“බොහොම සූක්ෂමයි. බොහොම භයානකයි. වෛද්‍යවරයෙක් අපරාධ කරන්න ගත්තාම අතිශයින්ම භයානකයි. ඔහු ඉබේම දරුණු අපරාධකාරයෙක් බවට පත්වෙනවා. ඒ මොකද වෛද්‍යවිද්‍යාත්මක දැනුමෙන් ලැබෙන තියුණු බුද්ධියත්, නිර්භීතකමත් දෙකම ඔහුට තියෙනවා. ඒකයි පාමර් සහ ප්‍රිචාඩ් දෙදෙනාම මිනීමැරූ දොස්තරලාගෙ ලේඛණයේ ඉහළටම ගියේ”
-ෂර්ලොක් හෝම්ස් –
තිත් වැටුණු පටිය – චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනය
සර් ආතර් කොනන් ඩොයිලි තමන් විසින් රචනා කරන ලද තිත් වැටුණු පටිය නම් ෂර්ලොක් හෝම්ස් කතාවේ එසේ සඳහන් කරනවා. නමුත් ඔහු සඳහන් කරන මේ “පාමර් සහ ප්‍රිචාර්ඩ්” නම් ඔහු විසින් රචිත චරිත දෙකක් නෙවෙයි. පාමර් සහ ප්‍රිචාර්ඩ් 19වන ශතවර්ෂයේ දී එංගලන්තයේ වාසය කළ, විෂ යොදා මිනීමැරීම සම්බන්ධයෙන් කුප්‍රකට වෛද්‍යවරුන් දෙදෙනෙක්. පාමර් සහ ප්‍රිචාඩ් මොකද කළේ? මේ ලිපිය ඔවුන් දෙදෙනා ගැනයි.
පාමර්ගේ කතාව
විලියම් පාමර්ව හඳුන්වන්නේ “විෂ යොදන්නන්ගේ ඔටුණු පලන් කුමරු” ලෙසයි. 19 වන සියවසේ එංගලන්තයේ සිදු වූ දරුණුතම අපරාධයන්ගෙන් එකකට වරදකරු වුණේ “රූජ්ලි මිනීමරුවා” ලෙසින් ද නම් ලද වෛද්‍ය පාමරුයි.
පාමර් සූදුවට ඇබ්බැහි වී සිටියා. ඔහු විසින් ඝාතනය කරන ලදැයි චෝදනා කෙරුණේ ඔහු මෙන්ම රේස් අශ්වයින්ට ඔට්‍ටු තැබීමට ඇබ්බැහිව සිටි ඔහුගේ මිතුරෙකු වන ජෝන් පාර්සන්ස් කුක්වයි.
පවුලෙන් උරුම වූ මුදල් සහිත වූ කුක් තරමක පොහොසතෙක්. 1855 නොවැම්බර් මස 14 වන දා තැබූ ඔට්‍ටුවකින් කුක් ජයග්‍රහණය කර පවුම් 3000ක මුදලක් දිනාගත්තා. නමුත් පාමර් ඔට්‍ටු ඇල්ලූ අශ්වයා පරාජයට පත්වුණා. එදින පාමර් සමඟ බ්‍රැන්ඩි පානයකට හවුල් වූ කුක් එයින් පසු දරුණු ලෙස රෝගී වූ නමුත්, දින කීපයකින් සුව අතට හැරුණා. ඒ අතරේ, පාමර් විසින් ණය ලබාගත් පුද්ගලයින් ඔහුගෙන් මුදල් ඉල්ලා ඔහුට තර්ජනය කළ බව කියැවෙනවා. ඉතින් පාමර්ට මුදල් අවශ්‍යව තිබුණා.
