ජපානයට එරෙහිව සිදුකළ වවුල් බෝම්බ ව්‍යාපෘතිය

ඒ දෙවන ලෝක යුධ සමය යි. එය මිත්‍ර පාර්ශවයේ සාමාජිකයන් හට නව යුධ උපක්‍රම අත්‍යවශ්‍ය කර තිබුණු සමයක් විය. 1941 වර්ෂයේ දෙසැම්බර් මස 7 වන දින උදෑසන ඇමරිකානු වැසියන් හට අසන්නට ලැබුණේ මහත් ආන්දෝලනාත්මක පුවතකි. හවායි හී පර්ල් වාරයට ජපන් හමුදාවන් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි ඒ. මේ පුවත ඇමරිකාව මෙන්ම මිත්‍ර පාර්ශවයේ රටවල් පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා සේම, සිවිල් ජනතාව අතර අක්ෂ පාර්ශවය කෙරෙහි තිබූ ආවේගශීලී ආකල්ප තව තවත් වැඩි කිරීමට මුල් විය. එයින් නොනැවතී, ජපනුන්ගෙන් පළිගැනීම සඳහා මෙතෙක් කිසිවෙක් නොසිතූ ආකාරයේ උපක්‍රම ගැන සිතීමට සමහර පුද්ගලයන් පෙළඹිණි. “වවුල් බෝම්බ ව්‍යාපෘතිය”, පසු කලෙක හැඳින්වූ පරිදි “Project X-Ray” නොහොත් එක්ස් කිරණ ව්‍යාපෘතිය, මෙසේ සිවිල් වැසියෙකුගේ මනසේ පහළ වූ අපූරු මෙන්ම විනාශකාරී අදහසකි.

අමුතුම තාලයේ අදහසක්

වවුලෙක් මත සවි කරන ලද කුඩා අත් බෝම්බයක් (Courtesy of www.theatlantic.com )

1941 වසරේ දෙසැම්බර් 7 වන දින ඒ අසුබ ආරංචිය ලැබෙද්දී වෛද්‍ය ලයිට්ල් එස්. ඇඩම්ස් සිටියේ නිව් මෙක්සිකෝවේ ප්‍රසිද්ධ කාල්ස්බෑඩ් ගුහාවන් හී විවේක කාලය ගතකරමිනි. වවුලන් ගැන විශේෂ උනන්දුවක් දැක්වූ මෙම පෙනිසිල්වේනියානු දන්ත වෛද්‍යවරයා හට වවුලන් මිලියනයකට අධික සංඛ්‍යාවකට නිවහන වූ මෙම ගුහා පද්ධතිය පාරාදීසයක් බඳු විය. වවුලන් අධ්‍යයනය කරමින් පසුවන අවස්ථාවක ඔහු සතු වූ රේඩියෝවෙන් පර්ල් වාරයට බෝම්බ හෙලීමේ පුවත කනවැකුණු අවස්ථාවේ පටන් ඔහුගේ අරමුණ වූයේ ජපනුන්ගෙන් පළිගැනීමට ක්‍රමයක් සොයාගැනීම යි.

ඉන් මසකට පසු ඇඩම්ස් විසින් ධවල මන්දිරය වෙත ලිපියක් යැවීමට යෙදිනි. එම ලිපියේ සඳහන් වූයේ තදාසන්න ජපන් නගර සහමුලින් විනාශ කිරීමට හැකියාවක් ඇති අපුරු බෝම්බ විශේෂයක් ගැන යි. එම ලිපියේ ඇඩම්ස් මෙසේ සඳහා කරයි: “කුඩා වවුලන් මඟින් ප්‍රවාහනය කෙරෙනා බෝම්බ මඟින් අපට ජපන් නගර පොළවට සමතලා කර දැමිය හැකි ය”.

ජපානයේ නගරයක හැම අස්සක් මුල්ලක් තුළටම ගොස් එකවර හැතැප්ම 40ක පමණ වපසරියක බෝම්බ පිපිරවීමට හැකි, සහ අධික දේපළ විනාශයක් සමඟින් අවම ජීවිත හානියක් සිදුවන උපායක් ලෙස ඇඩම්ස් ඔහුගේ අදහස විස්තරකොට තිබිණි.

