මහනුවර ඇසළ පෙරහර කියපු ගමන් අපට මතක් වන්නේ පෙරහරේ අලිඇතුන්. සාමාන්‍යයෙන් පෙරහරට අලි ඇතුන් 50- 60ක් සහභාගි වීම මෑතක දී සිදු වුණා. කලකට පෙර නම් අලි ඇතුන් 75-100ක් පමණ සහභාගි වූ බව සඳහන් වෙනවා. මේ අලි ඇතුන් රැක ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ උපදෙස් ලැබෙනවා. අලි ඇතුන් සම්බන්ධ අපූරු කතා රාශියක් ඇසළ පෙරහර වටා ගෙතී තිබෙනවා. ඇසළ කාලෙ අපි ඒ අතීත කතා මතක් කර බලමු.
1959 අලි කුලප්පුව
1959 අගෝස්‌තු 19 වෙනිදා රාත්‍රී 9.10 ට යෙදුණු නැකතෙන් තමයි අවසන් රන්දෝලි පෙරහර දළදා මාලිගාවෙන් පිටත් වුණේ. අලිඇතුන් විශාල පිරිසක් සහභාගි වුණු පෙරහර නැරඹීමට දස දහස් ගණනක් සෙනඟ පැමිණ සිටියා. කොප්පරා පන්දම්කාරයන් තමයි මුළු පෙරහැරටම ආලෝකය ලබා දුන්නේ. දැන් වගේ විදුලි ආලෝකය අලි ඇතුන්ටවත් මාර්ග දෙපසවත් ඒ කාලෙ භාවිත කළේ නැහැ. වරින් වර මේ පන්දම් බිම තියලා අලුතෙන් කොප්පරා දමල තෙල් වත්කරනවා. ඒ සඳහා තැනින් තැන කොප්පරා භාජන තබා තිබුණා. ඒ වෙලාවට ගිනි පුළිඟු පාරේ වැටෙනවා. පෙරහරේ යන නැට්‌ටුක්‌කාරයන්ට, බෙරවාදකයන්ට විතරක් නොවේ අලි ඇතුන්ටත් මේ ගිනි පුළිඟු පෑගෙන්න පුළුවන්. ජීවිත රැසක් විනාශ වුණු අලි කුල්ප්පුව කොප්පරා පන්දමක ගිනි පුලිඟුවක් පෑගුණු අලියෙක් නිසා වුණ බවයි පැවසෙන්නේ.
පෙරහරේ මුල් කොටස ක්‍රමයෙන් “වෝඩ් පෙදෙසට” ඇතුළු වුණා. අද ඒ ප්‍රදේශයට කියන්නේ දළදා වීදිය කියලා. දළදා වීදියේ පහළට ආපු පෙරහර “බ්‍රවුන්රිග් හන්දියට” ළඟා වුණා. එතැන එදා බ්‍රවුන්රින් ආණ්‌ඩුකාරයාගේ පිළිරුවක් ඉදිකර තිබුණා. මේ හන්දියෙන් දකුණට තමයි තිබුණේ බ්‍රවුන්රිග් වීදිය( අද යටිනුවර වීදිය). පන්දම්කාරයෝ ඉදිරියට යද්දී එක් අලියෙක් එකපාරටම කුංචනාද කරමින් කුලප්පු වී පෙරහරෙන් පිට පැන දුවන්නට වුණා. අලියා අසාමාන්‍ය ලෙස කුංචනාද කරනකොට මුළු පෙරහර ම තැති ගත්තා. අලි ඇතුන් වගේ ම නරඹන ජනතාවත්, පෙරහරට සහභාගි වුණු නැට්ටුවන් ඇතුළු පිරිසත් බියට පත් වුණා. ඇත්ගොව්වා අලියා මෙල්ල කිරිමට නෙයෙක් උපක්‍රම යෙදුවා. ඒත් සාර්ථක වුණේ නැහැ. තවත් ඇත්ගොව්වන් ඇවිත් අලියා මෙල්ල කරන්න වැඩ කළත් අන්තිමට වුණේ අලියා තවත් දරුණු වීමයි.
