ටොම් කෘෘස්ගේ විශිෂ්ට රංගන කුසලතාවන් විදහා දක්වන ‘The Last Samurai’ චිත්‍රපටය නැරඹූ අයෙක්ට ‘සත්සුමා කැරැල්ල’ අමතක නැති බවට සැකයක් නැහැ. ක්‍රිස්තු වර්ෂ 1868 දී ජපන් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් ‘තොකුගාවා ෂෝගුනේට්’ පාලනය අවසන් වුණා. ඒ මෙයිජි ප්‍රතිසංස්කරණ මගින් මුත්ෂුහිතෝ අධිරාජ්‍යයාට ජපානයේ බලය පවරමින්. ජපානය ලොව ප්‍රබල රාජ්‍යයක් කිරීමේ මුල් පියවර තැබීමට දායක වූ මුත්ෂුහිතෝ අධිරාජ්‍යයාගේ එක් අරමුණක් වුණේ නූතන තාක්ෂණය සමග ඉදිරියට යන යුද හමුදාවක් ජපන් අධිරාජ්‍යයට දායක කිරීම යි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1873 දී සමුරායිවරුන්ගේ බලතල අහෝසි කර ප්‍රංශ හමුදා යටතේ නව ජපන් යුද හමුදාවට යුද පුහුණුව ලබා දීමට ඔහු කටයුතු කළා.
‘තොකුගාවා ෂෝගුනේට්’ පාලන සමයේ සිට ම නිසි පිළිගැනීමක් නොලද සමුරායිවරුන් අධිරාජ්‍යයා විසින් ගන්නා ලද මෙම තීරණයෙන් දැඩි සේ නොසතුටට පත් වුණා. සියවස් ගණනාවක් ජපානය වෙනුවෙන් දිවි පිදූ සමුරායිවරුන්ගේ මතය වුණේ ජපන් අධිරාජ්‍යය, එහි සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවැසි පුහුණුව සහ ධෛර්යය, සමුරායිවරුන් පමණක් සතු වන බව යි. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස රහසේ සංවිධානය වූ සමුරායිවරුන් ක්‍රිස්තු වර්ෂ 1877 දී තෝකියෝ ව කේන්ද්‍ර කර ගනිමින් පාලන කටයුතු මෙහෙය වූ මෙයිජි ආණ්ඩුක්‍රමය සහ නව යුද හමුදාව අභියෝගයට ලක් කරමින් ‘සත්සුමා කැරැල්ල’ දියත් කළා.
කැරැල්ලේ පසුබිම් කතාව
සියවස් ගණනාවක් තිස්සේ මධ්‍යම ආණ්ඩුවෙන් බලපෑමක් නොමැති ව පාලනය වූ සත්සුමා බල මණ්ඩලය පිහිටා තිබුණේ තෝකියෝ නුවර සිට සැතපුම් 800 ක් පමණ දුරින් කියුෂු දූපතේ දකුණු දෙසට වන්න යි. මෙයිජි ප්‍රතිසංස්කරණයන්ට කෙටි කලකට පෙර ‘තොකුගාවා ෂෝගුනේට්’ පාලනයේ අවසන් කාලයේ දී සත්සුමා වැසියන් විශාල වශයෙන් අවි ආයුධ නිපදවීම සඳහා ආයෝජනය කිරීම ඇරඹූ අතර ඔවුන් කගෝෂිමා හි නව නැව් නිෂ්පාදනාගාරයක්, ආයුධ කම්හල් ද්විත්වයක් සහ පතරොම් ගබඩා ත්‍රිත්වයක් ගොඩ නගා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1871 වන විට නිල වශයෙන් මෙම ස්ථානයන් හි අයිතිය පැවතුණේ මෙයිජි අධිරාජ්‍යයාට වුව ද ඒවායේ පාලන කටයුතු තව දුරටත් රඳා පැවතුණේ සත්සුමා හි නිලධාරීන් සතු ව යි. මේ හේතුවෙන් මධ්‍යම ආණ්ඩුව ක්‍රිස්තු වර්ෂ 1877 ජනවාරි 30 වැනි දින පූර්ව දැනුම් දීමකින් තොර ව අදාළ ස්ථානයක් අත්පත් කර ගැනීම සඳහා වැටලීමක් සිදු කර තිබෙනවා.
