මීට වසර දහස් ගණනකට පෙර ලොව බිහිවූ ශිෂ්ඨාචාර වල ජනයා ද වර්තමාන ජනයා මෙන්ම නව සොයාගැනීම කිරීමට මහත් ආශාවකින් පෙළුණු අතර, ඒ සඳහා නිරන්තරයෙන් උත්සාහ ද කළා. විශේෂයෙන් අනුස්මරණීය දේ ඉදි කිරීමේ දී ඒවා හැකිතාක් අපූර්ව ලෙස ඉදිකිරීමට ඔවුන් හැකි සෑම උත්සාහයක්ම දැරුවා. ඒවා ඵල දැරූ අතර ඉන් සමහරක් වර්තමාන තාක්ෂණයෙන් පවා ඉදි කිරීම අපහසු බව විද්වතුන්ගේ මතය යි. ඒවායින් විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් වන ‘පැරණි පුදුම හත’ පිළිබඳව මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කරනවා.
ගීසා හි පිරමීඩ
ඊජිප්තුවේ වර්තමාන අගනුවර වන කයිරෝවට උතුරින්, නයිල් ගංගාවේ බටහිර ඉවුරේ පිහිටා ඇති ගීසාහි පිරමීඩ, පැරණි පුදුම හත අතුරින් අදට නොනැසී පවතින එකම ඉදිකිරීම මෙය යි. මෙහි පිරමීඩ 3ක් ඇති අතර ඒවා ක්‍රි.පූ 2700 -2500 අතර කාලයෙහි ඉදිකොට තිබෙනවා. මින් විශාලම පිරමීඩය වන ‘කුෆු’ අක්කර 13ක භූමියක් වසගෙන පැතිරී ඇති අතර ටොන් කිහිපයක් බර ගල් කුට්ටි මිලියන 2කින් පමණ ඉදි කොට තිබෙනවා. මෙය ක්‍රි.ව 19 වන සියවස වන තුරු මිනිසා විසින් ඉදිකළ උසින් වැඩිම ඉදිකිරීම වෙනවා.
පැරණි පාරාවෝ රජ දරුවන්ගේ සොහොන් ගෙවල් වන මේ වායේ පුදුමාකාර කරුණ වන්නේ ඉහළ තාක්ෂණය හෝ යන්ත්‍රෝපකරණ නැති සමයක ඉතා සමමිතිකව ඉදි කර තිබීමයි. මේවා තුල රාජකීය මමි මෙන්ම ඔවුන් සතු වස්තුවත් තැන්පත් කර තිබුණා.
එෆිසස් හි ආටෙමිස් දේවස්ථානය
වර්තමානයේ තුර්කියට අයත් වූවත් අතීතයේ ග්‍රීසියට අයත්ව තිබූ වෙරළබඩ නගරයක් වන එෆිසස් හි, ආටෙමිස් දෙවඟන වෙනුවෙන් වූ දෙවොලත් පැරණි පුදුම හතෙන් එකක්. ඇත්තෙන්ම මෙය පිහිටි ස්ථානයේ ආටෙමිස් දෙවඟන වෙනුවෙන් විටින් විට දේවස්ථාන කිහිපයක්ම ඉදි වී තිබෙනවා. මින් විශිෂ්ටතම එක ලෙස සැලකෙන්නේ කිරිගරුඬ යොදාගෙන ක්‍රි.පූ 550 – 350 අතර ඉදිව තිබූ දෙවොල යි. එය ඉදිකිරීම සඳහා පුරාතන ලෝකයේ විශිෂ්ටතම කලාකරුවන් රාශියක් සම්මාදම් වී තිබුනා. මෙය ක්‍රි.පූ 356 දී විනාශ කරනු ලැබ තිබෙනවා.
