දෙවන ලෝක යුද්ධයේ අවසන් භාගයේ සිදුකෙරුණ ප්‍රකට යුධ ව්‍යාපාරයක් වූයේ බුඩාපෙස්ට් ක්‍රියාන්විතය යි. එහි අරමුණ වූයේ හන්ගේරියාවේ අගනුවර සෝවියට් පාලනය යටතට ගැනීම යි. මෙම ක්‍රියාන්විතය 1944 ඔක්තෝබර් 29 වන දා ආරම්භ කරනු ලදුව බුඩාපෙස්ට් නගරය සම්පූර්ණයෙන් අල්ලා ගැනීමෙන් අවසන් වුණා. එසේ බුඩාපෙස්ට් හි සෝවියට් පාලනය සම්පූර්ණයෙන්ම තහවුරු වූයේ 1945 පෙබරවාරි 13 වන දා යි.
හන්ගේරියාව සහ දෙවන ලෝක යුද්ධය
හන්ගේරියාව 1920 සිට පාලනය කළේ අද්මිරාල් මික්ලෝස් හොර්ති විසින්. නිල වශයෙන් එරට රාජාණ්ඩුවක් වූ අතර, හොර්ති කටයුතු කළේ රාජ්‍යත්වයෙහි වැඩ බලන්නා (Regent) ලෙස යි. 1930 දශකය ගෙවී යද්දී ඔහු ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් පාලනයේ සහායකයකු බවට පත් වුණා. මුල දී ඔහු එසේ ජර්මනියට සමීප වූයේ එතරම් ප්‍රසාදයකින් යුතුව නොව ජර්මන් බලය කෙරෙහි වූ බිය හේතුවෙන්.
ජර්මනිය සමග වූ මිත්‍රත්වය මුල දී හන්ගේරියාවට වාසිදායක වුණා. ඔවුන්ට රුමේනියාවෙන් කොටසක් ද, චෙකොස්ලොවැකියාවේ කොටසක් ද ලබාගැනීමට හැකි වුණා. කෙසේ වෙතත්, ඒ වෙනුවෙන් හන්ගේරියාවට සැලකිය යුතු මිලක් ගෙවීමට සිදුවුණා. එයට හේතු වූයේ, සෝවියට් දේශයට එරෙහිව සිය හමුදා යැවීමට හන්ගේරියාවට සිදුවීම නිසයි.
1944 මාර්තුවේ දී ජර්මනිය හන්ගේරියාවට හමුදා එව්වේ එහි රජය වෙනමම සාම ගිවිසුමක් අත්සන් කිරීමේ අවදානම වැළැක්වීමට යි. කෙසේ වෙතත්, සෝවියට් හමුදා 1944 ගිම්හානයේ දී බෝල්කන් ප්‍රදේශයන් වෙත කඩා වැදුණා. අගෝස්තු 31 වන දා සෝවියට් හමුදා රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර අල්ලා ගත්තා. සැප්තැම්බර් මුල දී බල්ගේරියාව ඔවුන් අතට පත් වුණා.
ඔපරේෂන් පැන්සර්ෆවුස්ට්
මේ අතර හන්ගේරියාව දෙසට ද සෝවියට් හමුදා තර්ජනය කළා. අද්මිරාල් හොර්ති සෝවියට් බලධාරීන් සමග වෙනමම සාමයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටියා. ඒ පිළිබඳ ජර්මානුන්ට ද දැනගන්නට ලැබුණා.
තත්ත්වය තරමක් අවදානම් බව වටහා ගත් ජර්මනිය, හන්ගේරියාවේ රජය තමන් අතට ගැනීමට කටයුතු කළා. ඔවුන් ඒ සඳහා ඉයත් කළ මෙහෙයුම වූයේ “ඔපරේෂන් පැන්සර්ෆවුස්ට්” යන්න යි. එහි ප්‍රධාන මෙහෙයුම් ප්‍රධානියකු වූයේ හිට්ලර්ගේ හොඳම කමාන්ඩෝවරයා ලෙස ද යුරෝපයේ භයානකම තැනැත්තා ලෙස ද ඇතැමුන් විසින් හඳුන්වා දෙනු ලැබුණ ඔටෝ ස්කෝර්ට්සෙනි යි.
කියවන්න: හිට්ලර්ගේ ප්‍රසිද්ධම කමාන්ඩෝ නිලධාරියා- ඔටෝ ස්කෝර්ට්සෙනි
මික්ලෝස් හොර්තිගේ පුත්‍රයා වූ කනිෂ්ඨ මික්ලෝස් හොර්ති ඔක්තෝබර් 15 වන දා සෝවියට් ඒජන්තයින් සමග රහස් සාකච්ඡාවකට සහභාගී වීමට නියමිත වුණා. එහෙත්, එම සාකච්ඡා ස්ථානය වෙත ඔහු යද්දී ඔහුව ස්කෝට්සෙනිගේ පිරිස විසින් පැහැරගනු ලැබුණා. පසුව, ජර්මානුන් විසින් අද්මිරාල් හොර්තිව ද තම භාරයට ගත්තා. ඔක්තෝබර් 16 හිමිදිරියේ ස්කෝර්ට්සෙනිගේ පිරිස බුඩා බලකොටුව අත්පත් කරගත් අතර, එදිනම හොර්ති බලය අතහැරීමට කැමැත්ත පළ කළා. ඔහුගේ ස්ථානයට පත් වූයේ හන්ගරිස්ට්වාදියකු වූ ෆෙරෙන්ක් සලාසි යි. ඔහු ඊතල කුරුස පක්ෂයේ නායකයා වුණා. හොර්ති පසුව සඳහන් කළේ තම පුත්‍රයාගේ ජීවිතය වෙනුවෙන් ඔහු එම පියවර ගත් බව යි.
