මහා කාලි ඇදහූ ඉන්දියානු මංපහරන්නෝ: තගී

“Thug” කියන වචනයෙන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ අපරාධකරුවෙකු හඳුන්වන්න යි. නමුත් මෙය ඉංග්‍රීසි යෙදුමක් නම් නොවෙයි. “තග්” කියන වචනය, සහ තේරුමත් ආවෙ ඉන්දියාවෙන්. ඇත්තෙන්ම හින්දි භාෂාවෙ “තගී” කියන යෙදුමෙන්. කවුද මේ තගී?

තගී කල්ලි

ඉතාලියට මා‍ෆියාවත්, ජපානයට යකුසා කල්ලියත් වැනි සංවිධානාත්මක අපරාධ කල්ලි තිබෙනවා. තගී කල්ලිය මේවායේ “ඉන්දියානු වර්ෂන් එක” යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මේවායේ සාමාජිකයින් තග්වරුන්.

තගීන් – 1894  (npr.org)

13 වන සියවසේ සිට 19 වන සියවස වන තෙක් තගීන් කල්ලි වශයෙන් ඉන්දියාව පුරා සැරිසැරුවා. අවුරුදු 600ක් පුරාවට ඉන්දියාව බිය ගැන්වූ ඔවුන්, ලොව ප්‍රථම සංවිධානාත්මක අපරාධ කල්ලිය යනුවෙන් හඳුන්වන්න පුළුවන්. තගීන්ගේ ආරම්භය මුස්ලිම් ගෝත්‍රයන් හතකුත්, හින්දූන් පිරිසකුත් නිසා ඇරඹුනු බව සැලකෙනවා. මොවුන්ගේ විශේෂත්වය වුණේ හින්දු දහමේ එන විනාශයේ දේවතාවිය වූ කාලි ඇදහීම යි.

තගීන් පාළු මාර්ගයන්හි ගමන්ගන්නා මඟීන් රවටා, මරාදමා, ඔවුන් සතු වටිනා දේ කොල්ලකෑමට පුරුදුකොට සිටියා.

තගීන්ගේ ආරම්භය සහ කාලි ඇදහීම

කාලි දෙවඟන – එස්. එම්. පන්ඩිත් විසින් 1956 දී කළ සිතුවමකි  (Pinterest – Vintage India)

ඈත කාලයක රක්තබීජ නම් අසුරයෙකු වාසය කළා. ඔහු ලැබ තිබූ වරයක් වූයේ, සිය ලෙයින් බිඳුවක් හෝ පොළවට පතිත වූ විට, ඔහුගේම ප්‍රතිරූපයක් ඒ ලේ බිඳුවෙන් මැවීයාම යි.

වරක් සුරයින් පිරිසක් රක්තබීජ පැරදවීම සඳහා සටනේ යෙදුනා. නමුත් ගැටලුව වූයේ රක්තබීජගෙන් වැටෙන ලේ බිඳුවක් පාසාම ඔහු වැනිම තවත් රක්තබීජයින් බිහිවීම යි. සුරයින් සටනින් පැරදෙන බව දු‍ටු කාලි දෙව්දුව රක්තබීජගෙන් වැටෙන කිසිදු ලේ බිඳුවක් බිම පතිත වීමට නොදී, සිය දිගු දිවෙන් ලෙවකා දැමුවා. ලෙයින් බිහිවූ රක්තබීජයන්ටත් අත්වූයේ එම ඉරණමම යි. කාලියගේ සහායය ද සහිතව සුරයින් විසින් රක්තබීජ විනාශ කර දමනු ලැබුවා.

තගීන්ගේ ඇදහීම වූයේ ඔවුන්ගේ ආරම්භය සිදුවුණේ කාලියගෙන් වැ‍ටුණු දහදියෙන් බවයි. ඔවුන් තමා කාලියගේ දරුවන් වශයෙන් හඳුන්වාගත්තා. තගීන් විශ්වාස කළේ තමා මිනීමැරීමෙන් කාලියට මෙලොව යහපත හා අයහපත සමබරව තබාගැනීමට උපකාරී වන බව යි.

