ජපන් වැසියන් බහුල ව භාවිත කරන පෙළපත් නාම 6ක්

ජපානය කියන්නෙ මේ වෙද්දී ආර්ථිකමය, දේශපාලනික, සාමාජයීය සහ තාක්ෂණික අතින් ඉදිරියෙන් ම සිටින රටක් බව අප කවුරුත් දන්නවා.  ඉතිහාසය පුරා, ජපානය සිය සංස්කෘතිය, තාක්ෂණය, සිරිත් විරිත් හා කලා ශිල්ප ඒකරාශී කරගෙන ජපානයට ම විශේෂ වූ සංස්කෘතියක් ගොඩ නගා ගෙන සිටිනවා. වත්මන් ජපාන ජීවන රටාව සාම්ප්‍රදායික ආසියානු සංස්කෘතිය හා බටහිර නවීන සංස්කෘතියේ සංකලනයක් වුවත් එය අතීත ජපාන සංස්කෘතික ධාරාවෙන් සහමුලින් ම මිදුණක් නෙවෙයි.

අතීත ජපානයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන ‘මෙයිජි’ යුගයට පෙර කාලයේ දී සාමාන්‍ය ජපන් වැසියන්ට පෙළපත් නාම නැතහොත්, වාසගම් භාවිත කිරීමට අවසර ලැබී තිබුණේ නැහැ. ඊට අවසර තිබුණේ, ජපන් සමාජයේ බලවත් හා ඉහළ පැළැන්තියේ යැයි සම්මත අයට පමණ යි.

වාසගමක් දැරීමේ අයිතිය

19 වන සියවසේ දෙවන භාගය වන තෙක් ම ජපානයේ වංශාධිපතියන්ට සහ සමුරායිවරුන්ට පමණ යි වාසගමක් හිමි වුණේ. කොටින්ම, ඔවුන්ගේ භාර්යාවන්ට පවා වාසගමක් දැරීමේ අයිතියක් පැවතුණේ නැහැ. සෙසු පිරිසට අන්වර්ථ නාම සහ පුද්ගලික නාම පමණ යි භාවිත කිරීමට ඉඩ සැලසුණේ. ජපන් වාසගම පිළිබඳ පළමු ව්‍යවස්ථාදායක පනත ප්‍රකාශයට පත් කෙරුණේ 1870 වසරේ දී යි. එහි සඳහන් වූයේ;

සෑම ජපන් ජාතිකයකු ම ඔහුගේ වාසගම භාවිතයට ගත යුතු බව යි.

එහෙයින්, මේ කාලය වන විටත් වංශාධිපතීන් හා සමුරායිවරුන්ගෙන් පැවත එන්නන් මිලියන 35ක පමණ පිරිසක් සිය වාසගම භාවිතයට ගෙන ඇති බව කියැවෙනවා.

ජපානයේ සමාජයීය හා සංස්කෘතික වශයෙන් නව පිබිදීමකට ලක් වූ කාල පරිච්ඡේදයක් ලෙස යි “මෙයිජි යුගය” සැලකෙන්නේ. කලාව සහ සාහිත්‍යය පිළිබඳ ජපන් ජනතාව තුළ උනන්දුවක් ඇති වූයේ ද, ජපානය විදේශීය බලපෑම්වලට ලක් වූයේ ද මෙකී මෙයිජි යුගයේ දී රට විවෘත වීමත් සමඟ බව යි මූලාශ්‍රයන්ගේ සඳහන් වන්නේ.

ජපාන ජීවන රටාව – unsplash.com – Rokas Skeivys

 

මේ සමඟ ගොඩනැඟුණු නව මතවාද ඔස්සේ සාමාන්‍ය වැසියන්ට ද තම පවුල් සඳහා පෙළපත් නාමයක් ලියාපදිංචි කරගැනීමට නීතිය මඟින් ඉඩ සැලසුණා. බහුතරයක් දෙනා ඒ වන විටත් වංශවතුන් භාවිත කරමින් සිටි පෙළපත් නාම තම පවුල් සඳහා ද යොදාගැනීමට පෙලඹුණා. 

තවත් පිරිසක් තමන්ගේ ම කියා පෙළපත් නාමයක් නිර්මාණය කරගැනීමට යොමු වුණා. එහි දී තම වෘත්තිය, තමාට හිමි සමාජ තත්ත්වය වගේ ම තමන්ගේ ගම් පළාත ආදිය අනුව එම පෙළපත් නාම ගොඩ නැගුණා.

