සීගිරි කාශ්‍යප කතා පුවත ඉංගිරිසියෙන් එළිදැක්වූ ලෙස්ටර්ගේ God King

මෑතක දී අභාවප්‍රා‍ප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බෙහෙවින් අන්තර්ජාතික කීර්තියට පත්වූයේ “ගම්පෙරළිය” හා “නිධානය” යන චිත්‍රපට දෙක නිසා. මින් “නිධානය” චිත්‍රපටය බටහිර විචාරක අවධානයට විශේෂයෙන් ලක්වූ චිත්‍රපටයක්. එසේ වුවත් අන්තර්ජාතික නළුනිළි පිරිසක් සමග ඔහු අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් වූ ගෝඩ් කිං චිත්‍රපටය ගැන එතරම් අවධානයක් යොමුවන්නේ නැහැ. කෙසේ වුවත් එම චිත්‍රපටය නිපදවීම පිටුපස ඇති කතාව සීගිරි කාශ්‍යප රජුගේ කතාව තරම්ම රසවත්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් https://fragmenteyes.blogspot.com

මණික් සන්ද්‍රසාගර, රේ ටොරින්, සහ දිමිත්‍රි ඩි ගෘන්වල්ඩ්

සීගිරි කාශ්‍යප පුවත ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස මුලින්ම පහළ වන්නේ ආන්දෝලානාත්මක “කළු දියදහර” චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා 1970 දශකයේ ලාංකික සිනමාව හා ළඟින් කියැවෙන නමක් වන මණික් සන්ද්‍රසාගර හට යි. ඇමරිකානු ජාතික ආයෝජකයෙක් වන රේ ටොරින් ලංකාවට පැමිණෙන්නේ මේ අතර යි. මණික් සන්ද්‍රසාගර ඔහු හා හමුවීමෙන් පසු සීගිරි කාශ්‍යප සම්බන්ධ චිත්‍රපටයක ආයෝජනය කරන්නට ඔහු එකඟ වනවා.”නිධානය” චිත්‍රපටය නිසා අන්තර්ජාතික කීර්තියට පත්වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණයට වඩාත් සුදුසු බව ඔවුන් දෙපලගේම මතය වනවා. කෙසේ වුවත් මේ පිළිබඳව වැඩිදුරටත් කතාබහ කරගැනීමට රේ ටොරින් මණික් සන්ද්‍රසාගරව ලන්ඩනයට කැඳවනවා.

මණික් සන්ද්‍රසාගර මහතා  –  Youtube

 

ලන්ඩනයේදී මණික් හා රේ හමුවන්නෙ ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික නිෂ්පාදකවරයෙක් වන දිමිත්‍රි ගෘන්වල්ඩ්. රුසියානු සංක්‍රමණික පවුලකින් පැවතෙන දිමිත්‍රි ගෘන්වල්ඩ් ප්‍රකට බ්‍රිතාන්‍ය නළු නිළියන් රඟන චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළ බ්‍රිතාන්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනාගත් අයෙක්. සීගිරි කාශ්‍යපයන් ගැන චිත්‍රපටයක නිෂ්පාදකවරයා වීමට දිමිත්‍රි ගෘන්වල්ඩ් වැනි ප්‍රකට චරිතයක් එකඟ වන්නේ මණික් සන්ද්‍රසාගරගේ දක්ෂතාව නිසා බව යි ආචාර්ය ලෙස්ටර්ගේ අදහස වන්නේ. මේ අනුව රේ ටොරින් විධායක නිෂ්පාදකවරයා බවට පත්වනවා. තිර රචනය සහ ප්‍රධාන චරිත තුනක් බ්‍රිතාන්‍ය නළුවන් නිරූපණය කිරීමටත් චිත්‍රපටයේ අනෙකුත් අංශ ශ්‍රී ලාංකිකයන් විසින් මෙහෙයවීමටත් මෙහිදී එකඟතාවයකට පත්වනවා.

අසාර්ථක වූ පළමු උත්සාහය

චිත්‍රපටයේ තිර රචනය සඳහා ගෘන්වල්ඩ් තෝරාගන්නේ බ්‍රිතානය තිර රචක ඇන්තනි ග්‍රෙවිල් බෙල්. ඔහුගේ බිරිඳ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරිය බවට පත්වන්නෙ සීගිරි කාශ්‍යපයන්ගේ මාළිගාව අනුරාධපුර නුවර වැව ආසන්නයේ ඉදි කරවීමේ වගකීම ද භාර ගනිමින්. ලෙස්ටර්ට අවශ්‍ය වන්නේ මහාවංසයේ දැක්වෙන පරිදි සීගිරි කාශ්‍යපයන්ගේ කතාපුවත සිනමාවට නැගීම යි. එසේ වුවත් චිත්‍රපටයේ බ්‍රිතාන්‍ය නිෂ්පාදක හා තිර රචකයාට අවශ්‍ය වන්නේ අන්තර්ජාතික ප්‍රේක්ෂකාගාරයට වඩාත් ගැලපෙන පරිදි හා එවක බටහිර තරුණ තරුණියන් අතර ජනප්‍රිය හිපි සංස්කෘතියට අනුකූල පරිදි වඩාත් නිදහස්කාමී රජෙක් පිළිබඳ කතා පුවතක්. මේ නිසා ලෙස්ටර් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර යම් ගැටුමක් තිබුනා.

