ගාල්ල යනුවෙන් ඇසෙන විට අපට නිතැතින් ම සිහියට නැගෙන්නේ ඓතිහාසික ගාලු කොටුවයි. දීර්ඝ කාලයක් බටහිර ජාතීන්ගේ අණසකට යටත්ව තිබූ ගාලු කොටුව තුළ ඒ අතීතය සිහි ගැන්වෙන යටත් විජිත සමයේ දී ඉදි කළ ගොඩනැගිලි ගණනාවක් අද ද දැකිය හැකිය. ඒ අතර මීට සියවස් තුනක් වැනි කාලයකට පෙරාතු ව ඉදි කළ ගාල්ලේ ජනතාව ‘රජගෙදර’ යනුවෙන් හඳුන්වන නිවස සුවිශේෂී ගොඩනැගිල්ලකි.
ලන්දේසි යුගයේ දී ඉදි කර ඇති ගොඩනැගිල්ල එවකට ගාල්ලේ ලන්දේසි අණදෙන නිළධාරියාගේ නිල නිවස වශයෙන් යොදා ගත් අතර පසුකාලීන ව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී එය ගාල්ලේ බ්‍රිතාන්‍ය අණ දෙන නිළධාරියාගේ නිල නිවස ලෙස භාවිත කෙරිණි. බ්‍රිතාන්‍ය රජතුමාගේ හෝ රැජිණගේ නියෝජිතයින් මෙරටට පැමිණි අවස්ථාවේ නවාතැන් ගැනීම සඳහා ද එය භාවිත විය.
වැදගත් ම කරුණ නම් එම නිවසේ එවක ආරක්ෂාව සැපයූ බ්‍රිතාන්‍ය ජාතික මේජර්වරයකු වූ පොන් හියුගල් නමැත්තා මෙම නිවස තුළ දී සිය දිවි නසාගැනීමත් සමඟ ඔහුගේ අවතාරය එම නිවස තුළ සැරිසරන බවට බොහෝ දෙනකු විශ්වාස කිරීමයි. ඒ පිළිබඳ ලිඛිත සටහන් පවා තිබෙන අතර මෙම ලිපිය ලියැවෙන්නේ ගාල්ලේ පිහිටි ‘රජගෙදර’ සහ පොන් හියුගල් ගේ අවතාරය පිළිබඳව යි.
ගාලු කොටුව ගොඩනැඟීම
පෘතුගීසින් වර්ෂ 1588 දී බළකොටුවක් ලෙස ගාල්ල කොටුවේ සංවර්ධන කටයුතු සිදු කළ නමුත් නාගරික ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාගනිමින් සැලසුම් සහගත නගරයක් ලෙස ගාල්ල කොටුව සංවර්ධනය කර ඇත්තේ ලන්දේසීන් ය. ක්‍රිස්තු වර්ෂ 1640 දී ගාල්ල තමන්ගේ ආධිපත්‍යයට යටත් කරගැනීමට ලන්දේසීන් කළ සටන්වලින් ගාලු කොටුවේ බොහෝ කොටස්වලට හානි වූ බැවින් වර්තමානයේ දී දැකිය හැකි ගාලු කොටුව ගොඩනගන ලද්දේත් ලන්දේසීන් විසිනි.
1640 වසරේ මාර්තු මස 13 වැනි දා ලන්දේසීන් ගාලු කොටුව අත්පත් කර ගත් දා සිට විලියම් ජාකෝර්බ් කොස්ටර් (Willem Jacobsz coster -1640), ජෑන් තීජ්සන් පර්සාට් (Jan Thijssen Payart -1640-46), ජෝන් මට්සුකර් (John Maetsuycker -1646-50), ජාකෝර්බ් ෆන් කයිටන් සන් (Jacob Fan Kittensteyn -1650-53 ) ඇතුළු ආණ්ඩුකාරවරුන් සිව්දෙනකු ගාල්ල ස්වකීය පාලන කේන්ද්‍රස්ථානය බවට පත් කරගත් අතර ඔවුන්ගේ නිල නිවාස වර්තමානයේ නව ගාලු කොටු දොරටුව ඉදි කළ ස්ථානයේ පිහිටා තිබිණි. එම ගොඩනැගිලි පෘතුගිසි පාලකයන් ද භාවිත කළ ඒවා වෙයි.
