Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා මැතිවරණය සමගින් කරළියට එන ජාතික ලැයිස්තුව

2020 මහා මැතිවරණය ආරම්භ වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණ යි. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා පවතින මැතිවරණ සටනින් පසුව අපේක්ෂකයන් 196 දෙනෙකු දිස්ත්‍රික් පදනම යටතේ පාර්ලිමේන්තු වරම් ලැබීමට නියමිත යි. ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනාට පාර්ලිමේන්තු වරම් ලැබෙන්නේ ජාතික ලැයිස්තුව මඟින්. 2015 මහා මැතිවරණය අවසන් වීමත් සමගින් ජාතික ලැයිස්තුව යන වචනය කරළියට පැමිණියේ ඒ හරහා පරාජිත මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වරම් ලැබුණු නිසා යි. එලෙස පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසීමත් සමගම බොහෝ දෙනෙකු ජාතික ලැයිස්තුව නම් සංකල්පයට අප්‍රසාදය පළ කළා. නමුත් 1988 වසරේ මැයි 24 වැනිදා සිදු කළ 1978 ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මඟින් ජාතික ලැයිස්තු සංකල්පය හඳුන්වා දුන්නේ අරමුණු කිහිපයක් ඇතිව යි. 

ජාතික ලැයිස්තු ක්‍රමයක අවශ්‍යතාවය මතු වුණු හැටි 

1947-1977 කාලසමය තුළ මෙරට ක්‍රියාත්මක වුණේ සරල බහුතර නියෝජන ක්‍රමය යි. එම නියෝජන ක්‍රමය යටතේ ද පත් කළ මන්ත්‍රීවරුන් නමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වුණා. නමුත් එම  ක්‍රමවේදය යටතේ පාර්ලිමේන්තු වරම් හිමි වුණේ දේශපාලඥයන් සමග සමීප සබඳතාවයක් ගොඩනගා ගෙන සිටි අය යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැතිවරණයකට තරග කිරීමට අකමැති උගත් බුද්ධිමත් පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබුණු අවස්ථාව ඇහිරී තිබුණා. එම නිසාම 70 දශකය වන විට විවිධ ක්ෂේත්‍රයන්හි විශාරදයන්ට මැති සබයට පිවීසීම සඳහා ක්‍රමවේදයක අවශ්‍යතාවය මතු වුණා. 

ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙයි 

1977 වසරේ දී පැවති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ආසන 168න් 140ක් ලබාගෙන 5/6ක දැවැන්ත ජනවරමක් ලබාගත්තා. එදා එක්සත් ජාතික පක්ෂයට ලැබුණු දැවැන්ත ජනවරම නිසා ඔවුන්ට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අවස්ථාව උදා වුණා. එම කාල සමය වන විට සරල බහුතර නියෝජන ක්‍රමයේ දුර්වලතා රැසක් හඳුනාගෙන තිබුණා. එම නිසාම ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය 1978 වසරේ දී හඳුන්වා දුන් නව ව්‍යවස්ථාව මඟින් මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කරනු ලැබුවා. ඒ අනුව 1978 වසරේ සිට මෙරට ක්‍රියාත්මක වුණේ සමානුපාතික නියෝජන ක්‍රමය යි. 

ජේ.ආර් ජයවර්ධන (Newsin.Asia) 

ජාතික ලැයිස්තු ක්‍රමවේදය කරළියට පැමිණීම 

1978 වසරේ දී සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නත් මුල්ම වරට සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මහා මැතිවරණයක් පවත්වනු ලැබුවේ 1989 වසරේ දී යි. නමුත් එම මැතිවරණය පැවැත්වීමට මාස 9කට පෙර එනම් 1988 වසරේ මැයි 24 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය සිදු කරනු ලැබුවා. එම සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව සඳහා පත්කරගන්නා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 දක්වා වැඩි වුණා. එහි දී හඳුන්වා දුන් ජාතික ලැයිස්තුව නම් ක්‍රමවේදය තුළින් තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමි වුණා.

ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වාදීමේ අරමුණු 

ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ වුණේ උගත්, බුද්ධිමත් පුද්ගලයන්ගේ සහාය පාර්ලිමේන්තුව සඳහා විධිමත්, අර්ථවත්, රටට වැඩදායි ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කරගැනීම යි. එහි දී ජාතික ලැයිස්තුව මඟින් රටේ සිටි මහාචාර්යවරුන්ට, ආචාර්යවරුන්ට, සහ විවිධ ක්ෂේත්‍රවලට අයත් විශාරදයන්යන්ට මැති සබයට පැමිණීමට අවස්ථාව ලබා දීම ප්‍රධාන අරමුණ වුණා. ජාතික ලැයිස්තු ක්‍රමය මගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වුණු අරමුණු කිහිපයක් පහත දැක්වෙනවා.

1) උගත්, බුද්ධිමත් පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිකර දීම 

2) ඔවුන් තුළ ඇති බුද්ධිමත්භාවය, කාර්යශූරත්වය සහ වෘත්තිමය හැකියාවන් රට සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම 

3) කාර්යක්ෂම සහ විධිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීම 

4) සුළු ජාතින්ට ද වැඩි නියෝජනයක් ලබා දීම 

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තෝරාගන්නා ආකාරය 

මහා මැතිවරණයට පෙර සෑම පක්ෂයකින්ම ජාතික ලැයිස්තුවට ඇතුළත් වන අපේක්ෂකයන්ගේ නම් 29ක් මැතිවරණ කොමිසම වෙත ලබාදෙනවා. ඉන් අනතුරුව පැවැත්වෙන මහා මැතිවරණයේ දී එක් එක් පක්ෂය ලබාගන්නා මනාප ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයන් පක්ෂ අතර බෙදී යනවා. පහත දක්වා ඇත්තේ 1989 මහා මැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී ගිය ආකාරය යි. 

