Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැගෙනහිර ජැටිය සමග උණුසුම් වන ඉන්දියාවේ ගෝලීය උපායමාර්ග

ඉන්දියාව යනු ලෝක ජනගහනය අතින් ගත් කළ දෙවෙනි විශාලම ජනගහනය වාසය කරනු ලබන රට වේ. එහි බිලියන 1.4කට ආසන්න ප්‍රමාණයක ජනගහනයක් වාසය කරයි. භූමි ප්‍රමාණය අතින් හත්වෙනියට විශාලම රාජ්‍යය වන එය පිහිටීම අතින් දකුණු ආසියාවේ මධ්‍යයෙන්ම පිහිටා ඇති රාජ්‍යය ද වේ. මෙහි දේශසීමා වශයෙන් උතුරින් හිමාලය කඳුවැටිය ද, දකුණින් ඉන්දියන් සාගරය ද, නැගෙනහිරින් මියන්මාරය ද, බටහිරින් අරාබි මුහුද ද පිහිටන නිසා, මෙම රාජ්‍යයය භූගෝලිය වශයෙන් ඉතාමත් සුවිශේෂී ලෙස ස්ථානගතව ඇත. අතීතයේ පටන් ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයන්ගේ නිජබිමක් වූ ඉන්දියාව, නූතනයේ දී නැඟී එමින් සිටින ලෝක බලවතෙකු වශයෙන් හඳුනාගත හැකිය. ඉන්දියාව බලවත් රාජ්‍යයක් බවට පත්වීමේ මූලික හේතුවක්ව තිබෙන්නේ, එහි විශේෂ භූගෝලිය පිහිටීම වේ. අපි මේ පිහිටීමේ එක් එක් සාධකයන්ගේ ගෝලීය උපායමාර්ග වැදගත්කම එකින් එක සලකා බලමු.

India
ඉන්දියාව/mapsofindia.com

 

ඉන්දියන් සාගරයට මුහුණලා පැවතීම 

ඉන්දියාව සතු ප්‍රධානම ගෝලීය උපායමාර්ග වැදගත්කම වන්නේ ඉන්දියන් සාගරයට මුහුණලා පැවතීම යි. මෙම සාගර කොටසට “ඉන්දියන් සාගරය” වශයෙන් නම් ලැබෙන්නේ ද ඉන්දියාවේ පිහිටීමේ වැදගත්කම හේතු කර ගනිමිනි. ඉතිහාසඥ සහ නාවික හමුදා නිලධාරී ඇල්ෆ්‍රඩ් මහාන් ප්‍රකාශ කර ඇති අන්දමට ලෝකය තුළ බලවත් රටක් වීමට නම් නාවික බලය අවශ්‍ය වේ. ඉන්දියාවට විශාල මුහුදු තීරයක් හිමිවන බැවින් එමඟින් ඔවුනට අරාබි මුහුදට ද, අප්‍රිකානු කලාපයට, අග්නිදිග ආසියා කලාපයට ද පහසුවෙන් මුහුදු මාර්ග භාවිතා කරමින් ගමන් කිරීමේ හැකියාව පවතී. මෙනිසා ඉන්දියාවට අනෙකුත් රටවල්වලට වඩා වැදගත් ගෝලීය උපායමාර්ගයක් ලෙස මුහුද මඟින් විශාල වාසියක් හිමිවී ඇත. ඇල්ෆ්‍රඩ් මහාන්ගේ මෙම ප්‍රකාශයෙන් එය තවදුරටත් පැහැදිලි කළ හැකිය. 

“Whoever controls the Indian Ocean will dominate Asia, the destiny of the world will be decided on its waters.”

(ඉන්දියන් සාගරය මත බලය පතුරුවන රාජ්‍යයට ආසියාව පාලනය කරමින්, මුළු ලෝකයේම ඉරණම තීරණය කළ හැකිය.) 

මෙය සනාථ වන්නේ මේ වන විට චීනය මෙම කලාපයේ ගෙන යනු ලබන සේද මාවතේ විදේශ ප්‍රතිපත්තියත් සමගිනි. එනම් මේ වන විට චීනය මියන්මාරය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින්, පාකිස්ථානය යන සෑම රටකම සිය වරායන් පිහිටුවා ගනිමින්, ඉන්දියන් සාගරයේ බලය සිය අණසක යටතට පවරා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබේ. මෙයට ඉන්දියාව ප්‍රතිරෝධය දක්වමින් මේ වන විට ඉන්දියාව වටා සහ නිකෝබාර් දූපත්වල තිබෙන වරායන් දියුණු කරමින් පවතී. 