ඇඩම්ස් විසින් කාල්ස්බෑඩ් ගුහාවන්හී දී අල්ලාගත් වවුලන් කිහිපදෙනෙක් ඔහු සතු විය. ඔවුන් දෙස හොඳින් අවධානය යොමු කළ විට, වවුලන් යනු ඉහළ උසකින්, දිගු දුර පියාසර කළ හැකි, සහ තම ශරීරයේ බරට වඩා වැඩි බරක් උසුලාගෙන යා හැකි යුධ උපකරණ බව ඇඩම්ස් හට පසක් විය. විශේෂයෙන්ම කාල බෝම්බ ප්‍රවාහනය සඳහා මාධ්‍යයක් වශයෙන් වවුලන් යොදාගත හැකි බව ඔහුට වැටහිණි. ඔහුගේ අදහස රැගත් ලිපිය නිසැකවම එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් අතට පත්වන බව තහවුරු කෙරුණේ ඇඩම්ස් සහ රූස්වෙල්ට් ආර්යාව අතර පැවති මිත්‍රත්වය හරහා යි. අවසානයේ ජනාධිපතිවරයා විසින් ඇඩම්ස්ව එවකට බුද්ධි අංශ ප්‍රධානියා වූ කර්නල් විලියම් ජේ. ඩොනෝවන් වෙත යොමු කරන්නේ කර්නල් වෙත ලියන ලද ලිපියක් ද සමඟිනි. එහි සඳහන් වූයේ “මේ පුද්ගලයා පිස්සෙක් නොවේ. මෙහි සඳහන් අදහස විකාරරූපි වුවත් කියවා බැලීම වටින” බව යි.

අවසානයේ දන්ත වෛද්‍යවරයෙකුගේ බැලූ බැල්මට “පිස්සු” අදහසක්, ඇමරිකානු රජයේ පර්යේෂණ ව්‍යාපෘතියක් බවට පත්විය.

අදහස ක්‍රියාවට නැංවීම

ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් ඇඩම්ස්ගේ ලිපිය අනුමත කරමින් (Courtesy of www.atlasobscura.com )

එතනින් පසු උදාවූයේ ව්‍යාපෘතියේ පළමු අදියර පර්යේෂණ සිදුකිරීමේ කාලය යි. මේ සඳහා සහයට විද්‍යාඥයින් කණ්ඩායමක් තෝරාගැනීමට ඇඩම්ස් හට සිදුවිය. වවුලන්, තල්මසුන් වැනි සතුන්ගේ ස්වභාවිකව පිහිටා ඇති අතිධ්වනි තරංග ග්‍රහණය කරගැනීමේ හැකියාව පිළිබඳ ලොවට හෙළිකළ ඩොනල්ඩ් ආර්. ග්‍රිෆින් ඇතුළුව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥයින් පිරිසක් ඇඩම්ස්ගේ පර්යේෂණ කණ්ඩායමට ඇතුළත් විය. මෙම කණ්ඩායම විසින් ගල් ලෙන් දහසක් මෙන්ම පතල් තුන් දහසක පමණ ලැගුම්ගෙන සිටි වවුලන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, තම පර්ය්ෂණය සඳහා මෙක්සිකානු නිදහස් අවර වවුලා (Mexican Free-Tailed Bat) තෝරාගති. එම වර්ගය තෝරාගැනීමට හේතුපාදක වූයේ ඔවුන් ශක්තිමත්, සහ විශේෂයෙන්ම ඉතා සුලභ වවුල් විශේෂයක් වන නිසා ය. ඇඩම්ස් ඇතුළු කණ්ඩායම විසින් ටෙක්සාස් හී පිහිටි ලෙනක් තුලින් අල්ලාගත් සියගණනක් වූ මෙක්සිකානු නිදහස් අවර වවුලන්, ශීතකළ ට්‍රක් රථ වල බහා වොෂිංටනය වෙත යැවූහ.

වොෂිංටනය වෙත රැගෙන ආ වවුලන් යොදාගෙන බෝම්බයක ආකෘතියක් ප්‍රවාහනය කරන ආකාරය ආදර්ශනය කර පෙන්වීමෙන් පසු ඇඩම්ස්ගේ පර්යේෂණය දිගටම කරගෙනයාම සඳහා 1943 වර්ෂයේ මාර්තු මාසයේදී ඇමරිකානු ගුවන් හමුදාව විසින් නිළ වශයෙන් අවසර දෙන ලදී. මෙය එතැන්සිට එක්ස් කිරණ ව්‍යාපෘතිය (Project X-Ray) ලෙසින් හැඳින්විණි.