පැරණි දේවස්ථානය විනාශ කර වසර 6කට පසු නව දේවස්ථානයක් ඉදි කිරීමට පටන් ගෙන ඇති අතර එම දෙවොල වටා කිරිගරුඬ පියගැට සහිත අඩි 400කට වඩා දිගු ටෙරසයක් ඉදිකොට තිබෙනවා. මෙම නව දෙවොල අඩි 60ක් උස කිරිගරුඬ කණු 127කින් මෙන්ම ආටෙමිස් දෙවඟනගේ ප්‍රතිමාවකින් ද සමන්විත වුනා. මෙයත් ක්‍රි.ව 262 දී විනාශ වී ඇති අතර 19වන සියවසේ අග භාගයේ දී මෙහි නටඹුන් නවීන ලෝකයට හමු වුණා. 2014 වසරේ දී මෙම ස්ථානය ලෝක උරුමයක් සේ නම් කෙරුණා.
බැබිලෝනියාවේ එල්ලෙන උයන
පැරණි පුදුම 7 අතුරින්, තවමත් පැවති ස්ථානය නිසියාකාරයෙන් හඳුනාගත නොහැකිව තිබෙන එකම ඉදිකිරීම වශයෙන් බැබිලෝනියාවේ එල්ලෙන උයන සැලකෙනවා. සමහරෙක් විශ්වාස කරන්නේ මෙය මුළුමනින්ම ප්‍රබන්ධයක් බවයි.
බැබිලෝනියාවේ එල්ලෙන උයන සත්‍ය වශයෙන්ම පිහිටියායැයි සලකන ප්‍රජාවට අනුව එය ක්‍රි.පූ 600 දී පමණ බැබිලෝනියාවේ විසූ දෙවැනි නෙබුකඩ්නේසර් රජ විසින් ඉදිකර තිබෙනවා. මෙය තට්ටු කිහිපයක් ඇතිවන පරිදි ඉදිකළ උද්‍යානයන් කිහිපයක එකතුවක් ලෙස සැලකෙන අතර, මධ්‍යම බැබිලෝනියාවේ හෙවත් වර්තමාන ඉරාකයෙහි පිහිටා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
එල්ලෙන උයනෙහි විශේෂත්වය වන්නේ එහි ඉදිකර තිබුණා යැයි සැලකෙන උද්‍යාන පොළොවේ සිට අඩි 75ක් පමණ ඉහළින් ‘එල්ලෙන’ පරිදි නිමවා තිබීම යි. එය සත්‍ය නම් වර්තමාන තාක්ෂණය නොමැතිව ඊට ජල සැපයුම සිදුකළ ආකාරය විශ්මයජනක වෙනවා. මෙය සත්‍ය යැයි උපකල්පනය කරන විද්වතුන් පවසන්නේ මොනයම් හෝ ක්‍රමවේදයකින් ජලය ඉහළට පොම්ප කරන්නට බැබිලෝනියානු ජනයා දැන සිටි බවයි. ක්‍රි.ව 1 සියවස වන විට මෙය මුළුමනින්ම විනාශ වන්නට ඇති බවත් මොවුන් සලකනවා.
ඔලිම්පියා හි සියුස් ප්‍රතිමාව
අතීතයේ ග්‍රීසියෙහි විසූ මූර්ති ශිල්පියෙකු වන ෆිඩියස් විසින් නිර්මිත යැයි සැලකෙන මේ ප්‍රතිමාව පුරාතනයේ ග්‍රීසියේ ඔලිම්පියාහි තිබූ සියුස් දේවස්ථානයේ ස්ථානගත කොට තිබුණා. මෙය ක්‍රි.පූ 5 වන සියවසෙහි නිර්මිත යි. අඩි 40ක් පමණ උස හිඳි ප්‍රතිමාවක් වන මෙය අලංකාර කිරීමට යහමින් ඇත්දළ හා රත්‍රන් යොදාගෙන තිබුණා. ප්‍රතිමාවේ හිස දේවස්ථානයෙහි පියස්සි ගෑවී නොගෑවී තිබුණු බව සඳහන් වෙනවා.
ඔලිම්පියාහි සියුස් ප්‍රතිමාව නිරුපද්‍රිතව ශතවර්ෂ 8ක් පමණ තිබී ඇති අතර එය ක්‍රි.ව 4වන සියවසේ කොන්ස්තන්තිනෝපලයට ගෙන ගොස් තිබෙනවා. ක්‍රි.ව 462 දී ඇති වූ ගින්නකින් මෙය විනාශ වී තිබෙනවා.
