සියවසක් තිස්සේ ජනප්‍රිය එකම සිංහල නාට්‍යකරුවා

“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” ගීය අදත් අපට අසන්නට ලැබෙනවා. එය ගායක ගායිකාවන් කිහිප දෙනෙකුම ගායනා කර තිබෙනවා. මේ ගීතයේ වයස අවුරුදු 110ක් බවත්, එය රචනා කළේ නාට්‍ය රචක නීතිඥ ජෝන් ද සිල්වා බවත් දන්නා අය නම් ඉන්නේ අල්ප යි. 1900 ආසන්න කාලයේ ඔහු ජනප්‍රියව සිටියේ සිංහල ෂෙක්ස්පියර් නැත්නම් සිංහල කාලිදාස කියලයි. ජෝන් ද සිල්වාගේ රාමායනය නාට්‍යයත් මෑතක දී යළිත් නිෂ්පාදනය වුණා. ඔහු සැමරීමට ජෝන් ද සිල්වා සමරු රඟහල කලාභවන අසල ඉදිකර තිබුණත්, පසුගිය දා එය කඩා නවින රංග ශාලාවක් එතැන ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.

අදටත් ජනප්‍රිය නාට්‍ය රචකයා

ජෝන් ද සිල්වාගේ රාමායනය නව නිෂ්පාදනයෙන් -saravita.lk

සවන් දී පෙර රාම

චරිතේ අසව්

පොරන දඹදිව උන්නු රාවණ

ආල වී ජානකී

ගෙන ගියේ තම රියේ  

(රාමායනය නාට්‍යයෙන්)

සියවසකටත් අධික කාලයක් තිස්සේ  පරපුරෙන් පරපුරට ජනප්‍රිය වූ මෙම ගීතයේ  නිර්මාණ ශිල්පියා වන්නේ නීතිඥ ජෝන් ද සිල්වා යි. ඔහු කෙතරම් මෙරට ජනප්‍රියදැ යි කිවහොත් ඔහුගේ නාට්‍ය ගීත ඩීවීඩී පට වශයෙන් තවමත් නිකුත් වන අතරම, සෑම වර්ෂයකම පාහේ සැමරුම් උත්සව ද පවත්වනවා.

සුවඳ පත්ම ඕලූ ආදි

නොයෙක පුෂ්පයෙන් සැදී

සරණ හංස සේරු බෝම

පොකුණු සීත පැන් පිරී  

(සිරිසඟබෝ නාට්‍යය)

මෑතක දී නිකුත් වුණු රාමායනය නූර්ති ගී ඩීවීඩී තැටිය-youtube.com

 

 ඔහු ලියූ නාට්‍ය ගීත අදටත් වැඩිහිටියත් අතර පමණක් නොව තරුණ පරපුර අතරත් ජනප්‍රියව පැවතීම විශේෂත්වයක්.  මෑතක දී භාතිය සන්තුෂ් ගැයූ “සිරි සංඝබෝධි මාලිගාවේ දී” ගීතය තරුණ පරපුර ආදරයෙන් වැළද ගත්තේ එය අවුරුදු 110ක් පරණ, පරම්පරා දෙකකට ඉහත ජෝන් ද සිල්වා  ලියූ නූර්ති ගීයක් බව දැනගෙන නම් නොවෙයි.

සිරි සංඝබෝධි මාලිගාවේ දී  

මා දැක ප්‍රාණේ හානී වෙන්ට බැට දෙම්//

අල්ලා බන්දා රැන්දා බින්දා උන්දෑ කොන්දෑ ලාම් සින්දා

සැන්දෑ කාලේ මාලිගාවේ ඉන්නවා සොයා (සිරිසගබෝ නාට්‍යය)

මේ ශ්‍රී වික්‍රම නාට්‍ය යේ ගීයක කොටසක්:

පිනවන්ට සවන් ඇසුවන්ගෙ සොඳින් සංගීත සිංහල ද්වීපේ

මා වාගේ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනාකෝපේ

භාතිය සන්තුෂ් සිරිසගබෝධි මාලිගාවේ දී ගයමින්- desawanmusic.com

ජීවන තොරතුරු

නීතිඥ ජෝන්ද සිල්වා වියපත් වයසේ දී – dinamina.lk

ජෝන් ද සිල්වා මෙලොව උපත ලබා ඇත්තේ 1857 ජනවාරි 13 වැනිදා යි. ඔහු උපන්නේ කෝට්ටේ දියවන්නා ඔය අද්දර තෙලඹුගහවත්තේ දී යි. ඒ කාලෙ රෝහල්වල දරු උපත් සිදුවන සිරිතක් තුබුණේ නැහැනේ. ඔහුගේ පියා එවකට සම්භාවනීය පවුලක් වූ මාකලන්ද පරම්පාරාවේ කෙනෙක්. ඒ මාකලන්දගේ දොන් බැස්ටියන් පෙරේරා. මව නාවලගේ දෝන ඉසබෙලා හාමිනේ. ඒ කාලයේ ප්‍රකටව සිටි බත්තරමුල්ලේ සුභූති හාමුදුරුවෝ ජෝන් ද සිල්වාගේ ඥාති සහෝදරයෙක්. ජෝන් ද සිල්වා වැලිපිල්ලේ අකුරු ලියා අවුරුදු හය වන විට සිංහල ඉගෙනගන්න පටන් ගත්තා. හතර වන පන්තිය දක්වා සිංහල ඉගෙනගත් ජෝන් ද සිල්වා ඊට පසු කෝට්ටේ චර්ච් මිෂන් එංගලන්ත සභා පාසලට ඇතුළු වී ඉගෙනුම ආරම්භ කළා. එහිදී ක්‍රිස්තියානි ආගමට ඇතුළත් වී බෞතීස්මයත් ලබාගත් ජෝන් දරුවා හය වැනි පන්තිට සමත් වූ පසුව කොළඹ ඇකඩමියට ඇතුළු වී තිබෙනවා. එහිදී සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගෙන ගැනීම ආරම්භ කළා. ඒ ගුරුවරයකු වීමේ අරමුණ ඇතිව යි.

බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඩිතුමාත් ඔහුට සිංහල ව්‍යාකරණ, පාලි, හා සංස්කෘත උගන්වා තිබෙනවා. අධ්‍යාපනයෙන් පසු වයස අවුරුදු 20 දී ගුරුවරයකු ලෙස මහනුවර රජයේ පාසලක කටයුතු කරන ඔහු, පසුව කොළඹ ශාන්ත ජෝශප් සහ වෙස්ලි විදුහල්වල සේවය කර තිබෙනවා. මේ කාලයේ රටේ ප්‍රචලිතව පැවතුණේ මිෂනාරි අධ්‍යාපනය යි. ප්‍රධාන පෙළේ බෞද්ධ පාසල් එකක්වත් මේ කාලයේ ආරම්භ වී පැවතුණේ නැහැ.  

මරදාන ටවර් රගහලේ පෙන්වූ පැරණි නාට්‍යයක්- towerhall.lk

වයස අවුරුදු 23 දී ඔහු විවාහ වන්නේ කොටහේනේ කතෝලික පවුලක සෙලෙස්තිනා පෙරේරා තරුණිය සමග යි. දරු තිදෙනෙක් උපත ලැබීමෙන් පසු සෙලෙස්තිනා මිය යනවා. ඊට පසු ඔහු සරණ කර ගන්නේ ජෙනට් ප්‍රසිලා ගුණතිලක නම් කාන්තාවක්. ඇගෙන් ඔහුට දියණියක් ලැබෙනවා. ජෙනට් ද එතරම් කල් ජීවත්වූ බව පෙනෙන්නෙ නැහැ. ඇගේ මරණයෙන් පසු ජෝන් ද සිල්වා තරුණයා සමග විවාහයට එළඹෙන්නේ ජෙරී ඒකනායක යි. ජෙරී දියණියන් දෙදෙනකු ලබනවා. බිරින්දෑවරුන් තිදෙනෙකුගෙන් ජෝන් ද් සිල්වා දරුවන් හයදෙනෙකුගේ පියෙක් බවට පත්වෙනවා.