චිත්‍රපටය රූගත කරන ලද්දේ අනුරාධපුරය, සීගිරිය, මන්නාරම, හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල යි. රූපවාහිනි වෙළඳ දැන්වීම්වලට පමණක් දායකත්වය සපයා තිබූ ඈන් ග්‍රෙවිල් බෙල් ගේ උපදෙස් අනුව නිම කෙරෙමින් තිබූ මාළිගාව එතරම් ලෙස්ටර් සිත් ගත්තේ නැහැ. මේ අතර ගෘන්වල්ඩ් කාශ්‍යපයන්ගේ චරිතය සඳහා, පසුව “ගාන්ධි” චිත්‍රපටයෙන් ලෝක ප්‍රකට වූ, බෙන් කිංස්ලිත්, මිගාර සෙනෙවියා සඳහා මාක් බර්න්ස් සහ ස්ටීවන් මරේ ධාතුසේනයන් ලෙසත් තෝරා ගනු ලැබුවා.

කෙසේ වුවත් නිෂ්පාදනය පටන් ගත් දිනයේ සිට ගැටළු ඇතිවීමට පටන් ගත්තා. මාළිගය නිමවීම ප්‍රමාද වීම නිසා රූගත කිරීමේ කාලසටහන පමාවීම සිදුවුණා. මේ වන විට ලංකාවේ උතුරු මැද ප්‍රදේශයේ සංචාරක හෝටල් තිබුනේ නැහැ. එම නිසා බ්‍රිතාන්‍යයෙන් පැමිණි අයට සැපයුනේ ඉතා අවම පහසුකම්. මේ නිසා බෙන් කිංස්ලි හට පාචනය පවා වැළඳුනා. ඔහුත් සමග රූගත කිරීම් නැරඹීම සඳහා ලංකාවට පැමිණි ඔහුගේ දරුවන් ද රෝගී වුණා. ගෘන්වල්ඩ් දිවයිනේ නොමැති නිසා නිෂ්පාදක ලෙස කටයුතු කළ ඇන්තනි ග්‍රෙවිල් බෙල්ගේ වර්ගවාදී ආකල්ප ද ගැටුම් ඇතිවීමට බලපෑවා. සුවපහසු ලෙස අභ්‍යන්තර දර්ශනතලවල රඟපෑමට හුරු වූ, ශේක්ස්පියර්ගේ නාට්‍යවල වේදිකා නළුවන් වූ බ්‍රිතාන්‍ය නළුවන් හට මේ රළු ජීවිතය වදයක් වුණා. ඒ නිසා අවසානයේ ඇන්තනි ග්‍රෙවිල් බෙල් රූගත කිරීම් නැවැත්වීමට තීරණය කළා. මණික් සන්ද්‍රසාගර කිසිවෙකුට නොදන්වා ඉන්දියාවට ගියා. ලංකාවේ එතෙක් විශාලම මුදලක් වැය කොට අන්තර්ජාතික සහයෝගයෙන් කෙරුණු දැවැන්ත සිනමා නිර්මාණය ඇණහිටින තත්ත්වයක් ඇතිවුණා.

