාය ලබාගැනීමේ දී පළමුවෙන් සාමාන්‍ය ජීවිතයේ උපදෙස් දෙන පුද්ගලයෙකු හෝ පවුලේ වෛද්‍යවරයෙකු වෙත යොමුවීමේ ප‍්‍රවණතාවක් ඇත. 
ඔබ නොදැනුවත්ව නාඳුනන මත්ද්‍රව්‍ය ඔබේ ශරීරගත වීමේ අවධානමක් පවතී (Monkey Business Images-Shutterstock)

සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිතයේ බලපෑම

සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, රාත්‍රී සමාජශාලා සහ වෙරළ සාද ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පිරිසක් බැවින්, එම සුවිශේෂී වටපිටාවට හුරු වූ සැඟවුණු ස්වභාවයෙන් යුතු දෙබිඩි ජීවිතවලට හුරු වූ පිරිසක් ලෙස හඳුනාගත හැකියි. 

බොහෝ පිරිස් මේ සඳහා යොමු වීමට අවිධිමත් සමාජ කණ්ඩායම් සහ මිතුරන් සිදුකරන ආරාධනා මත ඉහළ පෙළඹීමක් ඇතිවීමේ හැකියාව ද පවතිනවා. මීට අමතරව කුතුහලය, ශාරීරික වේදනා නැති කර ගැනීම හා මිතුරු සබඳතා භාවිතා කොට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවීම වැනි කාරණා මත ද ඇතැම් පිරිස් මේ සඳහා පෙළඹෙනවා.  සමාජශාලා මත්ද්‍රව්‍ය භාවිතයේ කෙටිකාලීන, දිගුකාලීන හා සමාජීය බලපෑම් රාශියක් හඳුනාගත හැකියි.

ශාරීරික වශයෙන් ඇතිවිය හැකි දිගුකාලීන බලපෑම්

  • නින්ද ආශ‍්‍රිත ගැටලූ
  • මානසික අවපාතයන්
  • ක‍්‍රියාවන් නැවත නැවත කිරීම
  • විශාදය
  • කාංසාව
  • සමාජ හා මූල්‍යමය ගැටලූ
  • හෘදය ආශ‍්‍රිත අක‍්‍රමතා
  • හිසරදය
  • සංදි වේදනා
  • බර අඩුවීම හා අඩු පෝෂණය
  • අධි රුධිර පීඩනය
  • ප‍්‍රතිශක්තිකරණය දුර්වල වීම
  • මනෝ භ‍්‍රාන්තීන් ඇති වීම
  • චර්යාත්මක ගැටළු
  • සංජානන ගැටළු

සමාජමය බලපෑම්

  • ප‍්‍රචණ්ඩත්වය හා අපරාධවල වර්ධනය
  • හදිසි අනතුරු බහුල වීම
  • වෛද්‍ය අංශයට ඇතිවන අමතර බර
  • අනාරක්ෂිත ලිංගික චර්යා නිසා සමාජ රෝග පැතිරීමේ අවදානම
මත්ද්‍රව්‍ය භාවිතය හරහා ඔබ ශාරීරිකව මෙන්ම මානසිකව බිඳවැටීම් සිදුවනවා (crehab.org)

සමාජශාලා සාද සංවිධානය වන ආකාරය

බොහෝවිට මෙවැනි සාද සමාජශාලා, වෙනත් හෝටල්, සංචාරක නිකේතන සහ උත්සව ශාලා ආශ‍්‍රිතව මෙන්ම වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල  සංවිධානය කිරීම සිදුවෙනවා. එමෙන්ම මෙවැනි සමාජ ශාලා සාද සහ වෙරළ සාද සංවිධානය කරනු ලබන වෙනම සංවිධායකයින් සිටින අතර, එවැනි සාද ප‍්‍රවර්ධනය  කරන වෙනම කණ්ඩායම් ද ක්‍රියාත්මක වෙනවා. එහිදී රාත‍්‍රි සමාජශාලා හෝ වෙරළ සාදවලට සහභාගී වන පුද්ගල කණ්ඩායම් සමාජ මාධ්‍යයන්  භාවිතා කරමින් සන්නිවේදනය කටයුතු සිදුකරනු ලබනවා. එම ඉලක්ක කණ්ඩායම අතර සාද පිළිබඳ විස්තර හා එක් එක් සාද හා අවස්ථා පිළිබඳ ආරධනා යොමු කරනු ලබන්නේ ද සමාජ මාධ්‍ය භාවිතා කරමින් වීම විශේෂත්වයක්. බොහෝවිට ව්‍යාජ ෆේස්බුක්  ගිණුම් භාවිත කරමින් සාද ප‍්‍රවර්ධනය කිරීම සඳහා වෙනම කණ්ඩායමක් ක‍්‍රියා කරන අතර ඒවා භාවිතයෙන් අදාල සන්නිවේදන කටයුතු මෙහෙයවීම සිදුවෙනවා. මෙහිදී සාද අවස්ථා ප‍්‍රවර්ධනය කරන පුද්ගලයින් අදාළ සාද සංවිධානය කරන පුද්ගලයින්ගේ තැරැව්කරුවන් වශයෙන් ක‍්‍රියා කරනු ලබනවා. ප‍්‍රවර්ධනය කරන පුද්ගලයින් විසින් කරනු ලබන ප‍්‍රවර්ධනය අනුව අදාළ සාදයට සහභාගී වන පුද්ගල සංඛ්‍යාව තීරණය වන අතර ඒ අනුව අදාළ පුද්ගලයින්ට ප‍්‍රවර්ධනය වෙනුවෙන් ගෙවීම් කිරීම හෝ ඇතැම් අවස්ථාවල නොමිලේ ප‍්‍රවේශපත‍්‍ර ලබාදීම සිදුකෙරෙනවා. 