මෙයින් මෙයිජි අධිරාජ්‍යයාගේ බලාපොරොත්තු වුණේ සත්සුමා හි අවි ආයුධ රාජසන්තක කර ඒවා ඔසාකා නුවර පැවති රාජකීය අවිහල වෙත රැගෙන යාම යි. නමුත් රාත්‍රියේ දී පැමිණි සමුරායිවරුන් දහසකට අධික පිරිසක් රාජකීය හමුදාවන් ප්‍රහාර එල්ල කර ඔවුන් අත්පත් කර ගත් අවි ආයුධ නැවත වරක් කගෝෂිමා වෙත රැගෙන විත් තිබෙනවා. මෙම සිදුවීම සිදු වන විට මෙයිජි අධිරාජ්‍යයාට යළිත් බලතල ලබා දීම සඳහා විශාල මෙහෙයක් සිදු කළ ප්‍රබල සමුරායිවරයෙකු වූ සයිගෝ ටකමොරි පිට පළාත් සංචාරයක නිරත වෙමින් සිටි අතර සිදුවීම ගැන දැන ගත් වහා ම සමුරායිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන දැඩි ලෙස කෝපයට පත් වූ ඔහු නැවත කගෝෂිමා බලා පැමිණියා. එහි දී ඔහුට දැන ගැනීමට ලැබුණේ සත්සුමා හි උපන් තෝකියා පොලිස් නිලධාරීන් පනස් දෙනෙකු ඔහු ව මරණයට පත් කිරීමේ උපදෙස් සහිත ව යළිත් උපන් ගම් බලා පිටත් කර එවා ඇති බව යි. මෙය මෙයිජි ආණ්ඩුවට විරුද්ධ ව සේනා සංවිධානය කිරීමට සමුරායිවරුන් ව යොමු කර තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි 13 – 14 කාලයේ දී ගණනින් 12,900 ක් වූ සත්සුමා හි කැරලිකරුවන් කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී කුමන හෝ ආකාරයේ යුරෝපීය ආයුධයකින් සහ සමුරායි කතානාවෙන් (දිග කඩුවක්) සන්නද්ධ වුණා. පෙබරාවාරි 15 වැනි දින 4,000 ක සේනාවක් උතුරු දෙසට ගමන් ආරම්භ කළ අතර දින දෙකකට පසු ව පසුපෙළ භට කණ්ඩායමක් සහ කාලතුවක්කු සේනාංකය ද උතුරු දෙසට ගමන් ඇරඹුවේ දැඩි හිම කුණාටුවක් මධ්‍යයේ යි.
සත්සුමා හි කැරලිකරුවෝ
සයිගෝ ටකමොරි ඇතුළු හමුදාව මුහුදු මාර්ගයෙන් අගනුවර බලා පැමිණෙනු ඇති බවට හෝ සත්සුමා බල මණ්ඩලය ආරක්ෂා කරනු ඇති බවට මෙයිජි ආණ්ඩුව බලාපොරොත්තු වුව ද බලෙන් හමුදාවට බඳවා ගත් ගොවියන්ගෙන් සැදි නව යුද හමුදාව අවතක්සේරුවට ලක් කළ සයිගෝ ටකමොරි, ඔහුගේ හමුදාව සෘජුව ම කියුෂු හි මධ්‍යම ප්‍රදේශය කරා මෙහෙය වූ අතර ඔහුගේ බලාපොරොත්තුව වුණේ අතරමැදි සමුද්‍ර සන්ධීන් තරණය කර තෝකියෝවට ළඟා වීම යි.
නමුත් කුමාමොතෝ මාලිගාවේ රැඳී සිටි ගණනින් 3,800 ක් වූ නගරාරක්ෂක හමුදා සේනාංකයක් සහ 600 ක පොලිස් භට පිරිසක් මේජර් ජෙනරාල් ටානි තකේකිගේ මෙහෙය වීම මත සත්සුමා කැරලිකරුවන්ගේ ගමන අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා. එයට ප්‍රතිචාර වශයෙන් පෙබරවාරි 22 වැනි දින සත්සුමා හි කැරලිකරුවන් දිගින් දිගට ම කුමාමොතෝ මාලිගාවට පහර දී දුන්නා. මෙය දෙදිනක් පුරාවට පැවති අතර අවසානයේ දී සයිගෝ ටකමොරි තීරණය කළේ මාලිගාව වැටලීමට යි.