ගුරු වෘත්තියේ යෙදී සිටිය දීම පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිවීම සිරිතක් කරගත් ඔහු මවුබිමේ වටිනාකම ගැන ජනතා මනස අවදිකරවීමට කටයුතු කළා. මේ අතරතුර නීතිය හැදෑරූ ඔහු පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු ආරම්භ කළා.

නාට්‍ය කලාවට පෙම් බඳී

රාමායනය මුලින්ම රංගගත කළ පිටකොටුව ෆ්ලවර් හෝල්-  sarasaviya.lk

නීතිඥ ජෝන් ද සිල්වා පිටකොටුවේ ෆ්ලවර්හෝල් නම් රගහලේ පෙන්වූ සී. දොන් බස්තියන්ගේ නූර්ති නාට්‍ය නැරඹීම විනෝදාංශයක් කරගෙන සිටි අයෙක්. ඔහුට ගුරුකමට හා නීතිඥ වෘත්තියට වඩා නාට්‍ය කලාවට ඇල්මක් ඇතිවන්නේ ඒ අවස්ථාවෙ දී යි. ඔහු නාට්‍ය නරඹමින් නාට්‍ය ලියන්නට පටන් ගත්තා.  බස්තියන් හැරුණු විට ඩබ්ලිව්. ජෝන් පෙරේරා, ඊ. වයි. පෙරේරා, ඩී. බර්තොලමියුස් වැනි එකල ප්‍රකට කලාකරුවන් ඔහු ඇසුරු කිරීමට පටන් ගත්තා. ඒ අතර නාට්‍ය කටයුතු කිරීමට 1885 දී සීමාසහිත ලංකා පෙරදිග නාට්‍ය සමාගම  සංගමය පිහිටුවා ගත්තේ ධනවත් ව්‍යාපාරික පිරිසකගේ සහයෝගයෙන්. රාමායණය, නලරාජ චරිතය, සීතාහරණය, දස්කොන් හා පරංගි හටන එම සංගමයෙන් නිර්මාණය කළා.

ජෝන් ද සිල්වාගේ පළමු නාට්‍යය රාමායනය පෙන්නුවේ පිටකොටුව මල්වත්ත පාරේ ෆ්ලවර් හෝල් ශාලාවේ. 1886 මැයි 27 දා ඒ ගැන දැන්වීමක් ලක්මිණි පහණ පත්‍රයේ පළකර තිබුණා. රාමායනය එම ශාලාවේ පෙන්වූ දෙවන දිනය වූ ජූනි 5 දා අබිරහස් ගින්නකින් ශාලාව දැවී ගියා. එය කඩාකප්පල්කාරී වැඩක් බවයි පසුව හෙළි වුණේ. කලක් ගතවන විට මෙම නාට්‍ය සමාගමේ ක්‍රියාකාරිත්වය හීනවීම නිසා ඔහු විසින් 1902 දී “සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සභාව” ආරම්භ කළා.

1905 දී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිෂ්පාදිත සිරිසඟබෝ නාට්‍යයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලෞජි විසින්. සිරිසඟබෝ චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු නාට්‍ය ගණනාවක් මෙම සංගමය මඟින් නිෂ්පාදනය කළා. ඒවා ජනතාව තර ඉතා ජනප්‍රිය වුණා.

රාමායනය නව නිෂ්පාදනයෙන්- saravita.lk

ඔහු අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍යය රචනා කර නිෂ්පාදනය කරන්නේ 1906 දී යි. ඒ ගැන ඔහු මෙසේ සඳහන් කරනවා:

යම් ජාතියක දියුණුව මැන බලන්නේ එම ජාතිය සතුව පවතින නාට්‍ය මණ්ඩපවල සංඛ්‍යාවෙන්යැ යි එක්තරා යුරෝපීය මතයකි. විසි ලක්ෂයක් පමණ සිටින අප මහළු සිංහල වංශයට එක් නාට්‍ය මණ්ඩපයක්වත් නොමැති බැවින් එකී යුරෝපීය පණ්ඩිත මතයේ ප්‍රකාර දියුණුව වෙනුවට පිරිහීම පටන් ගෙන තිබෙන බව කාට නොකියා ඉන්ට පුළුවන් ද?