අලියාගේ දරුණුකම වැටහුණු මිනිසුන් ඒ මේ අත දුවන්නට වුණා. අලියාත් නගරය පුරා දුවන්න වුණා.
මේ අලි කුලප්පුව වෙන අවස්ථාව දි කරඬුව රැගත් රාජා ඇතා මාලිගාව අසලින් පෙරහරට එක්වෙලා හිටියේ. කලබලය ගැන දැන ගත් එවකට දියවඩන නිලමේ කුඩා බණ්ඩා නුගවෙල කරඬුව රැගත් ඇතා ආපහු මාලිගාවට ගෙවදීමට උපදෙස් දුන්නා.
කුලප්පු වූ අලියා “බ්‍රවුන්රිග්” වීදිය” පැත්තට හැරුණා. හැරුණු ගමන් ම වමට තිබුණේ පාළු පාරක්. ඒ පාර කැලෑ වැවුණු ඉඩම් අතරින් ඇවිත් ආයිමත් අද ඔරලෝසු කණුවට ටිකක් එපිටින් පිහිටි වෝඩ් පෙදෙසට (දළදා වීදියට) සම්බන්ධ වෙනවා. ඒ පාරට එදා නමක් තිබුණෙත් නැහැ. පසුව ඒක බෙනට් සොයිසා පටුමග නමින් හැඳින් වුණා. එදා සිද්ධියෙන් පසු මේ පාර අලියා ගිය පාර ලෙසත්, අලියා මරා දැමුණු තැන අලි මුඩුක්‌කුව ලෙසත් ජනතාව අතර ප්‍රසිද්ධ වුණා.
පෙරහරේ ගමන් කළ අනෙක් අලි ඇතුන්, ඇත්ගොව්වන් ඒ ඒ තැන්වල ගස්වල තිබුණු ගස්වල බැන්දා. මේ අතර මහනුවර පොලිස් අධිකාරිවරයා සන්නද්ධ පොලිස් නිලධාරින් යටිනුවර වීදියට කැඳෙව්වා. පොලිස් නිලධාරින් ලවා නගරයේ ස්ථාන කිපයක ම මුරකාවල් දැම්මා.
මිනිසුන්ගේ කෑ ගැසීම්වලිනුත් අලියා තවත් බය වී සිටියා. මේ අලියා ජනතාව සිටි පැත්තට යන්න හදනකොට පොලිස් නිලධාරින් ඌට වෙඩි තැබුවා. අලියා වෙඩි පහරින් තවත් කෝපයට පත්වුණා. ඌ කෑගසමින් මරු විකාරයෙන් දුවන්නට වුණා. ඒ කාලෙ අලි නිර්වින්දන ඖෂධ භාවිත වුණ් නැහැ. දුවන අලියා පස්සෙන් පන්නා ගෙන ආ මහනුවර පොලිසියේ උප පොලිස් පරික්ෂක ආර්. කරුණාරත්න හා පොලිස් සැරයන් එම්. ඩී. බණ්ඩාර යන නිලධාරින් අලියාට වෙඩි තිබ්බා.
ජනතාව අතරින් 15 දෙනකු අවසානයේ මිය ගොස් සිටියා. ඒ අලියා පහරදීමෙන් නොවේ. දුවන ජනතාවට පෑගීම නිසයි. පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූ මේ අලියා අයිති වුණේ පාතදුම්බර කෝරලේ තනතුර දැරු රම්බණ්ඩා උඩුරාවණට. අලියා බැලුවේ හීන් බණ්ඩා කියන ඇත්ගොව්වායි.