අනිත් දේවතාවියන් රක්තබීජ හා සටන් වදිද්දී කාලිය එම යක්ෂයාගෙන් ඇදහැලෙන රුධිරය සහ කුඩා රක්තබීජයින් ගොදුරු කරගනී  (Wikimedia)

තගී කල්ලියකට සම්බන්ධ වීම

තගීන් හුදෙක් මං පහරන්නන් සහ මිනීමරන්නන් කල්ලියක් නොව, එක්තරා අයුරක සහෝදරත්වයක්, හෝ යම් “නිකායක්” වශයෙනුයි ක්‍රියාත්මක වුණේ. මේවායේ සාමාජිකත්වය බොහෝවිටම පිය උරුමයෙන් ලැබුණක්. එහි නායකත්වය පැවතුනේත් පිය උරුමයෙන්.

තගීන් හා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටියවුන් මුලින් කළ යුතු වූයේ තගීන් කණ්ඩායමක් හා සම්බන්ධ වී “පුහුණු කාලයක්” ගෙවීම යි. තගීන් එම සමාජයන්හි බිය මුසු ගෞරවයෙන් සැළකූ පිරිසක් වූ නිසා, තගීන් හා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටියවුන් බොහෝ වුණා.

එසේම ඇතැම් අවස්ථාවන්හි දී තමන් විසින් කොල්ලකන මඟීන් අතර සිටින කුඩා දරුවන්ව නොමරා ඉතිරි කරන තගීන්, ඔවුන්ව ද කල්ලියට බඳවාගැනීම සඳහා පැහැරගෙන යනු ලැබුවා.

තග්වරුන් පිරිසක් සංචාරකයෙකු මරණයට පත්කරන ආකාරය – 19 වන සියවසේ සිතුවමකි  (Wikimedia)

තගීන් මංපැහැරීමේ යෙදුනේ වසරේ එක් කාලයක දී පමණයි. වසරේ කලක් තම ගම්බිම් වල වගා කටයුතු කළ මොවුන් ඔක්තෝබර් පමණ වන විට අස්වැන්න නෙලා ගමෙන් පිටවගොස්, වර්ෂාවට පෙර වගා කටයුතු සඳහා නැවතත් සිය ගම්බලා පැමිණෙන්නේ ඊළඟ වසරේ ජූනි පමණ වන විට යි.

සාර්ථකව මං පහරන්නේ කෙසේ ද?

ඉන්දියාව මහා විශාල රටක්. මීට වසර සිය ගණනකට පෙර විධිමත් ප්‍රවාහන ක්‍රමයන් ද තිබුණේ නැහැ. ගොනුන් බැඳි කරත්තවල බඩු පටවාගෙන හෝ පයින්ම, දින ගණනක් පුරා ගමනේ යෙදීම එකල සිරිත වුණා.

තගීන්ගේ සාමාන්‍ය පිළිවෙත වූයේ තමන් ද මඟීන් මෙන් වෙස්වලාගෙන මෙවැනි ගැලකට හෝ පදිකයින් පිරිසකට සම්බන්ධ වීම යි. එම පිරිසේ විශ්වාසය දිනාගන්නා තෙක් තගීන් ඔවුන් හා ගමනේ යෙදෙනවා. සංචාරකයින් කණ්ඩායම විශාල නම් ඔවුන්ව කොල්ලකෑමට සුදුසු අවස්ථාවක් ලැබෙන තෙක්, ඇතැම්විට සති ගණනක් තිස්සේ කිලෝමීටර සියගණනක් පවා තගීන් ඔවුන් හා ගමනේ යෙදුනා. සමහර අවස්ථාවන්හි තගී කල්ලිය කොටස් වශයෙන් බෙදී, මඟින් මඟට ගැල් පේළියට සම්බන්ධ වුණා. එයින් එක් පිරිසක් හෝ ගැල් පෙළේ සංචාරකයින්ට සැකකටයුතු වුවහොත්, ඉන් පෙර සංචාරකයින්ට සම්බන්ධ වූ එම කණ්ඩායමේම තගීන් පිරිසක් වෙත ඔවුන් සිය විශ්වාසය තබනු ඇතිය යන බලාපොරොත්තුවෙනුයි එම ක්‍රියාමාර්ගය අනුගමනය කෙරුණේ.