ලන්දේසි ආණ්ඩුකාර නිල නිවස
වර්තමානයේ දී ගාලු කොටුවේ නව කොටු දොරකඩින් ඇතුළු වීමේ දී වම් පස පිහිටි අට්ටාලය එකල කොටුවේ ප්‍රධාන මුර මධ්‍යස්ථානය ලෙස පැවතුණු අතර ප්‍රධාන ආරක්ෂාව සපයා ගැනීමට අවශ්‍ය වූ බැවින් අතීතයේ ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිලනිවස පිහිටියේ ද ඊට යාබද පෙදෙසක ය. වර්තමානයේ එම ප්‍රදේශය නව කොටු දොරටුවෙන් ඇතුළු වූ පසු වම්පසින් දිස්වන අතර එය මේ වන විට පොදු ක්‍රීඩාපිටියක් ලෙස භාවිත කරයි.
ආණ්ඩුකාරතුමන්ගේ නිලනිවස පිහිටි පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක් ම තිබූ නමුත්, ලන්දේසීන් පැරණි ගොඩනැගිලි විනාශ වී ගිය ස්ථානවල නැවත ගොඩනැගිලි ඉදිකීරිමක් සිදු නොකර ඒවා විවෘත භූමි ලෙස පවත්වාගෙන ගිය බව පැහැදිලි ය. ඒ අනුව ආණ්ඩුකාරතුමන්ගේ නිලනිවස විනාශ වී ගිය පසු එම ප්‍රදේශය තුළ ද ගොඩනැගිලි ඉදි නො කර විවෘත කලාපයක් ලෙස පවත්වා ගෙන ආ බව පෙනෙයි.
අණදෙන නිළධාරී තනතුර සඳහා නව නිලනිවසක් ඉදි කිරීම
1653 වසරේදී ලන්දේසින් කොළඹ නගරය යටත් කර ගැනීමෙන් පසු ඔවුන් කොළඹ සිය පාලන මධ්‍යස්ථානය කරගත් අතර ගාල්ල සඳහා අණ දෙන්නෙකු හෙවත් කමාන්ඩර්වරයකු පත් කර ඇත. ගාලු කොටුවේ පිහිටා තිබූ පැරැණි ආණ්ඩුකාර නිල නිවස ඔවුන් අත් හැර දැමූ නිසා ගාල්ල ප්‍රදේශයේ ම වෙනත් ස්ථානයක මෙම නිළධාරියාගේ නිල නිවස තනන්නට ඇති බව සිතිය හැකි ය. ගාලු කොටුවේ ප්‍රධාන විදී දෙකක් වූ පල්ලිය විදීය හා වර්තමානයේ රැජන වීදිය යනුවෙන් හැඳින්වෙන වීදිය එකිනෙකට මුණගැසෙන තුංමන්හන්දියක මෙම නව නිල නිවස ඉදි කර තිබේ. එය ගාලු කොටුවේ අතිශය වැදගත් ස්ථාන වූ වරාය ජැටිය, වෙළෙඳ ගබඩාව සහ රෙපරමාදු පල්ලිය වැනි ස්ථානවලට ඉතාමත් නුදුරෙන් පිහිටා තිබුණි.
මෙම නිවසට ඇතුළු වන ප්‍රධාන දොරටුවට ඉහළින් දක්‌නට ඇත්තේ රතු පැහැති කුකුළකුගේ රුවකි. එහි 1683 වර්ෂය වශයෙන් සඳහන් වේ. ඒ අනුව මෙම නිවසේ ඉදිකිරීම් ආරම්භ කළ හෝ කමාන්ඩර්වරයා මෙය ප්‍රථමයෙන් ම භාවිතයට ගත් වර්ෂය ලෙස 1683 වසර අනුමාන කළ හැකි ය. කෙසේ නමුත් එහි දැනට දක්‌නට ඇති ගෘහ නිර්මාණ ශිල්පීය ලක්‌ෂණ අනුව එය එතරම් පැරැණි නිවහනක් නොවන බව ඇතැමුන්ගේ මතය වෙයි. බොහෝ ලන්දේසි ගොඩනැගිලි පමණක් නොව, මහනුවර පිහිටි සිංහල වාස්තු ශිල්පය අනුව නිම වූ ගොඩනැගිලි පවා පසු කාලයක දී ඉංග්‍රීසින් ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නැවත සකස් කොට තිබීම නිසා එම මතය නිවැරදි නොවන බව පෙනී යයි.
ගාල්ලට පත් ව ආ ප්‍රථම ලන්දේසි අණ දෙන නිළධාරියා ‘බැන්ඩ්ගෝඩ්ස්කන්’ වූ අතර ගාල්ලේ සිටි අවසාන අණ දෙන නිළධාරියා වූයේ ‘ඩිටරිච්තෝමස්ප්‍රෙට්ඩ්’ ය. මෙම කාලයේ දී ඔවුන්ගේ පරිහරණයට ගැනුණු මෙම ගොඩනැගිල්ල 1796 වසරේ දී ගාලු කොටුව ඉංග්‍රීසින්ගේ යටතට පත් වීමත් සමඟ ඔවුන් අතට පත් විය.