 (ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍ය කෘතිය – ප්‍රස්තාවනා)

මෙම නාට්‍ය සංගමයේකටයුතු හීනවන විට 1913 දී “විජය රංග සභාව” පිහිටුවන ලදී. ඒ හරහා “දේවානම්පියතිස්ස”, “අලකේශ්වර” ඇතුළු නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය විය. පසුව විජය රංග සභාව යන නම වෙනස් කර “ශ්‍රී ලංකා නාට්‍ය සභාව” යන නමින් කටයුතු කළහ. මෙම නාට්‍ය සභාව මඟින් “විදුර ජාතකය”, “කැප්පෙටිපොළ”, “දුටුගැමුණු චරිතය සහ කුස ජාතකය” නිෂ්පාදනය කරන ලදී. වර්තමානයේ නාට්‍යකරුවන් මුහුණපාන ගැටලු මෙන්ම එකල ද ජෝන් ද සිල්වාට නාට්‍ය ක්ෂේත්‍රයේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.

ජනප්‍රිය වීමේ රහස

ජෝන්ද සිල්වා සමරා නිකුත් කළ මුද්දරය-archetron. com

ජෝන් ද සිල්වාගේ නාට්‍යයක් නොබැලූ නාට්‍ය රසිකයෙක් ඒ කාලයේ සිටියේ නැහැ. ඔහු දේශීය නාට්‍යවලට ඉන්දියානු ආභාෂය ලබාදුන් බව පසුකාලීන විචාරකයන් කිව්වත් යටත්විජිත යුගයේ ජනතාව තුළ දේශාභිමානය වර්ධනය කිරීමට මේ නාට්‍ය ඉවහල් වූ බව නොරහසක්. දේශීයත්වයක්‌ ඇතිව ශ්‍රී ලාංකික ඓතිහාසික කතා පසුබිම් කොට ගනිමින් ජෝන් ද සිල්වා නූර්ති නිර්මාණය කළා. රාමායනය ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ, වෙස්‌සන්තර, රත්නාවලී , සකුන්තලා ආදි වශයෙන් නූර්ති 42 ක්‌ පමණ ඔහු නිර්මාණය කළා. වෘත්තීය නළු නිළි පිරිසක්‌ මේ නාට්‍ය නිසා බිහිවුණා. මේවායේ පිටපත ද රචනා කළේ ජෝන් ද සිල්වා විසින්ම යි. එහි ඉතා මධුර ගීත අඩංගු වුණා. ඒ ගීත බොහොමයක් එකල පමණක් නොව අදටත් ජනප්‍රිය යි.

අඹ දඹ නාරං

කෙසෙල් දෙල්

පනා කකා මේ

වානා සැපා ලබනේ  

(රාමායනය නාට්‍යයෙන්)

ටවර් රගහල –  tripadviser.com

මේ නාට්‍යකරුවා ගැන මාර්ටින් වික්‍රමසිංහ මෙසේ සදහන් කරනවා:

නාටක බලන්නවුන් තුළ සංවේගය දනවන අනුචිත අවස්ථා තම නාටකයන්ගෙන් බැහැර කිරීමට ඔහු පරෙස්සම් වුයේ ය. නාටකයක් සදහා ඔහු තෝරාගත් කතා වස්තූන්ගෙන් සමහරක් මනුෂ්‍ය ජීවිතයෙහි සරු අරුත් හා ඇතැම් විට මිනිස් සිතෙහි ගුප්ත දහම් ද හෙළිකරන පුවත්වලින් තොර නොවී ය. 