සමාජ ශාලාවක් වෙත ඇතුළු වීමට ප්‍රවේශ පත්‍රයක් අවශ්‍ය වන අතර ඒම ප්‍රවේශපත් නිකුත් කිරීම සිදුකරන්නේ “බවුන්සර්” නමින් හඳුන්වන පිරිස යි. ප්‍රවේශපත් නිකුත් කිරීමට අමතරව බවුන්සර්ලා සතුව වෙනත් රාජකාරී කිහිපයක් ද පැවරී තිබෙනවා. සාද අභ්‍යන්තරයේ සිදුවන කෝලාහල වැනි අවස්ථාවල දී මැදිහත් වීම සහ අදාල කෝලාහලකරුවන් අදාල භූමියෙන් ඉවත් කිරීම ඔවුන්ගේ රාජකාරී අතර ප්‍රමුඛ යි. එමෙන්ම මෙවැනි සාද ප‍්‍රවර්ධන කටයුතු කිරීමේ දී සළකා බලන ප‍්‍රධන කරුණු කිහිපයක් ද පවතිනවා.

  • ආකර්ෂණීය ස්ථානයක් තෝරා ගැනීම
  • සංගීතය සපයන කණ්ඩායම හෝ සහභාගී වන කලාකරුවන්
  • අදාළ පැකේජයට ඇතුළත් විශේෂාංග හා මිල ගණන්
  • මත්ද්‍රව්‍ය භාවිත කිරීමට ඇති අවකාශය හා එවැනි පසුබිමක් හඟවන සුවිශේෂි වචන හෝ පින්තූර

මීට අමතරව සාද සඳහා සහභාගී වන පිරිස තුළ ද විශේෂත්වයක් පවතිනවා. ඔවුන් බොහෝවිට ඒ හා සමාන සමීප කණ්ඩායම් සඳහා නිර්මාණය කෙරුණු ෆේස්බුක් පිටු හෝ සමූහයන්හි සාමාජිකයන් ලෙස බැඳි කටයුතු කරනු ලබනවා. එමෙන්ම බොහෝ විට මෙවැනි සාද අවසාන වන විට සාදයට සහභාගී වූ පිරිස් සඳහා නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් අදාල වටපිටාව තුළ සංවිධානය වී තිබෙන අතර ඒවා පහසු මිල ගණන් යටතේ පවත්වාගෙන යනු ලබනවා. ඒ හරහා මෙවැනි සාද සඳහා අවශ්‍ය ආරක්ෂිත වටපිටාව සැකසීම ද සිදු වෙනවා. මෙවැනි අවස්ථා සඳහා සහභාගී වන බොහෝ දෙනා තුළ හඳුනාගත් පැහැදිලි විශ්වාසයන් කිහිපයක් පවතිනවා.

  • වැඩි වේලාවක් නර්තනයේ යෙදීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන බව.
  • යහළුවන් හදුනා ගැනීම සහ සබඳතා ගොඩනගා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන බව.
  • සතුට, විනෝදය වැනි හැඟීම් හා චිත්තවේග ඇති කරගැනීම සඳහා භාවිතා කරන බව.
  • සමාජශාලා තුළ මත්ද්‍රව්‍ය භාවිත කිරීම කිසිවෙකුගේ අවධානයට ලක් නොවන බව.
  • සතියකට වරක් එවැනි සාදයකට ගොස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම කිසිදු ගැටලුවක් නොවන බව 

ඔවුන් විශ්වාස කරනු ලබනවා.

මෙවැනි සාද සඳහා සහභාගී වන්නන් අතර ඇතැම් සාවද්‍ය විශ්වාස පවතිනවා (destinationsforteens.com)

මෙවැනි සාද පැවැත්වෙන ස්ථාන තුළ මත්ද්‍රව්‍ය සංසරණය කරවීම හා අලෙවිය සඳහා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් සමාජශාලා හෝ වෙරළ සාද පැවැත්වෙන පරිශ‍්‍ර තුළ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින්, බාහිර මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයින් සහ සාදවලට සහභාගී වන මිතුරන් මඟින් අලෙවිය සිදුවීම වශයෙන් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වනවා. මීට අමතරව සාද පවත්වන වටපිටාව තුළ ඉතා පහසුවෙන් සහ ඉක්මනින් අදාළ මත්ද්‍රව්‍ය ලබාගත හැකි වෙළඳසැල් හෝ ඖෂධසැල් පවත්වාගෙන යාම මෙහි තවත් එක් ඉදිරි පියවරක් ලෙස හඳුනාගත හැකියි. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය සාමාන්‍ය මිල මට්ටම්වලට වඩා ඉතා ඉහළ මිල මට්ටම්වලින් අලෙවි කිරීම ද සිදු වෙනවා. මෙවැනි සාද තුළ දැකගත හැකි තවත් අතිශය භයානක තත්ත්වයක් වන්නේ ණය වශයෙන් හෝ පසුව ගෙවීමේ පදනම මත මත්ද්‍රව්‍ය සංසරණය වීම සිදුවීම යි.

ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන සේවා

ශ‍්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් සඳහා නේවාසික ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විසින් ක‍්‍රියාත්මක කරනු ලබනවා. ශ‍්‍රී ලංකාවේ 2007 අංක 54 දරන පනත යටතේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සඳහා අනිවාර්ය ප‍්‍රතිකාර පහසුකම් හඳුන්වා දී තිබෙනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා නේවාසික ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 4ක් ක‍්‍රියාත්මක කරන අතර මෙම මධ්‍යස්ථාන කොළඹ (තලංගම), නුවර, ගාල්ල, ඌරාපොල (නිට්ටඹුව) යන ස්ථානවල පිහිටා ඇත.  මීට අමතරව බාහිර සේවා වැඩසටහන් ද ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් ක්‍රියාකර තිබෙනවා.

මීට අමතරව මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයන්හි මනෝවිද්‍යාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක වෙනවා. මෙම ප‍්‍රතිකාර වැඩසටහන් වල පුද්ගලික හා පවුල් උපදේශනය ද, විෂහරණ ප‍්‍රතිකාර, ශාරීරික ක‍්‍රියාකාරකම්, මානසික සුවතා, ගෘහස්ථ හා බාහිර ක‍්‍රියාකාරකම්, මනෝ චිකිත්සක ප‍්‍රතිකාර, අධ්‍යාපනික, වෘත්තිය පුහුණු, සහ කුසලතා සංවර්ධන වැඩසටහන් ද අන්තර්ගත වෙනවා.

2018 වර්ෂයේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ සේවාලාභීන් 4447 දෙනෙකු ප‍්‍රතිකාර සේවාවන් ලබාගෙන තිබෙනවා. එම සේවාලාභීන්ගෙන් 1142 (25.7%* දෙනෙක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් ද, 1048 (23.6%* බන්ධනාගාර ප‍්‍රතිකාර වැඩසටහනින් ද, 415 (9.3%* රාජ්‍ය නොවන සංවිධානවලින් ද, 1842 (41.4%* පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයට අයත් කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ද ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් ලබාගෙන ඇති අතර එම සේවාලාභීන්ගෙන් බහුතරයක් (28.6%*ක්) කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ආයතනගතවූවන්. ප‍්‍රතිකාර ලබාගත් පුද්ගලයන්ගෙන් 46%ක් අවුරුදු 30 හෝ ඊට වැඩි පුද්ගලයින් වන අතර  2017 වර්ෂය හා සැසඳීමේ දී 2018 වර්ෂය තුළ ප‍්‍රතිකාර සඳහා යොමුවූ සේවාලාභීන් සංඛ්‍යාව 64%කින් වැඩි වී ඇති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

උපකාර ලබා ගැනීම ඔබට හිමිවී ඇති අයිතියක්. එය භාවිතා කරන්න. (nddcb.gov.lk)

වින්දනය අවසානයේ විඳවීම පමණක් ඉතිරි වන රාත්‍රී සමාජශාලා සහ වෙරළ සාද සඳහා ඔබත් හුරුපුරුදු වී ඇති පුද්ගලයෙකු නම් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි ක්ෂණික දුරකථන ඇමතුම වන 1927 ඇමතීමෙන් ඔබට අවශ්‍ය උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබේ තොරතුරුවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය ඔබ වෙනුවෙන් 100% ආරක්ෂා කිරීමට ඔවුන් වගබලා ගනු ලබනවා. තාරුණ්‍යයේ වගකීම ඉටුකරමින් ඔබත්, ඔබේ සමීපතමයනුත් මෙවැනි අවධානම් චර්යාවන්ගෙන් වලක්වා ගැනීමට වගකිවයුතු පුරවැසියන් ලෙස සියලුදෙනා හට වගකීමක් පවතී.

කවරයේ ඡායාරූපය (Agung Parameswara-Getty Images News)

මූලාශ්‍රයයන්:

http://www.nddcb.gov.lk/publication.html

https://www.unodc.org/documents/AnnualReport/Annual-Report_2018.pdf

*මෙය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් සිදුකෙරුණු සමීක්ෂණයක් අළලා ලියැවුණු ලිපියකි. සියළුම සමාජ ශාලාවන් හෝ වෙරළ සාද මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය හෝ භාවිතා කරන්නේයැ යි මෙම ලිපියෙන් ප්‍රකාශ නොකෙරේ. 

Related Articles

Exit mobile version