ටුංගුස්කා හි මහා පිපිරුම

අදින් වසර මිලියන 65 කට පමණ පෙර යෝධ ඩයිනෝසරයන් මේ මිහිමතින් වඳ වී ගියේ යෝධ ග්‍රාහකයක් පෘථිවි පෘෂ්ඨයේ ගැටීම නිසා බව තහවුරු කළ හැකි සාක්ෂි රාශියක් වර්තමානය වන විට සොයාගෙන තිබෙනවා. එයින් ප්‍රධානම වන්නේ මෙක්සිකානු යුකාටන් අර්ධද්වීපය අාසන්න මුහුදෙන් වැසී අැති චික්ෂුලුබ් (chicxulub) අාවාටයයි. කිලෝමීටර් 180ක් පමණ පළල අාවාටයක් අැති කළ මේ ඝට්ටනයෙන් ඇති වූ කම්පනවලින් හා ඝට්ටනයත් සමඟ අහසට නැඟුණු ධූලි වලා හිරු එළිය අවුරමින් වසර කිහිපයක් අහසේ රැඳී පැවතුණා.

මේ නිසා ප්‍රභාසංස්ලේෂණයට බාධා අැති වී පෘථිවියේ ශාක ප්‍රජාව මිය යාමේ ප්‍රතිඵලයක් ලෙස ආහාර හිඟ වීම නිසා එවකට ලොව පුරාම විහිදී සිට ඩයිනෝසර ප්‍රජාව සහමුලින්ම නෂ්ඨ වී ගිය බව සැළකෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනාහි පිහිටා ඇති විශාල ආගාධය ඊට වඩා ප්‍රමාණයෙන් ඉතා කුඩා වෙනත් ග්‍රහකයක ඝට්ටනයක් නිසා බිහි වූ බව සැළකෙන, පෘථිවිය මතුපිටදීම දැකිය හැකි හොඳ සාක්ෂියක්.

ඇරිසෝනා ආගාධය (meteorcrater.com)

ඩයිනෝසර යුගයෙන් පසු අද වන තුරුත් පෘථිවිය ඩයිනොසෝරයන් වැනසූ ග්‍රහකය හා සමාන විශාල ග්‍රාහකයක් සමඟ ඝට්ටනය නොවීමට තරම් වාසනාවන්ත වී තිබෙනවා. ඒ කෙසේ නමුත් තාක්ෂණය ඉතාම ඉහළ තලයක ඇති වර්තමානයේත් අති විශාල ග්‍රාහකයක් පෘථිවිය දෙසට පැමිණියහොත් එය ඝට්ටනය වීම වැළැක්වීමට කළ හැකි දේ අවමයි. මේ නිසා අද වන විටත් ග්‍රාහක ඝට්ටනයකින් සිදු වන ලෝක විනාශය කියන්නේ උණුසුම් මාතෘකාවක්.

ලෝක විනාශය සිදු නොවුණත් ඊට ආසන්නතම සිද්ධියකට පෘථිවි වාසීන් 20 වන සියවස ආරම්භයේදිම මුහුණ දුන්නා. යම් යම් මතබේද තිබුණත් බහුතරයක් දෙනා පිළිගන්නා පරිදි ක්‍රි.ව 1908 දී මෑත ඉතිහාසයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වූ විශාලම ග්‍රාහකය මධ්‍යම රුසියාවේ ජනශුන්‍ය පෙදෙසකට කඩා වැදුණේ මොහොතකට ඒ අවට විශාල ප්‍රදේශයක ජීවත්ව සිටි සුළුතරයක් වූ ජනතාවගේ හදවත් සසළ කරමින්.

පිපුරුම

ක්‍රි.ව 1908 ජුනි මස 30 වනදා මධ්‍යම සයිබීරියාවට තවත් එක සාමාන්‍ය දවසක් උදා වුණා. මධ්‍යම සයිබීරියාවේ පවතින පොඩ්කමෙනායා ටුංගුස්කා නම් ගංගාවේ නිම්නය අවට ප්‍රදේශය සුපුරුදු පරිදි නිසොල්මන්ව පැවතුණේ එය බොහෝ කොටම ජනශුන්‍ය ටයිගාවකින් ආවරණය වී තිබුණු නිසායි.

පොඩ්කමෙනායා ටුංගුස්කා ගංගාව (naturalist.ru)

උදෑසන 7.00 පමණ වන විට මේ ප්‍රදේශයේ පැවතුණේ හොඳ දීප්තිමත් ස්වභාවයක් . මේ නදියට කිලෝමීටර 60ක් පමණ ගිණිකොන දිගින් පිහිටි කුඩා ගම්මනයක් වන වනවාරා (Vanavara) හි වැසියන් තමන්ගේ එදිනෙදා කටයුතුවල නිරත වෙමින් සිටියා. ඒත් මේ නිසොල්මන වැඩිවේලා පැවතුණේ නැහැ. වයඹ දිග අහසේ පොළොව දෙසට ඇදී එන විශාල ගිනි බෝලයක් ඔවුන්ගේ නෙත ගැටුණා.