වවුල් බෝම්බයේ ක්‍රියාකාරීත්වය

වවුල් බෝම්බයක ක්‍රියාකාරීත්වය (Lakna Marasinghe)

බැලූ බැල්මට සරල ලෙස පෙනුණත්, වවුලන් ලවා බෝම්බ ප්‍රවාහනය කිරීම ගැටළු රාශියකට තුඩු දුන් අදහසක් විය. වවුලන්ගේ ශරීරයේ සවිකරන බෝම්බය ඉතා කුඩා ප්‍රමාණයේ එකක් විය යුතුව තිබුණු අතරම, එය වවුලන් උඩුගුවනේ මුදාහැරි තැන සිට නගරයේ ඇති ගොඩනැගිලි වල ඔවුන් ලැගුම් ගන්නා මොහොත වන තෙක් වායුගෝලයේ ඔක්සිජන් හා ක්‍රියා නොකර තිබිය යුතු විය. තව ද පොස්පරස් වැනි වාෂ්පශීලී ක්‍රියාකාරී ද්‍රව්‍ය යොදාගැනීමට නොහැකි වූයේ ඒවා ඔක්සිජන් සමඟින් ක්‍රියාකර වවුලන්ගේ ශ්වසනයට බාධා එල්ල කරන බැවිනි. මෙයින් කුඩා බෝම්බ නිර්මාණය කිරීමේ රාජකාරිය භාර වූයේ ආචාර්ය ලුවිස් ෆයිසර් වෙත යි.

ඔහු මෙම අභියෝගය සාර්ථකව ජයගන්නේ නෙපාම් බෝම්බය නිපදවීමෙනි. අවුන්සයකට වඩා බරින් අඩු වූ නයිට්‍රෝසෙලියුලෝස් නම් ද්‍රව්‍යයෙන් සාදන ලද කුඩා කැප්සියුල තුළ භූමිතෙල් ඇසිරිමෙන් මෙම බෝම්බය නිෂ්පාදනය කෙරිණි. වවුලන් උඩුගුවනේ සිට මුදාහැරි මොහොතේ සිට ගොඩනැගිලි වෙත ළඟාවන තෙක් බෝම්බය පිපිරීයාම වැළක්වීම සඳහා කාලය පමාකරන විලායකයක් සහිත වූ බෝම්බය, වවුලන්ගේ යටිබඩ ප්‍රදේශයට සවි කරනු ලැබූයේ ශල්‍යකර්ම වල දී යොදාගනු ලබන කුඩා පින් එකක් භාවිතයෙනි. ඉන්පසු මතු වූ ගැටළුව නම් බෝම්බ සවිකළ වවුලන් දහස් ගණනක් උඩුගුවනට රැගෙන යන්නේ කෙසේ ද යන්න යි. වවුලන් අතරමග දී පියැඹීමට ඉඩ තිබූ අතර එසේ වූවා නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි.

එම ගැටළුවටත් අපූරු විසඳුමක් ඉදිරිපත් කිරීමට ඇඩම්ස් සමත් විය. වවුලන් දහස් ගණනක් එකවිට ගාල් කළහැකි විශාල “වවුල් බෝම්බය” ලොවට හඳුන්වා දෙනු ලැබූයේ එලෙස යි. එහි ක්‍රියාකාරීත්වය මෙසේ යි. පළමුව වවුලකුගේ ශරීර ප්‍රමාණයේ කුඩා සිදුරු සහිත තැටි සාදනු ලැබිණි. මෙම එක් තැටියක බෝම්බ සවිකරන ලද වවුලන් 40ක් අඩුක්කළ හැකි විය. පර්යේෂකයන් විසින් ප්‍රථමයෙන් වවුලන් එක බැගින් ගෙන ශරීරයේ බෝම්බය රඳවා, එම වවුලන් දෙවනුව තැටි මත ඇති සිදුරු තුළ ගාල් කරනු ලැබිණි. එසේ වවුලන් සහිත තැටි 26ක් එකට සවිකොට, එය මතුපිටින් සාමාන්‍ය බෝම්බයක් ලෙස පෙනෙන අඩි 5ක් දිග ලෝහ ඇසුරුමක බහාලන ලදී. එවිට එක් වවුල් බෝම්බයක් තුළ කුඩා බෝම්බ සවිකල වවුලන් 1040ක් අන්තර්ගත විය. මෙම බහාලනය අධි ශීතකරණයට ලක්කොට තිබුණේ වවුලන් ශිශිරතාරක නින්දට පත්කර, වවුලන් විසිරීයාම වලක්වාගැනීමට යි.

