ශ්‍රී ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබා දෙන්නේ 2016 වසරේ දී යි. නමුත්, 2012 වසරෙන් පසුව එකදු මැලේරියා රෝගියෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ නෑ. ඒ, වසර 100ක ආසන්න කාලයක් පුරාවට මෙරට ක්‍රියාත්මක වුණු මැලේරියා මර්දන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස යි. ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් විශාල ප්‍රමාණයක් මේ වන විට මැලේරියා රෝගය සම්පූර්ණයෙන් තුරන් කර තිබෙනවා.
නමුත්, එම රටවල හා ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුවත් මැලේරියා සම්බන්ධයෙන් ලෝකයේ තවත් රටවල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. තාමත් මැලේරියා රෝගයෙන් බැටකන ආසියානු මෙන්ම අප්‍රිකානු රටවල් බොහෝ ප්‍රමාණයක් ලෝකය තුළ දකින්න ලැබෙනවා. දකුණු ආසියාවේ පමණක් බිලියන 1.3ක මිනිසුන් ප්‍රමාණයකුත් අදටත් ජීවත් වෙන්නේ මැලේරියාව වැළඳීමේ අවදානම ඇති කලාපවල. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්ෂිකව ලොව පුරා මිලියන 200කට වැඩි පුද්ගලයන් පිරිසකට මැලේරියාව වැළඳෙන බව සඳහන් වෙනවා. මියයන අයගෙන් බහුතරය වයස අවුරුදු පහට අඩු දරුවන්.
මැලේරියා බෝ වෙන්නේ කොහොමද?
ප්ලස්මොඩියම් ෆැල්සිපරම් (Plasmodium falciparum) යනුවෙන් හඳුන්වන ඒකසෛලික පරපෝෂිතයා නිසා බෝවෙන මාරාන්තික රෝගයක් ලෙස මැලේරියා හැඳින්විය හැකි යි. මෙම මාරාන්තික පරපෝෂිතයාගේ වාහකයා වන්නේ ඇනෝෆිලිස් (Anopheles) මදුරුවාගේ ගැහැණු සතා යි. මේ ක්‍රියාවලියේ දී මදුරුවන් හැසිරෙන්නේ රෝග වාහකයෙකු විදිහට යි. රෝගී පුද්ගලයෙකුගේ ලේ උරා බීපු මදුරුවෙක්, නිරෝගී පුද්ගලයෙකුගෙන් ලේ උරා බිව්වොත් මේ රෝගය පහසුවෙන්ම නිරෝගී පුද්ගලයාටත් වැළඳෙනවා.
ලංකාවේ මැලේරියා වසංගතය
මැලේරියාව බෝ කරන ප්ලස්මෝඩියම් පරපෝෂිතයන් වර්ග පහෙන් වඩාත්ම ක්‍රියාශීලී වෙන්නේ “ප්ලස්මෝඩියම් ෆැල්සිපෙරම්” (Plasmodium falciparum) හා “ප්ලස්මෝඩියම් වයිවැක්ස්” (Plasmodium vivax) කියන ඒකසෛලික විශේෂ දෙක. මෙයින් “ප්ලස්මෝඩියම් වයිවැක්ස්” කියන විශේෂය තමයි ශ්‍රී ලංකාවේ මැලේරියාව පැතිරෙන්න වැඩිපුරම හේතු වන්නේ.
ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ දී පවා මැලේරියාව ලංකා භූමිය තුළ පැතිරිලා තිබුණු බවට සාක්ෂ්‍ය හමුවෙනවා. මෑතකාලීනව ලංකාවේ ලොකුම මැලේරියා වසංගතය ඇති වුණේ 1934-35 අවුරුදුවල. මේ අවුරුදු දෙකේ දී මැලේරියා රෝගීන් මිලියන 1.5ක ප්‍රමාණයක් වාර්තා වෙන අතර, ඉන් 80,000කට වඩා පිරිසකගේ ජීවිත අහිමි වුණු බව සඳහන්.
1968-1970, 1974-1976, 1986-1988 වගේම 1991-1993 වගේ කාලවල ලංකාව තුළ මැලේරියා රෝගය වසංගත මට්ටමටම පත් වුණු බව වාර්තා වී තිබෙනවා.
