එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආයතන

1914 වසරේ සිට 1918 වසර දක්වා පැවති පළමු ලෝක යුද්ධය අවසන් වීමත් සමග ලෝකය නැවතත් දෙවන ලෝක යුද්ධයක් කරා ගමන් කරවීම වැළැක්වීම උදෙසාත්, ලෝක සාමය ස්ථාපනය කිරීම සඳහාත් සංවිධානයක් පිහිටවනු ලබනවා. එය හඳුන්වන්නේ “ජාතීන්ගේ සංගමය” ලෙස යි. ජාතීන්ගේ සංගමය නිර්මාණය කිරීම සඳහා නායකත්වය ගෙන කටයුතු කරන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් වූ වුඩ්රෝ විල්සන් විසින්.

ජාතීන්ගේ සංගමයට තිබූ බලතල එතරම් ප්‍රබල නොවීම, සාමාජික රටවල් ආක්‍රමණය කිරීමේ දී ඊට එරෙහිව ක්‍රියා කිරීමට තරම් අධිකාරි බලයකින් තොර වීම වැනි කරුණු කාරණා හේතුවෙන් ජාතීන්ගේ සංගමය දිනෙන් දින අසාර්ථක වනවා. දෙවන ලෝක යුද්ධය නිර්මාණය වීම සඳහා ද මෙම අසාර්ථක වීම ප්‍රධාන කරුණක් ලෙස බලපානවා.

ජාතීන්ගේ සංගමයේ ආසාර්ථක වීමත් එක් ප්‍රතිඵලයක් කරගෙන 1939 වසරේ ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය, මිත්‍ර මෙන්ම අක්ෂ යන පාර්ශව දෙකටම දැඩි හානියක් ගෙන දෙමින් අවසන් වන්නේ 1945 වසරේ දී යි. ඒ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ජපානයේ, හිරෝෂිමා හා නාගසාකි යන නගර දෙකට පරමාණු බෝම්බ හෙලීමෙන් අනතුරුව ජපන් අධිරාජයා කොන්දේසි විරහිතව යටත් වීමෙන් පසුව යි.

දෙවන ලෝක යුද්ධයේ නට්සි හමුදා (medium)

1945 වසරේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ලෝකය තෙවන ලෝක යුද්ධයක් කරා ගමන් කරවීම වැළැක්වීමටත්, ලෝක සාමය ස්ථාපනය කර ත්‍රස්තවාදයෙන් ලෝකය ගලවා ගැනීමේ පරමාර්ථයෙනුත් එක්සත් ජාතීන්ගේ සංගමය 1945 වසරේ දී පිහිටවනු ලබනවා. ඒ, එවකට ඇමෙරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් හා සෝවියට් නායක ජෝෂප් ස්ටාලින්ගේ මෙහෙයවීම මත යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 ඔක්තෝබර් 24 වන දින නිල වශයෙන් ස්ථාපනය කරන විට රූස්වෙල්ට් මියගොස් සිටි අතර, ඔහුට ගෞරවයක් වශයෙන් ඔහු විසින් සංවිධානයට යෝජනා කරන ලද “එක්සත් ජාතීන්” යන නාමය එහි නිල නාමය ලෙස පිළිගනු ලබනවා.

ජාතීන්ගේ සංවිධානය (wikimedia.org)

එක්සත් ජාතීන්ගේ පරමාර්ථ 

තුන්වන ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහාත්, ලෝක සාමය පවත්වා ගැනීම සඳහාත් 1945 දී ජූනි 26 වන දා අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බලාත්මක වූයේ එම වසරේ ඔක්තෝබර් 24 වනදා යි. ඒ, ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් 5 දෙනා ඇතුළුව රටවල් 50ක් අනුමත කිරීමෙන් පසුවයි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය (wikimedia)

ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම, ජාතින් අතර මිත්‍රත්වය වර්ධනය කිරීම, ජාත්‍යන්තර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා මානුෂික ප්‍රශ්න විසඳා ගැනීමට සහාය ලබා දීම, මිනිස් අයිතිවාසිකම්වලට හා මූලික නිදහසට ගරු කිරීමේ තත්ත්වය නංවාලීම එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරමාර්ථ හතර ලෙස නම් කළ හැකි යි. එම පරමාර්ථ ඉටු කරගැනීම සඳහා සංවිධානය විසින් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආයතන 

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය (coindesk)

මහා මණ්ඩලය, ආරක්‍ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජීය මණ්ඩලය, භාරකාරත්ව මණ්ඩලය, අන්තර්ජාතික අධිකරණය හා මහ ලේකම් කාර්යාලය නමින් එක්සත් ජාතීන් අභ්‍යන්තරය කොටස් හයකට බෙදී යනවා. අන්තර්ජාතික අධිකරණය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අතර, අනෙක් අභ්‍යන්තර ආයතන සියල්ල එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේ කේන්ද්‍රගතව පිහිටා තිබෙනවා.

