පහතරට සිට උඩරට රාජධානියට වැටුණු ප්‍රධාන මුර කපොල්ල පිහිටා තිබුණේ කඩුගන්නාවට නුදුරු බලන යි. විමලධර්මසූරිය රජු පෘතුගීසින් අන්ත පරාජයකට ලක් කළේ බලන හා දන්තුරේ සටන්වලදී යි. එදා මහනුවර නගරයට යන පිරිස් බහුල ව ගැවසුණු බලන කඩවත අද නම් පාළු පිටිසර පෙදෙසක්. එහි තිබුණු බළකොටුවේ නටබුන් අද වනගත ව ඇති අයුරු දැක ගත හැකියි.
කොටුවට යන හැටි
කඩුගන්නාව දුම්රිය පළ අසලින් ඇරැඹෙන පොත්තපිටිය පාරේ කිලෝ මීටර 5 ක් ගමන් කර, බලන දෙසට ඇති අතුරු මාර්ගයේ ගමන් කළ විට පුරාණ බලන කපොල්ල පිහිටි පෙදෙසට පිවිසිය හැකි ය. එදා වන දුර්ග, තහංචි කැලෑවලින් පිරි මෙහි පැවතියේ කුඩා අඩි පාරක් පමණ යි. බළකොටුව පිහිටි පෙදෙස අද අයත් වන්නේ වෙරළුගොල්ල ගමටයි. ඒ අවට තේවතු පැතිරිලා තිබෙනවා. මහ පාරේ කොටුවට මඟ පෙන්වමින් සවිකරපු දැන්වීම් පුවරුව අසලින් හැරී තේවත්ත හරහා පියමං කිරීමෙන් කඳුගැටයක් මත පිහිටි බළකොටුවට ළඟා වීමට පුළුවන්. අලගල්ල කඳු වැටියට දකුණු දෙසින් කුඩා කඳු ගැටයක් මත තමයි මෙය ඉදිකර තිබෙන්නේ. මේ ස්ථානය බැලුම් ගලක් ලෙසත් පිහිටා තිබෙන නිසා අවට අලංකාර දර්ශයක් ද දැකගත හැකියි.
අලගල්ල, බතලේගල, දෙවනගල, උතුවන්කන්ද ආදී කඳු රැසක් බළකොටුව පිහිටි තැනට කදිමට දිස්වනවා.
උඩරට ආරක්ෂාව
උඩරට රාජධානි සමයේ දී හතර කෝරළේ ගල්බඩ කෝරළේ මායිම වැටී තිබුණේ බලන හරහා යි. අද මෙම පෙදෙස අයත් වන්නේ යටිනුවර කඳු පළාතට යි. උඩරට පාලනය කළ රජවරුන් තම රාජධානියේ ආරක්ෂාවට යෙදූ ප්‍රධාන උපක්‍රමයක් තමයි පිවිසුම් මාර්ග බාධක අතරින් ඉදිකිරීම. සොබාදහම වන දුර්ග, ගිරි දුර්ග, හා ජල දුර්ගයන්ගෙන් උඩරට රාජධානියට ආරක්ෂාව සලසා දී තිබුණා. රාජධානියට ඇතුළු විය යුතුව තිබුණේ දුෂ්කර කපොලු හරහායි.
මෙම කපොලුවල ආරක්ෂාව තර කිරීමට උඩරට රජවරුන් පියවර ගෙන තිබුණා. ඉංග්‍රීසින් මහනුවර පාර ඉදිකිරීමට පෙර පැරණි නුවර පාර වැටී තිබුණේ හංවැල්ල, අවිස්සාවේල්ල, බුලත්කොහුපිටිය, අලුත්නුවර, ගනේතැන්න, බලන හරහා යි. මෙම දුෂ්කර මාර්ගයේ උඩරටට පැමිණීමට සතුරු සේනාවන්ට පහසු වුණේ නැහැ. 1824 දී ඉංග්‍රීසින් කොළඹ – නුවර පාර ඉදි කිරීමෙන් පසු එම දුෂ්කර මඟ භාවිතය අත්හැර දැමුවා.