වැඩි වශයෙන් භාවිත කරන්නේ තම පෙළපත් නාමයයි

ජපන් ජාතිකයන් බොහෝ විට තමන් පිළිබඳ හඳුන්වා දීමේ දී වැඩි වශයෙන් භාවිත කරන්නේ තම පෙළපත් නාමය යි. පෙළපත් නාමය ඔවුන්ට ඒ තරම් ම වැදගත් අංගයක් වූ බව ඉන් සාක්ෂාත් වෙනවා. 

ජපානයේ පෙළපත් නාම ලියැවෙන්නේ “චීන රූපාක්ෂර” භාවිතයෙනුයි. ඒවා “කන්ජි” යනුවෙන් හැඳින්වෙනවා. එහි දී එක් එක් රූපාක්ෂරයන්ට ඊට ම වෙන් වූ විශේෂ අර්ථයක් ද වනවා.

චීන රූපාක්ෂර
චීන රූපාක්ෂර – NILS.Japan.Com

මෙසේ නිර්මාණය වන ජපන් නම් විශේෂණ දෙකකින් සමන්විත යි. ඒ පවුලේ නමක් සහ පුද්ගලික නමක් වශයෙනුයි. එහි දී පවුලේ නම මුලින් උච්චාරණය කෙරෙන අතර, නැගෙනහිර සම්ප්‍රදායට අනුව පුද්ගලික නම දෙවන නාමය විදියට යි යොදාගැනෙන්නේ.

නූතන ජපන් ජාතිකයන් බොහෝ විට ඔවුන්ගේ නම් ‘යුරෝපීය අනුපිළිවෙළට’ පළමුවෙන් පුද්ගලික නම ද, දෙවනුව පවුලේ නම ලෙසින් ද භාවිත කරනවා.

වාසගම වඩා කැපී පෙනෙන අයුරින් ලියා දැක්වීම

තම නම ලිවීමේ දී ඔවුන් අපූරු උපක්‍රමයක් යොදා ගන්නවා. මුල් නම හෙවත් පුද්ගලික නමට වඩා තරමක් විශාලත්වයකින් යුතු අකුරින් තම දෙවන නම වන පවුලේ නම හෙවත් වාසගම වඩා කැපී පෙනෙන අයුරින් ලියා දැක්වීම යි ඒ. 

මෙසේ ලියා දක්වන ජපන් වාසගම්වලින් 70%ක් පමණ අක්ෂර දෙකකින් සමන්විත වන අතර අක්ෂර තුනක් හෝ ඊට වැඩි නම් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වීම විශේෂත්වයක්. බොහෝ විට එම නම් නිර්මාණය කිරීමේ දී ගස්, ගංගා, භූමි ප්‍රදේශ, ජනාවාස සහ ජලාශ ආදිය මූලාශ්‍ර කොට ගෙන තිබීම සිත්ගන්නාසුලු කරුණක්.

එසේ නම්, අපි දැන් ජපානයේ බහුල ව භාවිත කරන එවන් පෙළපත් නාම නැත්නම් වාසගම් 6ක් පිළිබඳ විස්තර සොයා බලමු.

1. සතෝ – “ඓතිහාසික ගෝත්‍රයට සහාය දැක්වීම”

මුල් කාලයේ දී ජපානයේ වඩාත් ම කැපී පෙනුණේ වංශාධිපතීන්ගේ “ෆුජි” යන පෙළපත් නාමය යි. එයට “ගොසෙට්සුකේ” යනුවෙන් පොදු නාමයක් ද පැවතුණා. මේ නිසා ම “ෆුජි” යන පෙළපත් නාමය අතිවිශාල ජනකායක් තම වාසගම ලෙස භාවිතයට ගත්තා. ජපන් ජාතිකයන් තමා හඳුන්වාදීමේ දී බොහෝ විට තම වාසගම භාවිත කරන නිසා එකිනෙකා හඳුනා ගැනීමේ දී එක ම නම තිබීම ඔවුන් යම් අපහසුතාවකට පත් කරන්නක් වුණා. එයට විසඳුමක් ලෙස “ෆුජිවර” නාමයේ කන්ජි අක්ෂරවලට තම වෘත්තිය, ගම් පළාත ආදිය ඈඳා ගනිමින් වෙනත් ම පෙළපත් නාම සකසා ගැනීමට ඔවුන් පෙලඹුණා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි මේ “සතෝ” යන නම බිහි වුණේ. එහි සරල අර්ථය වන්නේ “ඓතිහාසික ගෝත්‍රයට සහාය දැක්වීම” යන්න යි. “හෙයිඅන්”යුගයේ සිටි ගෝත්‍රයක් පිළිබඳ ව ද මෙයින් අදහස් වෙනවා. ඉහත දී සඳහන් කළ පරිදි ජපානයේ වැඩිම පිරිසක් භාවිත කරන පෙළපත් නාමය මෙය වන අතර එය මිලියන 2කට අධික යි.

