වසර තුන් දහසකට එහා ගිය ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාද්වීපයේ සිහසුන දැරූ විවිධ රජවරු නොයෙක් ආකාරයේ ක්‍රීඩාවන්ගෙන් විනෝදය ලැබූ බව නොරහසක්. මේ සියලු ක්‍රීඩා අතරින් ඉහළින් ම පැවතුණේ නිරායුධ සටන් කලාව යි.
ඈත අතීතයේ දී ‘වඩාත් සුදුස්සා නොනැසී පවතී’ යන සංකල්පය සත්‍ය වශයෙන් ම දක්නට ලැබුණු යුගයේ ශ්‍රී ලංකාව වරින් වර විදේශ ආක්‍රමණවලට ලක් වූ අතර බොහෝමයක් දකුණු ඉන්දීය පාලකයින් ඔවුන්ගේ ප්‍රාන්තයන් යස ඉසුරින් පරිපූර්ණ කර ගැනීම සඳහා නිරන්තරයෙන් ම ලක්දිව අත්පත් කර ගැනීමට උත්සාහ දැරුවා. නමුත් මේ සෑම ප්‍රයත්නයක් ම අසාර්ථක වූයේ සිංහලයන් විසින් ඔවුන් ව පරාජයට ලක් කිරීම සඳහා යොදා ගත් අංගම් නම් වූ සටන් කලාව නිසාවෙන්.
ජනප්‍රවාදයේ දැක්වෙන ආකාරයට අංගම් සටන් කලාවේ ආරම්භය අදින් වසර තිස් තුන් දහසකටත් එපිට අතීතයකට දිව යනවා. මුල් වරට මෙම සටන් කලාව යොදා ගෙන ඇත්තේ එවකට ලංකාද්වීපයේ වාසය කළ යක්ෂ, නාග, දේව සහ රාක්ෂ යන හෙළ ජන කණ්ඩායම් විසින්. ඒ සුර-අසුර යුද්ධයේ දී ඉන්දියාවෙන් එල්ල වූ තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා යි. ඉන්පසු ක්‍රමයෙන් දියුණු වූ අංගම් සටන් කලාව පසු කාලීන ව තාරක නම් වූ සිංහල රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමණයට එරෙහි ව ද යොදාගෙන තිබෙනවා.
අංගම් සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ රාවණා රජුගේ රාජ්‍ය සමය යි. නිල ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥයෙකු වූ රාවණා රජතුමා විසින් අංගම් සටන් කලාවට නොයෙක් ආකාරයේ අලුත් උපාය මාර්ගයන් හඳුන්වා දුන් අතර රාම-රාවණා යුද්ධයේ දී ද අංගම් සටන් කලාව යොදා ගත් බව ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා. රාවණා රජු විසින් අංගම් සටන් කලාවේ වර්ධනය සඳහා ලබා දුන් දායකත්වය සිහිපත් කරනු පිණිස අදටත් අංගම් සටන් ශිල්පීන් පුහුණු කිරීම් ඇරඹීමට මත්තෙන් රාවණා රාජු සිහිපත් කිරීම සඳහා මල්පැලක් සකස් කොට ස්තෝත්‍ර කියා ආශිර්වාද ලබා ගැනීම සිදු කරනවා.
අනුරාධපුර යුගයේ දී දුටුගැමුණු රජුගේ දස මහා යෝධයින් අංගම් සටන් කලාව ප්‍රගුණ කළ බව සඳහන් වෙනවා. ඉන් පසු ව නැවත වරක් අංගම් සටන් කලාව පිළිබඳ ව සඳහන් වන්නේ කෝට්ටේ යුගයේ දී යි.
එයට හේතු වන්නට ඇත්තේ රාජධානි මාරු වීමත් සමග අංගම් සටන් කලාව ක්‍රමයෙන් අභාවයට යෑම විය යුතු යි. හය වැනි බුවනෙකබාහු රාජු විසින් යාපනය රාජධානිය ආක්‍රමණය කිරීම සඳහා අංගම් ශූරයින් යවා තිබෙනවා. එසේ ම මුල්ලේරියා සටනේ දී පෘතුගීසීන් ව පරාජයට පත් කිරීම සඳහා මායාදුන්නේ රජු විසින් අංගම් සටන්කරුවන් ව මෙහෙයවා ඇති අතර පළමු වැනි රාජසිංහ නමින් රජකමට පත් වූ ටිකිරි බණ්ඩාර කුමරු ද අංගම් සටන් කලාව මැනවින් ප්‍රගුණ කළ බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ.
පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන පැමිණි අංගම් සටන් කලාව ඉගැන්වීම සඳහා නුවර යුගයේ දී මරුවල්ලිය සහ සුදලිය යනුවෙන් ප්‍රධාන ගුරුකුලයන් දෙකක් බිහි වූ අතර ඒවායේ නායකත්වය දරණ ලද්දේ මරුවල්ලිය මුහන්දිරම් නිලමේ සහ සුදලියේ මුහන්දිරම් නිලමේ විසින්. මෙම ගුරුකුලයන් විසින් ගෙබිම් ශාස්ත්‍රය අනුව ගොඩනංවන ලද අංගම් මඩුවල දී සිංහලයේ රජතුමා ඉදිරියේ අංගම් සටන් ඉදිරිපත් කිරීම සිදු කර තිබෙනවා.
අංගම් සටන් කලාව කොටස් කිහිපයකින් යුක්ත වන අතර එයින් මූලික වන්නේ අංගම්පොර, ඉලංගම්පොර සහ මායා අංගම් යනුවෙන් හඳුන්වන කොටස් ත්‍රිත්වය යි. සිංහල භාෂාවේ ‘අංගම්’ යනුවෙන් අදහස් කරන්නේ ‘සිරුර’ වන අතර ‘සටන’ යන්න දැක්වීම සඳහා ‘පොර’ යන වදන යොදා ගනු ලබනවා.
ඒ අනුව ‘අංගම්පොර’ යනුවෙන් හැඳින්වෙන්නේ ‘ශාරීරික පොරය’ හෙවත් ආයුධ රහිත ව ශරීරාංගයන් පමණක් යොදා ගනිමින් සිදු කරන සටන යි. ආයුධ යොදා ගනිමින් සිදු කරන සටන් ‘ඉලංගම්පොර’ ලෙස හඳුන්වන අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් ආයුධ හැට දෙකක් (සූසැට ආයුධ) භාවිතා කරනවා.
අංගම් සටන් ශිල්පයේ ප්‍රවීණයෙකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතර ව ‘මායා අංගම්’ යනුවෙන් හැඳින්වෙන ගුප්ත විද්‍යාව ද හැදෑරිය යුතු වෙනවා. එහි දී වඩාත් වැදගත් වන්නේ නිල ශාස්ත්‍රය පිළිබඳ දැනුම යි. එසේ ම මෙහි දී භාවනාව, ආයුර්වේද වෙදකම සහ මාන්ත්‍ර ශාස්ත්‍රයන් ද ප්‍රගුණ කිරීම සිදු කරනවා.
අංගම්පොරයක දී මූලික වශයෙන් යොදා ගනු ලබන උපාය මාර්ගයන් ත්‍රිත්වයක් පවතිනවා. ඒවා පොර හරඹ, ගැට පූට්ටු සහ මරු කලාව ලෙස හැඳින්විය හැකි යි. පොර හරඹයක දී පහරදීම සහ පහර වැළකීම වැදගත් වන අතර අඩි මාරු කිරීම, අත් හරඹ මෙන් ම පා හරඹ ද පුහුණු වීම සිදු කරනවා.
පොර හරඹයක දී අංගම් සටන්කරුවෙකුට උකුස්සාගේ ඇසත්, මොණරාගේ කනත්, වඳුරාගේ පැනිල්ලත්, කොටියාගේ ගමන් විලාසයත්, වලසාගේ බදා ගැනීමත් තිබිය යුතු බව යි පැවසෙන්නේ.
අංගම්පොරයේ තවත් සුවිශේෂී උපාය මාර්ගයක් වන්නේ ගැට පූට්ටුව යි. මෙහි දී සටන්කරුවා ඔහුගේ ශරීරාංග උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදියාගේ පහර වළකා ඔහු ව තම ග්‍රහණයට හසු කර ගැනීම, අඩපණ කිරීම හෝ මරණයට පත් කිරීම සිදු වෙනවා.
