කොරෝනා කාලේ මතක සුරකින අමුතු ම තාලේ ටැටූ

වත්මන්  කොරෝනා වසංගත තත්ත්වයට සියල්ලන් ම මුහුණ දෙන්නේ සමාන ආකාරයෙන් නෙවෙ යි. ඇතමකු වසංගතය අමතක කරන්නට උත්සාහ කරන අතර තවත් කෙනකු එය මතක සටහනක් ලෙස සංරක්ෂණය කර ගන්නටත් උත්සාහ කරනවා. මේ එවන් තැතක් ගැන ලියැවෙන්නක්.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ කාලයේ බ්‍රිතාන්‍යයේ කළ සමීක්ෂණයකින් පැහැදිලි වුණේ,  කොවිඩ් ලොක්ඩවුන් අත්දැකීමට ජනතාව මුහුණ දුන් ආකාරය අනුව ප්‍රධාන  පුද්ගල පොකුරු තුනක් ඇතිවූ බව යි. සමීක්ෂකයන් ඒ ආකාර තුන හඳුන්වා තිබුණේ; පිළිගත් (accepted), වේදනාවට පත් (suffered) සහ ප්‍රතිවිරෝධය පෑ (resisted) යනුවෙන්.

ප්‍රතිවිරෝධය පෑ මහජන පොකුරට අයත් සියල්ලන් ම පාහේ කියන්නේ, ලොක්ඩවුන් කිරීම හේතුවෙන් තමන් කාංසාවටත්, ආතතියටත් පත් වූ බව යි. ඒ හේතුවෙන් ඔවුන් ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන් මෙන් ම පවුලේ අය සමඟ ද වාද විවාදවල පැටලුණා. වෙනදාට වඩා වැඩියෙන්  රහමෙර පානයට යොමු වුණා.  අවනත වූ මහජන පොකුර ලොක්ඩවුන් කිරීම හේතුවෙන් ඇතිවිය හැකි අනාගත බලපෑම් වන ලොක්ඩවුන් කිරීම හේතුවෙන් තමන්ගේ රැකියා අහිමි වේ ද?,  ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වනු ඇති ද? වැනි කරුණු සම්බන්ධයෙන් සංවේදී වුණා. 

වසංගතය පිළිබඳ සිහිවටනයක් තම සිරුරේ සටහන් කර ගැනීම – mrinkwells.com 

කතුන්ගෙන් සමන්විත වේදනාවට පත් පොකුර

 සෆරින් ගෲප් හෙවත් වේදනාවට පත් පොකුර වැඩි වශයෙන් සමන්විත වුණේ කතුන් ගෙන්. අනෙක් පොකුරු දෙකෙහි වැඩි පිරිස පිරිමින්. ලොක්ඩවුන් නිසා වැඩි ම ආතතියට පත් පිරිස කාන්තාවන්. නින්ද නො යාම, ලොක්ඩවුන් කිරීම දිගින් දිගට පැවතුණ හොත් සිදු වනු ඇත්තේ කුමක් දඝ  වැනි කල්පනා ආදියෙන් ඔවුන් පීඩාවට පත් වුණා.

 වැඩි දෙනකු ගේ කැමැත්ත වසංගතය හැකි ඉක්මනින් අමතක කිරීම වුවත් පවතින සෞඛ්‍ය අර්බුදය මතක සටහනක් කර ගන්න කැමැති සුළු පිරිසක් හෝ සමාජයේ නැතිවා නෙමෙ යි. ඔවුන් කළේ, වසංගතය පිළිබඳ සිහිවටනයක් තම සිරුරේ සටහන් කර ගැනීම. කොවිඩ් ටැටූ යනු එසේ වසංගතය මතකයේ රඳවා ගැනීමට උපයෝගී කර ගත් මාදිලියක්.

