සුද්දිලාගේ කතාව

සයිමන් නවගත්තේගම ශූරීන් විසින් රචිත සුද්දිලාගේ කතාව, රිදී තිරයේ ඒ නමින්ම ධර්මසිරි බණ්ඩාරනායක විසින් සිනමා සිත්තමට නැගුණා. පොත කියවලා චිත්‍රපටිය නරඹද්දී දැනෙනවා චිත්‍රපටියකට කාලය හා සංස්කෘතික වැනි කෙතරම් සීමා මායිම් තියෙනවද කියලා. පොතක කර්තෘවරයෙකුට එවැනි සීමා නෑ. එකම සීමාව නම් කර්තෘගේ නිර්මාණාත්මක හැකියාව.

emars.lk

මේ නවකතාව දිව යන්නේ මරණ හා අනියම් සම්බන්ධතා මැදින්. එහි ප්‍රධාන චරිත හතර වන්නේ; රොමියෙල්, සුද්දී, සිරිමෙවන් මුදලාලි හා ආරච්චි. කතාව අවසානයේ දී සිරිමෙවන් මුදලාලි හැර අනෙක් තිදෙනාව මියයනවා. ඇත්තටම කිව්වොත්, මරා දමනු ලබනවා. නවකතාවේ අවසානයට රොමියෙල් මරා දැමුවත්, චිත්‍රපටියේ සුද්දිගේ මරණයත් එක්කම කතාව අවසන් වෙනවා. සිය දුශ්චරිතයන් අත්හරිනු ලැබූ රොමියෙල්, පීතරගේ බිරිඳ සමග යහපත් ලෙස ජීවත් වනු ඇතැ යි යන හැඟීම ඉතුරු කරන්නට මෙම සිනමාපටය සමත් වෙනවා. 

කතාවේ කශේරුව වන්නේ; සිරිමෙවන් මුදලාලිගේ හා සුද්දිගේ අනියම් පෙම. මුලින්ම මේ පෙම ඇරඹෙන්නේ ඇයගේ අගහිඟකම් නිසාවෙනුයි. ඇත්තටම, සුද්දි නගරයෙන් ගමට පැමිණි නිසාවෙන් දෝ ගමක ගැහැනියක් මෙන් හෙනේ කුඹුරේ දාඩිය හෙලා ගෙන කරන කාර්යයන් ඇය ප්‍රතික්ශේප කරනවා. මුල දී ආර්ථික හේතු උඩ පටන් ගත් මේ අනියම් ප්‍රේමයට, පසුව ඇය ඇබ්බැහි වෙනවා. බොහෝ ගණිකාවන්ගේ සැබෑ තත්ත්වයත් මේකම තමයි. සුද්දි යනු උප්පතියෙන්ම කාමාශාව ඇති අයෙක්. ඇය නිතරම සොයන්නේ, ඉක්මනින් සැප පහසුකම්. රොමියෙල්ව පවා කිසිවකුට වරදක් නොකරපු පිතර මරන්නට පොළඹවන්නේ ඇයගේ මේ ආශාව. සප්ත භාර්යා සුත්‍රයේ එන භාර්යාවන් තිදෙනෙක්ම සුද්දි තුළ දක්නට ලැබෙනවා. වධක භාර්යා, චෝරි භාර්යා, ආර්ය භාර්යා යන භාර්යාවන් තිදෙනාම ඇය තුළ වෙසෙනු දක්නට ලැබෙනවා. නමගිය අයි. ආර්. සී. කාරෙයෙකු වූ රොමියෙල්ව යහපත් මාර්ගයට යන්නේ පීතරගේ බිරිය නිසා. ඒ අනුව පිරිමියෙකුගේ ජීවිතය වෙනස් කිරීම රඳා පවතින්නේ බිරියක අත බව මේ කතාවෙන් කියවෙනවා. එහෙත්, දෛවයේ සරදමට මෙන් කුහුඹියෙකුටවත් වරදක් නොකරන පීතරගේ බිරිඳ අවසානයේ ඔහුව මිනීමරුවෙකු බවට පත් කරනවා.

