පළමු ලෝක යුද්ධ සමයේ තම මව් රට වූ ජර්මනියෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත යටත් විජිතයක් වූ ජර්මන් නැගෙනහිර අප්‍රිකාවේ (දළ වශයෙන් වර්තමාන ටැන්සානියාව) හමුදා අණදෙන නිලධාරියා වූ පෝල් එමිල් වොන් ලෙට්ටොව්-වෝර්බෙක්, තම සේනාංකයන්ට වඩා විශාල සේනාංක සමග සටන් වැදෙමින්, යුරෝපයේ යුද්ධය අවසන් වන තුරු ම යටත් නොවී සිටීමට සමත් වුණා. ඔහු අවශ්‍ය විට දී ගරිල්ලා යුධ උපක්‍රම මෙන්ම ප්‍රහාරක මෙහෙයුම් ද සිදු කරමින් බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල සේනාංකයන්ටත් බෙල්ජියානු සහ පෘතුගීසි හමුදාවන්ටත් මහත් හිසරදයක් වුණා.
ඔහුගේ දස්කම් හේතුවෙන් ජර්මනියේ ඔහු වීරයෙකු බවට පත් වූ අතර එරට වැසියන් ඔහු ව “අප්‍රිකාවේ සිංහයා” යනුවෙන් නම් කළා.
හමුදා සේවය
1870 මාර්තු 20 වන දා උපන් ලෙට්ටොව්-වෝර්බෙක් වයස අවුරුදු 11 දී පොට්ස්ඩෑම් හි හමුදා ශිෂ්‍ය පාසැලට ඇතුළත් වුණා. ඉන් සිව් වසරකට පසු ව ලෙක්ටර්ෆෙල්ඩ් හි ප්‍රධාන හමුදා ශිෂ්‍ය පාසැලට ඇතුළත් වූ ඔහු එහි දී තම කණ්ඩායමේ ප්‍රථමයා ලෙස සමත් වුණා. වයස අවුරුදු 18 දී ලෙට්ටොව්-වෝර්බෙක් ලුතිනන්වරයෙකු ලෙස ජර්මන් හමුදාවට බඳවා ගැනුණා.
ලෙට්ටොව්-වෝර්බෙක් 1900 දී චීනයට යවන ලද්දේ බොක්සර් කැරැල්ල මර්දනය කිරීමට යි. පසු ව ඔහු ජර්මන් නිරිතදිග අප්‍රිකාවට (වර්තමාන නැමීබියාව) යවනු ලැබුණා. එහි දී හෙරේරෝ සහ නාමා ගෝත්‍රිකයන් විසින් දියත් කළ කැරැල්ල මර්දනය කිරීමට ඔහු දායක වුණා. නමුත් ඔහු තුවාල ලැබූ හෙයින් විවේක ගන්වනු ලැබුණා. මේ හේතුවෙන් හෙරේරෝ ගෝත්‍රිකයන් සමූල ඝාතනය කිරීමේ සිද්ධීන්ට ඔහු සහභාගී නොවූ බව සඳහන් වෙනවා.
නැගෙනහිර අප්‍රිකාව
ලෙට්ටොව්-වෝර්බෙක් 1914 අප්‍රේල් මාසයේ දී ජර්මන් නැගෙනහිර අප්‍රිකාවේ යටත් විජිත හමුදාවේ ප්‍රධානියා ලෙස පත් ව පැමිණියා. ජූලි මාසයේ දී යුද්ධය ඇරඹෙන විට ඔහු යටතේ සිටියේ ජර්මානුන් 2600ක පමණ සහ අප්‍රිකානුවන් ද එපමණක් ම වූ සේනාංකයක් පමණයි. ඔහුට ජර්මනියෙන් හමුදා හෝ සැපයුම් ලැබීමේ හැකියාවක් ද වූයේ නැහැ. අප්‍රිකානුවන් බඳවා ගනිමින් ඔහු තම හමුදාව වර්ධනය කළත්, ඔහුට කිසිදු අවස්ථාවක 14,000කට වඩා වැඩි සේනාවක් සිටියේ නැහැ. එමෙන්ම ඔහුට ආයුධ සපයා ගැනීම ද එතරම් පහසු වූයේ නැහැ.