 ටැටූවලට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එකී ඉතිහාසය පුරාමත් ටැටූ, මිනිසුන් ගේ චිත්ත වේග පළ කරන ක්‍රමයක් වශයෙන් භාවිත වුණා. නිදසුනක් වශයෙන්, පළමුවන ලෝක යුද්ධය සම්බන්ධ සහ කැත්‍රිනා කුණාටුව සම්බන්ධ ටැටූ දැක්විය හැකි යි.  කොවිඩ් ටැටූ කරන්නේත් ටැටූව දරන්නා කොවිඩ් සම්බන්ධයෙන් දරන චිත්ත වේගය සන්තර්පණය කිරීම.  

කොවිඩ් ටැටූ විවිධාකාර යි –  .mrinkwells.com 

කොවිඩ් ටැටූ විවිධාකාර යි

කොවිඩ් ටැටූ විවිධාකාර යි. වසංගතය මතකයේ රඳවා ගැනීම සඳහා සමහරුන් වසංගත සමයේ තමන් දිවි ගෙවූ ස්ථානය දැක්වෙන ආකාරයේ ටැටූවකට යන්න පුළුවනි. කොවිඩ් රෝගයට පාත්‍ර වී දිවි ගලවා ගත් කෙනෙක්, තමන් ජීවිතය ගලවා ගත් බව අනුස්මරණය කරන සහ ඒ තරමට තමන් ශක්ති සම්පන්න බව පෙන්නුම් කරන ටැටූවක් තෝරා ගනි යි. තවත් අයෙක්  ගේ ටැටූවකින් ප්‍රචණ්ඩ කොරෝනා කැලඹීමෙන් ඔහු උගත් පාඩම් සංකේතවත් වෙනවා.

මොක්සි ටයිම්ස් ස්ක්වෙයා හෝටලයේ ටැටූ ශිල්පි වෙලේනා කියන ආකාරයට කොරෝනා වසංගතය හමුවේ ඔහු කරා එන සීයට අනූනවයක් ම එන්නේ තම ජීවිතයේ පළමු ටැටූව සඳහා යි. එසේම, කොවිඩ් හේතුවෙන් ටැටූ ඩිසයින්වල හදිසි පිබිදීමක් සිදු ව ඇති බවත් ඔහු පවසනවා.

” හුඟ දෙනෙක් ස්ටූඩියෝ එකට එන්නෙ කතා කිරීමේ සූදානමෙන් වගේම කතා කිරීමේ වුවමණාවෙන්. එ් අනුව ගත්තම මේ කාලෙ ටැටූ කිරීම සායනික කටයුත්තකට සමානයි.” ඒ වෙලේනා ගේ අදහස.

” ඒ අය තමන්ගෙ කතාව කියනවා. මං ඉන්නෙ සවන් දෙන්න. ඒ කාලය තුළ එයාලට තමන්ගෙ බර බිමින් තියන්න පුළුවනි. එය ඉතා වැදගත් ” වෙලේනා වැඩි දුරටත් කියනවා.

වෙලේනා හමුවීමට ආ එක් සේවා දායකයකුගේ පියා කොවිඩ් නිසා මිය ගිහින්, ඔහු ආපසු ගොස් ඇත්තේ පියා වෙනුවෙන් රෝස මලක පච්චයක් අරගෙන.

කොවිඩ් එන්නත ලබා ගත් ටැටූ සහිත අතක් – Getty images

විවිධාකාර කොවිඩ් ටැටූ රටා බිහිවීමේ රහස

විවිධාකාර කොවිඩ් ටැටූ රටා බිහිවීමේ රහසත් එය යි. සමහර කොවිඩ් ටැටූ රටාවකින් වසංගතයේ හානිය, දරුණුකම භයානකත්වය පෙන්නුම් කෙරෙනවා. තවත් එකකින් වියෝ දුක. ඒ අතර කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම  සිහිගන්වන  පච්චත් නැතුවා ම නෙමෙයි. තවත් එකකින් කොවිඩ් වසංගතය, ලොක්ඩවුන් කාලය තුළ මිනිසුන්ගේ හැසිරීම සමච්චලයට ලක් කෙරෙන අවස්ථාත් තියෙනවා. එසේම කොරෝනා සම්බන්ධයෙන් කෝපය පළ කරන ටැටූත් තියෙනවා.

