අප්‍රිකාවෙ සිතියමක් අරන් බැලුවොත් ඔබට සමකය ආසන්නයේ බටහිර අප්‍රිකාවෙ තිබෙන “සමක ගිනියාව” යන කුඩා රට හමු වේවි. සමක ගිනියාව අප්‍රිකාවෙ තියෙන කුඩා රටවල්වලින් එකක් නිසා වැඩිපුර අවධානයක් යොමු වන්නේ නැහැ. නමුත් තෙල් සම්පත හේතුවෙන් ඉතාම ධනවත් පාලක පන්තියකුත්, අන්ත දුගී සාමාන්‍ය ජනතාවකුත් සිටින, ඒකාධිපති පාලනයකට නතුව සිටින රටක් ලෙස සමක ගිනියාව සලකන්න පුළුවන්.
සමක ගිනියාවේ ප්‍රධාන ප්‍රදේශ දෙකක් වනවා. එනම් දූපත් සහ ප්‍රධාන මහාද්වීපයේ පිහිටි ප්‍රදේශය යි. දූපත් අතර ප්‍රධාන වන්නේ කලින් ෆර්නැන්ඩෝ පෝ නමින් හැඳින්වූ බියෝකෝ දූපත යි. රටේ අගනුවර වන මලාබෝ පිහිටා ඇත්තේ ද එම දූපතේ යි. ප්‍රධාන මහාද්වීපයේ පිහිටි කොටස හඳුන්වන්නේ රියෝ මුනි යනුවෙන්.
සමක ගිනියාවෙ සෞඛ්‍යය, අධ්‍යාපනය ආදී සේවා ඉතා අයහපත් තත්ත්වයක යි පවතින්නේ. රටේ ළමයින් අතුරින් සියයට 20ක් පළමු වසර පහ තුළ දී මරණයට පත් වනවා. ජනගහනයෙන් අඩකට පමණ පිරිසිදු පානීය ජල පහසුකම් නැහැ.
රටේ ජනතාවගේ ජීවන තත්ත්වයෙහි නොදියුණුභාවයට හේතු වන ප්‍රධාන කාරණය නම් එහි පාලක පැලැන්තියේ ක්‍රියාමාර්ග යි. ඇතැම් අවස්ථාවන්හි දී අප්‍රිකාවේ උතුරු කොරියාව ලෙස පවා සමක ගිනියාව හඳුන්වනු ලබනවා. එරට දෙවන ජනාධිපති වන තියඩෝරෝ ඔබියංග් න්ගුඒමා ම්බසෝගෝ ඉතා නාස්තිකාර සහ ඒකාධිපති පාලකයකු වනවා. නමුත් එරට පළමු ජනාධිපතිවරයා වූ ෆ්රැන්සිස්කෝ මසියාස් න්ගුඒමා සමග සසඳන කල, තියඩෝරෝ ඔබියංග් යහපත් අයකු ලෙස හඳුන්වන්න පිළිවන්. මසියාස්ගේ පාලන සමයේ දී එවකට රටේ ජනගහනයෙන් අවම වශයෙන් හයෙන් එකක් මරා දැමුණා.
ස්පාඤ්ඤ අනුග්‍රහය
මසියාස් උපත ලැබූයේ 1924 ජනවාරි 1 වන දා සමක ගිනියාව ස්පාඤ්ඤ යටත් විජිත පාලනය යටතේ තිබුණ සමයේ යි. එකල එම රට ස්පාඤ්ඤ ගිනියාව ලෙස හඳුන්වනු ලැබුණා. ඔහු උපන් ප්‍රදේශය වන්නේ රියෝ මුනිහි නැගෙනහිර කෙළවරේ පිහිටි මොන්ගෝමෝ ප්‍රදේශය යි. මසියාස්ගේ පියා ප්‍රකට යක්දෙස්සෙකු වූ අතර මසියාස්ට ද එවන් බලයන් තිබේ යයි විශ්වාස කෙරුණා.