Susuki motor company logo
සුසුකි – මිලියන 1.75ක පමණ පිරිසක් මෙම නාමය තම වාසගම ලෙස භාවිත කරනවා – cotoacademy.com 

2. සුසුකි – “සීනු ගස”

සුසුකි කියන්නෙ නම් ලංකාවේ අපටත් ඉතා හුරුපුරුදු නාමයක් නේද? ඒ, ජපානයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ‘සුසුකි’ වෙළඳ සන්නාමය නිසා යි. ජපන් ජනතාව තම පෙළපත් නාමයක් ලෙසත් මෙම නාමය භාවිතයට ගන්නා බව ඔබ දැන සිටියා ද?

මිලියන 1.75ක පමණ පිරිසක් මෙම නාමය තම වාසගම ලෙස භාවිත කරනවා. මෙහි “සුසු” යන්නෙන් අර්ථවත් කෙරෙන්නේ “සීනුව” යන්න යි. එතකොට, “කි” යන්නෙන් වර නැගෙන්නේ “ගස” යන අරුත යි. ජපානයේ ‘මිඑ’ ප්‍රාන්තයේ පිහිටි “ඉසෙ මිෂිම” නම් පෙදෙසේ වාසය කළ මිනිස්සු තමයි මේ නම මුලින් ම භාවිතයට අරගෙන තියෙන්නෙ කියලයි ඉතිහාසය පිරික්සීමේ දී අපට දැනගන්නට ලැබෙන්නේ.

“තක” යන්නෙන් “උස” හැඟවෙන අතර, “හෂි” යන්න “පාලම”යි – cotoacademy.com 

3. තකහෂි – “උස පාලම”

මෙම පෙළපත් නාමයේ “තක” යන්නෙන් “උස” හැඟවෙන අතර, “හෂි” යන්නෙන් “පාලම” යන්න අර්ථ නිරූපණය වෙනවා. මෙම වාසගම මුලින්ම භාවිත කරලා තියෙන්නෙ ජපානයේ “නර” කියන ප්‍රාන්තයේ ජිවත් වූ ජනයා කියලා තමයි කියැවෙන්නෙ. ඔවුන් එහි තිබූ ගැඹුරු නිම්නයක් තරණය කිරීමට එම නිම්නය ඉහළින් දිවෙන දිගු පාලමක් භාවිතා කළ අතර, එම තත්ත්වය හේතු කොටගෙන මෙම නම නිර්මාණය වූ බව යි තවදුරටත් දැනගන්නට ලැබෙන්නේ. අද වන විට මෙය මිලියන 1.45 කට වඩා අධික පිරිසක් භාවිතයට ගන්නවා. වැඩි වශයෙන් ම, නැගෙනහිරදිග ජපානයේ හා ර්යූක්යූ දූපත්වල තමයි මෙම පෙළපත් නාමය භාවිත වෙන බව කියන්නෙ.

ජපානයේ මිලියන 1.35ක් පමණ “තනක” යන මෙම පෙළපත් නාමය භාවිත කරනවා – cotoacademy.com 

 

4. තනක – “කුඹුර මැද”

ජපානයේ මිලියන 1.35ක පමණ ජනගහනයක් “තනක” යන මෙම පෙළපත් නාමය භාවිත කරනවා. මෙහි “ත” අක්ෂරයෙන් “කුඹුර” යන්නත්, “නක” යන්නෙන් “මැද” යන්නත් නිරූපණය වෙනවා. පුරාතන ජපානයේ කුඹුරු ආශ්‍රිත කර්මාන්තයන්ගේ නියැළුණු ගැමි ජනතාව අතරයි මේ පෙළපත් නාමය මුලින් ම භාවිත වෙලා තියෙන්නෙ. පස්සෙ කාලෙක දී කුඹුරක හිමිකරුවකු වීම ධනවත් බවේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. එවැන්නන් අතර ද මෙම පෙළපත් නාමය ඉතා වැඩි වශයෙන් භාවිත වෙලා තියෙනවා කියලයි සැළ වන්නේ. ඒ නිසා ම මෙය වංශවත් පෙළපත් නාමයක් ලෙස සැලකෙන්නට ඇතැ යි නිගමනය කරන්න පුළුවන්.