තගී කණ්ඩායමක් සිය විවේකය ගතකරමින් – 1857 Harper’s Weekly සඟරාවේ පල වූ සිතුවමක්  (columbia.edu)

සාමාන්‍යයෙන් තමුන් මං පහරන ප්‍රදේශයේ මං මාවත්, පාළු තැන්, ජනයා බහුල තැන් ආදිය මොවුන් හොඳින් දැන සිටියා. තමන්ගේ ක්‍රියාවට වඩාත් සුදුසු, පාළු, සහ කිසිවෙකුටත් ගැලවී පලා යා නොහැකි තැනකට එළැඹ, විඩා නිවීමට සංචාරකයින් වාඩිලාගත් කල තගීන්ගේ අවස්ථාව පැමිණෙනවා.

රාත්‍රිය තෙක් කොල්ලකෑමෙන් වැළකීමයි තගී පිළිවෙත. රාත්‍රියේ දී සංචාරකයින් පිසීමේ, ආහාර ගැනීමේ, හෝ විඩා හැරීමේ යෙදෙන විට, තගීන් දෙතුන්දෙනාගෙන් යුතු කණ්ඩායම් එක් එක් සංචාරකයා වෙත එළැඹ ඔවුන්ව මරා දැමීම ඇරඹෙනවා. රුධිරය ගැලීමක් නොමැති ක්‍රමයක් වූ ගෙල සිරකිරීමෙන් මේ මිනීමැරුම් සිදුකෙරුණා (රක්තබීජ කතාපුවත නිසාවෙන් විය යුතු ය). ඉන්පසු නිශ්ශබ්දවම එම සිරුරු වළලා හෝ ගැඹුරු දියකට වීසිකර දැමෙන අතර, සංචාරකයින්ගේ වස්තුව කොල්ලකා ගන්නා තගීන් එතැනින් පලා යනවා.

තගීන්ගේ සංස්කෘතිය

තගීන්ට ඔවුන්ගේම ප්‍රභාෂාවක් තිබුණා. මෙය “රාමසී” යනුවෙන් හැඳින්වුණා. මෙයට අනන්‍ය වූ සංඥා හා රහස් වචන තිබූ අතර, රටේ කොතැනක දී හමුවුණත් තගීන් එකිනෙකා හඳුන්වාගත්තේ මේවායින්. එසේම ඔවුන්ට ඔවුන්ගේම නීති පද්ධතියක් තිබුණා. කිසිවෙකුගේ වස්තුව පැහැරගැනීමට නම් ඔවුන්ව මරාදැමිය යුතුම වීම මෙයින් ප්‍රධානම නීතියක්.

තග් පවුලක් – වර්ෂ 1900  (Getty Images)

කෙසේ නමුත් තගීන් විසින් බ්‍රාහ්මණයින්, රෝගීන්, හෝ කන්තාවන්ව මරා දැමුවේ නැහැ. බ්‍රාහ්මණයින් පාරිශුද්ධ බවට වූ විශ්වාසය නිසාත්, රෝගීන් මැරීම තමාට තරම් නොවන බව ඇදහූ නිසාත්, කාන්තාවන් කාලි දේවියගේ ප්‍රතිමූර්තීන් ලෙස සැළකූ නිසාත් ය ඒ.

තගීන් විසින් මරා දමනු ලැබූ මිනිසුන් සංඛ්‍යාව ගැන නිශ්චිත ඇස්තමේන්තුවක් නැතත්, ගිනස් වාර්තා පොතට අනුව, මරාදැමුණු සංඛ්‍යාව මිලියන දෙකක්. ඉතිහාසඥයින් වෙනස් සංඛ්‍යාවන් ඉදිරිපත් කරනමුත් ඒවා තහවුරු කරගැනීමේ හැකියාවක් නැහැ.

