දකුණු දිග එංගලන්තයේ සෆෝක් වෙරළ තීරය අසබඩ අමුතු හැඩයෙන් යුතු පස් ගොඩැලි විසිරුණු වැලි සහිත බිම් කඩක් දැක ගැනීමට ලැබෙනවා. ගම් වැසියන් අතර අද්භූත කථාන්තර සහ මිථ්‍යා විශ්වාස ගොඩනැංවීමට මහත් දායකත්වයක් ලබා දුන් එම භූමි ප්‍රදේශය හඳුන්වන්නේ ‘සටන් හූ’ ලෙස යි. ‘සටන් හූ’ ගැන කියැවෙන අපූරු කථාන්තර කෙරෙහි ඇල්මක් දැක් වූ ෆ්රෑන්ක් සහ ඊඩිත් ප්‍රිටී නම් අලුත විවාහ වූ යුවළක්, 1926 වර්ෂයේ දී එය මිල දී ගෙන ඇති අතර 1934 වර්ෂයේ දී ෆ්රෑන්ක් අකාලයේ මිය යන තුරුම ඔවුන් වාසය කර ඇත්තේ එහි යි.
ෆ්රෑන්ක්ගේ මරණයෙන් පසුව පවා දිගටම ‘සටන් හූ’හි වාසය කර ඇති ඊඩිත්, තම ඉඩම පුරා විසිරී ඇති අමුතු හැඩයෙන් යුතු පස් ගොඩැලි මොනවාදැ යි දැනගැනීමේ කුතුහලයෙන් පසු වී ඇති අතර ඒ පිළිබඳව උපදෙස් ලබාගැනීම සඳහා ලන්ඩන් නුවර වාසය කළ භූත විද්‍යාඥයෙක් හමුවීමට තීරණය කර තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ඉප්ස්විච් කෞතුකාගාරයේ සහාය ද ඇතිව ‘සටන් හූ’ භූමි ප්‍රදේශය කැනීම් බිමක් බවට පෙරළීමට ඇය කටයුතු කිරීම යි.
අමුතු හැඩයෙන් යුතු පස් ගොඩැලිවලට යටින්
ඊඩිත් ප්රිටීගේ ඉල්ලීම අනුව ‘සටන් හූ’ භූමි ප්‍රදේශයේ කැනීම් කටයුතු සඳහා සහාය වී ඇත්තේ බැසිල් බ්‍රවුන් නම් පුරාවිද්‍යාඥයෙක්. ඒ අනුව 1937 දී කැනීම් කටයුතු ආරම්භ වූ අතර 1938 වසන්තයේ දී 2, 3 සහ 4 ලෙස අංක කරන ලද පස් ගොඩැලි තුළින් පැරණි මෙවලම් කිහිපයක් සහ දිරාපත් වූ මනුෂ්‍ය ශරීර කොටස් සොයාගැනීමට ඔහු සමත් වී තිබෙනවා. ඒවා සියවස් කිහිපයකට පෙර මංකොල්ලකරුවන් විසින් සඟවා තබන්නට ඇති භාණ්ඩ බව යි පුරාවිද්‍යාඥ බැසිල් බ්‍රවුන්ගේ මතය වුණේ.
නමුත් දිගටම කැනීම් කටයුතු කිරීමට ඔහු තීරණය කරන ලද අතර 1939 දී ඔහුගේ අවධානය යොමු වී ඇත්තේ අංක. 1 ලෙස ලකුණු කරන ලද ප්‍රමාණයෙන් විශාල පස් ගොඩැල්ල වෙත යි. කැනීම් කටයුතු අතරතුර දී මලකඩ සහිත තද බවින් යුතු භූමි කොටසක් පුරාවිද්‍යාඥ බැසිල් බ්‍රවුන්ට හමු වී ඇති අතර ඒ ආශ්රිත ප්‍රදේශයේ තැනින් තැන විසිරී ඇති පැරණි ඇණ ද ඔහු නිරීක්ෂණය කර තිබෙනවා. බාධක මධ්‍යයේ කැනීම් කටයුතු සිදු කරගෙන යාමේ දී අඩි 80ක් පමණ දිගැති දිරාපත් වූ දැවමය නෞකාවක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් කණ්ඩායම සමත් වී ඇති අතර, එය තුළ තැන්පත් කරන ලද රන් නිධානය, කිසිවෙකු විසින් අත නොගසන ලද්දක් බව ඔවුන්ට පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා.