නමුත් ඔහුට වූ එක් වාසියක් නම් හමුදාවල පක්ෂපාතීත්වය යි. ඔහුගේ අප්‍රිකානු සෙබළුන් පවා ලෙට්ටොව්-වෝර්බෙක්ට බෙහෙවින් ගරු කළා. වඩා විශාල හමුදා සමග ගැටෙමින්, සැමවිට ම ඔබ මොබ ගමන් කරමින් ගත කළ වසර හතරක කාලය තුළ එවන් පක්ෂපාතීත්වයක් සිය සොල්දාදුවන්ගෙන් ලැබීම ඔහුගේ නායකත්වය පිළිබඳ සාක්ෂ්‍යයක් වුණා. විශේෂයෙන් ම ඔහුට ස්වාහිලී බස හැසිරවීමට හැකි වීම ඔහුට බෙහෙවින් උපකාර වුණා.
මේ අවස්ථාවේ ජර්මන් නැගෙනහිර අප්‍රිකාවේ ආණ්ඩුකාරවරයා වූයේ හයින් රික් ෂ්නී. මේ අනුව ලෙට්ටොව්-වෝර්බෙක්ගේ උසස් නිලධාරියා වූයේ ඔහු යි. ෂ්නී විසින් ලෙට්ටොව්-වෝර්බෙක්ට උපදෙස් දුන්නේ ප්‍රහාරයන්ට නොගොස් යටත් විජිතය ආරක්ෂා කළ යුතු ය යනුවෙන්. නමුත් ලෙට්ටොව්-වෝර්බෙක් එම නියෝග පිළිනොගෙන ප්‍රහාරක මෙහෙයුම් සඳහා යොමු වුණා.
ප්‍රධාන සටන්
1914 නොවැම්බරයේ දී බ්‍රිතාන්‍යය හමුදා ටැන් ගා නගරයට ගොඩබැසීමට උත්සාහ කළා. මේ අවස්ථාවේ දී ලෙට්ටොව්-වෝර්බෙක් එම ප්‍රහාරය පරාජය කිරීමට සමත් වුණා.
මින්පසු ලෙට්ටොව්-වෝර්බෙක් ආණ්ඩුකාරයාගේ නියෝග පසෙක ලා බ්‍රිතාන්‍ය නැගෙනහිර අප්‍රිකාවේ වර්තමාන කෙන්යා ප්‍රදේශයට පහර දුන්නා. ඔහුගේ බලාපොරොත්තුව වූයේ දුම්රිය මාර්ගවලට පහර දීම යි. 1915 ජනවාරියේ දී ජසින් සටනේ දී ඔහු යළිත් බ්‍රිතාන්‍ය හමුදාවක් පරාජය කළා.
1915 දී ලෙට්ටොව්-වෝර්බෙක්ට අමතර ශක්තියක් ලැබුණේ ජර්මන් නෞකාවක් වූ ක්‍යෝනිග්ස්බර්ග් නැව ගිල්වා දැමීමත් සමග යි. අප කලින් ලිපියක සාකච්ඡා කළ එම්ඩන් නැව හා සමාන ම කාර්යභාරයක් බටහිර ඉන්දියන් සාගර ප්‍රදේශයේ සිදු කළ මෙම නැව අලාභගානිවලට ලක් වූ පසු රුෆිජි නදිය වෙත ගෙනවිත් තිබුණා. එය ගිල්වා දැමූ පසු එහි බර අවි යුධ හමුදාව සඳහා ලබාගත් අතර එහි නැවියන් ද ලෙට්ටොව්-වෝර්බෙක් යටතට අනුයුක්ත කෙරුණා.
1916 මාර්තුවේ දී දකුණු අප්‍රිකානු ජෙනරාල් යාන් ස්මට්ස් යටතේ බ්‍රිතාන්‍ය සේනාංකයක් ජර්මන් නැගෙනහිර අප්‍රිකාව ආක්‍රමණය කළා. මේ විශාල සේනාව සමග සටන් කිරීමට ලෙට්ටොව්-වෝර්බෙක්ට පිරිස හිටියේ නැහැ. නමුත් ඔහු තමන්ට වාසි සහිත ස්ථානයන් සොයාගනිමින් සහ හමුදා ඔබ මොබ ගෙනයමින් සටන් වැදුණා. යටත් විජිතයේ විශාල ප්‍රදේශයක් ඔහුට වුණත් ඔහු සටන් කළේ භූමිය රැකගැනීමට නොව හැකි පමණ බ්‍රිතාන්‍ය හමුදා යුධ පෙරමුණේ තබාගැනීමට යි.
1917 ඔක්තෝබරයේ දී ලෙට්ටොව්-වෝර්බෙක් මහිවා සටනේ දී විශාල බ්‍රිතාන්‍ය සේනාංකයක් පරාජය කළා. නමුත් බ්‍රිතාන්‍ය සේනා ශක්තිය ඉතා විශාල වූ හෙයින් ඔහු දිගින් දිගටම පීඩනයට හසු වුණා.