filmaffinity.com

මේ කතාවේ තියෙන විශේෂ දේ තමයි; රටේ පවතින දේශපාලන සිදුවීම මිනිසුන්ට බලපාන ආකාරය. 1956 බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් ගත් තීරණ දෙකක් මේ කතාවට පාදක කර ගන්නවා. මුලින්ම ගමේ ප්‍රවේණි උරුමයක් ලෙස පැවති ආරච්චි තනතුරු විභාග ක්‍රමයක් මත පදනම් වූ ග්‍රාම සේවක තනතුරකට භාර කරනවා. ඇත්තටම ගමේ ආරච්චි තනතුර බොහෝ විට භාවිතා වූයේ කුලහීන තලා පෙලා කුලීනයන්ට සමාජ-ආර්ථික වටිනාකම් නෙළා ගැනීමට. ආරච්චි තනතුර අහිමි වූවත්, ඔහු සිය බල පුළුවන්කාරකම් ඔස්සේ සිය ආධිපත්‍යය පතුරනවා. ඒ වගේම 1958 දී සම්මත වූ අඳ ගොවි පනත එහෙමත් නැත්නම්, කුඹුරු පනතේ බලපෑමත් මේ කෘතියෙන් කතා කරනවා. අඳ ගොවි පනත ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්. ඒ ගැන වෙනම ලිපියකින් කතා කළ යුතු වෙනවා. ඇත්තටම කුඹුරු පනත ගෙන ඒමේ අරමුණ, එතෙක් වහල් සේවයක් ලෙස පැවති අඳ ගොවියන් ඉන් මුදා ගැනීම යි. ඒත්, නීතිය හිල්වලින් රිංගායාම හැම කල්හිම පැවතුණා. එපරිද්දෙන්ම, මේ අඳ ගොවි නීතියෙන් ද මුදල් බලය හා සමාජ බලය හිමි පන්තිය රිංගා යනවා. ඇත්තටම, මේ නීතියේ වරදකට වඩා නීතිය නූගත් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීමෙහි ලා පවතින දුර්වලතාව යි. නිකවැරටිය, ගල්ගමුව, පුත්තලම සහ ආණමඩුව ආදි ප්‍රදේශවලට මායිම්ව විකාශනය වන මේ කතාවේත් ගැමියන්ට මෙම නීතිය ගැන දැනගන්නට ලැබෙන්නේත් ඉහළ පැලැන්තියෙන්. එයත් දැනට භාවිතා වන ජනමාධ්‍ය වගේ. ඔවුන් මිනිසුන්ට සම්ප්‍රේෂණය කරන්නේ තමන්ට වාසිදායක ප්‍රවෘත්ති පමණයි. අවසානයේ ඉන් මුලා වන්නේ ද අසරණ මිනිසුන්.

ගැමි සුන්දරත්වය කෙතරම් වර්ණනා කළත්, මේ නවකතාව ගමේ පවතින යාථාර්ථය හෙළි කරනවා. ගැමියා තුළ පවතින ද්‍රරිද්‍රතාවය මෙන්ම කුල පීඩනය තුළ ඔවුන් නොයෙකුත් අපරාධ ක්‍රියා සඳහා යොමු වෙනවා. බුෂ්වන්ත් සිං විසින් ලියූ අවසාන දුම්රිය නවකතාවේ කුසගින්න, නැතිබැරිකම හා අසාධාරණය අපරාධකරුවන් බිහි කරයි යන්න සුද්දිලාගේ කතාව තහවුරු කරනවා.

මේ නවකතාව සුද්දිලාගේ කතාව මිසක් සුද්දිගේ කතාව නෙවේ. ඒ කියන්නේ, එදා වගේ අදත්, අද වගේම හෙටත් මේ කුසගින්න, නැතිබැරිකම හා අසාධරණය රොමියෙල්ලා හා සුද්දිලා බිහි කරනු ඇති.

Related Articles

Exit mobile version