වලංගු ඡන්ද ප්‍රමාණය- 5,596,468

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද- 2,838,005 (දිස්ත්‍රික් ක්‍රමයට ආසන- 110)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද- 1,785,369 (දිස්ත්‍රික් ක්‍රමයට ආසන- 58)

ඊරෝස් සංවිධානය ලබාගත් ඡන්ද- 229,877 (දිස්ත්‍රික් ක්‍රමයට ආසන- 12)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලබාගත් ඡන්ද- 202,016 (දිස්ත්‍රික් ක්‍රමයට ආසන- 3)

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද- 188,594 (දිස්ත්‍රික් ක්‍රමයට ආසන- 9)

එක්සත් සමාජවාදී පෙරමුණ ලබාගත් ඡන්ද- 160,271 (දිස්ත්‍රික් ක්‍රමයට ආසන- 2)

මහජන එක්සත් පෙරමුණ- 91,128 (දිස්ත්‍රික් ක්‍රමයට ආසන- 2)

1) එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවුණු මන්ත්‍රී ධූර = 2,838,005/5,596,468 X 29

                                                                                                                    = 14.70 (ආසන්න වශයෙන් 15)

                                                                                                                    =  මන්ත්‍රී ධූර 15  

2) නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවුණු මන්ත්‍රී ධූර = 1,785,369/5,596,468 X 29

                                                                                                          = 9.25(ආසන්න වශයෙන් 9)

                                                                                                          =  මන්ත්‍රී ධූර 9

 

3) ඊරෝස් සංවිධානයට ජාතික ලැයිස්තුවෙන් හිමිවුණු මන්ත්‍රී ධූර = 229,877/5,596,468 X 29

                                                                                       = 1.19 (ආසන්න වශයෙන් 1)

                                                                                       =  මන්ත්‍රී ධූර 1

 

4) මුස්ලිම් කොංග්‍රසයට ජාතික ලැයිස්තුවෙන් හිමිවුණු මන්ත්‍රී ධූර = 202,016/5,596,468 X 29

                                                                                       = 1.04 (ආසන්න වශයෙන් 1)

                                                                                       =  මන්ත්‍රී ධූර 1  

5) ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් හිමිවුණු මන්ත්‍රී ධූර = 188,594/5,596,468 X 29

                                                                                                      = 0.97 (ආසන්න වශයෙන් 1)

                                                                                                      =  මන්ත්‍රී ධූර 1 

6) එක්සත් සමාජවාදී පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් හිමිවුණු මන්ත්‍රී ධූර = 160,271/5,596,468 X 29

                                                                                                      = 0.83 (ආසන්න වශයෙන් 1)

                                                                                                      =  මන්ත්‍රී ධූර 1 

7) මහජන එක්සත් පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් හිමිවුණු මන්ත්‍රී ධූර = 91,128/5,596,468 X 29

                                                                                                 = 0.47 

                                                                                                 =  මන්ත්‍රී ධූර 1 

එහි දී මහජන එක්සත් පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වුණේ පක්ෂ 6ක් අතරේ මන්ත්‍රී ධූර 28ක් බෙදීයාමෙන් පසුව ඉතිරි මන්ත්‍රී ධූරය ලබා දීම සඳහා වැඩිම ඡන්ද ප්‍රමාණයක් මහජන එක්සත් පෙරමුණට හිමිව තිබුණු නිසා යි.

බලාපොරොත්තු වුණු වෙනස ඉටු වුණාද?

1988 වසරේ දී මහත් බලාපොරොත්තු තබාගෙන ජාතික ලැයිස්තුව නම් ක්‍රමය හඳුන්වා දුන්නා. 1989 වසරේ සිට අද දක්වා සමානුපාතික ක්‍රමය යටතේ පැවති මැතිවරණවල දී ජාතික ලැයිස්තුව මඟින් විවිධ ආකාරයේ පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම හිමි වුණා. නමුත් ඉන් බහුතරයක් දෙනා ජනතාව අපේක්ෂා කළ අන්දමේ පුද්ගලයන් නොවෙයි. 1989-2010 අතර කාල සමයේ දී බොහෝ දුරට සිදු වුණේ දේශපාලන පක්ෂ නායකයන්ගේ හිතවතුන්ට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තු වරම් හිමිකර දීම යි. ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් කතා කරන විට පිළිකුල් සහගතම සිදුවීම දක්නට ලැබුණේ 2015 මහා මැතිවරණයේ දී යි. එහි දී ජනතා ඡන්දයෙන් පරාජය වුණු අපේක්ෂකයන් කිහිපදෙනෙකුට යළි පාර්ලිමේන්තු වරම් හිමිකර දීම ජනතා පරමාධිපත්‍යය බලය හෑල්ලු කිරීමක් බව කිව යුතුයි. මෙවර මහා මැතිවරණයේ දී එම වරද නිවැරදි කරගෙන ජාතික ලැයිස්තුව නම් ක්‍රමයට සාධාරණයක් ඉටුකරන තෙක් අපි බලා සිටිමු. 

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (Newsin.Asia)  

මූලාශ්‍රයයන්- 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 

Related Articles