ලීනියාගල ලෙන් විහාරයේ ප්‍රාග් ඓතිහාසික සිතුවම්

ප්‍රාග් ඓතිහාසික හෙවත් ආදිවාසී ලෙන් චිත්‍ර සහිත නුවරඑළිය දිසාවේ එකම තැන තමයි හේවාහැට ලීනියාගල කියන්නේ. වැඩි දෙනෙක් අවධානය යොමුකරන්නේ එහි ලෙන් චිත්‍රවලට නොවේ. මහනුවර යුගයට අයත් ලෙන් විහාරය ගැන යි. වැඩිදෙනකු නොයන අප්‍රකට තැනක් ලෙස තිබෙන ලීනියාගල මේ වටිනාකම් දෙක ගැන ම අපි සොයා බලමු.

විහාරයට මඟ පෙන්වන නාම පුවරුව- yourchoiceway.com

ගමන් මඟ

මෙම පුරාණ විහාරයට යාමට නම් නුවරඑළිය ඉඳන් වලපනේ දක්වා පැමිණ  මහවැලි රජ මාවත ඔස්සේ පැරණි කීර්තිබණ්ඩාර දේවාලය පසුකර කිලෝමීටර් 5 ක් පමණ දුර ගමන් කළ යුතු යි. එවිට බෙලිහුල් ඔයේ  ( බලංගොඩ බෙලිහුල් ඔය නොවේ) පාලම හමුවෙනවා. ඒ අසල සිටින විට දකුණු පැත්තෙන් ඉහළ නගින ලීනියාගල ගල් පර්වතය නෙත ගැටෙනවා. බෙලිහුල්ඔය පාලමේ දකුණුපස ඉවුර මතින් ටික දුරක් ගියවිට ලීනියාගල වෙල්යාය හමුවෙනවා. එම වෙල්යාය අසලින් විහාරයට පිවිසෙන මාර්ගය දැකගත හැකි යි.

විහාර මළුව ඈතට පෙනෙනයුරු- yourchoiceway.com

ලෙන් වෙහෙර

විහාර මළුව වෙත පැමිණීමට  කළුගල්වලින් සැකසු අක්‍රමවත් පියගැට පෙළක් තරණය කළ යුතු යි. එවිට ලෙන් සංකීර්ණයට ඔබට පිවිසිය හැකියි. ක්‍රිස්තු පුර්ව 2 වන ශතවර්ෂය දක්වා දිව යන ඓතිහාසික සාධක සහිත මේ විහාරය කුඩා වුවත් එහි පෞරාණික අගය නම් වැඩි යි.

අතීතයේ බොහෝ ලීනියා පඳුරු මෙහි පැවති නිසා ලීනියාගල ලෙස හඳුන්වන බවයි පැවසෙන්නේ. අද වන විට එය සමහරුන් අතින් ලිහිණියාගල වී තිබෙනවා. 1818 කැරැල්ලේ දී මෙම අප්‍රකට ලෙන්වල කැරලිකරුවන් සැඟ ව සිට සටන් සංවිධානය කළ බවත් කියවෙනවා.

ලෙන් විහාරය -yourchoiceway.com

අනුරාධපුර මුල් යුගයේ භාවනානුයෝගී භික්ෂූන්ට පූජා කෙරුණු මේ ගුහාව දිගින් වැඩියි. එහි පියස්සට ඉහළින් වැහි වතුර ගලා ඒම වැළැක්වීමට කොටා ඇති  කටාරම දිගින් අඩි 155ක් වෙනවා. ලෙනෙහි පළල අඩි 12යි.  මෙම ලෙනේ වැඩි කොටසක් භාවිත කර නැහැ. එහි එක් කොටසක පිහිටා තිබෙන්නේ මහනුවර රජ කාලේ දී තැනූ කුඩා විහාරයක්.  එම විහාරය අඩි 8ක පළලින් ද අඩි12ක් පමණ දිගින් ද යුක්ත යි. එය ඉතා කුඩා ලෙන් විහාරයක්. දොරටුව ඉදිරිපස දොරටුපාල මූර්ති දෙකක් පිහිටා තිබෙනවා. කුඩා ලෙන් අවකාශය  මහනුවර යුගයට අයත් චිත්‍රවලින්  හා මූර්තිවලින් පිරී තිබෙනවා.මෙහි තිබු හිඳි බුදු පිළිමය කලකට පෙර නිදන් හොරුන් විනාශ කර තිබෙන අතර ඒ දෙපස පිහිටි හිටි බුදු පිළිම දෙක ඉතිරි ව තිබෙනවා.