දෙවැනි උත්සාහය

ලී ලෝසන් – pinterest.com

මේ ගැටළු නිසා දිමිති ඩි ගෘන්වල්ඩ් නැවතත් දිවයිනට පැමිණියා. ලංකාවේ නැවතී සිටීමට අකමැති බ්‍රිතාන්‍ය නළුවන් හා කාර්මික ශිල්පීන් ගිවිසුමෙන් මුදාහැර පිටත් වීමට අවකාශ ලබාදුන් ඔහු වේදිකා නළුවන් නොව එළිමහන් රූගත කිරීම් හුරු පුරුදු, සහ ලංකාවේ රළු තත්ත්වයන් දරාගැනීමට හැකියාව ඇති වෙනත් නළුවන් තිදෙනෙකු සෙව්වා. ඒ අනුව ලී ලෝසන් කාශ්‍යපයන් ලෙසත්, ඔලිවර් ටෝබියාස් මිගාර සෙනෙවියා ලෙසත්, ජෙෆ්රි රසල් ධාතුසේන රජු ලෙසත් තෝරා ගැනුනා. එමෙන්ම සහාය අධ්‍යක්ෂ ලෙස බෙන්හර්, හෙලන් ඔෆ් ට්‍රෝයි මෙන්ම ලංකාවේ රූගත කෙරුනු බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායිහි ද සේවය කළ ඉතාලි ජාතික ගස් අගෝස්ති තෝරා ගැනුනා. කලා අධ්‍යක්ෂණයට ඈන් ග්‍රෙවිල් බෙල් වෙනුවට ජේසන් ඇන්ඩ් ද ආගෝනෝට්ස් වැනි ප්‍රකට චිත්‍රපටවල කලා අධ්‍යක්ෂ වූ හර්බට් ස්මිත් සම්බන්ධ වුණා. මේ හැරුනු විට මිගාරගේ මව ලෙස අයිරාංගනී සේරසිංහත්, ස්වාමි ලෙස ජෝ අබේවික්‍රමත්, මුගලන් කුමරු ලෙස රවීන්ද්‍ර රන්දෙණියත්, විජය කුමාරතුංග, මැණික් කුරුකුලසූරිය, මනෝ බ්‍රෙකන්රිජ් යන ලාංකික නළු නිළියන් ද මෙහි චරිත නිරූපණය කළා. මේ අතර රූගත කිරීම් සඳහා විවිධ බ්‍රිතාන්‍ය පුවත්පත් ද යම් ප්‍රචාරයක් ලබා දුන්නා. සටන් ජවනිකා රූගත කෙරුනේ මන්නාරමේ දී යි. මුගලන් හා කාශ්‍යප අතර අවසන් සටන සඳහා භටයන් ලෙස ශ්‍රී ලංකා හමුදාවේ 2000ක පමණ සෙබළුන් පිරිසක් සම්බන්ධ වුණා.

රවීන්ද්‍ර රන්දෙණිය මුගලන් කුමරු ලෙස https://fragmenteyes.blogspot.com

කෙසේ හෝ රූගත කිරීම් අවසන් කෙරුනු චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සඳහා ගෘන්වල්ඩ්, ලෙස්ටර්, සුමිත්‍රා පීරිස්, රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරතුංග, මණික් ඇතුළු පිරිසක් ලන්ඩනයට ගියා. චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළේ නිමල් මෙන්ඩිස් විසින්. චිත්‍රපටය සංස්කරණය කරන ලද්දේ ප්‍රකට බ්‍රිතාන්‍ය සංස්කාරක රසල් ලොයිඩ් විසින්. අවසානයේ මෙසේ නිෂ්පාදනය අවසන් වූ ගෝඩ් කිං චිත්‍රපටය මුල් වරට ප්‍රදර්ශනය කරන්නේ බ්‍රිතාන්‍යයේ යි.

ප්‍රතිචාර

බ්‍රිතාන්‍ය සිනමා සඟරා කිහිපයකම චිත්‍රපටය ගැන යහපත් විචාර පළවුණා. විශේෂයෙන් ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණය හා විලී බ්ලේක්ගේ කැමරාකරණය බෙහෙවින් පැසසුමට ලක්වුණා. එසේ වුවත් බලාපොරොත්තු වූ පමණ ආදායමක් ඉපයීමට එය සමත්වූයේ නැහැ. කෙසේ හෝ ගෝඩ් කිං චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය ඇරඹෙන්නේ 1976 ජූලි මස ලිබර්ටි සිනමා හලේ. ලංකාවේ සිනමා විචාරකයන්ගේ ද නොමඳ ප්‍රසාදයට චිත්‍රපටය ලක්වුවත් එය එතරම් ජනප්‍රිය වන්නේ නම් නැහැ. කෙසේ වුවත් චිත්‍රපටය නිර්මාණය වුණේ ලෙස්ටර්ට අවශ්‍ය වූ ආකාරයට වඩා බ්‍රිතාන්‍ය නිෂ්පාදකවරයා හා බ්‍රිතාන්‍ය තිර රචකයා සීගිරි කාශ්‍යපයන්ගේ කතාව දුටු ආකාරයට යි. එය මේ අසාර්ථකත්වයට ප්‍රධානවම බලපාන්නට ඇති.

කෙසේ වුවත් ලංකාව අන්තර්ජාතික සිනමා නිෂ්පාදන සඳහා වැඩි සැලකීමක් ලැබීමට ගෝඩ් කිං චිත්‍රපටය පදනමක් දැමූ බව නිවැරදි යි.

මූලාශ්‍රයයන්:  

රිචර්ඩ් බොයිල් විසින් 1998 අප්‍රේල් හා මැයි මාසවල සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියන ලද ලිපි 4ක් ආශ්‍රයෙන් සම්පාදනය කරන ලදී

cover photo:  Mubi.com

Related Articles

Exit mobile version