(සිංහල නාටකය හා සදකිදුරුව)

නිදහසට මඟ කියා සිරගත වෙයි

නවීකරණයෙන් පසු ජෝන් ද සිල්වා රගහල දිස්වන අයුරු- culturaldept.gov.lk

ජෝන් ද සිල්වා චතුර කථිකයෙක්. ඒ කාලය නිදහස් හැගීම් මතුවෙමින් තිබූ සමයක්. සෙනග පොදිකන තමාගේ නාට්‍ය දර්ශනවල විවේක කාලයේ දී වේදිකාවට නැගි ඔහු, නාට්‍ය පිළිබඳ තොරතුරු බිඳක් කියන අතරම  ජාත්‍යානුරාගය සහ දේශීයත්වය පිළිබඳ අදහස ප්‍රේක්ෂකයාගේ සිතට හොරෙන්ම ඇතුළු කළා.

ඔහුගේ නාට්‍ය වැඩිහරියක් පෙන්නුවේ මරදාන ටවර් රඟහලෙ යි. දේශානුරාගී නාට්‍යවලින් මිනිසුන් ඇවිස්සුවා යන මතය ඉදිරිපත් කළ ඉංග්‍රීසි පාලකයන් 1915 සිංහල මුස්ලිම් කෝලහලය දඩමීමා කරගෙන ටවර් හෝල් පාලකයන් ද සමග නීතිඥ ජෝන් ද සිල්වා ද අත්අඩංගුවට ගත්තා. එමෙන්ම යුද්ධ නීතිය ක්‍රියාත්මක කර ටටර්හෝල් සමග දිවයිනේ අනෙක් රංග ශාලා ද වසා දැමීමට නියෝග කළා. ඒත් ජෝන් ද සිල්වා ඇතුළු පිරිසක් ටික කලකට පසුව නිදහස් කළා.

ජෝන් ද සිල්වාගේ නිර්මාණ ඉදිරියටත් අප අතර පවතිනු ඇති vectorstock.com

නීතිඥ ජෝන් ද සිල්වා 1922 ජනවාරි 28 වන දින මෙලොවින් සමුගත්තා. ඔහුගේ මරණය ගැන සිංහල ජාතිය පුවත් පත දුක් වුණේ මෙලෙස යි.

ජාතිහිතෛෂී, සද්ගුණවත්, නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ මරණයෙන් ලක්දිවට සිදුවූ හානිය ඉවසිය නොහැක්කකි.

ජෝන් ද සිල්වා මහතා ජාතියේ උතුම් ගුණ ධර්ම හා චාරිත්‍ර වාරිත්‍ර උද්දීපනය කළ වීර පුරුෂයෙකි. අපේ භාෂාවෙත් පැරණී මුතුන්මිත්තන්ගේ පරාක්‍රමාන්විත භාවයත් මතක නැතිකර යුරෝපීය වේශධාරී බවට පැමිණ ගෙන ද, සිංහලයින්ගේ ඇස ඇරෙවූ වීර පුරුෂයා ජෝන් ද සිල්වා මහතානෝ ය. පූර්වාදේශීය භාෂා දැනඋගත් මේ නීතිඥ මහතා ස්වකීය තනතුරේ වැඩගැනම කාලය ගතකළේ නම් සෑහෙන ධනවතෙක් බවට පත්වෙන්නට ඉඩ තිබුණේය. පුද්ගලික දියුණුවට වඩා ජාතියේත් ආගමේත් රටේත් අභිවෘද්ධිය සැලසූ මේ සද්ගුණවත් පඬිතුමා බලවත් පරිශ්‍රමයෙන් හා අධික වියදමෙන් නාට්‍ය කීපයක් සම්පාදනය කොට ධර්මශාස්ත්‍ර නූගතුන් තුළ පවා අපේ උතුම් ආගම කෙරෙහිත්, ජාතිය කෙරෙහිත් ඇල්මක් ඇති කරවූවේ ය.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

 පූජිත ජීවිත දෙවන වෙළුම- අමරසිරි පොන්නම්පෙරුම, රංජිත් අමරකීර්ති පලිහපිටිය

ජෝන් ද සිල්වා සහ සිංහල නාට්‍ය- විමල් දිසානායක

ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍ය කෘතිය - ජෝන් ද සිල්වා

http://www.dinamina.lk/2016/01/26/

ජෝන් ද සිල්වා සහ ඔහු නාට්‍ය තැනූ කාලයේ පිටකොටුව-  lankapura.com

Related Articles

Exit mobile version