මහනුවර සම්ප්‍රදායේ මිනිස්රූප

විනාශ කළ හිඳි පිළිමය වෙනුවට පිත්තලවලින් තැනූ පිළිමයක් එහි තැන්පත් කර තිබෙනවා. අඳුරු වර්ණ සහිතව ඇඳ ඇති මෙහි චිත්‍රවලින් වෙස්සන්තර, දහම්සොඬ, සස හාචන්දකින්දර ජාතකයත් සුවිසි විවරණයත් නිරූපණය වෙනවා. ලෙනේ කුඩා ඉඩකඩ තුළ ඇති අවකාශය සිත්තරා මනාව භාවිත කර ඇති බව පේනවා. සොළොස්මස්ථානයත් මෙහි සිත්තම් කර තිබෙනවා.  ඇතැම් චිත්‍රවලට යටින් එම චිත්‍ර හැඳින්වීමේ  කුඩා සටහනක් ද දැකගත හැකි යි. මෙම සිතුවම් සියල්ල ම වාගේ මැකී යන අයුරු පෙනෙන්නට තිබීම නම් කනගාටුවට කරුණක්. ලෙන් විහාරයේ වියන සරසා තිබෙන්නේ මහනුවර සම්ප්‍රදායේ මිනිස්රූප සහිත නාරිලතා මෝස්තර රටාවක් හා ලියවැල් මෝස්තරවලින්.  බිත්තිවල ඇති චිත්‍රවලට වඩා වියන් චිත්‍ර විනාශවීම වැඩි බව පේනවා. ලෙනේ ගෙබිම ගොමමැටි ගසා සකස් කර තිබෙනවා.

සූවිසි විවරණ සිතුවමක්-  වලපනේ අපි facebook page

සෙල්ලිපිය

විහාර ලෙනේ කටාරම ඉහළින් ‘මහපදසන‘ නමැති බ්‍රාහ්මි අක්ෂරවලින් කෙටූ සෙල්ලිපිය හමුවෙනවා. ඒ අනුව පුරාණයේ මෙම ගුහාව හඳුන්වා ඇත්තේ මනාපදර්ශන නමින් බව පැහැදිලි යි. එහි අරුත දැකීමට ප්‍රිය උපදවන යන්න යි. එම නමින් හඳුන්වන ලද ලෙන් රාශියක් අප රටේ විවිධ පළාත්වලින් හමුවෙනවා. දැනටත් මේ ලෙන අසලට අප සිත් සුවපත් කරන සුන්දර දසුනක් දැකගත හැකි යි.

බෙලිහුල්ඔය මිටියාවත හා ඈත පිහිටි හෙල්මළු කුඹුරු, හේවාහැට කඳුපෙත් මේ දසුන අලංකාර කරනවා.  සෙල්ලිපිය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසට බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරනවා. හේවාහැට අවට ප්‍රදේශවල එතරම් ඈත කාලයක පටන් බුදු දහම පැතිර තිබූ බව මින් හෙළිවෙන තවත් කරුණක්.

සෙල් චිත්‍ර සහිත ලෙන -bradshawfoundation.com

ජනප්‍රවාද

ලිහිණියාගල රජමහා විහාරය වටා දුටුගැමුණු මහ රජුගේ දසමහා යෝධයෙක් වූ ථේරපුත්තාභය සම්බන්ධ කතා පුවත් ගෙතී තිබෙනවා. ඔහු දුටුගැමුණු- එළාර යුද්ධයෙන් පසු ජිවිතයේ අධ්‍යාත්මික විමුක්තිය සොයා ගැනීමට  දුටුගැමුණු රජගෙන් අවසරය ලබා බුදු සසුනට එක්වී මහණ වෙනවා. ථෙරපුත්තාභය හිමි බවුන් වැඩි ස්ථානයක් ලෙස මෙම විහාරය සැලකෙනවා.  