එසේ ඇරඹුණු කුමාමොතෝ මාලිගාව වැටලීම අප්‍රේල් 12 වැනි දින දක්වා ම පැවතුණා. ඒ කාල සීමාව තුළ දී බොහෝමයක් පැරණි සමුරායිවරුන් සයිගෝ ටකමොරිගේ හමුදාව සමග එක් වුණේ ඔහුගේ භට පිරිස 20,000 දක්වා ඉහළ දමමින්. නමුත් සත්සුමා හි සමුරායිවරු පළවා හැරීම සඳහා මෙයිජි ආණ්ඩුව 45,000 ක භට පිරිසක් කුමාමොතෝ මාලිගාව බලා එවන ලද අතර එහි ප්‍රතිඵලය වුණේ ඉහළ තුවාලකරුවන් පිරිසක් සමග සත්සුමා හි කැරලිකරුවන්ට පසු බැසීමට සිදු වීම යි.
ෂිරොයාමා හි අවසන් සටන
කුමාමොතෝ හි දී මුහුණ දුන් පරාජයෙන් පසු ව දින හතක් පුරා දකුණු දෙසට ඇවිද ගිය සයිගෝ ටකමොරි ඇතුළු පිරිස හිතොයොෂි හි අගල් කපා අධිරාජ්‍යයාගේ හමුදාව පැමිණෙන තෙක් බලා සිට තිබෙනවා. තැන තැන රැඳී සිටි කුඩා සමුරායි කණ්ඩායම් ගරිල්ලා සටන් ක්‍රම උපයෝගී කරගෙන හමුදාවන්ට පහර දුන් නමුත් ජූලි මාසය වන විට සයිගෝ ටකමොරිගේ හමුදාව වැටලීමට අධිරාජ්‍යයාගේ හමුදාව සමත් වුණා. නැවතත් ඉහළ තුවාලකරුන් පිරිසක් සමග පසු බැසීමට සිදු වූ සමුරායිවරුන්ට ඉතුරු වුණේ ප්‍රමාණයෙන් 3,000 ක් පමණ වන භට පිරිසක් පමණ යි. ඒ වන විට ඔවුන් සතු වූ පතරොම් අවසන් වී තිබුණු අතර ගණනින් 21,000 ක් පමණ වූ අධිරාජ්‍යයාගේ හමුදාවට එරෙහි ව කතානා කඩු භාවිතා කරමින් සටන් වැදීමට ඔවුන්ට සිදු වුණා. ජරාජය දරා ගැනීමට අපහසු වූ බොහෝ සමුරායිවරුන්, සමුරායි සාම්ප්‍රදාය අනුව සිය දිවි හානි කර ගත් අතර අගෝස්තු 19 වැනි දින වන විට ඉතුරු වී සිටි සයිගෝ ටකමොරි ඇතුළු 500 ක් පමණ වූ සමුරායිවරුන් පිරිස ෂිරොයාමා කඳුවැටිය බලා පසු බැස්සා.
සත්සුමා කැරැල්ලේ අවසන් සටන ලෙස සැලකෙන ‘ෂිරොයාමා සටන’ සිදු වුණේ එහි දී යි. 30,000 ක් පමණ වූ අධිරාජ්‍යයාගේ යුද භටයින් නොනැවතී ම සත්සුමා හි කැරලිකරුවන්ට පහර දුන් අතර සැප්තැම්බර් 24 වැනි දින වෙඩි ප්‍රහාර මගින් ටකමොරි මිය ගියා. නමුත් ඇතැම් මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ වෙඩි ප්‍රහාර හේතුවෙන් දරුණු ලෙස තුවාල ලද ඔහු සමුරායිවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරමින් සිය දිවි හානි කර ගත් බව යි. කෙසේ වුව ද සයිගෝ ටකමොරිගේ මරණය සිදු වුණේ මාස ගණනාවක් පුරාවට පැවති සත්සුමා කැරැල්ලේ අවසානය සනිටුහන් කරමින්. සයිගෝ ටකමොරි මිය යාමෙන් පසු ව ඔහුගේ මරණය ගෞරවාන්විත කිරීම සඳහා බෙප්පු ෂින්සුකේ ඔහුගේ හිස කඳින් වෙන් කර තිබෙන අතර ඉතිහාසයේ සඳහන් වන්නේ එදින සවස් යාමය වන විට සත්සුමා කැරැල්ලට සහභාගී වූ සියලු ම සමුරායිවරු මියගොස් සිටි බව යි.
කවරයේ පින්තූරය : © Nick Kalinin