ලිනෙට් කෙරී හෙදියක්,  අමෙරිකාවේ කොරෝනා වසංගතයේ උච්චත ම සමයේ ඇයට ටෙක්සාස් හි වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන්න සිදුවුණා.

” ඒක අස්වාභාවික තත්ත්වයක්. ” එකල රෝගයේ දරුණු පැතිරීම ගැන ඇය කියන්නේ එහෙමයි. ” මිනිස්සු මැරුණා. එක මිනියක් මෝචරියට යවන්න, එහෙම නැත්නම් ට්‍රක් එකට පටවන්න කලින් තවත් කෙනෙක් මැරෙනවා.”

අවසානයේ ඇය තමන්ගේ ඒ අත්දැකීම් නොමැකෙන සිහිවටනයක් බවට පත්කරන්නට තීරණය කළා. ඒ සිහිවටනය ටැටූවක්. ඇගේ වම් බාහුව පිරෙන සේ සටහන් වූ ඒ ටැටූවෙන් දැක්වෙන්නේ, අසනීප ව සිටින ලිබර්ටි ප්‍රතිමාවට උවටැන් කරන හෙදියක්.

තවත් තැනැත්තකුගේ කොවිඩ් සිහිවටන ටැටූව  මුව ආවරණයක් පැළඳ පසුබිමේ ඇති වෛරසයෙන් බේරී සිටින පුංචි බ්ලූ බනි ( little blue bunny ) කෙනෙක්. තවත් කෙනකු ගේ පච්චය බියර් බෝතලයක්. එහි දෙපැත්තෙන්, කිසිදා අමතක නොවේ යන අරුත ඇති Never forget යන වචන දෙක. ඒ මැද 2020. මේ ටැටුවේ ඇත්තේ චිත්ත වේගී ස්වරූපයක්.

අත්දැකීම් නොමැකෙන සිහිවටනයක් බවට පත් කිරීම – Getty images

සමාජ දුරස්ථ සමනළයා

කොරෝනා සමඟ නිතර කියැවෙන වචනය සමාජ දුරස්ථ භාවය නැත්නම් Social distance, සමාජ දුරස්ථ සමනළයා ටැටුවෙන් එකී සංකල්පය නියෝජනය වෙනවා. ටයිගර් කිං ගේ සිරුරේ Covid-19 make me do this වචන යෙදීමෙන් Coronavirus tiger king කෙනෙකුත් ටැටූ කර තිබුණා.

වසංගතයත් ලොක්ඩවුන් කිරීමේ ආරංචියත් සමඟ කොයි රටෙත් කොතැනත් ජනතාව කලබල වූ බව බොරුවක් නෙමෙයි. ලොක්ඩවුන් එකට සූදානම් වීම සඳහා ඇමෙරිකාව ඇතුළු රටවල ජනතාව සූදානම් වන අතර වෙළෙඳ සල්වල රාක්ක අසුරු සැණින් හිස් වුණා. එහිදී ඒ රටවල ජනතාව මුහුණ දුන් ප්‍රබලතම අභියෝගය ටොයිලට් පේපර්ස් හිගය.ටොයිලට් පේපර් හිගය පිරිමසා ගන්නට විවිධ නිර්මාණාත්මක විසඳුම් අනුගමනය කරන්නට පවා ජනතාවට සිදුවුණුබව කියනවා.

කැෆී ටොම්ප්කින්ස්,28, වෛද්‍ය රසායනාගාර සේවිකාවක්. ඇය වසංගතයේ දරුණුබව හොඳින් ද අත්විඳි කෙනෙක්.