බ්‍රිතාන්‍ය යුගය
බ්‍රිතාන්‍ය යුගයේ දී ඔවුන්ගේ ගාල්ල ප්‍රදේශය භාර ව සිටි අණ දෙන නිළධාරියා සිය වාසස්ථානය ලෙස මෙම නිවාසය යොදා ගත් අතර රජුගේ විශේෂ නියෝජිතයන් ලංකාවට පැමිණි අවස්‌ථාවලදී හා ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් ගාල්ලට පැමිණි අවස්ථාවලදී ඔවුන්ගේ නවාතැන්පළ වූයේ ද මෙම නිල නිවාසයයි. 1814 වසරේ ජුනි මස 29 වැනිදා ගාල්ලට ගොඩබට ජේම්ස් ලින්ච් ඇතුළු වෙස්ලියානු මෙතෝදිස්ත මිෂනාරිවරුන් නවාතැන් ගත්තේ ද මෙහි බව ඉතිහාසයේ සඳහන් වේ. එම කාලයේ ගාල්ලේ බ්‍රිතාන්‍ය කමාන්ඩර්වරයා වූයේ විස්කවුන්ට් මෝල්ස්වර්ත් ය.
බ්‍රිතාන්‍ය රජුගේ නියෝජිතයන් මෙහි පැමිණ නවාතැන් ගැනීම නිසා මෙය King’s House ලෙස නම් කරන ලදැයි සිතිය හැකි අතර පසුව 1837 වසරේ දී වික්ටෝරියා රැජින බලයට පත් වීමත් සමඟ Queen’ House ලෙස මෙය නම් කර ඇත. අද දක්වාත් මෙය ඒ නමින් හැඳින්වෙන අතර ඒ ඉදිරිපසින් ඇති මාවත Queen’s Street හෙවත් රැජන වීදිය ලෙස නම් කර ඇත. කෙසේ වෙතත් මෙම නිල නිවස මහජතාව හැඳින්වූයේ “ගාල්ලේ රජගෙදර” වශයෙනි.
නිවසට ආරක්ෂාව සැපයූ මේජර් පොන් හියුගල් හා සබැඳි කතාව
බ්‍රිතාන්‍යයන් අතට මෙම නිවස පත් වීමෙන් අනතුරු ව ඒ සඳහා ආරක්‌ෂාව සපයා දුන්නේ ඉංග්‍රීසි හමුදාවේ සේනාංකයක අණදෙන නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ මේජර් පොන් හියුගල් ය. මොහු මනා දේහධාරී සිරුරකින් යුතු වූ අතර විනෝදයට ළැදි, මත්පැන්වලට ද ඇබ්බැහි වූවකු ලෙස සඳහන් වේ. මෙම නිවස සිය නිල නිවස වශයෙන් ප්‍රයෝජනයට ගත් ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරුන්ට හා මෙහි නවාතැන් ගත් බ්‍රිතාන්‍යය විශේෂ නියෝජිතයන්ට ආරක්‌ෂාව සපයා සපයා දුන්නේත් පොන් හියුගල් ය.
රාජකාරි කටයුතු අතරතුර තරුණියක සමඟ පෙම් සබඳතාවක් පැවැත් වූ ඔහු එම ප්‍රේම සම්බන්ධතාව බිඳවැටීම නිසා ඇති වූ සිත්තැවුලේ ප්‍රතිපලයක් ලෙස මෙම නිවසේ ම බාල්කයක එල්ලී සිය දිවි හානි කරගත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.
හොල්මන් පිළිබඳ කතා
පොන් හියුගල්ගේ මෙම හදිසි දිවි නසා ගැනීමෙන් අනතුරු ව ඔහු පිළිබඳ මතකය අවසන් නොවූ අතර මෙහි නවාතැන් ගැනීමට පැමිණි රැජනගේ විශේෂ නියෝජිතයන්ට පමණක් නොව ආණ්‌ඩුකාරවරුන්ට ද ඔහු හිරිහැරයක් වූ බව කියැවේ. ඒ, මූලාශ්‍රයන්හි සඳහන් ආකාරයට, ඔහු අවතාරයක් ලෙස පෙනී සිටි බැවිනි. රාත්‍රී කාලයේ නිස්කලංක ගාලු කොටුවේ රජගෙදරින් විවිධ ශබ්ද ඇසෙන්නට පටන් ගෙන තිබෙන අතර මේ නිසා රජගෙදර නවාතැන් ගත් ආණ්‌ඩුකාරවරුන් මෙන් ම රැජිනගේ නියෝජිතයෝ ද බියට පත් වූහ.