‘සටන් හූ’හි රන් නිධානය සොයාගැනීමෙන් අනතුරුව කේම්බ්‍රිජ් සරසවියේ පුරාවිද්‍යාඥ චාල්ස් ෆිලිප්ස් ද කැනීම් කටයුතු සඳහා සහාය දීමට පැමිණ ඇති අතර, පුරාවිද්‍යා කණ්ඩායමට මතු වූ බරපතළ ගැටලුවක් වුණේ දිගු කාලයක් තිස්සේ මෙවැනි රන් නිධානයක් කිසිවෙකුගේ ඇස නොගැටී පැවතුණේ කෙසේ ද යන්න යි. ඒ ඔස්සේ වැඩිදුර කැනීම් කටයුතු සිදු කරගෙන යාමේ දී නිධන් සොරුන් කිහිප වතාවක්ම ‘සටන් හූ’හි පස් ගොඩැලි හාරා තිබුණ ද, ඒ සෑම අවස්ථාවක දී ම රන් නිධානය තැන්පත් කරන ලද තැන ඔවුන්ට මඟහැරී ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා.
රන් නිධානයක් සඟවා ගත් සටන් හූහි අද්භූත නෞකාව සතුව පැවති ගණනින් 263ක් වූ භාණ්ඩ අතරට ආයුධ, රිදී පිඟන් භාණ්ඩ, රන් ගාංචු, කාසි සහ එයට පෙර එංගලන්තයෙන් හමු නොවූ ආකාරයේ මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කරන වෙස් මුහුණක් ද ඇතුළත් වුණා. මුල දී පුරාවිද්‍යාඥයින්ගේ අදහස වුණේ මෙම භාණ්ඩ වයිකිංවරුන්ට අයත් බව වුවත්, වැඩිදුර පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ සත්‍ය වශයෙන් ‘සටන් හූ’හි රන් නිධානය අයත් වන්නේ ඇන්ග්ලෝ-සැක්සන්වරුන්ට බව යි.
ඇන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ අභිමානය
කෙටි කාලයක් තුළ දී ඓතිහාසික වශයෙන් ‘සටන් හූ’ නෞකාවේ ඇති වැදගත්කම ප්‍රචලිත වූ අතර දැනට සොයාගෙන ඇති විශාලතම වළලන ලද ඇන්ග්ලෝ-සැක්සන් නෞකාව වන එය, ඊඩිත් ප්‍රිටී විසින් ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා. පසුව දෙවැනි ලෝක සංග්රාම සමයේ දී සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ‘සටන් හූ’හි රන් නිධානය ගබඩා කර තබා ඇත්තේ ලන්ඩනයේ දුම්රිය සේවයට අයත් භූගත උමං තුළ යි. දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසුව එළැඹි දශක කිහිපය ගත වී ඇත්තේ ‘සටන් හූ’ රන් නිධානය අධ්‍යයනය කිරීම සඳහා වන අතර, එය සතු භාණ්ඩ අතර මැද පෙරදිග රාජ්‍යයන්ගෙන් ගෙන්වන ලද භාණ්ඩ ද ඇති බව පෙනී ගියේ ඇන්ග්ලෝ-සැක්සන්වරුන් සහ පෙරදිග රාජ්‍යයන් අතර පැවති වෙළඳ සබඳතා ගැන ඉඟි පළ කරමින්.
එසේම ‘සටන් හූ’හි නෞකාව හුදෙක්ම රන් නිධානයක් නොව අවමංගල චාරිත්‍රයක් ලෙස මතු භවය සඳහා රැස් කරන ලද ධනයක් බවට පුරාවිද්‍යාඥයින් අතර මතයක් ගොඩ නැගුණ ද, තවමත් ‘සටන් හූ’හි නෞකාව තුළින් මළ සිරුරක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී නැහැ. නමුත් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ එය 624 දී මිය ගිය නැගෙනහිර ඇන්ග්ලියාවේ රඩ්වාල්ඩ් රජු වෙනුවෙන් සකසන ලද අවමංගල නෞකාවක් විය හැකි බව යි. ‘සටන් හූ’හි නෞකාවෙන් සොයාගන්නා ලද යකඩ, ලෝකඩ, රිදී සහ රන් මිශ්‍රිත රබහ, මැණික් ඔබ්බන ලද වෙස් මුහුණ ඔහුට අයත්ව තිබෙන්නට ඇති බව යි පුරාවිද්‍යාඥයින් සඳහන් කරන්නේ.
කවරයේ පින්තූරය: © Kreuk / Flickr