” ලැබ් එකේ වැඩ කරද්දි, ටෙස්ට් කරද්දි වයිරසය ජනතාවට කරන හානිය මට හොඳින් දැනුණා. සාප්පුවට යන හැම දෙනාම ටොයිලට් පේපර්  රෝල් රැස්කරන නිසා රාක්ක හිස්. ඒක මහ මෝඩ හැසිරීමක්. ” ඇය කියනවා. කෙසේ වෙතත් ඍණාත්මකව හිතනවා වෙනුවට වසංගතය නිසා ඇතිවූ තත්ත්වය සරදමට ලක් කරන්න කැෆීට අදහසක් ආවා. ඒ නිසා ඇය තමන්ගේ වම් වැලමිටෙහි ඇතුළු පැත්තේ ටොයිලට් පේපර් රෝල් එකක පච්චයක් කොටා ගත්තා.

Don’t Panic යනුවෙන් සඳහන් ටැටූවක් – Getty images

ටොයිලට් පේපර් රෝල් අත්දැකීම

ටොයිලට් පේපර් රෝල් අත්දැකීම කැෆීට විතරක් බලපෑ එකක් නෙමෙයි. ටොයිලට් පේපර් රෝල් බහුල ව ටැටූවල හමුවීම ඊට සාක්ෂියක්. එවැනි එක් ටැටූවක ටොයිලට් පේපර් රෝලක් දෙපස Don’t Panic (කලබල නොවන්න) යනුවෙන් සඳහන් ව තිබුණා. තවත් ටොයිලට් පේපර් ටැටූවක,  ‘කොරෝනා වයිරසයෙන් ගැලවී සිටින්නා’ යන අරුත දෙන CORONAVIRUS SURVIVOR යනුවෙන් සඳහන්. එහි දක්නට ලැබෙන්නේ කොරෝනා ව්‍යසනය පිළිබඳ සර්වශුභවාදී අදහසක්. එවැනි ම තවත් ටැටූවක තිබුණේ, රෝස මලක් අතින් ගත් ටොයිලට් පේපර් රෝලක්. එයත් ශුභවාදී දැක්මක් සහිත එකක්. කොරෝනා කාලයේ ටැටූ ගැන සොයන්නකුට සැනිටයිසර් බෝතල්, මුව වැසුම් හෙවත් මාස්ක්, වයිරසයේ අනුරූ  ඇතුළු තවත් බොහෝ දේ දකින්නට ලැබෙනු ඇති.

කොරෝනා කාලයේ ටැටූ – altpress.com 

නිව්යෝර්ක් හි දිවිගෙවන රැෂෙල් සන්ෂයින් ස්නායු දුර්වලතා රෝගයකින් පෙළෙන්නියක්. ඒ නිසා ඇයට වයිරසයෙන්  සිදු විය හැකිව තිබූ හානිය ද බරපතළයි.

” මං කොවිඩ් වසංගතයට දෙවතාවක් ම ගොදුරු වුණු කෙනෙක්. රෝගයෙන් මියයාමට මට තිබුණු සම්භාවිතාවත් ඉහළයි. වයිරසය මගේ හෘදයට හානි කළා. හෘද සැත්කමකටත් මුහුණ දීල දිව් ගලවා ගත්තා.  හත් වතාවක් රෝහල්ගත වුණා.”  රැෂෙල් කියනවා.

ඇගේ 44 වන උපන් දිනය යෙදුණු 2021 මැයි 26 දා ඇය, සිය දිවි ගලවා ගැනීම සමරන්නට ඇය කර ගත් ටැටූවේ ඇත්තේ, කොරෝනා වයිරස් ස්පයික්වලින් වටවුණු හදවතක්.  කොවිඩ් 19න් දිවි රැකගත් අයගේ එකමුතුවක ලාංඡනය එය යි.