පැරණි උඩරට රාජධානියේ වඩා කාර්යබහුල ම කඩවත වී ඇත්තේ ද බලන කොටුව හා කපොල්ලයි. රාජධානිය වෙනුවෙන් ඔත්තු බැලීම මෙහි ප්‍රධාන රාජකාරිය වී තිබෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 2000 ක් පමණ උසින් පිහිටි බලනට දිස්වන හතර කෝරලේ කඳු අතර උසින් ම නැගී සිටින්නේ බතලේගල යි. ඊට මෙපිටින් ඌරාකන්ද සහ දෙවනගල පර්වතය කැපී පෙනෙනවා. මාවනැල්ල නගරයේ ගොඩනැගිලි කුඩා ගිනිපෙට්ටි පරිදි එතැනට දැක ගත හැකියි.
බලන ඉතිහාසය
‘ඔත්තු බැලීම’ යන අර්ථයෙන් මෙය බලන යනුවෙන් හඳුන්වා තිබෙනවා. බලන කපොල්ලේ බළකොටුව මුලින් ම රජුගේ උපදෙස් මත ඉදිකර ඇත්තේ උඩරට රාජධානියේ සිටි ප්‍රභූවරයකු වූ අමුණුපුර මුදලිඳු නම් පුද්ගලයකු යැයි සඳහන් වෙනවා. අද දැක ගත හැක්කේ කිහිප වරක් ප්‍රතිසංස්කරණයට ලක්වූ බළකොටුව යි. එය අවසන් වරට ඉංග්‍රීසින් ද පිළිසකර කර ඇති බව පේනවා. පෘතුගීසින්ට උඩරට යටත් කර ගැනීමට ප්‍රධාන බාධාවක් වුණේ මෙම කොටුවයි.
බලන කොටුව අවසන් වරට යටත් කර ගන්නා ලද්දේ 1815 පෙබරවාරියේ දී ලුතිනන් කර්නල් ඔ කොනොල් විසින්. ඒ ඉංගී‍්‍රසින් උඩරට යටත් කර ගැනීමේ දී යි. ඊට පසු බලන වැදගත්කම අහෝසි වී ගියා. එහෙත් ඉංග්‍රීසීන් ද ටික කලක් ගත වන තුරු මෙහි මුර සෙබළුන් නවත්වා සිටි බව පැවසෙනවා.
රාජධානි සමයේ දී කාර්ය බහුල, මුර කපොල්ලක් වූ බලන රජුගේ අවධානය නිතර යොමු වූ ස්ථානයක් වුණා. උඩරට රාජධානි යුගයේ දී අපේ සෙබළුන් යුරෝපීය ආක්‍රමණික හමුදාවන්ට එරෙහි ව මේ අවට දී දිවි නොතකා සටන් කරන්නට ඇති බව ඉතිහාසය දෙස බලන විට පැහැදිලි වෙනවා. මෙහි සිට රජ වාසලට පණිවිඩ යවා ඇත්තේ ද අපූරු ක්‍රමයකට යි. පණිවිඩය ලියූ තල්පත ඊතලයකට අමුණා එය මුලින් ම කන්දක තනා ඇති රත්මීවල කොටුවට විද එතැනින් දන්තුරේට යවනවා. ඉන් පසු ගන්නෝරුවට යවා එතැනින් රජ වාසලට පණිවිඩකරුවකු අතේ යවා තිබෙන බව පැවසෙනවා.
පහතරට උඩරට යා කරන කඩවත පිහිටියේ ද බලන යි. පහතරට සිට එන වෙළෙන්දන් සහ මගීන් ද මෙම කඩවතින් උඩරටට ඇතුළුවිය යුතු වුණා. කඩවත කියන්නේ මාර්ගයේ පිහිටි ආරක්ෂක මුර කපොලු සහිත ස්ථානයක්. මෙම කඩවත, බළකොටුවේ සිට කිලෝමීටරයක් පමණ ඔබ්බෙන් පිහිටා තිබූ බවට තමයි අනුමාන කරන්නේ. මේ කොටුව සටන් කිරීම සඳහා ඉදි කළ විශාල බළකොටුවක් නොව ඔත්තු බැලීම සඳහා තැනූ කොටුවක්.