බෝම්බය ජපානයට අඩි 5000 ඉහළ අහසේ දී අත්හල විට එය පැරෂුටයක් ආධාරයෙන් අඩි 1000 දක්වා පහළට ගමන් කරයි. එතැන්සිට එහි බාහිර ඇසුරුම බෝම්බයෙන් වෙන්වී ගොස් එකිනෙකට ඉතා සමීපව අසුරා තිබූ තැටි දිගහැරී, ඉහළ තැටියේ අඩුක්කර සිටි වවුලන් පහළ තැටියට වැටේ. එම තිගැස්මට මෙතෙක් වෙලා නිදාසිටි වවුලන් ඇහැරී පියඹා යාමට උත්සහ කරයි. වවුලන්ගේ උදරයේ සවිකොට ඇති බෝම්බයේ ආරක්ෂක කොපුව සියුම් කම්බියක් මගින් තැටියට සවිකොට තිබූ අතර වවුලන් පියඹා යද්දී මෙම කම්බිය ගැස්සී ආරක්ෂක කොපුව ගැලවේ. එතැන්සිට බෝම්බය පිපිරීමට වේලාව ගණන් කෙරෙනු ඇත. මෙහිදී බෝම්බය පිපිරීමට පෙර වවුලන් හට අඩි 1000ක් ඉහළ සිට ගොඩනැගිලි පවතින බිම් මට්ටම දක්වා යාමට විනාඩි 30ක කාලයක් ලබා දී තිබිණි.

අවාසනාවන්ත අනතුර

අත්වැරදීමකින් හමුදා කඳවුරේ ඇතිවූ ගින්න (Courtesy of www.atlasobscura.com )

ඇමරිකාවේ යුටා ප්‍රාන්තයේ ඉදිකරන ලද ජපන් නගරයක අනුරුවක් මත මෙම බෝම්බය අතහදා බැලුනු අතර, එහි දී උපරිම සාර්ථකත්වයක් සහිතව බෝම්බය ක්‍රියාත්මක විය. නමුත් පර්යේෂණය සිදු කරන කාලයේ එක් අවස්ථාවක මෙසේ ගාල් කරන ලද වවුලන් සමූහයක් අත්වැරදීමකින් මුදාහැරීම නිසා මුළු ඇමරිකානු හමුදා පර්යේෂණ මධ්‍යස්ථානයක්ම ගිනිගන්නා ලදී. කෙසේ නමුත් වසර ගණනක අත්හදාබැලීම් සහ ඩොලර් මිලියන 2කට වඩා වැයකිරීමෙන් අනතුරුව 1944 වසරේ දී එක්වරම මෙම ව්‍යාපෘතියට වෙන් කළ මුදල් කප්පාදු කර, එය නවතා දමන ලදී.

ඒ එදා මෙදාතුර ලොව තුළ බිහිවූ දරුණුතම යුධ උපක්‍රමය වූ පරමාණු බෝම්බය වෙනුවෙන් කළ පර්යේෂණ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීම සඳහාය.

PIC 6: වවුල් බෝම්බය අත්හදාබැලිම (Courtesy of www.theatlantic.com )

Video: වවුල් බෝම්බය පිලිබඳ ඉතිහාස පුවත

http://www.military.com/video/ammunition-and-explosives/napalm-bombs/weird-world-war-ii-bat-bomb/661784581001

මෙම ලිපියට පාදක වූ තොරතුරු ලබාගත්තේ www.atlasobscura.com අඩවියේ The Almost Perfect World War II Plot To Bomb Japan With Bats නම් ලිපියෙන් සහ www.theatlantic.com අඩවියේ Old, Weird Tech  The Bat Bombs of World War II යන ලිපි වලිනි.

Related Articles

Exit mobile version