මසියාස්ගේ වයස අවුරුදු 9ක් වෙද්දී ඔහුගේ පියා ස්පාඤ්ඤ නිලධාරියකුගේ පහරදීමෙන් මරණයට පත් වුණා. ඔහුගේ මවත් ඉන් දින කිහිපයකට පසුව සිය දිවි නසාගත්තා. කෙසේ නමුත් වැඩිහිටි වියට පත් වූ පසු සිය ගෝත්‍රයේ වැදගත් අයකු බවට ඔහු පත් වුණා. එමෙන්ම ස්පාඤ්ඤ යටත් විජිතවාදීන් ගේ සිත දිනාගන්නත් ඔහු සමත් වුණා.
මසියාස් තුන් වරක් සිවිල් සේවා විභාගය අසමත් වූ නමුත් ස්පාඤ්ඤ අනුග්‍රහය මත මොන්ගෝමෝහි නගරාධිපති ලෙස පත් වීමට ඔහුට අවස්ථාව ලැබුණා. පසු කලෙක ඔහුව ස්පාඤ්ඤ ගිනියාවේ අනාගත නායකයකු ලෙස හැඩගස්වන ලද්දේ ද ස්පාඤ්ඤයින් විසින්ම යි.
1968 සැප්තැම්බරයේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් මසියාස් ජයග්‍රහණය කළා. මේ අනුව 1968 ඔක්තෝබර් 12 වන දා සමක ගිනියාව නිදහස ලබද්දී ඔහු එහි පළමු ජනාධිපති ලෙස පත් වුණා.
ඒකාධිපති වියරුව
ස්පාඤ්ඤය බලාපොරොත්තු වූයේ සමක ගිනියාවේ සාමාන්‍ය දේශපාලන තත්ත්වයක් පවතිනු ඇති යන්න යි. මසියාස් වෙත දක්වන ලද අනුග්රහයන්ට කළ ගුණ සැලකීමක් ලෙස ඔහු තමන්ට හිතවත් පාලකයකු වේයැ යි ස්පාඤ්ඤය විශ්වාස කළා. එමෙන්ම කොකොවා සහ කෝපි වගාවන් මඟින් තවදුරටත් තමන්ට ලාභ ලැබේයැ යි ස්පාඤ්ඤය විශ්වාස කළා. රටේ වැදගත් ආර්ථික කටයුතු වූයේ එම වගාවන් දෙක යි. එම භෝග නිෂ්පාදනය සහ අපනයනය බොහෝ කොටම ස්පාඤ්ඤ ජාතිකයන් අත පැවතුණා. රටේ සමස්ථයක් ලෙස 7,000ක් පමණ වූ ස්පාඤ්ඤ ජාතිකයන් පිරිසක් ජීවත් වුණා. රටේ ප්‍රධාන පරිපාලන නිලධාරීන් සහ ගුරුවරුන් ද සැලකිය යුතු පිරිසක් ස්පාඤ්ඤ ජාතිකයන් වුණා.
ස්පාඤ්ඤ ජාතිකයන්ගේ බලාපොරොත්තු කඩ වීමට ගත වුණේ දින 145ක් පමණ යි. මසියාස්ගේ උඩු යටිකුරු වීමට හේතු වූයේ බටා නගරයේ දී සිදුවූවක් බව විශ්වාස කෙරෙනවා. 1969 පෙබරවාරියේ දී නගරයට සංචාරයක් කරන අතරතුර ස්පාඤ්ඤ ධජ තවමත් ඔසවා තිබෙනු ඔහු දුටු බවත්, එයින් ඔහු කිපුණ බවත් සඳහන්.
ස්පාඤ්ඤ ජාතිකයන් නොදත් කරුණක් වූයේ මසියාස් ඔවුන් ගෙන් ප්‍රයෝජන ගත්තත් ඔවුන් පිළිකුල් කළ බව යි. එමෙන්ම ඔහු උගතුන් කෙරේ ද පුදුමාකාර වෛරයකින් පසු වුණා.