මරු කලාවේ දී සිදු වන්නේ නිල අල්ලා පහර දීම යි. මේ සඳහා නිල ශාස්ත්‍රය, හෙළ වෙදකම සහ ජ්‍යෝතිෂ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් පැවතිය යුතු අතර අංගම් සටන් කලාව පරතෙරට ම හදාරන ලද ගුරුතුමාගේ විශ්වාසවන්ත ම ශිෂ්‍යයන්ට පමණ යි ශිල්ප ලබා දීම සිදු කරන්නේ. මරු කලාවේ දී ප්‍රධාන නිල එකසිය හතක් පිළිබඳ සඳහන් වන අතර එයින් නිල දොළොසක් මරාන්තික යි. මෙය ඉතාමත් ආරක්ෂාකාරී ව පුහුණු විය යුතු අතර අනතුරක දී ප්‍රතිකාර කිරීම සඳහා හෙළ වෙදකම යොදා ගනු ලබනවා.
අංගම් සටන් කලාවේ පදනම වන්නේ මනා හික්මීම, ඉවසීම සහ කාය ශක්තිය යි. මානසික ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා බොහෝ විට බුදු දහමේ එන භාවනා ක්‍රම උපයෝගී කර ගන්නා අතර මනා කාය ශක්තියක් සහිත අංගම් සටන්කරුවෙකුට පස් මිටක් ගෙන එයින් දිය මතුවන සේ මිරිකීම, හක්ගෙඩියක් මිටින් ගසා සුනු විසුනු කිරීම, ඇඟිලි දෙකෙන් අල්ලා පුවක් ගෙඩියක් පොඩි කිරීම, කුළු හරක් මෙල්ල කිරීම, පොල් ගෙඩියක් උඩ විසි කර දෙපළු වන්නට පා පහර දීම වැනි ක්‍රියාවන් මගින් ඔහුගේ ශක්තිය විදහා දැක්විය හැකි බව කියවෙනවා.
සාමාන්‍යයෙන් යුද්ධයක දී බහුල ව ම යොදාගෙන ඇත්තේ ඉලංගම්පොර යි. දිගු කලක් තිස්සේ මනා ව පුහුණු වූ ඉලංගම්පොර සටන්කරුවෙකුට ලොව ඕනෑම ආයුධයක් හැසිරවිය හැකි අතර අතට අසු වන ඕනෑම දෙයක් ආයුධයක් ලෙස භාවිතයට ගත හැකි යි. ඉලංගම්පොරයක දී යොදා ගන්නේ ආයුධ මූලික වශයෙන් 21 ක් ඇති අතර මේවාට කඩුව, හෙල්ල, රිට, මුගුර, යෂ්ටිය, කිණිස්ස සහ පලිහ ඇතුළත් වෙනවා. මෙයට අමතර ව යම් යම් ගුරුකුලයන්ට පමණක් අදාළ පාරම්පරික අයුධ ද දක්නට ලැබෙනවා.
අංගම් සටන් කලාවේ භයානක ම සටන් ක්‍රමවේදය ලෙස සැලකෙන්නේ මායා අංගම් ශාස්ත්‍රය යි. මෙය මූලික වශයෙන් අංගම් පිඹීම, කාලං සහ පිල්ලි යනුවෙන් කොටස් තුනකින් යුක්ත වන අතර සතුරා ව අඩපණ කිරීමේ සිට මරණය ගෙන දෙන තෙක් ම සතුරාට හානි කිරීම සඳහා යොදා ගනු ලබනවා. දක්ෂ මායා අංගම් ශිල්පියෙකුට ඈතක සිට මන්ත්‍ර ජපකොට සතුරා ව මුලාවට පත් කළ හැකි බව ද තම සිරුරට සමාන සිරුරක් මවා පෙන්වීමට හැකි බව ද කියවෙනවා.
මායා අංගම් ශිල්පය ප්‍රගුණ කිරීම සඳහා බොහෝ විට භාවනා ක්‍රම සහ යෝග අභ්‍යාස යොදා ගන්නවා. එසේ ම මැනවින් මයා අංගම් ශිල්පය හැදෑරූ අයෙක්ට තුන් කල් (එනම් අතීතය, වර්තමානය සහ අනාගතය) දැකීමේ හැකියාව පැවතීම ද විශේෂත්වයක්.
මෙසේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ක්‍රමික ව වර්ධනය වී ලංකාද්වීපය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීමට උපරිමයෙන් දායක වූ ඉපැරණි අංගම් සටන් කලාවට ක්‍රිස්තු වර්ෂ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අත් වූයේ අයහපත් කාලයක්. ඉංග්‍රීසි පාලකයන් විසින් ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් කලාව තහනමට ලක් කළ අතර එය සාපරාධී ක්‍රීඩාවක් ලෙස හඳුන්වා තිබෙනවා.
