බටහිර ජනශ්‍රැතීන් හි ප්‍රකට චරිතයක් වන ‘නරවෘකයා’ පිළිබඳ පුරාවෘත්තයන් කලඑළි බැසීම ඇරඹුණේ කුමන කාල වකවානුවක් තුළ දී දැ යි නිශ්චිත ව සඳහන් කිරීමට නොහැකි වුව ද ලොව පුරා බොහෝමයක් මිථ්‍යා කථාන්තරයන්ට පදනම සැපයීමට නරවෘක ජනප්‍රවාදයන්ට හැකි වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. සමහර පුරාවෘත්තයන්ට අනුව කුරිරු වෘකයෙකුගේ ස්වරූපය ගත හැකි මනුෂ්‍යයින් නරවෘකයන් ලෙස සැලකෙනවා. නමුත් ඇතැම් ජනශ්‍රැතීන් හි නරවෘකයන් ලෙස හඳුන්වන්නේ මනුෂ්‍යයෙකු සහ වෘකයෙකු අතර ඇති වූ විකෘති සංයෝගයක්. කෙසේ වුව ද ජනප්‍රවාදයේ සඳහන් වන නරවෘකයින් සෑම දෙනෙකු ම ලේ පිපාසය සංසිඳුවා ගැනීම උදෙසා මනුෂ්‍ය (සහ සත්ත්ව) ඝාතනයේ යෙදුණු බවට සැකයක් නැහැ.
මෙසපොටේමියාවෙන් ඇරඹි නරවෘක ප්‍රවාදයන්
යුරෝපා රාජ්‍යයන් හි නරවෘකයින් ගැන කියැවෙන කථාන්තරයන් වඩාත් ප්‍රචලිත වුණේ මධ්‍යතන යුගයේ දී වුව ද, නරවෘකයින් පිළිබඳ ව මුල්වරට වාර්තා වන්නේ පුරාණ මෙසපොටේමියාවෙන්. ක්‍රි. පූ. 2,100 දී පමණ අකේඩියානු බසින් රචනා කරන ලද ‘ගිල්ගමේෂ්ගේ වීර කාව්‍ය’ නම් කවි ඇතුළත් මැටි පුවරුවල උරුක් නගරය පාලනය කළ ගිල්ගමේෂ් රජු විසින් ඔහුගේ සොඳුරු ප්‍රේමවන්තිය වූ ප්‍රේමයට, රාගයට සහ යුද්ධයට අධිපති ඉෂ්තාර් නම් දෙවඟන අත්හරින ලද බව සඳහන් වෙනවා. එයට හේතු වී ඇත්තේ ඇය විසින් ඇගේ පැරණි ප්‍රේමවන්තයා ව වෘකයෙකු බවට පත් කිරීම යි.
මෙසපොටේමියානු සාහිත්‍යයේ පමණක් නොව පුරාණ ග්‍රීක මිථ්‍යා ප්‍රවාදයන් හි ද නරවෘකයින්ට හිමි වී ඇත්තේ ඉහළ ස්ථානයක්. පේලස්ගියානුවන්ගේ පූර්වජයා ලෙස සැලකෙන පේලස්ගස්ගේ පුත්‍රයා වූ ආකේඩියාවේ ලයිකේයන් රජු පිළිබඳ ව ලියැ වී ඇති පුරාවෘත්තයන් හි සඳහන් වන ආකාරයට, ඔහු විසින් බිලි පූජාවක දී මරණයට පත් කරන ලද දරුවෙකුගේ මාංශ යොදාගනිමින් සකස් කරන ලද ආහාර වේලක් සියුස් දෙවිඳුන් වෙත පිළි ගැන්වීම හේතුවෙන් දැඩි සේ කෝපයට පත් වන සියුස් දෙවිඳුන්, ලයිකේයන් රජු සහ ඔහුගේ පුත්‍රයින් වෘකයන් බවට පත් කර තිබෙනවා. රෝම කිවිවර ඕවිඩ් විසින් ලතින් බසින් රචිත ‘මෙටමෝෆසීස්’ කාව්‍ය ග්‍රන්ථයේ පළමු වෙළුමේ සඳහන් වන්නේ ලයිකේයන් රජු වෘකයෙකු බවට පත් කිරීමෙන් නොනැවතුණු සියුස් දෙවිඳුන්, ඩියුකේලියන්ගේ ගංවතුර නිර්මාණ කිරීම තුළින් පෘථිවිය වැනසීමට කටයුතු කළ බව යි.