ලෝක බලවතුන් මෙම කලාපයට බැල්ම ලා සිටින්නේ ඉන්දියානු සාගරයේ නාවික බලය එම සැමටම ඉතා වැදගත්වන හෙයිනි. ලෝකයේ ඉතාමත් කාර්යයබහුලම නාවික ගමන් මාර්ගයන් වැටී තිබෙන්නේ ද ඉන්දියන් සාගරය හරහා වන අතර, එම නාවික ගමන් මාර්ගය පාලනය කිරීමට හැකිවීම යනු, අනාගතයේ දී යුද්ධයක් ඇති වුවහොත් එම යුද්ධය ජයග්‍රහණය කිරීමට බලපාන තීරණාත්මක සාධකයක් ද වන්නේ ය. මේ නිසා මේ වන විට ඉන්දියාව තමන්ගේ නිකොබාර් දූපත්වල වරායක් ගොඩනැංවීම, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාගැනීමට උත්සාහ කිරීම තුළින් මෙම මුහුදු කලාපය පාලනය කිරීමට උත්සාහ කරනා ආකාරය දැකගත හැකිය.

 West-East-West SLOCs Traversing the Indian Ocean
මුහුදු මාර්ග/books.openedition.org/

උතුරින් හිමාලය කඳුවැටියෙන් ආවරණය වී පැවතීම

ඉන්දියාව සතු තවත් වැදගත් ගෝලීය උපායමාර්ග ලක්ෂණයක් වන්නේ උතුරින් හිමාලය කඳුවැටියෙන් ආවරණය වී පැවතීම යි. මේ නිසා ඉන්දියාවට උතුරින් ආක්‍රමණයක් එල්ල කිරීම ඉතාමත් අපහසු කාරණයක් වේ. එම නිසා උතුරින් කඳුවැටියක් පැවතීම මතම යුරෝපයෙන් පැමිණි ආක්‍රමණයන්ගෙන් මිදී සිටීමට ඉන්දියාවට හැකිවී තිබුණි. එම කඳුවැටිය පසු කරගෙන පැමිණ ඉන්දියාව ආක්‍රමණය කරන ලද එකම යුරෝපීය ජාතික පාලකයා වන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා පමණි. ඉන්පසු එකදු ආක්‍රමණයක් හෝ උතුරුදිග ප්‍රදේශ හරහා ඉන්දියාවට එල්ල කිරීමට නොහැකිවීම මෙහි පවතින සුවිශේෂී ගෝලීය උපායමාර්ග තත්ත්වයක් වේ. ජෝන් ස්පයික්මන්ගේ රිම්ලන්ඩ් න්‍යායට (මෙමඟින් කියවෙන්නේ නැගෙනහිර යුරෝපය සහ සෝවියට් රුසියා භූමිය වටා පිහිටි රාජ්‍යය පාලනය කරන්නා මුළු ලොවම පාලනය කරනු ලබන බව යි. මෙහිදී නැගෙනහිර යුරෝපය සහ සෝවියට් රුසියා භූමි ප්‍රදේශය හාර්ට්ලන්ඩ් හෙවත් ලෝකයේ හදවත ලෙස සලකනු ලබයි) අනුව ඉන්දියාව හාර්ට්ලන්ඩ් එක වටා පිහිටි සුවිශේෂී රාජ්‍යයක් වේ. එය සුවිශේෂී වන්නේම උතුරින් පිහිටි හිමාලය කඳු නිසාම වේ. 

Rimland Theory
රිම්ලන්ඩ් න්‍යාය/utexaslearn.instructure.com

 

ගොඩබිම් සේද මාවතේ ද කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීම

ඉන්දියාව අතීතයේ පටන් ගොඩබිම් සේද මාවතේ වැදගත් ස්ථානයක පිහිටා තිබුණි. මෙම රාජ්‍යය පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, භූතානය, චීනය, මියන්මාරය, හා බංග්ලාදේශය යන රාජ්‍යයන් ගණනාවක් සමග දේශසීමා බෙදාගෙන කටයුතු කරනු ලබන නිසා, එම රාජ්‍යයන්ට බලපෑම් කිරීමේ සුවිශේෂී හැකියාවක් ද ඉන්දියාවට තිබේ. 