දින කීපයකට පසු පාමර් සමඟ කෝපි පානය කළ කුක් නැවතත් රෝගී තත්ත්වයට පත්වෙනවා. කුක්ගේ නීතීඥයා විසින් ඔහුගේ රෝගී තත්ත්වය අසා ඔහු වෙනුවෙන් එවූ සුප් පානයත් “උණුසුම් කරවීම” සඳහා පාමර් විසින් කුස්සියට යවනවා. එය පානය කළ කුක්ගේ වමනය තවත් දරුණු වෙනවා (මේ සුප් පානයෙන් හැඳි දෙකක් රස බැලූ කුස්සියේ සේවිකාව ද අසනීප වූ බව සඳහන්). මේ අතරේ, කුක් විසින් ඔට්‍ටු ඇල්ලූ තැන් වලට යන පාමර් කුක් ජයග්‍රහණය කළ මුදල් එකතු කරගන්නේ ඒ සඳහා කුක්ගේ අවසරය තමාට ලැබුණු බව කියමිනුයි.
18 වන දා පාමර් විසින් ස්ට්‍රික්නීන් නම් විෂ වර්ගයෙන් ග්‍රේන් තුනක ප්‍රමාණයක් මිළට ගෙන එයින් පෙති කීපයක් සෑදූ බවයි කියැවෙන්නේ. ඉන් දින 2කට පසු රාත්‍රියක ඔහු විසින් කුක් ට “ඇමෝනියා පෙති” 2ක් ලබාදීමෙන් අනතුරුව දැඩි ලෙස රෝගී වන ඔහු 21 වන දා පාන්දර 1ට පමණ මියයන්නේ තමාගේ හුස්ම හිරවෙන බව පවසමින්, දැඩි වේදනාවකිනුයි.
කුක්ගේ මරණයෙන් පසු එහි පැමිණි ඔහුගේ සුළුපියා ඉල්ලුම් කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි. නමුත් ඒ අතරේ පාමර් විසින් කුක් මියගියේ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා බව කියැවෙන මරණ සහතිකයක් ලබාගෙන තිබුණා. කෙසේ නමුත් මරණය සිදුව ඇත්තේ විෂ වර්ගයක් නිසා බව තීරණය කෙරුණු අතර පාමර්ව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කෙරුනා. ඔහුගේ කලකට පෙර මියැදුණු බිරියගේ සහ කුඩා පුතුගේ මරණයන් සැක සහිත බව තීරණය කිරීමෙන් පසු ඒ සිරුරු ද ගොඩගැනුනා.
මරණ පරීක්ෂණයක් සඳහා නොසුදුසු ලෙස පුතුගේ සිරුර දැඩිසේ දිරාගොස් තිබුණත්, හොඳ තත්ත්වයෙන් තිබූ ඔහුගේ බිරිඳගේ සිරුරේ තිබී ඇන්ටිමනි නම් විෂ වර්ගය විශාල ප්‍රමාණයන්ගෙන් සොයාගැනුනා. පාමර් විසින් ඇයගේ ජීවිතය පවුම් 13 000කට රක්ෂණය කර, පසුව ඒ රක්ෂණ මුදල් ලබාගැනීම සඳහා ඇයව විෂ යොදා ඝාතනය කර තිබුණා.
මේ සියළු ඝාතනයන්ට වැරදිකරු කරන ලද, එවකට 31හැවිරිදිව සිටි පාමර් 1856 වසරේ ස්ටැෆර්ඩ් බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබුවා.
ප්‍රිචාඩ්ගේ කතාව
වෛද්‍ය එඩ්වර්ඩ් ප්‍රිචාඩ් 1846 දී එංගලන්තයේ නාවික හමුදා ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙක්. වසර කීපයකට පසු එයින් විශ්‍රාම ගත් ඔහු මේරි ජේන් ටේලර් නම් කාන්තාවක් හා විවාහ වී, යෝක්ෂයරයේ පුද්ගලික වෙදකමක් ඇරඹූ නමුත්, 1960 දී පමණ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරට සංක්‍රමණය කරනවා. එහිදී 1864 පමණ වන විට මේරි ප්‍රිචාඩ් දරුණු ලෙස රෝගී වෙනවා. කෙසේ නමුත් වෛද්‍ය සැමියෙකු සිටීම ඇගේ වාසනාවට හේතු වුණේ නෑ. ප්‍රිචාඩ් මිනීමරුවෙකු මෙන්ම, වෙනත් ගැහැණුන් හා සම්බන්ධකම් පවත්වන්නෙක් බව ද ඈ නොදැන සිටියා.