වතනබෙ – ගඟකින් එතෙර වීම – cotoacademy.com 

 

5. වතනබෙ – “ගඟකින් එතෙර වීම”

ලංකාවේ දී ‘වත’ කියන්නෙ මුහුණට වුණාට, ජපානේ “වත” යන්නෙන් අදහස් කෙරෙන්නෙ “එතෙර වීම” යන්න යි. “නබෙ” කියන්නෙ කන්ජි අක්ෂරයෙන් “ප්‍රදේශය හෝ සීමාව” යන්න යි. “වතනබෙ” නමින් ජපානයේ ඕසක ප්‍රාන්තයේ විශේෂ ස්ථානයක් ද පිහිටා තිබෙනවා. එය “සග” නම් අධිරාජ්‍යයා වර්ෂ 786 – 842 කාලයේ දී පිහිටුවපු තැනක් කියලයි සඳහන් වෙන්නෙ. තවත් විශේෂිත ම කරුණක් තමයි; ‘වතනබෙ’ නම මුලින් ම භාවිත කරලා තියෙන්නෙත්  සග අධිරාජ්‍යයා ගේ පුත්‍රයකු වන “මිනමොතො නො තෝරු” වීම. අද වන විට මිලියන 1.15ක පමණ පිරිසක් එය තමන්ගේ පෙළපත් නාමය විදියට භාවිතයට ගන්නවා.

emperor saga
සග අධිරාජ්‍යයා – Yabai.com

 

6. කොබයෂි – “කුඩා වනාන්තරය”

වර්තමානයේ දී මිලියන 1.019ක පමණ පිරිසක් ‘කොබයෂි’ යන පෙළපත් නාමය භාවිත කරනවා. මෙහි “කො” යන්නෙන් “කුඩා” යන්නත්, “හයෂි” යන්නෙන් “වනාන්තරය” යන්නත් අදහස් වෙනවා. උච්චාරණය කිරීමේ දී “කො” සහ “හයෂි” යන පද දෙක එකතු කොට “කොබයෂි” ලෙස කියනු ලබනවා. “හරි පුදුම ඉස්කෝලේ” කතාව කියවා ඇත්නම් ඔබට ‘කොබයෂි’ නම හුරුපුරුදු ඇති බවට සැකයක් නැහැ. එහි එන තොමෝවේ (tomo) විදුහල්පතිතුමා, ‘සොසාකු කොබයෂි’ මහතා ඔබට මතක ඇති.

කොබයෂි – කුඩා වනාන්තරය – .spreadshirt.ca 

මීට අමතරව, වර්තමාන ජපානයේ පෙළපත් නාම 100,000කට අධික සංඛ්‍යාවක් භාවිත කෙරෙනවා යැයි පැවසෙනවා. ඉන් 70,000කට ආසන්න ප්‍රමාණයක් මීට වසර 135කට ඉහත අතීතයේ සිට පැවත එන බව යි තවදුරටත් සඳහන් වන්නේ. ජපානයේ ජනගහනයත් සමඟ සසඳන විට එය එතරම් පුදුම වීමට කරුණකුත් නොවෙයි.

⁣මීට අමතර ව ඉතෝ, යමමොතො, නකමුර, සයිතො යනාදී පෙළපත් නාම  ද ජපානයේ වැඩි වශයෙන් භාවිත වන වාසගම් අතරට අයත් වෙනවා. සාතෝ යන වාසගම ජපන් වැසියන් 2,000,000 ක් පමණ භාවිත කරන බවටත් බවට ගණන් බලා තිබෙනවා. Sa (සා) යන්නෙහි තේරුම ‘ආධාර කිරීම’ වන අතර තෝ යන්න ඉඟි කරන්නේ හියෑන් යුගයේ ෆුජිවාරා වංශය යි.

සාතෝ යන වාසගම ජපන් වැසියන් 2,000,000 ක් පමණ භාවිත කරනවා – cotoacademy.com 

ඔබ දන්නා මෙවන් පෙළපත් නාම පිළිබඳ ඉතිහාස කතා පහතින් කමෙන්ට් කරගෙන යමු ද?

කවරයේ ඡායාරූපය: ජපානයට ම විශේෂ වූ සංස්කෘතිය- unsplash.com - Sorasak
මුලාශ්‍ර:

japantoday.com 

cotoacademy.com 

Related Articles

Exit mobile version