ලංකාව ඉන්දියාවේ දකුණුදිග ප්‍රදේශයෙන් පිහිටා ඇති බැවින් ලංකාව ද ඔවුන්ගේ ගෝලීය උපායමාර්ගයන්ට සුවිශේෂී වන රාජ්‍යයක් වේ. ඔවුන් මේ වන විටත් ලංකාවේ මත්තල ගුවන්තොටුපළ දෙසට නෙත් යොමාගෙන සිටින අතර, ඒ හරහා චීනය හම්බන්තොට වරාය ඔවුන් සන්තකයේ තබාගැනීම මඟින් ඇති කරනු ලබන පීඩනය අවම කිරීමට උත්සහ ගන්නා ආකාරය දැකගත හැකිය. මෙලෙස රාජ්‍යයන් ගණනාවකට මායිම්ව පැවතීම නිසා දකුණු ආසියානු කලාපයේ බලවතෙකු වශයෙන් අනෙක් රාජ්‍යයන්ට බලපෑම් කිරීමේ හැකියාව මෙම රාජ්‍යයට හිමි වී ඇත. මෙය රැට්සල්ගේ මතවාදය ද සනාථ කිරීමකි. එනම් රාජ්‍යයකට විශාල භූමියක් හිමිවීම ද ඉතා වැදගත් ගෝලීය උපායමාර්ගයක් වශයෙන් සැලකිය හැකිවීම යි.

Silk road
සේද මාවත/britannica.com

 

ගංගා පාලනය කිරීමේ හැකියාව

ඉන්දියාවෙන් ආරම්භ වන ගංගා වෙනත් රාජ්‍යයන්ගෙන් මුහුදට ගලාබැසීම සිදුවේ. බ්‍රහ්මපුත්‍ර නදිය ඒ අතරින් සුවිශේෂී වන අතර (බ්‍රහ්මපුත්‍ර නදියේ වැදගත්කම ගැන මෙතනින් බලන්න) මෙම ගංගාව හරස් කිරීම මඟින් බංග්ලාදේශයයේ කෘෂිකර්මාන්තයට බලපෑම් කිරීමේ හැකියාව ඉන්දියාව සතු වී තිබේ. ඊට අමතරව ඉන්දියාවෙන් ආරම්භ වී පකිස්ථානය හරහා ගොස් මුහුදට වැටෙන ගංගාවන් ද ඉන්දියාව විසින් පාලනය කරන්නේ දෙරට අතර 1960 දී ඇති කරගත් ගිවිසුම් ද කඩවන ආකාරයෙනි (මේ සම්බන්ධයෙන් වෙනම ලිපියකින් ඔබ වෙත කරුණු ගෙන එන්නෙමු). ඉන්කියාව නේපාලයට ද මේ ආකාරයේම බලපෑම් එල්ලකරන ආකාරය බග්ලහාර් ව්‍යාපෘතිය තුළින් දැකගත හැකිය. මේ නිසා ඉන්දියාවට ගංගා ජලය මඟින් ද අනෙක් රාජ්‍යයන්ට බලපෑම් කිරීමේ හැකියාව හිමි වී ඇත.

water issue between India and Pakistan
ඉන්දියාව හා පාකිස්ථානය අතර ජලය බෙදාගැනීමේ ගැටළුව/aljazeera.com

 

මෙලෙස වැදගත් ගෝලීය උපායමාර්ග ලක්ෂණ ගණනාවක් ඉන්දියාවේ පිහිටුම නිසා ඔවුනට ලැබෙන අතර, එනිසාම කලාපීය බලවතෙකු වශයෙන් අනෙක් රටවලට විශාල පීඩනයක් එල්ලකිරීමේ හැකියාව ද ඔවුන් සතු වේ. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉන්දියාව අපගේ ගුවන් සීමාව ආක්‍රමණය කිරීම හරහා ලබාදුන් පණිවිඩය වූයේ ඔවුන්ට අනෙකුත් රාජ්‍යයන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව යි. ලංකාවේ නැගෙනහිර ජැටිය ලබා ගැනීමට උත්සාහ කිරීම වැනි ක්‍රියාවන් මඟින් ඉන්දියාව ලෝකයට පෙන්වන්නේ සිය මුහුදු කලාපයේ වෙනත් රාජ්‍යයක් බලය පැතිර වීමට පැමිණෙනවා නම් එය ද නොඉවසන බව යි. මේ අනුව පෙනී යන්නේ ඉන්දියාවට වැදගත් ගෝලීය උපායමාර්ග ලක්ෂණ රාශියක් ඔවුන් සතුව පැවතීම හේතු කරගෙන කලාපීය බලවතෙකු ලෙස නැගී සිටින බව යි.

Related Articles