01. මහා මණ්ඩලය 

මහා මණ්ඩලය (peacekeeping)

සියලු සාමාජික රටවල නියෝජිතයන් ඇතුළත් වෙන අතර, වර්තමානය වන විට මෙහි සාමාජිකයන් ගණන 193ක් වෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව සැසිවාර පැවැත්වෙන අතර (ආරක්ෂක මණ්ඩලයේ තනි සාමාජිකයකුගේ ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත ද කැඳවිය හැක), ඒ සඳහා සැප්තැම්බර් මාසය යොදාගනු ලබනවා. මෙහි දී ගන්නා සියලු තීරණ, තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතු වෙනවා. මහා මණ්ඩලයේ ප්‍රධානියා ලෙස එහි සභාපතිවරයා කටයුතු කරන අතර, ඔහුගේ ධූර කාලය එක් වසරකට සීමා වෙනවා. වත්මන් සභාපතිවරයා වන්නේ නයිජීරියා ජාතික ටිජානි මුහමද්.

02. ආරක්ෂක මණ්ඩලය 

ආරක්ෂක මණ්ඩලය (unitednations)

නිත්‍ය හා නිත්‍ය නොවන ලෙස සාමාජික රටවල් ගණන 15කින් ආරක්ෂක මණ්ඩලය සමන්විත වෙනවා. ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමේ වගකීම ආරක්ෂක මණ්ඩලයට හිමි වෙනවා. වසර දෙකක කාලයක් සඳහා නිත්‍ය නොවන සාමාජිකයන් පත් කරගන්නා අතර, සෑම සාමාජිකයෙකුටම එක් ඡන්දයක් හිමි වෙනවා. තීරණ ගනු ලබන්නේ අවම වශයෙන් සාමාජිකයන් 9 දෙනෙකුගේ කැමැත්තෙනි. නමුත්, ආරක්ෂක මණ්ඩලයේ යම් කිසි තීරණයක් සඳහා නිත්‍ය සාමාජිකයන් එක් අයෙක් හෝ අකමැති වුවහොත් එම තීරණය ක්‍රියාත්මක වන්නේ නෑ. එය නිත්‍ය සාමාජිකයෙක් සතු නිශේධ බලය ලෙස හඳුන්වනවා.

03. ආර්ථික හා සමාජ මණ්ඩලය 

එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනවල ආර්ථික හා සමාජ කාර්යයන් සම්බන්ධිකරණය භාර ප්‍රධාන අධිකාරිය ලෙස ක්‍රියා කරනවා. සාමාජිකයන් ගණන 54ක් ඇති මෙම මණ්ඩලය ජාත්‍යන්තර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික විෂයයන් පිළිබඳව අධ්‍යයනය කිරීම, වාර්තා කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සිදුකරනවා.

04. භාරකාර මණ්ඩලය 

භාරකාර ක්‍රමය යටතට පත් කරන ලද භූමි ප්‍රදේශ පරිපාලනය කිරීම සඳහා නිත්‍ය බලවතුන්ගේ එකතු වීමකින් සෑදුණු මණ්ඩලයක්. එම භූමි ප්‍රදේශ ස්වාධින වීම හෝ අසල්වැසි රාජ්‍යයන් සමග එකතු වීම හේතුවෙන් වර්තමානය වන විට මෙම මණ්ඩලය අක්‍රියව පවතිනවා. භාරකාර මණ්ඩලය අවසන් වරට එසේ පාලනය කරන ලද ‘පාලවූ’ නම් ශාන්තිකර දිවයින 1994 දී එක්සත් ජාතීන්ගේ 185 වන සාමාජිකයා ලෙස සංවිධානයට එකතු වෙනවා.

05. ජාත්‍යන්තර අධිකරණය 

ජාත්‍යන්තර අධිකරණය (licdn)

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රධානම අධිකරණ සංවිධානය මේ නමින් හඳුන්වනවා. මහා මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය විසින් තෝරාගන්නා ලද ස්වාධීන විනිශ්චයකරුවන් 15 දෙනෙක්ගෙන් යුක්ත වන අතර, එම විනිශ්චයකරුවෙකුගේ සේවා කාලය වසර 9ක් ලෙස සඳහන් වෙනවා.

06. මහ ලේකම් කාර්යාලය 

වර්තමාන මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් 

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලනය මේ නමින් හඳුන්වන අතර, ලේකම් කාර්යාලය යනු ලොව පුරා සේවය කරන අන්තර්ජාතික කාර්ය මණ්ඩලය යි. මෙහි ප්‍රධානියා ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහා මණ්ඩලය විසින් පස් අවුරුදු කාලයක් දක්වා පත් කරන මහ ලේකම්වරයා යි. ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රකාශකයා ලෙස ද, සාමාජික රාජ්‍යවල සේවකයා ලෙස ද හඳුන්වනු ලබනවා. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ 9 වන මහා ලේකම්වරයා සිය ධුරයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඔහු, හිටපු පෘතුගාල් අගමැති ඇන්තෝනියෝ ගුටෙරස්.

කවරයේ පින්තූරය- wallpapersafari

මූලාශ්‍රයයන්:

un.org

britannica.com

aljazeera.com

Related Articles

Exit mobile version