මෙම සිදුවීමට මද කලකට පෙර ප්‍රිචාඩ්ගේ නිවසේ සිටි 15හැවිරිදි මෙහෙකාරිය ඔහු අතින් ගැබ්ගත්තා. සිය බිරිය මියයාමෙන් පසුව ඇයව විවාහ කරගන්නා බවට මෙහෙකාරියට පොරොන්දු වූ ප්‍රිචාඩ්, ගබ්සාවක් සඳහා ඇයව කැමති කරවාගත්තා. මේරි ප්‍රිචාඩ් රෝගී වන්නේ මෙම සිදුවීමෙන් පසුවයි.
1865 පෙබරවාරි 1වන දා මේරිගේ මව එහි පැමිණෙන්නේ ඇයට සාත්තු කිරීමටයි. නමුත් පසුදිනයේම රෝගී බවට පත්වන ඇයත් ඉන් දින 24කට පසු මියයනවා. මේරිගේ රෝගී තත්ත්වය දරුණු වන අතර, ඇය ද මාර්තු 18 වන දා මරණයට පත්වෙනවා.
ඉන් දින දෙකකට පසුව රාජ චෝදකතැනට නිර්නාමික ලියුමක් ලැබෙන්නේ ප්‍රිචාඩ් විසින් මෙම මරණයන් දෙක සිදුකළ බවට සැකයක් ඇති බවටයි. මෙම ලිපිය එවන ලද්දේ වෛද්‍ය පේටර්සන් නැමැත්තෙකු විසින් බව සැලකෙනවා (ප්‍රිචාඩ් විසින් මරණ සහතික ලබාගැනීම සඳහා ඔහු වෙත ගියත්, ඒවා ලබාදීම මෙම වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා). ඒ අනුව ගොඩගන්නා ලද සිරුරු වල තිබී ඇන්ටිමනි විශාල ප්‍රමාණයක් සොයාගත් අතර, ඒ මරණයන්ට වරදකරු බවට තීරණය වුණු ප්‍රිචාඩ් ග්ලාස්ගෝහි දී එල්ලා මරණයට පත්කෙරෙනවා. 1865 දී මරණ දඬුවමට මුහුණ පෑ, එවකට 40හැවිරිදිව සිටි ප්‍රිචාඩ්, ග්ලාස්ගෝහි දී ප්‍රසිද්ධියේ එල්ලා මරාදැමූ අවසන් පුද්ගලයා යි.
ඊට වසර 2කට පෙර, 1863 දී ප්‍රිචාඩ් සිටි නිවෙස ගිනිගෙන තරුණ සේවිකාවක මරණයට පත්වුණා. ගින්න ආරම්භ වුණේ ඇගේ කාමරයෙන් බව සිතුවත්, ඈ එයින් බේරීමට තැත් නොකළ බව අනාවරණය වුණා. ඇය ද ප්‍රිචාඩ් සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ බවට උපකල්පනය කළ හැකි අතර, කුමක් හෝ හේතුවක් නිසා ප්‍රිචාඩ් ඇයව මත්කර හෝ මරාදමා, ඈ සමඟම සිය නිවෙසට ද ගිනි අවුලවන්නට ඇති බව සැකයක් තිබුණත් ඒ සිදුවීම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ නැහැ.
ඉතින් පාමර් සහ ප්‍රිචාඩ්ගේ සිදුවීම් ගැන ඔබ සිතන්නේ කුමක් ද? කමෙන්‍ටුවකින් අපට කියන්න.
මූලාශ්‍ර:
A Brief History of Poisons
The Scotsman
Criminal Poisoning: Investigational Guide for Law Enforcement, Toxicologists, Forensic Scientists, and Attorneys
දියමන්ති ඔටුන්න – චන්දන මෙන්ඩිස්
Cover: flickr