ඔහු ස්පාඤ්ඤ ජාතිකයන්ට එරෙහිව ජනයා උසි ගැන්වූ අතර තරුණ කණ්ඩායම් ස්පාඤ්ඤ ජාතිකයන්ට පහර දීමට පටන් ගත්තා. ස්පාඤ්ඤ ජාතිකයන් රට අතැර යාමට පටන් ගත්තේ තම ආරක්ෂාව සලසා ගැනීමට යි. මසියාස්ගේ විදේශ ඇමති න් ඩොන් ගෝ මියෝනේ තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාට ඉල්ලීම් කළ විට ඔහුව පහර දී සිරගත කර මරා දැමුණා. මසියාස්ගේ මුල් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 12 දෙනාගෙන් 10 දෙනකුම මරා දැමුණා. රටේ ප්‍රධාන තනතුරුවලට මසියාස් තම පවුලේ සහ ගෝත්‍රයේ අය පත් කළා. ජාතික භට හමුදාවේ ප්‍රධානී, ෆර්නැන්ඩෝ පෝ දූපතේ හමුදා ප්‍රධානී, ආරක්ෂක අමාත්‍යංශයේ මහ ලේකම් සහ බන්ධනාගාර ප්‍රධානී යන තනතුරු ඔහුගේ බෑණා කෙනෙකු වූ තියඩෝරෝ ඔබියංග් වෙත පැවරුණා.
තමන්ට එරෙහි වේ යයි සිතූ ඕනෑම අයකු මරා දමන්නට මසියාස් කටයුතු කළා. උගතුන් පිළිබඳ වූ වෛරය සහ බිය හේතුවෙන් ගුරුවරුන් සහ තාක්ෂණික විද්‍යායතනයන්හි උපාධිධාරීන් ආදී යම් හෝ උගැන්මක් ඇති සියල්ලන් මරා දමන්නට ඔහු පටන් ගත්තා. වෙනකක් තබා උපැස් යුවළ පළඳින්නන් පවා සැක කිරීමට පටන් ගත් ඔහු, එවැනි අය ද අත් අඩංගුවට ගත්තා. ඔහුගේ පාලන සමය තුළ සියළුම ආකාරයේ අධ්‍යාපන ආයතනයන් වසා දැමුණා. 1974 දී කතෝලික මිශනාරි පාසැල් ද වසා දැමීමත් සමග සියළු පාසැල් වැසී ගියා. එතැන් පටන් එරට ළමුන් ඉගෙන ගත්තේ දේශපාලන සටන් පාඨ පමණ යි.
ඔහුගේ පාලනය යටතේ හරිහැටි වැටුප් ගෙවන ලද්දේ ආරක්ෂක හමුදා, පොලිසිය, සහ මිලීෂියා භටයින්ට ද ජනාධිපති සහ ඔහුගේ හිතවත් අමාත්‍යවරුන්ට ද පමණ යි. අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී අමාත්‍යාංශවලට මුදල් වෙන් නොකිරීම නිසා එම ආයතන වැසී ගියා. 1976 දී මහ බැංකුවේ ප්‍රධානියා මරණ දඬුවමට ලක් කෙරුණ අතර මහ බැංකුව ද වසා දැමුණා. විදේශ මුදල් ඇතුළුව එහි වූ සංචිත මසියාස් ඔහුගේ ගමට රැගෙන ගියා. එහි තම නිවෙස අසල ගොඩනැගිල්ලක එම මුදල් ගොඩගසා තිබුණා. බටහිර ඖෂධ ගෙන්වීම ද තහනම් කළ ඔහු රටේ ප්‍රධාන ඖෂධ ගබඩාව ද තම ගමට ගෙන ගියා.