1993 දී වැලැක්වුණු අලි කුලප්පුව
එවැනි ම අලි කුලප්පුවීමක් 1993 දි පෙරහර පවත්වන විටත් සිදුවීමට ගිය බව සඳහන් වෙනවා. වාසනාවකට වගේ එය වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අවුරුද්දෙ පෙරහරේ කරඬුව වැඩමවු රත්නපුර සමන් දේවාලයේ ඇතා හදිසියේ ම දෑලේ සිටින ඇතුන්ට පහර දෙන්න වුණා. ඒ වනවිට මේ ඇතා හිටියේ මාලිගාවේ දියඅගල අසලින් ගමන් කරමින්. නිර්වින්දන කණ්ඩායම් වහාම කැඳෙව්වා. දියඅගල අසල දී ඇතා නිර්වින්දනය කළහොත් ඇතාට හානියක් විය හැකි නිසා උපක්‍රම භාවිත කරමින් මහමළුවට ඌ ගෙන්වා ගැනිමට ඇත්ගොව්වන් සමත්වුණා. එතනදි ඇතාට නිර්වින්දන ඖෂධ විද සිහිනැති කිරීම නිසා සිදුවීමට ගිය විශාල විනාශයක් වැලකුණා.
රාජා ඇතාගේ පුදුම කතා
දළදා පෙරහරේ කරඬුව වැඩි ම වාරයක් වැඩම කර ඇත්තේ රාජා ඇතායි. 1955 ඇසළ පෙරහරේ ගමන් කරන විට රාජා තරුණ වියේ සිටි දඟකාර ඇතෙක් වුණා. පෙරහර යන අතර එක් විට ම ඌ රැජන හෝටලය අසල දී ගමන් කිරීම නවත්වා තිබෙනවා. මේ නිසා ඇත්ගොව්වා කලබල වුණා. ඔහු ඇතාට ගමන් කරන ලෙස අලි භාෂාවෙන් කෑගැසුවා. පාඩාඩ එළන්නන් පාඩාව එළීම නවතා බලා සිටියා.
මේ අවස්ථාවේ දියවඩන නිලමේ පී. බී. නුගවෙලත් එතැනට පැමිණ විපරම් කර බැලුවා. අලි හැසිරීම ගැන අවබෝධයෙන් යුත් ඔහු කුමක් හෝ වරදක් වී ඇති බව සිතුවා. ඔහු ඇත්ගොව්වන් ලවා රන්සිවිගෙය රාජාගේ සිරුරට බැඳ තිබූ පටි පරීක්ෂා කර බැලුවා. ඒ වනවිටත් එම පටි කැඩී ගොස් කරඬුව සහිත රන්සිවිගෙය බුරුල් වී පැවතුණු බව දියවඩන නිලමේවරයාට අවබෝධ වුණා. රාජා ගමන් කළා නම් එය බිම වැටෙන බව කාටත් අවබෝධ වුණා.
රාජා තවත් දිනෙක නා ගෙන එන ගමන් මඳ කිපී කටුගස්තොට මහ පාරේ දුවමින් සිටියා. මිනිස්සු ඇතාගේ දිවිල්ල නිසා බියපත්ව දුවන්නට වුණා. ඒ අතර අන්ධ මිනිසෙක් පාර මාරුවන්නට පැමිණ පිළිසරණක් නැතිව බියෙන් දඟලන්නට වුණා. ‘අනේ අප්පා මං අහිංසකයා, මට මොකුත් කරන්න එපා’ යයි මිනිසා කෑගැසුවා. ඒ අවස්ථාවේ රාජා ඉතා සන්සුන්ව අන්ධයාගේ ගෙල වටා හොඬවැල දමා ඔහු උස්සා පාර අයිනේ ආරක්ෂාකාරී තැනක තැබූ බව පැවසෙනවා.
ඒකදන්ත ඇතා
ශ්‍රී දළදා මාළිගා ඇත් පන්තියේ සිටි එක ම ඒකදන්ත හස්තියා 2017 දී මිය ගියා. ඌත් රාජා ඇතා මෙන් ම සද්දන්ත කුලයට අයත් ඇතකු බවට සැලකෙනවා. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම වීම සහ දේවාල සතරේ කරඬු වැඩමවීම සඳහා සද්දන්ත කුලයේ ඇතුන් තමයි යොදා ගන්නේ. ඒ අනුව දළදා පෙරහරේ කරඬුව වැඩමවීමට ඒකදන්තට ද වාසනාව උදා වුණා.