කඳු මුදුනක පිහිටි එහි එක් පසෙකින් හතර කෝරලේ දෙසට සෘජු බෑවුමක් තිබෙනවා. මේ නිසා පහතරට පෙදෙස ඉතා අපූරුවට මෙහි සිට දිස් වෙනවා. මහනුවර අවදියේ දී බලන, මාමුඩාවෙල, රත්මීවල හා කඳන්ගම යන ගම්වල ජනයා මෙහි මුර රාජකාරියේ නිරන වී තිබෙනවා. ඔවුන් රාජකාරිය කරන ලද්දේ වෙනත් සේවා හිලව්වටයි.
බළකොටුවේ නටබුන්
එච්. සී. පී. බෙල් 1892 කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ මෙසේ සඳහන් කරනවා:
පැරණි බළකොටුවට අයත් භූමි භාගය පිහිටා ඇත්තේ සෙන්සේෂන් රොක් සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට නුදුරුවයි. ගැමියන් විසින් එය හඳුන්වන ලද්දේ උක්කොටුතැන්න යනුවෙනි. නියම වශයෙන්ම ඉහළ හා පහළ පිහිටි බළකොටු දෙකක් විය. ඒ දෙක අක්කර තුනක භූමි භාගයක් ආවරණය කළේය. මෙය අඩි හතරක ඝනකමින් යුත් තාප්පයකින් වටකොට තිබුණි. එය දැනට කැඩී ගොසිනි. ඉහළින් පිහිටි බළකොටුවේ බිත්ති යන්තමින් දැකගත හැකිය ( කෑගල්ල දිස්ත්‍රික්කය පිළිබඳ වාර්තාව- 1892-එච්. සී. පී. බෙල්).
බ්‍රිතාන්‍ය යුගයේ දී මෙම වටිනා බිම්කඩ කුඩා දුරයා නමැත්තකුට අලෙවි කර ඇති බව බෙල් සඳහන් කරනවා. ඔහු එහි නිවසක් තනා අවට බිම් වගා කිරීමට යොදා ගෙන තිබෙනවා. එහිදී පැරණි නෂ්ටාවශේෂ රැසක් විනාශ වන්නට ඇතැයි සිතිය හැකි යි.
පුරාවිද්‍යා ස්මාරකයක් වන බලන කොටුව පිහිටා තිබෙන්නේ කඳු මුදුනක බෑවුමකට මුහුණලා යි. එහි නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර තිබෙනවා. එයට පිවිසීමට මහා මාර්ගයේ සිට මීටර 500 ක් පමණ තේ වත්තක් හරහා කඳු නැගිය යුතු ය. ගස්වැල් පිස හමන සුළඟ මෙහි එන නරඹන්නන්ගේ වෙහෙස පලවා හැරීමට සමත් වෙනවා. අවට රුක් ගොම්මන්වල සිට ඇදී එන කුරුලු කිචිබිචියත් අහන්නට පුළුවන්. ඉදිරියෙන් බලන කොටු ප්‍රාකාරයත් ඒ මැදින් පිවිසීම සඳහා ඇති පියගැට පෙළත් නරඹන්නන්ට මුලින්ම දිස්වෙනවා. අද එය අක්කර දෙකක පමණ තැනිතලා බිමක් ලෙස තිබෙනවා.
සම චතුරස්‍රාකාර ආකාරයක් ගන්නා බලන කොටුව දිගින් අඩි 102 ක් ද පළලින් අඩි 116 ක් ද වෙනවා. එහි දැනට දැක ගත හැක්කේ කළුගලින් ඉදි කළ පදනම් ප්‍රාකාරය පමණයි. එය අඩි 4 ක ඝනකමෙන් යුක්තයි. සමහර තැන්වල ප්‍රාකාරය කළුගල් පර්වත මතින් ද ගමන් කරනවා. මෙය බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඇති බව පේනවා. කොටුවේ සිවු පසින් වක්‍රාකාර මුර අට්ටාල පිහිටා තිබුණු බව අත්තිවාරමෙන් පැහැදිලි වෙනවා. අම්බලම්තැන්න, ඉහළ කෝට්ටේ, මාවෙල, දෙකිඳ, මොටන, ගොඩිගමුව, කැටකුඹුර, ගල්ලංග, මාලිගාතැන්න යන ගම් ඒ අවට පැතිර තිබෙනවා. උඩරට රාජධානි යුගයේ දී රජු පැමිණි විට නවාතැන් ගැනීමට ගිමන් මාලිගාවක් ද පිහිටා තිබුණු බව පැවසෙනවා.