“මේක පුදුම දිග අවුරුද්දක් කියා මං ටැටු ආර්ටිස්ට කීවා. අපි පැය දෙකක් අපි මුහුණදුන් සියලු කරදර ගැන කතා කළා. ඒ නිසා, ටැටූ ආර්ටිස්ට් මගේ කතාවේත් මගේ ගමනේත් කොටස්කාරයෙක් වුණා.” සන්ෂයින් කියනවා.

” මට අමතක නොවන නිරන්තර මතක සටහනක් තියෙනවා. හෘද සැත්කමේ කැළල ඉන් එකක්. මට බෙහෙත් බොන්න සිද්ධවෙලා තියෙනවා. මට සාමාන්‍ය විදිහට පාරෙ ඇවිදින්න බැහැ. මං තවමත් ඉන්නෙ රෝගය සමඟ සටන් කරමින්. තව අවුරුදු දහයකින් මිනිස්සු කොවිඩ් ගැන කතාකරද්දි, මං ඒක පරාජය කළා කියල ඒ අයට කියන්නයි මගේ සූදානම. මේ ටැටූ එක මගේ රණශූර පදක්කම යි”  සන්ෂයින් කියන්නේ ආඩම්බරයෙන්.

එඩින්බරෝ සරසවියේ උපදේශනය, පාසල් මනෝවිද්‍යාව සහ විශේෂ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය එවරෙට් පේන්ටර් ක්ෂිතිය සහ ටැටූව අතර සම්බන්ධතාව අධ්‍යයනය කළා.  මහාචාර්යවරයා සඳහන් කළේ, ටැටූවකින් කෙනකුට යම් පාලනයක් ඇතිකර ගත හැකි බව යි.

“ටැටූව හේතුවෙන් අදාළ තැනැත්තාට,  සැනසිල්ලක් ලැබෙනවා. ‘ මං ඒකෙන් දිනුවා, වයිරසයට තවදුරටත් මා පාලනය කරන්න බැහැ. ‘ යන අදහසක් ඉන් නිරූපණය වෙනවා.” මහාචාර්යවරයාගේ අදහස එයයි.

එවැනි ටැටූවක් දැකීමෙන්, ස්පර්ශ කිරීමෙන් එය දරන තැනැත්තාට සුවයක් සහනයක්, සැනසුමක් ලැබිය හැකි බවත් මහාචාර්ය පේන්ටර් කියනවා.

ටැටූ සාප්පුවක් – Getty images

 

කොවිඩ් වසංගත කාලයේ ටැටූ කලාවේ කතාව ඒ ආකාර යි. තවත් ආකාරයකින් ගත් කල, කම්පන තත්ත්වයන්, ලෝකය වෙනස් කළ වෙනත් සිදුවීම් සහ පච්ච කලාව අතර දිගු ඉතිහාසයකුත් තියෙනවා. පළමු වන ලෝක යුද්ධයෙන් පසුව සහ කත්‍රිනා කුණාටුවෙන් පසුවත් ඒවාට සම්බන්ධ ටැටූ රැල්ලක් මතු වුණා. හේතුව, වසංගතයකට, විනාශයකට මුහුණ දුන් මුල්පෙළ තැනැත්තන් වෙනුවෙන් ඔවුන්ගේ  ශක්තිය, ඔවුන්  කළ කැපකිරීම් , පරිත්‍යාග සම්බන්ධ සදාකාලික සිහිවටනයක් වශයෙන් ක්‍රියාකරන්න ටැටූවකට හැකියාව තිබීම යි.

කවරයේ ඡායාරූපය- කොරෝනා වයිරසයෙන් ගැලවී සිටින්නා - thestar.com.my

මූලාශ්‍ර:

www.downtoearth.org.in 

 www.insider.com 

 www.mrinkwells.com 

www.altpress.com

Related Articles

Exit mobile version