විහාරය සතු සංඝාවාසයත් ඉතා ඉපැරණි දෙමහල් ගොඩනැගිල්ලක්. එහ දෙමහල් ආකාරයට ඉදිකර තිබෙන්නේ අතීතයේ වෙල්යායට කඩාවදින වල් අලින්ගෙන් බේරීමට බවයි පැවසෙන්නේ. දිරාපත් වී තිබෙන එම ගොඩනැගිල්ල අද භාවිතයට ගන්නේ නැහැ.

ජනප්‍රවාද
විහාර ලෙනට දොරටුව-yourchoiceway.com

 

ලිහිණියාගල, සේරුපිටිය, ඕතලාව, පරකඩුව, පන්නල, ලැමසුරිය යන දායකගම්  විහාරය වටා පිහිටා තිබෙනවා. ලීනියාගල ලෙන් විහාරය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙසත්  නම් කර තිබෙනවා. විහාරයට නුදුරින් ඛෙලිහුල් ඔය දෙපස විශාල කුඹුරු යාය 2ක් පැතිර යන අතර  ඒවා නමින් දියහැරුම සහ ලැමසූරිය ලෙස හැඳින්වෙනවා.

සෙල් චිත්‍ර කාණ්ඩය- ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර- සත්සර ඉලංගසිංහගේ කෘතියෙනි.

ආදිවාසී සෙල් චිත්‍ර

මේ චිත්‍ර ලෙන නුවරරළියේ හමුවන එක ම සෙල් චිත්‍ර පිහිටි තැන ලෙස වැදගත් වෙනවා. චිත්‍ර ලෙන පිහිටා තිබෙන්නේ විහාරය පිටුපස කන්ද මුදුනෙ යි. කන්ද මුදුනට පැමිණෙන විට හමුවන තෙවනුව පිහිටි විශාල ලෙනේ තමයි සිතුවම් දකින්න ලැබෙන්නේ. එම ලෙනත් කටාරම් කොටා තිබෙනවා. පාෂාණ පෘෂ්ටය මත දකුණුපස පහළින් කුඩා රේඛා චිත්‍ර සටහන් 13ක් දැකගත හැකියි.

සෙල් සිතුවමක්-  ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර- සත්සර ඉලංගසිංහගේ කෘතියෙනි.

 

ඒවා ඇඟිල්ලකට වඩා පළලින් යුත් රෝස පැහැයෙන් රේඛාත්මක ලෙස ඇඳි චිත්‍ර සටහන්ය. සාමාන්‍ය පුද්ගලයකුට වඩා මඳක් උසින් පිහිටි චිත්‍ර සමූහය වටා පසුකාලීනව හුණුවලින් කළ අනවශ්‍ය ඇඳීමකි. එයින් චිත්‍ර සටහන්වලට හානියක් ද සිදුව ඇත. චිත්‍ර සටහන් සියල්ල ප්‍රාණවත් හා ක්‍රියාශීලීබවින් යුක්තය(සත්සර ඉලංගසිංහ – ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර, පිට 80).

මෙහි දැකගත හැක්කේ ප්‍රාථමික තත්ත්වයෙන් ඇඳි මිනිසුන්ගේ විවිධ ඉරියව් බවයි පේන්නේ. ආයුධ දැරූ මිනිසුන්ගේ හැඩතල, තවත් අයකුට පහර දෙන මිනිසෙක් ආදී වශයෙන් එම චිත්‍ර හඳුනාගත හැකි යි.

කවරයේ ඡායාරූපය- ලෙන් විහාරය සහිත ලෙන- facebook

මූලාශ්‍ර:

ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර- සත්සර ඉලංගසිංහ

නුවරඑළිය දිස්ත්‍රික්කය- සිරිසේන දේවප්‍රිය

Silumina.lk

Related Articles

Exit mobile version