පුරාණ ස්කැන්ඩිනේවියානු ජනශ්‍රැතීන් හි ද නරවෘකයින් ගැන තොරතුරු සඳහන් වන අතර ඒ අතරින් 13 වැනි සියවසේ දී අයිස්ලන්ත බසින් රචනා කරන ලද ‘වෙල්සුංගා වෘත්තාන්තය’ නම් කථාන්තරයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. දින දහයක කාලයක් සඳහා මනුෂ්‍යයෙකු ව වෘකයෙකු බවට පත් කළ හැකි වෘක සම් පොදියක් සොයා ගත් පියෙකු සහ පුතෙකු ගැන තොරතුරු එහි සඳහන් වෙනවා. වෘක සම් පොරවාගෙන වෘකයින් බවට පත් වූ පියා සහ පුතා, දඩයම් චාරිකාවක් සඳහා වනාන්තරයට ගොස් ඇති අතර සැබෑ වෘකයන් මෙන් දරුණු වූ ඔවුන් එකිනෙකා සමග දබර කරගෙන තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ පියා අතින් පුතාට මරණීය තුවාල සිදු වීම යි. නමුත් කපුටෙකු විසින් රැගෙන එන ලද සුව කිරීමේ බලය සහිත පත්‍රයක් හේතුවෙන් වෘකයෙකු බවට පත් වූ පුතාට දිවි ගලවා ගැනීමට හැකි වූ බව යි වෙල්සුංගා වෘත්තාන්තයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.
ලෝක ඉතිහාසයේ ප්‍රකට නරවෘකයින්
මෙසේ සියවස් ගණනාවක් මුළුල්ලේ ඔප මට්ටම් වූ නරවෘක කථාන්තර ඉතිහාසය තුළ හමුවන ප්‍රකට නරවෘකයින් කිහිපදෙනෙකු ද සිටිනවා. ඒ අතරින් ප්‍රංශ ජාතික පියරේ බර්ගොට් සහ මිෂෙල් වර්ඩන්ගේ නාමයන් ඉහළින් ම වැජඹෙන බව පැවසීම වරදක් නොවෙයි. යක්ෂයා වෙනුවෙන් තම ආත්මයන් බිලි දුන් ඔවුන් දෙදෙනා සතු ව නරවෘකයන් බවට පත් විය හැකි අලේපයක් පැවතී ඇති අතර නිරන්තරයෙන් ම වෘක ස්වරූපයෙන් පසු වූ ඔවුන්, කාන්තාවන් සහ දරුවන් මරණයට පත් කර අමු මාංශ අනුභව කර තිබෙනවා. දැඩි ආයාසයන් යොදා පියරේ බර්ගොට් සහ මිෂෙල් වර්ඩන් ව අල්ලාගන්නා ලද ගම්වැසියන් විසින් ඔවුන් ව මරණයට පත් කර ඇත්තේ ගිනි තැබීම මඟින්.
16 වැනි සියවසේ දී ප්‍රංශයේ වාසය කළ ජයිල්ස් ගානියර් නම් තවුසා ද දරුවන් ගණනාවක් මරා දමා ඔවුන්ගේ මාංශ අනුභව කිරීම සඳහා ඇබ්බැහි වී සිටි දරුණු නරවෘකයෙකු බව යි වාර්තා වන්නේ. ප්‍රංශ ඉතිහාසයේ ඔහු ව හඳුන්වා ඇත්තේ ‘ඩෝල් හි නරවෘකයා’ නැතහොත් ‘ශාන්ත බෝනෙට් හි තවුසා’ ලෙස යි. මායාකර්මය සහ වෘකමානත්වය (lycanthropy) යන වැරදි සඳහා වැරදිකරු වූ ජයිල්ස් ගානියර් ව පණ පිටින් පිළිස්සීම මඟින් ප්‍රසිද්ධියේ මරණයට පත් කර තිබෙනවා.