එසේ ම එය පුහුණු වන අයට ලැබුණු දඬුවම වූයේ දණහිසෙන් පහළට වෙඩි තැබීම යි. එම නිසා තහනමට ලක් වීමෙන් පසු ව මෙය ඉතාමත් රහසිගත ව පාරම්පරික ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු වී තිබෙනවා. එසේ ම සටන් ශිල්පය ආරක්ෂා කිරීමේ උපායක් ලෙස නර්තනය තුළට සටන් ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස අංගම් සටන් කලාව පවත්වාගෙන පැමිණි බව මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා.
මෙවැනි හේතූන් නිසා ලක්දිව අතීතයේ පැවති අංගම් සටන් පරම්පරා කිහිපයක් ම අභාවයට ගොස් ඇති අතර ම ඈත අතීතයේ පටන් ම පැවති අංගම් සටන් පරම්පරාව හඳුන්වන්නේ කොරතොට ආරච්චි පරපුර ලෙස යි. සුර-අසුර යුද්ධයේ ජයග්‍රහණයට මුල් වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ ටිකිරි කුමරු සමග මුල්ලේරියා සටනට මූලිකත්වය ලබා දී රජුගේ ප්‍රසාදයට ලක් වී තිබෙනවා. කොරතොට අංගම් සටන් පරම්පරාව අදට ද වාසය කරන්නේ මුල්ලේරියා විජයග්‍රහණය වෙනුවෙන් ලද හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ යි.
අංගම් සටන් කලාව පිළිබඳ සඳහන් ඉපැරණි සිංහල මූලාශ්‍රයන් බොහෝමයි. දුටුගැමුණු මහ රජු සහ එළාර රජු අතර පැවති යුද්ධයේ දී ගෝඨයිම්බර සහ ථෙරපුත්තාභය විසින් අංගම්පොර යොදා ගත් අයුරු මහා වංශයේ විස්තර කර තිබෙන අතර පරාක්‍රමබාහු රජු විසින් දොළොස් වැනි සියවසේ ඔහුගේ හේවායින් සඳහා අංගම් පුහුණුව ලබා දී තිබෙනවා. රාජාවලියේ දැක්වෙන ආකාරයට පළමු වැනි විමලධර්මසූරිය රජු විසින් පෘතුගීසින් ජරාජය කිරීම සඳහා ඉලංගම්පොර යොදාගෙන ඇති අතර පහළොස් වැනි සියවසේ දී සෙංකඩගල රාජධානිය තුළ ‘ඇඟේ මැඩිල්ල’ නමින් සටන් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව මග සලකුණ නම් සන්දේශ කාව්‍යයේ සඳහන් වෙනවා.
එසේ ම බොහෝමයක් බෞද්ධ විහාරස්ථානයන් හි දී අංගම් සටන් කලාව විදහා දැක්වෙන සිතුවම් සහ ලී කැටයම් දක්නට ලැබෙනවා. ඒ අතරින් ඇම්බැක්කේ දේවාලය, ගඩලාදෙණිය විහාරය, ශ්‍රී දළදා මාලිගාව, රත්නපුර සමන් දේවාලය සහ ලංකාතිලක විහාරය විශේෂයි.
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ව කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලේ ආශ්‍රිත ව යළිත් වරක් අංගම් සටන් ශිල්පය වර්ධනය වූ අතර වර්තමානයේ දී අංගම් සටන් කලාවේ ඉහළ ම අධිකාරිය ලෙස සැලකෙන ජාතික හෙළ අංගම් ශිල්ප කලා සංගමය ආරම්භ කරන ලද්දේ 2001 වසරේ දී යි. එසේ ම අංගම් සටන් ශිල්පය මහ ජනයා අතර ප්‍රචලිත කිරීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති අතර අංගම් සටන් කලාවේ දී යොදා ගන්නා ආයුධ එකතුවක් කොළඹ ජාතික කෞතුකාගාරයේ දී දැක බලා ගැනීමට හැකියාව පවතිනවා.
කවරයේ පින්තූරය: (commons.wikimedia.org)
මූලාශ්‍ර: angampora.org, korathotaangam.com, lankadeepa.lk, angampora.blogspot.com, en.wikipedia.org, si.wikipedia.org