ඔහු විශ්වාසය තැබූයේ තම ගෝත්‍රයේ අය පිළිබඳව පමණ යි. එහෙයින් අගනුවර කල් ගතකිරීම ඔහු අඩු කළා. තම ගමෙහි ජීවත් වූ ඔහු ඇතැම් රාත්‍රීන්වල ගිනිමැලයක් වටා තම ගෝත්‍රයේ හිතවතුන් හා එක්ව රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳවත්, යටත් විජිතවාදීන් පැමිණීමට පෙර තිබුණා යැයි කියන ස්වර්ණමය කාලය පිළිබඳවත් වල් පල් කියවමින් සිටියා.
ඔහුගේ පාලන සමය තුළ රටෙහි 300,000ක් වූ ජනගහනයෙන් අවම වශයෙන් 50,000ක් මරා දැමුණා. ඇතැම් ඇස්තමේන්තු අනුව ඒ ප්‍රමාණය 80,000ක් පමණ වනවා. රටෙන් 125,000ක් පමණ පළා ගියා. (ඒ පිළිබඳ ද 101,000 සිට 150,000 තෙක් ඇස්තමේන්තු තිබෙනවා).
බලයෙන් නෙරපීම
කල් යාමේදී මසියාස් මානසික රෝගී ස්වභාවයන් පෙන්නුම් කළා. එක් අතකින් ඔහු තම ප්‍රතිරූපය විකාර සහගත ලෙස පුම්බා ගත්තා. ඔහු සඳහන් කළේ “සමක ගිනියාව දෙවියන් විසින් නිර්මාණය කළේ මසියාස්ට ස්තූති කිරීමක් ලෙස” බව යි.
මේ අතර ඔහුගේ දේශපාලන කතා කිසිදු පිළිවෙලක් නැති විකාර බවට පත් වුණා. ඇතැම් විට ඔහු දිගු වේලාවක් යම් අයකු අමතන ආකාරයෙන් කතා පැවැත්වූ නමුත් ඒ තැනැත්තා ඔහු විසින්ම මරණ දඬුවම දුන් අයකු වග ඔහුට මතක තිබුණේ නැහැ.
රටේ කටයුතු ඇණ හිටීමත් සමග, මසියාස් තමන්ව ද විනාශ කරගෙන විනාශ වේයැ යි ඔහුගේම පවුලේ අයට සැක මතු වුණා. එහෙයින් 1979 අගෝස්තු 3 වන දා ඔහුගේ බෑණා වූ තියඩෝරෝ ඔබියංග් ඇතුළු පිරිසක් ඔහුව බලයෙන් නෙරපා හැරියා.
පවුලේ අයට ඉන්පසු මතුවූ ප්රශ්නය නම් ඔහුව මානසික වෛද්‍ය ආයතනයක් කරා යවන්නේ ද, නඩු විභාගයකට යොමු කරන්නේ ද යන්න යි. අවසානයේ දී නඩු විභාගයක් සඳහා තීරණය කෙරුණා. මලාබෝ නගරයේ මාර්ෆිල් සිනමා ශාලාවේ දී එම නඩු විභාගය පවත්වනු ලැබුණා. වර්ග සංහාරය, ආර්ථිකය කඩාකප්පල් කිරීම සහ රජයේ මුදල් වංචාව ඔහුට එරෙහි චෝදනා අතර වුණා. මෙහිදී ඔහුට මරණ දඬුවම නියම වුණා.
මසියාස්ගේ ජීවිතයේ පුදුමාකාර අවස්ථාවක් වූයේ එම මරණ දඬුවම ක්‍රියාවට නැගීම යි. යක්දෙස්සකු ලෙස ඔහු තුළ වූ බලය ගැන බියෙන් පසුවූ හෙයින් එකම එක සමක ගිනියා සෙබළකුවත් ඔහුට මරණ දඬුවම ලබා දීමට ඉදිරිපත් වූයේ නැහැ. ඒ සඳහා මොරොක්කෝවෙන් ගෙන්වූ සෙබළ පිරිසක් යොදා ගැනීමට රජයට සිදු වුණා.