සෝවියට් ප්‍රහාරය
බුඩාපෙස්ට් නගරය ඩැනියුබ් නදිය මඟින් බෙදෙන අතර, එය ඇත්තෙන්ම නගර දෙකක එකතුවක්. ඩැනියුබ් නදියෙන් බටහිර දෙස බුඩා නගරය හා නදියෙන් නැගෙනහිර පෙස්ට් ප්‍රදේශය එක් වීමෙන් බුඩාපෙස්ට් නිර්මාණය වී තිබෙනවා. පෙස්ට් ප්‍රදේශය තැනිතලා බිමක් වන අතර, බුඩා ප්‍රදේශය තරමක් කඳුකර ප්‍රදේශයක් වනවා.
සෝවියට් රතු හමුදා බුඩාපෙස්ට් දෙසට පහර දීම ඇරඹුවේ ඔක්තෝබර් 29 වන දා යි. මෙයට සම්බන්ධ වූයේ මාර්ෂල් රදියෝන් මලිනොව්ස්කි යටතේ වූ දෙවන යුක්‍රේන පෙරමුණු සෝවියට් හමුදා යි. පෙස්ට් ප්‍රදේශය ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය ආරම්භ කෙරුණා. සෝවියට් හමුදා විසින් සැලකිය යුතු ප්‍රදේශයක් අල්ලා ගත් නමුත්, ජර්මානුන් සහ ඔවුන්ට සහාය දුන් හන්ගේරියානුවන් ප්‍රබල ප්‍රතිරෝධයක් දැක්වූ හෙයින් සටන පහසු වූයේ නැහැ. නොවැම්බර් පළමු සතිය නිම වෙද්දී සෝවියට් හමුදා සහ ඊට සහාය වූ රුමේනියානු හමුදා පෙස්ට් හි නැගෙනහිර ප්‍රත්‍යන්තයන් කරා ළඟා වුණා.
දෙසැම්බර් මුල දී යුගෝස්ලාවියාව දෙසින් තුන්වන යුක්‍රේනියානු පෙරමුණේ සෝවියට් හමුදා බුඩාපෙස්ට් දෙසට ගමන් කළා. මේ අනුව නගරයෙන් උතුරු හා දකුණු දෙසින් ප්‍රහාරයන් දෙකක් එල්ල වුණා.
දෙසැම්බර් 26 වන විට නගරය වටලෑම සම්පූර්ණ වුණා. සෝවියට් හමුදා පෙස්ට් ප්‍රදේශයේ බලය කඩිනමින් තහවුරු කරන්නට වුණා. ජර්මානුන් ද සටන අතහරින්නට සූදානම් වූයේ නැහැ. හිට්ලර් විසින් බුඩාපෙස්ට් නගරය බලකොටු නගරයක් ලෙස (ෆෙස්ටුංග් බුඩාපෙස්ට්) නම් කළා. ඒ අනුව අවසන් සොල්දාදුවා තෙක් එහි සටන අතනොහැරිය යුතු වුණා.
1945 ජනවාරි මුල දී ජර්මානුන් නගරය ගලවා ගැනීමට අසාර්ථක උත්සාහයක් ගත්තා. එයින් පසු පෙස්ට් ප්‍රදේශයේ ඉතිරිව සිටි ජර්මන් හමුදාවන්ට බුඩා වෙතට පසුබැසීමට හිට්ලර් අවසර දුන්නා. ඔවුන් ඩැනියුබ් නදිය මත වූ පාලම් විනාශ කළා.
ජර්මන් පැන්සර් බලකායන් විසින් යළිත් වරක් නගරය ගලවා හැනීමට උත්සාහ කළ ද, නැවත එය අසාර්ථක වුණා. එයින් පසු සෝවියට් වටලෑම තවත් දරුණු වුණා. නගරයේ කොටු වී සිටි ජර්මන් හා හන්ගේරියානු සේනාංකයන්ට අවශ්‍ය සැපයුම් ප්‍රමාණවත් තරමින් ලැබුණේ නැහැ. ආධාර ලබාගත හැකි වූයේ ගුවනින් පමණයි. කලක් යනතුරු බුඩා වෙත ගුවනින් සැපයුම් එවන ලද නමුත්, පසුව එය ද කළ නොහැක්කක් වුණා.
මේ අතර ජර්මනියේ යුධ ව්‍යාපාරයම කඩා වැටෙමින් තිබුණා. බටහිර පෙරමුණේ මිත්‍ර හමුදා ජයග්‍රහණ කිහිපයක් ලද අතර, 1944 දෙසැම්බරයේ දී ජර්මනිය ලද තාවකාලික වාසිය ද ස්වල්ප දිනෙකින් ඔවුන්ට අහිමි වුණා. මේ අතර පෝලන්තය හරහා එල්ල වෙමින් පැවති ප්‍රහාරක මෙහෙයුම ජර්මානුවන්ව ඕඩර් නදිය වෙතටම පසුබස්වමින් තිබුණා.
මෙම පසුබිමෙහි බුඩාපෙස්ට් ආරක්ෂා කරගැනීම පහසු වූයේ නැහැ. බුඩා හි කඳුකර පිහිටීම් ජර්මානුන්ට යම් සහායක් ලබාදුන් හෙයින්, ඔවුන් ප්‍රබල ලෙස ප්‍රතිරෝධය දැක්වූ නමුත් එය දිගටම කරගෙන යාමේ හැකියාවක් වූයේ නැහැ. එහෙයින්, 1945 පෙබරවාරි 13 වන විට නගරය සම්පූර්ණයෙන්ම සෝවියට් බලයට නතු වුණා.