හිටපු නාවික හා ගුවන් සේවා අමාත්‍ය විමලා කන්නන්ගර 1978 වසරේදී මහනුවර දළදා මාලිගාවට මේ ඇතා පූජා කර තිබෙනවා. මියයන විට 47 වැනි වියේ පසු වූ ඇතාගේ ජීවිත කාලයෙන් වසර 38ක්ම සේවය කර ඇත්තේ දළදා පෙහර සඳහායි. එක් දලයක් පමණක් තිබූ නිසා ඌ ඒකදන්ත යන නම ලැබුවා. වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දී ගජනායක නිලමේ රැගෙන යාමේ කාර්ය ඉටු කළ ඒකදන්ත, දහවල් පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමට තරම් භාග්‍යවන්ත වුණා.
දළයට මල් මාලාවක් දමා තිබුණොත් එම මල් මාලාව ගැලවී යන ආකාරයෙන් නටන ස්වභාවයක් පෙන්නුම් කරන බව පැවසෙනවා. මෙම ඇතාගේ දැකගත හැකි තවත් ලක්ෂණයක් තමයි, පෙරහරේ දෑලේ ඇතුන් සමඟ ගමන් කළාට වෙනත් ඇතෙක් අලියෙක් ළඟ සිටුවා තබා ගැනීමට නොහැකි වීම. ඒකදන්ත වැඩි කැමැත්තක් දක්වා ඇත්තේ තනියම වාසය කිරීමටයි.
පෙරහරේ අලි පෙම් දම්
රට වටෙන් පෙරහරට එන අලි ඇතුන් මාලිගාව හා දේවාල අවට හැම වසරෙදි ම බඳින්නෙ එකම ස්ථානයකයි. ඒ අලි ඇතුන් වසරකට වරයක් එතනට ආවත් ඔවුන් දන්නවා මේ හැමදාම පෙරහරට ආවාම ඉන්න තැන බව. මේ නිසා වෙනත් පළාත්වලින් එන අලිඇතුන් සමඟ මිතුරුකම් පවත්වා ගැනීම් ගැනත් ඇත්ගොව්වන් අතර කතා තිබෙනවා. මේ අලිඇතුන් අතර මිතුරන් වගේම සතුරනුත් ඉන්නවා. ඒ අය ගාල් කරන විට මිතුරන් ළංකර තරහ සතුන් ඈත්කර තමයි ගාල්කිරීම කරන්නේ. නැතිනම් සිදුවන්නේ අලි රණ්ඩු ඇතිවීමයි.
පෙරහරට එන කිවුල්පනේ ඇතින්න හා කෑගල්‍ලේ නිස්සංක මහතාට අයත් මැණිකේ ඇතින්න පෙරහරට ඇවිත් සමීප මිතුදමක් ගොඩනගා ගත් දෙන්නෙක් ලෙස ප්‍රසිද්ධයි. ඒ අලි දෙදෙනා හමුවන්නේ වසරකට එක වතාවයි. ඒ දෙන්න ගාල් කර බඳින්නේ එකම තැනකයි. ඒ දෙන්නා කෑම පවා හුවමාරු කරගෙන අනුභව කරනවා. ඒ වගේම ඒ දෙන්නා ම තම යාළුවගේ ඇත් ගොව්වන් පවා හොඳින් හඳුනන බවක් පළ කරනවා. ඒ දෙන්නම තමන්ගේ යාළුවාගේ ඇත්ගොව්වගේ අණට පවා හරිම කීකරු බවයි ඇත්ගොව්වන් කියන්නේ.
මහනුවර සහ ඇසළ පෙරහර ගැන තවත් ලිපි මෙතැනින් කියවන්න.