ඇලෙක්සැන්ඩ්‍රියා හි ප්‍රදීපාගාරය
මිසරයෙහි ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි කුඩා දූපතක් වන ෆැරොස් හි පිහිටා තිබූ ප්‍රදීපාගාරය, ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියෙකු වන සොස්‍රතොස් ගේ නිර්මාණයක් ලෙස සැලකෙනවා. මෙය ක්‍රි.පූ 270 දී හෙවත් දෙවන ටොලමි රජ සමයේ නිමවා තිබෙනවා. නයිල් ගඟේ යාත්‍රා කරන නැව් හා ඔරු වලට මඟ පෙන්වීමට නිමවූ මෙය ඇලෙක්සැන්ඩ්‍රියා වරායට පැමිණෙන නැව් වලටත් දිශාව හඳුනාගැනීමට මහෝපකාරී වී තිබෙනවා.
මෙම ප්‍රදීපාගාරය කොටස් තුනකට ඉදිකර ඇති අතර පහළම කොටස චතුරස්‍රාකාර ලෙස ද, මැද කොටස අෂ්ඨාස්‍රාකාර (මුළු 8ක් ඇති) ලෙස ද, ඉහළ කොටස සිලින්ඩරාකාර ලෙස ද ඉදිකර තිබෙනවා. ඊට ඉහළින් අඩි 16ක ප්‍රතිමාවක් ද ඉදිකොට තිබූ අතර එය දෙවන ටොලමි ගේ හෝ මහා ඇලෙක්සැන්ඩර්ගේ බවට සැලකෙනවා. මෙය සමස්ථ වශයෙන් අඩි 380ක් පමණ උස්ව තිබී ඇති අතර ක්‍රි.ව 956 හා 1323 අතර ඇති වූ භූමිකම්පා කිහිපයකට මුහුණ දීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම විනාශ වූවා.
මොසොලස් ගේ සොහොන් කොත
වර්තමානය වන විට දකුණුදිග තුර්කියට අයත් හෙවත් අතීතයේ හැල්කර්නාසස් නුවරට අයත්ව පිහිටා තිබුණු මෙම සොහොන්ගෙය ක්‍රි.ව 353 මියගිය මොසොලස් නම් රජතුමා වෙනුවෙන් ඔහුගේ බිරිය වන ආර්ටිමිසියා විසින් ඉදිකරන ලද්දක්.
සම්පූර්ණයෙන්ම පාහේ කිරිගරුඬින් ඉදිකර තිබූ මෙහි උස අඩි 135ක්. මෙය ඍජුකෝණාස්‍රාකාර හැඩයේ තට්ටු තුනකට ඉදි කර තිබෙන අතර ග්‍රීක, ලිසියානු, හා ඊජිප්තු ගෘහනිර්මාණ සම්ප්‍රදායයන් අනුගමනය කොට තිබෙනවා. මේ ස්ථර තුනම විවිධ අයුරින් අලංකාර කර තිබෙනවා. මෙය ක්‍රි.ව 13 වන සියවසේදී භූමි කම්පාවකින් විනාශ වූ අතර ක්‍රි.ව 1846 දී ඉතිරි වූ කොටස් වෙනත් මාලිගාවක අළුත්වැඩියා කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා.
කොලොසස් හි ප්‍රතිමාව
ග්‍රීක හිරු දෙවියන් වන හීලියස්ගේ සුවිසල් ප්‍රතිමාවක් ග්‍රීසියේ රෝඩ්ස් දිවයිනේ, රෝඩ්ස් වරායේ මුවදොරෙහි පිහිටා තිබුණා. මෙය ක්‍රි.පූ 280 දී ඉදි කරන ලද්දක්. කෙසේ නමුත් මෙය පැවතී ඇත්තේ වසර 54ක් වැනි කෙටි කාලයක් පමණක් වන අතර භූ කම්පනයකින් විනාශ වී තිබෙනවා. මෙය මීටර 30ක් උස්ව තිබූ අතර යකඩ හා ලෝකඩ වලින් නිමවා, කිරිගරුඬ පාදමකින් සමන්විතව තිබෙනවා.
කවරයේ පින්තූරය -egyptianstreets.com
මූලාශ්‍ර
history.com
telegraph.co.uk