ලෝක ඉතිහාසය සතු ප්‍රකට ම නරවෘකයා ලෙස ‘බෙඩ්බර්ග් හි නරවෘකයා’ හෙවත් පීටර් ස්ටම්ප් ව හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ජර්මානු ජාතික ධනවත් ගොවියෙකු වූ ඔහු රාත්‍රි කාලයේ දී නරවෘකයෙකු බවට පත් ව බෙඩ්බර්ග් හි ගම්වැසියන් මරා දැමීමට යොමු වී සිටි බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. එසේ ම මනුෂ්‍ය ස්වරූපයෙන් සිටි පීටර් ස්ටම්ප්, වෘකයෙකු බවට පත් වන අයුරු දුටු ගම්වැසියන් ද නැතුවා ම නොවෙයි. මනුෂ්‍යයෙකු වෘකයෙක් බවට පත් කළ හැකි මායාවී බඳපටියක් ඔහු සතු වූ බව ජනප්‍රවාදයේ සඳහන් වන අතර මායාකර්මය, මනුෂ්‍ය මාංශ අනුභවය සහ වෘකමානත්වය යන වැරදි සඳහා වැරදිකරු වූ පීටර් ස්ටම්ප් ව මරණය පත් කර ඇත්තේ ඛණ්ඩන රෝදයේ උපකාරයෙන් (මෙහි දී දැවමය රෝදයක් ආධාරයෙන් අපරාධකරුගේ අස්ථි ඛණ්ඩනය කිරීමෙන් මරණයට පත් කිරීම සිදු කරනවා).
නරවෘකයින් සත්‍ය වශයෙන් ම සිටිනවා ද?
පුරාවෘත්තයන්ට අනුව මනුෂ්‍යයෙකු නරවෘකයෙක් බවට පත් වන ආකාර කිහිපයක් පවතිනවා. ඒ අනුව ශාපයක් හේතුවෙන්, වෘක සමක් පැළඳීම මඟින් හෝ වෙනත් නරවෘකයෙකු සපා කෑම මඟින් සාමාන්‍ය පුද්ගලයෙකු නරවෘකයෙක් බවට පත් විය හැකි බව යි ජනශ්‍රැතීන් හි සඳහන් වන්නේ. නමුත් වෘකමානත්වය යන සංකල්පය වෛද්‍ය විද්‍යාත්මක ව පැහැදිලි කළ හැකි ආකාරයන් ද පවතිනවා. ‘සායනික වෘකමානත්වය’ නම් මානසික රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්, තමන්ට වෘකයෙකු බවට පත් විය හැකි බව සහ තමන් වෘකයෙකු බවට පත් වී ඇති බව විශ්වාස කරනවා. එසේ ම ‘හයිපට්‍රයිනෝසිස්’ නම් රෝගී තත්ත්ව ඇති පුද්ගලයෙකුගේ රෝම වර්ධනය, සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා අතිශය ඉහළ සහ වේගවත් වන අතර බැලූ බැල්මට ඔවුන් දිස්වන්නේ වන සතුන් ලෙස යි. මේ හේතුවෙන් පුරාණ මිනිසුන්, ‘හයිපට්‍රයිනෝසිස්’ රෝගී තත්ත්ව පීඩා විඳින පුද්ගලයින් ව නරවෘකයින් ලෙස වරදා වටහා ගන්නට ඇති බවට සාධාරණ ව නිගමනය කිරීමේ වරදක් නොමැති බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ.
කවරයේ පින්තූරය: © WallpaperMaiden