තගීන්ගේ සම්ප්‍රදාය වුණේ ලේ නොසොලවා ඝාතනය කිරීම යි. එනිසා ගෙල සිරකිරීම සාමාන්‍ය සිරිත වුණා. මෙයට උපයෝගී කරගත් “රුමාල්” නම් සළුවක් සෑම තග්වරයෙකුම සතු වුනා. සාමාන්‍යයෙන් කහ පැහැ වූ මෙය ඔවුන් විසින් සිය බඳ වටා දවටාගෙන සිටියා.

“රුමාල්”. මෙයට කාසියක් තබා මසා ඇත්තේ ගෙල සිරකිරීම වඩා පහසු වීමට ය.  (unexplainedmysteries.com)

තගීන් සිය ගොදුරු ‍තෝරාගත්තේ පෙරනිමිති වලට අනුව යි. මියගියවුන්ගේ සිරුර වළදැමීමට පෙර විශේෂ වත්පිළිවෙත් සිදුකළ බව ඇතැම් වාර්තාවන්හි සඳහන්. කුන්තානිය කාලිය විසින් තමාට ප්‍රදානය කළ ආයුධයක් ලෙස සැළකූ තගීන්, තමාගේ ගොදුරු වළදැමුවේ සීනි ස්වල්පයක් සහ කුන්තානියක් ද සමගින්.

තගීන්ගේ අවසානය

තගීන්ගේ අවසානය සිදුවුණේ 19වන ශතවර්ෂයේ ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍යයින් අතින්. 1830ගණන් වල දී තගියෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වන බ්‍රිතාන්‍යයින්, ඔහුව රජයේ සාක්ෂ්‍යකරුවෙකු බවට පත්කරගන්නවා. මේ තග්වරයාගෙන් ලද තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයින් විසින් අරඹන්නේ තග්වරුන්ව දඩයම් කිරීමේ මෙහෙයුමක්.

1835 දී මේ සඳහාම වූ “තගී සහ මං පැහැරීම සම්බන්ධ දෙපාර්තමේන්තුව” බිහිකෙරෙණු අතර, ඔවුන්ට හසුවූ ඇතැම් තගීන් ද රජයේ ඔත්තුකරුවන් බවට පත්වූ නිසා මෙහෙයුම වඩාත් සාර්ථක වෙනවා.

තග්වරුන් පිරිසක් බන්ධනාගාරය තුළ  (columbia.edu)

මෙසමයේ අල්ලාගන්න ලද තගීන් 1526ක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. 382කට මරණ දණ්ඩනය ලබා දුන් අතර, 77ක් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ද, 909ක් පි‍ටුවහල්කිරීමට ද ලක්කෙරුණා. වාර්තා මෙසේ නමුත් ඇතැමුන් පවසන්නේ මෙම සංඛ්‍යාවන් මීට වඩා බොහෝ ඉහළ බව යි. ඔවුනට අනුව තගීන් 5000කට වඩා අත්අඩංගුවට පත්ව තිබුණා.

බ්‍රිතාන්‍යයින්ගේ පිළිවෙත නිසා 1870 ගණන් වන විට තග් සංස්කෘතිය ඉන්දියාවෙන් තුරන්ව ගියා. තගීන්ව ඇල්ලීම සඳහා ඇතිකළ දෙපාර්තමේන්තුව 1904 දී අහෝසි කර, ඒ වෙනුවට මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහි‍ටුවනු ලැබුණා.

මූලාශ්‍රයයන්:

ancient-origins.net

npr.org

The Hindu

“Thuggee: an orientalist construction?” by Alexander Lyon Macfie

Cover image: කාලි ඇතුළු දෙවිවරුන් රක්තබීජ අසුරයා පරාජය කිරීම – 1775 -1800 අතර ඇඳි සිතුවමක්  (Wikimedia)

Related Articles

Exit mobile version