1841- 1847 අතර කාලයේ මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කොලින් කැම්බල් 1845 වර්ෂයේ දී මෙම නිවසට පැමිණ දින කිහිපයක් ගත කළ අතර මෙහි පොන් හියුගල් හොල්මන් කරන බව ඔහු දැන සිටියේ ය. ආණ්ඩුකාර කැම්බල් ලියූ එක් පොතක පොන් හියුගල් රාත්‍රීයේ තමන්ට කරදර කරතැයි බියෙන් නිදියහනේ කොට්ටය යට පිස්තෝලය තබා නිදා ගත් බවත්, ඒ හොල්මන පැමිණිය හොත් වෙඩි තැබීමට අපේක්ෂාවෙන් බවත් සඳහන් කොට ඇත.
මේ අනුව 1872 දී මෙම කරුණ සහ තවත් හේතු කිහිපයක් නිසා මෙම නිවස විකුණා දැමීමට එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත.
නිවස විකුණා දැමීම
මෙරට දොළොස්වන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ විලියම් හෙන්රි ග්‍රෙගරි 1872 වසරේ ජුනි මස 29 වැනිදා මෙම නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීම සදහා රජයේ ගැසට් පත්‍රය මගින් නිවේදනය කර තිබිණි. ඒ වන විට මෙම ගොඩනැඟිල්ල පත්ව තිබූ අබලන් තත්ත්වය, ඒ වෙත වාතාශ්‍රය නිසි පරිදි නොලැබීම, ජනාකීර්ණ ප්‍රසිද්ධ විදී ද්විත්වයකට මායිම්ව පිහිටා තිබීම සහ ගොඩනැඟිල්ල නඩත්තු කිරීමට දරිය යුතු වූ විශාල වියදම යන කරුණු මෙය ප්‍රසිද්ධියේ විකුණා දැමීමට හේතු විය.
බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම්වරයාගේ පුර්ව අනුමැතියකින් තොරව ඒකපාර්ශවිය තීරණයකට අනුව මෙම නිලනිවස විකුණා දැමීම සම්බන්ධයෙන් ග්‍රෙගරි ආණ්‌ඩුකාරවරයා හා එවකට යටත් විජිත ලේකම් කිම්බර්ලි සාමිවරයා අතර මත ගැටුමක් පවා හටගත් බව ඉපැරණි ලිපි ලේඛනවල සඳහන් ව තිබේ.
ඒ අනුව එකල සුප්‍රසිද්ධ ව්‍යාපාරික සමාගමක් වූ ‘ක්‌ලාක් ස්‌පෙන්ස්’ සමාගම මෙම ගොඩනැඟිල්ල පවුම් 1,500කට මිලදී ගත් අතර එම සමාගම ‘වෝකර් පුත්‍ර’ සමාගමට අනුබද්ධව කටයුතු කළ සමාගමකි. පසුව ‘ක්‌ලාක් ස්‌පෙන්ස්’ සමාගම වසා දැමීමත් සමඟ මෙම ගොඩනැඟිල්ල වෝකර් සමාගමේ තනි අයිතියට පත්විය.
මෙය වෝකර් පුත්‍ර සමාගමට හිමි වූ කාලයේදී, එහි කළමනාකරු වූ කෙනට් බාබර් මෙහි කාමරයක නිදා ගෙන සිටින අවස්ථාවක හමුදා ඇඳුමින් සැරසුණු දේහදාරී පුද්ගලයකු දුටු බව ඔහු වරෙක සඳහන් කර ඇත.
වර්තමාන තත්ත්වය
ගාලු කොටුව තුළ පිහිටා ඇති ආරක්ෂිත ස්මාරකයක් ලෙස සැලසෙන ගොඩනැගිල්ලක් ලෙස මෙම ගොඩනැගිල්ල නම් කොට ඇත. මෙහි අයිතිය වර්තමානයේ පෞද්ගලික සමාගමක් සතු වුවත් එය භාවිතයට නොගෙන වසා ඇති ආකාරය දක්නට හැකි ය. ගාලු සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපස ම පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල දීර්ඝ කාලයක් තිස්සේ භාවිතයට නොගැනීම නිසා දෝ වඩාත් අඳුරු සහ ගුප්ත පෙනුමක් දරයි.