ඉතා වේගයෙන් ගංගා නිම්නය වසාගෙන පැතිරී තිබුණු ටයිගාව දෙසට එය පහත්වී මහ හඬින් පුපුරා ගියේ ප්‍රදේශයම දෙදරුම් කවමින්. ග්‍රීෂ්මය වුවද වැඩි උණුසුමක් නොමැති සයිබීරියාව උණුසුම් වාත රැල්ලකින් නැහැවී ගිය අතර එක් වරම ඇති වූ කම්පනයෙන් තදාසන්නව රැඳී සිටි සමහර මිනිසුන් විසි වී ගොස් බිම ඇද වැටී තිබුණා. සිදු වුණු දේ එක්වරම සිතා ගත නොහැකිව ප්‍රදේශයේ සිටි අතලොස්සක් ජනයා භීතියෙන් ඇළලී ගියා. එක්වරම කුමක් නිසා සිදු වූවා දැයි සිතගත නොහැකි වූ මේ ‘පිපිරුමෙන්’ ඇති වූ කම්පනය කිලෝමීටර දහස් ගණනක් බටහිරින් පිහිටි රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයටද දැනී තිබුණා.

පිපිරුමෙහි බලපෑම

පිපුරුම සිදු වූ ස්ථානය (www.uneed2know.eu)

මේ අද්භූත පිපුරුම ගංගා නිම්නය වසා පැතිරී තිබුණු ටයිගාවේ මහා කම්පනයක් හා ගින්නක් ඇති කළා. එය වර්ග කිලෝමීටර 2000ක පමණ වනාන්තර විනාශ කළ අතර මිලියන 80ක පමණ ශාක ප්‍රමාණයක් මේ නිසා වැනසී ගොස් තිබුණා. වාසනාවකට මේ සිද්ධිය සිදු වී තිබුණේ සම්පූර්ණයෙන්ම පාහේ ජන ශුන්‍ය පෙදෙසක නිසා මිනිස් ජීවිත හානි වාර්තා වී තිබුණේ නැහැ. පිණි මුවන් රාශියක්ද සුන්බුන්වලට යට වී තිබුණත් පසු කාලයක අනාවරණය වී තිබුණේ ඔවුන් සමහරකගේ ජීවිත බේරී තිබුණු බවයි. මේ කම්පන නිසා අාසන්න ගම්මානවල කිලෝමීටර ගණනාවක් ඈතින් පිහිටි ජනෙල් වීදුරු පවා බිඳී ගොස් තිබුණා.

ඇසින් දුටු සාක්ෂි හා සිදු වී ඇති හානිය සලකමින් ව්ද්‍යාඥයින් මේ පිපිරුම පෘථිවියට ඇදී ආ ග්‍රාහකයක් නිසා සිදු වූ බවත්, එය පළලින් මීටර 50 – 100 අතර වන්නට ඇති බවත් ඇස්තමේන්තු කළා. මීට අමතරව අවට ප්‍රදේශවලට දැණුනු තාපය හා කම්පනවල ප්‍රබලතාවය අනුව මේ පිපුරුමෙන් පුපුරන ද්‍රව්‍යයක් වන ටී.එන්.ටී මෙගා ටොන් 10-15 ක පමණ දැවීමේදී නිකුත් වන ශක්තියට සමාන ශක්තියක් නිකුත් වී ඇති බවත් ගණනය කළා. මෙය හිරෝෂීමාවට හෙලන ලද පරමාණු බෝම්බයෙන් නිකුත් වූ ශක්තිය මෙන් 100 ගුණයකටත් වඩා වැඩි අගයක්.

ටුංගුස්කා සිද්ධිය ගැන පර්යේෂණ

ක්‍රි.ව 1908 දී ටුංගුස්කා පිපුරුම සිදු වුවද 1921 වසර වන තුරු කිසිවෙකුත් සිදු වූයේ කුමක්දැයි විද්‍යාත්මකව සෙවීමට අවධානය යොමු කළේ නැහැ. පිපුරුම සිදු වුණු ප්‍රදේශය ඉතාම පිටිසර වීමත්, ඒ ප්‍රදේශයට ලඟා වීමට දැක්වූ බියත් එයට හේතු වුණා. සමහරෙක් මෙය දේව කෝපයක් නිසා සිදු වූ බව පවසද්දී තවත් සමහරෙක් මෙය භෞතික විද්‍යාඥ නිකොලා ටෙස්ලාගේ පරීක්ෂණයක් නිසා සිදු වූ බවට අදහස් පළ කළා.

ටුංගුස්කා පිපිරුම පිළිබඳ තොරතුරු සොයන්නට මුලින්ම යමෙක් ඉදිරිපත් වීමට එය සිදු වී වසර 13ක් ගත වුණා. ශාන්ත පීටර්ස්බර්ග් කෞතුකාගාරයේ සේවයේ නිරතව සිටි මහාචාර්ය ලියොනිඩ් කුලික් 1921 වසරේදී මේ පිළිබඳව පර්යේෂණයක් ආරම්භ කිරීමට උත්සාහ කළත් අයහපත් දේශගුණික තත්ත්ව නිසා එය ව්‍යර්ථව ගියා. එයින් අධෛර්යයට පත් නොවුණු ඔහු ඊට වසර 6 කට පසු, එනම් 1927 වසරේදී සිය අරමුණ සාර්ථක කරගන්නවා.

මහාචාර්ය ලියොනිඩ් කුලික් (Getty Images)

කුලික් පිපුරුම සිදුවුණු ස්ථානයට ලඟා වන විටත් පිපුරුම පිළිබඳ සමහරක් සාක්ෂි එලෙසම රැඳී තිබුණා. ඉතා විශාල ප්‍රදේශයක වනය විනාශ වී තිබුණත් හරියටම පිපුරුම සිදු වූ ස්ථානයේ ශාක කෙලින් තිබියදී අතු හා කඳ කොටස් ගැලවී ගොස් තිබුණා. මෙය එකල ප්‍රශ්නයක්ව තිබූ නමුත් 1945 හිරොෂීමා පරමාණු බෝම්බ පිපුරුමෙන් පසුවත් මේ ආකාරයේ ශාක හමු වීමත් සමඟ ටුංගුස්කාවේත් අධි ශක්ති පිපුරුමක් වූ බව වඩාත් තහවුරු වුණා.

පිපුරුම සිදු වූ ස්ථානයේ ශාක හානි වී තිබූ අයුරු (historyrundown.com)

ක්‍රි.ව 1945 වන විට අධි ශක්ති පිපුරුමක් ටුංගුස්කා හි සිදු වී තිබූ බව තහවුරු වුණත් එය සිදු වූයේ මක් නිසාද යැයි කිසිවෙක්ට ඒ වන විට තහවුරු කරගන්නට හැකි වී තිබුණේ නැහැ, ඇසින් දුටු සාක්ෂි සළකා බලා එය ග්‍රාහකයක් නිසා ඇති වූ බව නිර්ණය කර තිබුණත් පිපුරුම සිදු වූ ස්ථානයේ කිසිම ආකාරයක ආවාටයක් නොතිබීම බොහෝ දෙනෙක්ගේ නළල රැළි ගැන්වීමට සමත් වුණා. නමුත් පසුකාලීනව විද්‍යාඥයන් ගණනය කිරීම් කිහිපයක් සිදු කොට ග්‍රාහකය පෘථිවියේ ගැටීමට පෙර ඉතා දැඩි උෂ්ණත්වයකට හා පීඩනයක්ට හසු වී ඉතා කුඩා කැබලිවලට පුපුරා යාමට වැඩි ඉඩක් තිබෙන බව ලෝකයට පෙන්වා දුන්නා. එසේ නමුත් මෑතක් වනතුරු පිපුරුම් ස්ථානය අවට තිබී කිසිදු ග්‍රහක කොටසක් සොයා ගැනීමට විද්‍යාඥයින්ට නොහැකි වුණා. මීට අමතරව තදාසන්නව ඇති චෙකෝ විල බිහිවී තිබෙන්නේ ග්‍රාහකය නිසා ඇති වූ ආවාටය නිසායැයි මෑතකදී විද්‍යාඥයින් කිහිප දෙනෙක් මත පළ කලා.

චෙකෝ විල (siberiantimes.com/V. Romejko)

සැබැවින්ම සිදු වුණේ කුමක්ද?

ටුංගුස්කා පිපුරුම සිදුවී වසර 100 ක් ගතවන 2008 වසර වන විට ග්‍රාහක පිපුරුමක් යැයි විශ්වාස කළ හැකි සාක්ෂි රැසක්ම විද්‍යාඥයින්ට හමු වී තිබුණත් තවමත් ඒවා තහවුරු කරන්නට කිසිවෙක්ට හැකි වී නැහැ. අදටත් ටුංගුස්කා පිපුරුම අාසන්නයේ හමුවුණු විවිධ ද්‍රව්‍ය ගැන පර්යේෂණ පැවැත්වෙනවා. අද වන විටත් පිපුරුම සිදු වූ ස්ථානයේ විශාල වපසරියක හරි හැටි හැටි ශාක වැවෙන්නේ නැති අතර වගුරක් බවට පත්ව තිබෙනවා. මේ නිසා ලෝකයේ සමහරෙක්ට මේ පිපුරුම ග්‍රාහකයක් නිසා සිදු වූවක් වන අතර තවත් සමහරෙක් එම මතය සම්පූර්ණයෙන්ම බැහැර කරනවා.

පිපුරුම සිදු වූ ස්ථානයේ අදටත් හරි හැටි ශාක වැවෙන්නේ නැහැ (siberiantimes.com)

මේ නිසා ටුංගුස්කා පිපුරුම සැබෑවටම ග්‍රාහකයක් නිසා සිදුවුණු එකක්ද, එසේත් නැත්නම් ප දැනටත් නොදන්නා වෙනත් හේතුවක් නිසා සිදු වූ එකක්ද යන්න තීරණය කිරීම අනාගත විද්‍යාඥයන්ට භාර වන කරුණක්.

කවරයේ පින්තූරය (knowledgestew.com)

Related Articles

Exit mobile version