මෙහි දී ලෙට්ටොව්-වෝර්බෙක් කළේ පෘතුගීසි නැගෙනහිර අප්‍රිකාව හෙවත් මොසැම්බික් වෙත කඩා වැදීම යි. 1917 නොවැම්බර් 25 වන දා ජර්මන් සේනාව රොවුමා නදිය තරණය කර නෙගොමානෝ හි පෘතුගීසි සේනාව පරාජය කළා. මෙම සටනින් පසු විශාල ආයුධ ප්‍රමාණයක් ජර්මානුන්ට ලැබුණා. ලෙට්ටොව්-වෝර්බෙක් පෘතුගීසි නැගෙනහිර අප්‍රිකාවේ තවත් දකුණු දෙසට ගොස් සටන් කිහිපයක් ජයගත් අතර, ඉන්පසු 1918 සැප්තැම්බරයෙ දී යළි ජර්මන් නැගෙනහිර අප්‍රිකාවට ඇතුළු වුණා.
බ්‍රිතාන්‍ය හමුදා දිගටම ඔහු ලුහුබඳිද්දී ලෙට්ටොව්-වෝර්බෙක් සිය හමුදා රැගෙන උතුරු රොඩේසියාවට කඩා වැදුණා. 1918 නොවැම්බර් 13 වන දා, යුද්ධය නිම වී දින දෙකකට පසු, ජර්මනිය යුද්ධයෙන් පරාජය වූ බව ඔහු දැනගත්තේ බ්‍රිතාන්‍යයන්ගෙන්. මේ අනුව ඔහු යටත් වීමට කැමැත්ත පළ කළා. ලෙට්ටොව්-වෝර්බෙක් නිල වශයෙන් යටත් වූයේ 1918 නොවැම්බර් 25 වන දා යි.
යුද්ධයෙන් පසු
කෙටි කලක් යුධ සිරකරුවෙකු ව සිටි ලෙට්ටොව්-වෝර්බෙක් 1919 මාර්තුවේ ජර්මනියට ළඟා වූයේ වීරයෙකු පරිද්දෙන්. 1919 දී මාර්තා වොල්රොත් සමග විවාහ වූ ඔහු පුතුන් දෙදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු ලැබුවා. ඔහු 1920 දී හමුදාවෙන් විශ්‍රාම ගත් අතර පසු ව කලක් දේශපාලන කටයුතුවල ද නියැලුණා.
රාජාණ්ඩුවාදියෙකු වූ ලෙට්ටොව්-වෝර්බෙක් හිට්ලර් ව විවේචනය කළා. නමුත් හිට්ලර් ඔහුට හානියක් සිදු කළේ නැහැ. ලෙට්ටොව්-වෝර්බෙක් විශාල කීර්ති නාමයක් දිනාගත් අයෙකු වීමත් දේශපාලනික තර්ජනයක් නොවීමත් ඊට හේතු වන්නට ඇති. කෙසේ වෙතත් ලෙට්ටොව්-වෝර්බෙක්ගේ පුතුන් දෙදෙනා ම යුද්ධයේ දී මිය ගිය අතර ඔහුගේ නිවස ද බෝම්බ ප්‍රහාරවලින් විනාශ වුණා.
යුද්ධයෙන් පසු කෙමෙන් කෙමෙන් ඔහුගේ ජීවිතය යළි යහපත් අතට හැරුණා. ඔහු 1957 දී “මගේ ජීවිතය” නමින් ඔහුගේ චරිත කතාව ලිවීමට කටයුතු කළා. ඊට පෙර 1920 දී ඔහු ඔහුගේ නැගෙනහිර අප්‍රිකා යුධ ව්‍යාපාරය පිළිබඳ ග්‍රන්ථ දෙකක් ලියා පළ කර තිබුණා.
ලෙට්ටොව්-වෝර්බෙක් 1964 මාර්තු 9 වන දා මිය ගියා. ඔහු ඉතිහාසයට එක් වන්නේ පළමු ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයක් සාර්ථක ව ආක්‍රමණය කළ එක ම ජර්මන් ජෙනරාල්වරයා සහ වසර හතරක යුධ ව්‍යාපාරයේ දී කිසිදු සටනක් පරාජය නොවූ ජෙනරාල්වරයෙකු ලෙස යි.
කවරයේ පින්තූරය: ලෙට්ටොව්-වෝර්බෙක් (Deutsches Historisches Museum)
මූලාශ්‍රයයන්:
- The Lion of Africa – Paul von Lettow-Vorbeck (The Great War Youtube Channel)
- Duel for Kilimanjaro by Leonard Mosley