මෙම බළකොටුව ශක්තිමත් අයුරින් තැනීමට සිංහලයන් උනන්දු වී ඇති බව එහි කළුගලින් ඉදි කළ ප්‍රාකාරවලින් පෙනෙනවා. කොටු බැම්ම එක් පාර්ශ්වයකින් ස්වභාවික පර්වතයක් මතින් ඉදිකර ඇති අතර, ජලය බැස යාම සඳහා එම පර්වතයේ හාරා ඇති කාණු අදත් දැක ගත හැකියි.
ඉතිහාස සිහිවටන
බලන පිළිබඳව ඉතිහාසයේ මුලින් ම සඳහන් වන්නේ 1 වැනි විමලධර්මසූරිය රජ සමයේ දී යි. පේරෝ ලොර්පස් ද සවුසා යටතේ පෘතුගීසි බළ ඇණියක් 1594 ඔක්තෝබර් මාසයේ දී බලන හරහා උඩරටට පැමිණියා. දන්තුරේ සටනින් ඔවුන් අන්ත පරාජයකට ලක් කළ විමලධර්මසූරිය පෘතුගීසින් සමඟ සිටි රාජ්‍ය උරුමය සහිත කුසුමාසන දේවිය ද හිමි කර ගත්තා.
මේ පරාජය පිළිබඳ ව පෘතුගීසි ලේඛක ජොආඕ රිබෙයිරෝ මෙසේ සඳහන් කරනවා.
”වනයේ සිට ඊතල හා වෙඩි උණ්ඩ වර්ෂාවක් අප වෙත හෙළීය. අපේ හේවායෝ බලනෙන් පසු බැසීමට පටන් ගත් නමුත්, පාර හරහා ගස් කපා දමා අවහිර කර තිබුණෙන් ඔවුහු සියලු දෙනාම මරු වැලඳ ගත්තෝ ය.” (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය, ටී. කේ. රුබේරු)
ඉංග්‍රිසින් උඩරට යටත් කරගත් පසු ව ද උඩරටට ඇතුළු වීමට යාමේ දී බලන කපොල්ලේ දී විශාල දුෂ්කරතාවලට ලක් වුණා. 1818 දී උඩරටට ගිය ගමනක දී මේජර් තෝමස් ස්කිනර් නම් ඉංග්‍රිසි ජාතිකයා ඒ බව මෙසේ ස්මරණය කරනවා:
“දෙවැනි දින ගමන බලන කඩවත පහළට විය. මෙයට අවුරුදු හතරකට පෙර මපියාණන් මහනුවර අල්ලා ගැනීම සඳහා ඔහුගේ කාලතුවක්කු සමූහය ගෙන ආයේ මේ දුර්ගය ඉහළට ය. මෙයින් එක් කාලතුවක්කුවක් රාත්තල් 42 ක් තරම් බර විය. මේ කටයුත්ත මගේ මවිතයට හේතු විය. තුවක්කු, ගසකින් තවත් ගසකට ඇද බැඳීමෙන් මෙසේ කෙරිණැයි මම පසුව දැන ගතිමි. මේ දුර්ග මාර්ගය බෙහෙවින් පටු, අබලන්, ප්‍රපාතාකාර ගල් සහිත එකක් හෙයින් කිසි අයකුට හෝ අසරුවකුට මෙය පසුකර යා නොහැකිය.” (ලංකාවේ පනස් වසක් – මේජර් තෝමස් ස්කිනර්)