2002 අවුරුද්දේ මැලේරියාව නිසා 30 දෙනෙකු මියගියත් ඉන්පස්සේ හැම අවුරුද්දකම මැලේරියාව නිසා සිදුවුණු මරණ ගණන 10කට වඩා අඩු යි. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මැලේරියා රෝගය නිසා මරණයක් වාර්තා වුණේ 2009 අවුරුද්දේ. ඒ අනුව අවසාන මැලේරියා රෝගියා වාර්තා වන්නේ 2012 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දී යි.
රටේ ජනගහනයෙන් හතරෙන් එකකට මැලේරියා වැළඳුණු 1934- 1935 වසරවල ලංකාවේ මැලේරියා වසංගතය
මෑතකාලීනව ලංකාවේ ලොකුම මැලේරියා වසංගතය ඇති වන්නේ 1934-35 අවුරුදුවල දී යි. මේ අවුරුදු දෙකේ දී වාර්තා වුණු මැලේරියා රෝගීන් මිලියන 1.5ක ප්‍රමාණයක් අතරින් 80,000කට වඩා පිරිසකගේ ජීවිත අහිමි වෙනවා. 1935 දී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහනයත් මිලියන 6කට අඩු බව වාර්තාවල දැක්වෙනවා. ඒ අනුව, රටේ ජනතාවගෙන් හතරෙන් එකකටම මැලේරියාව වැළඳුණු බව සඳහන්.
එය ඉතිහාසයේ දරුණුතම මැලේරියා වසංගතය ලෙස හඳුන්වනු ලබනවා. තරුණ, මහලු, බාල වැසියෝ දහස් ගණනින් මියයන අතර සෞඛ්‍ය පහසුකම් සැලසීම, ආහාර ඇඳුම් පැළඳුම් සැපයීම හා ආර්ථික පුනරුත්ථාපනය කිරීම ආදී කටයුතු වෙනුවෙන් රජය විශාල මහන්සියක් ගත් බව සඳහන්. එවකට ආණ්ඩුවේ ස්වදේශීය කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කළ සර් ඩි. බි. ජයතිලකට මෙම කාර්යභාරය පැවරී තිබුණු අතර, ඔහු ද වරක් මැලේරියා රෝගයට ගොදුරු වෙනවා.
1935 වසරේ සති හයක් ඇතුළත මැලේරියා වසංගතයෙන් ළමයින් 3,500ක් මියයාමේ පුවතක් 1935 ජනවාරි 25 සෙනසුරාදා දිනමිණ මුල් පිටුවෙන් වාර්තා වෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා.
‘‘කෑගල්ලෙන් ලැබී තිබෙන අලුත් ආරංචිවල හැටියට එහි තත්ත්වය තවමත් භයානක බව පෙනේ. ආරෝග්‍යශාලාවල හා වතුවල මරුමුවට පත් රෝගීන් හැර කෑගලු දිස්ත්‍රික්කයේ ගම් නියම්ගම්වල පමණක් පසුගිය මාසයේ දී 3,027 දෙනෙක් මළහ. මෙයින් 2,500 පමණ ළදරුවෝ ය”
මැලේරියා රෝගයට ගොදුරු වූ අසරණ ගැමියන් සොයා ඇන්. ඇම්. පෙරේරා ප්‍රමුඛ ලංකාවේ සූරියමල් ව්‍යාපාරයේ සාමාජිකයන් ගම් නියම්ගම්වලට ඉතා දුෂ්කරව ගිය බව ඇන්. ඇම් පෙරේරා පසුව පවසා තිබෙනවා. හරිහැටි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් තමා ඉදිරියේ දී ම රෝගීන් විශාල පිරිසක් මියගිය බවත්, සමහර ගම් පිටින් සොහොන් බවට පත් වී තිබුණු බවත්, තම මව මියගිය බව නොදැන තනයෙන් කිරි උරා බීමට තැත් කරන ළදරුන් ද තමන් දුටු බවත් ඔහු සඳහන් කරනවා. විපතට පත් වූවන් වෙනුවෙන් ඇන්. ඇම් පෙරේරාට දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා හා පිලිප් ගුණවර්ධන යන ලංකාවේ පසුකාලින වාමාංශික දැවැන්තයන් සහාය දක්වනවා.
මැලේරියා රෝගීන් වෙනුවෙන් හාල්, පරිප්පු, මාමයිට්, සිනි හා තේ කොළ වැනි දේවල් රැගෙන ගමින් ගමට ගිය හේතුවෙන් එවකට ගැමියන් අචාර්ය ඇන්. ඇම්. පෙරේරාව, පරිප්පු මහත්තයා ලෙස ගෞරව අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවා.