පසුගිය වසර දෙකක කාලය තුළ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකය ම කම්කටළු රාශියකට ලක් වුණා. වසංගතය නිසා ලොව පුරා ලක්ෂ ගණනන් මිනිසුන් මිය යන විට, රැකියා අහිමි වීම, සමීපතමයන් අහිමි වීම, ආහාර හා ජලය අහිමි වීම සහ සනීපාරක්ෂාව අහිමි වීම වැනි කාරණා නිසා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉතා අසීරු අඩියකට වැටුණා. මේ නිසා ඒ පුද්ගලයන් හට තවකෙකුගේ සහාය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වුණා.
එවන් තත්ත්වයක් ලොව පවතින විට, සමහරෙක් පරාර්ථකාමී සිත් ඇති ව, තම පෙදෙසේ වූ අසරණ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා බොහෝ දෙනකුගේ දිවි රැකුණා. ඔවුන් වත්මන් වීරවරයන් ලෙස සැලකිය යුතු වුව ද අද වන තුරුත් ඔවුන් පිළිබඳ ලෝකයේ අවධානය නිසි පරිදි යොමු වී නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් වෙත අවසානයේ අවධානය යොමු කළේ, එය සිදු විය යුතු ම කාර්යයක් වූ නිසා යි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා කිහිප දෙනෙක් ‘කොවිඩ් සමයේ වීරවරයන් සහ වීරවරියන්’ ලෙස හඳුනා ගෙන තිබෙනවා.
ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතයෙන් එන්නත්කරණය සඳහා ජනතාව දිරිගැන් වූ උගන්ඩා කත – ජුඩිත් කන්ඩිරු
උගන්ඩා ජාතික ජුඩිත් කන්ඩිරු කුඩා කල සිට ම ආසාවෙන් පසු වූයේ හෙද නිලධාරිණියක වන්නට යි. හෙදියකගේ ඇඳුමට මුලදී ආසා කළ ද, පසුකාලීන ව ඇය එම වෘත්තියට වඩ වඩාත් පෙම් බඳින්නට පටන්ගත්තේ හෙදියන් සිදු කරන සමාජ මෙහෙවර පිළිබඳ ප්‍රත්‍යක්ෂ කරගැනීම නිසා යි. වැඩි වියට පැමිණෙත් ම සිය ආසාව යථාර්ථයක් බවට පත් කරගත් ඇය සෞඛ්‍ය සේවිකාවක් බවට පත් වුණා.
කොවිඩ් වසංගතය උගන්ඩාව ම වෙලා ගනිද්දී, එහි අමිහිරි අත්දැකීම් විඳින්නට ජුඩිත්ටත් සිදු වුණා. ඒ ඇය ඇතුළු පවුලේ සාමාජිකයින් සියල්ල ම පාහේ කොවිඩ් වැලඳී තදබල ලෙස රෝගාතුර වීම නිසා යි. යාන්තම් සුවය ලද විගස ම ඇය සේවයට වාර්තා කළේ ඒ වන විට ඇය ජීවත් වන උතුරු උගන්ඩාවේ යොම්බේ පළාත දැඩි ලෙස කොරෝනාවෙන් බැට කමින් සිටි බැවිනු යි. දකුණු සුඩාන දේශසීමාවට ආසන්න, අඩු පහසුකම් සහිත පළාතක් වන යුම්බේ හි, එවක කඩිසර මෙන් ම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවිකාවන්ගේ අඩුවක් ද තිබූ නිසා, සිය දිවි හිමියෙන් තම ජනතාව වෙනුවෙන් කැප වන්නට ඇය තීරණය කර තිබුණා.
උදෑසන ම ඇය යුනිසෙෆ් මගින් අනුග්‍රහය දැක්වූ, ළදරුවන්ගේ සහ ගැබිණි මවුවරුන්ගේ සායනයට යන අතර, කොවිඩ් වැලඳුණු දරුවන් සහ මවුවරුන්ට ප්‍රතිකාර කිරීමට දායක වුණා. ඒ ඇගේ සාමාන්‍ය දිනයක ආරම්භය පමණ යි.
සායනයෙන් අනතුරු ව ශබ්ද විකාශන යන්ත්‍රයක් සියතට ගන්නා ජුඩිත් යතුරුපැදියක නැඟී, ප්‍රදේශයේ ගම් නියම් ගම් පීරමින් සිය ජනතාවට එන්නත්කරණයේ වැදගත්කම පැහැදිලි කිරීම සිදු කළා. සාමාන්‍යයෙන් අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත එම පෙදෙසේ ජනතාව ඇයගේ මේ පැහැදිලි කිරීම් අනුව යමින් කොවිඩ් එන්නත ලබා ගත් අතර, මේ නිසා එහි මරණ රාශියක් වැලකී ගියා.
එන්නත් පිට දරා ගිරි ශිඛර තරණය කළ නේපාල කාන්තාව – බිර්මා කුන්වාර්
නේපාලය ඉතා දුෂ්කර පෙදෙස්වලින් ගහන කඳුකරයක් සහිත රටක්. එම පෙදෙස්වලට ගමනාගමන පහසුකම් සපයා ගැනීම පවා ඉතා අසීරු කර්තව්‍යයක් වෙනවා. මේ නිසා කොවිඩ් වසංගත සමයේ දී, මේ දුෂ්කර පෙදෙස්වලට අවශ්‍ය එන්නත් වැනි දේ නිසි කලට වේලාවට සැපයීම ද දුෂ්කර කාර්යයක් වුණා.
බිර්මා කුන්වාර් නේපාලයේ බටහිරදිග දිස්ත්‍රික්ක්කයක් වන ධර්චුලා හි වෙසෙන තැනත්තියක්. දුෂ්කර කඳුකර පෙදෙසක් වන මෙහි සමහර ස්ථානවලට, වසරේ සමහර කාලවල කිසි ලෙසකින් වාහන මඟින් ගමන් කළ නොහැකි යි. පා ගමනින් එහි ළඟා වීම හැර වෙනත් ප්‍රායෝගික විකල්පයක් නැහැ. කොවිඩ් වසංගතය පැමිණි විට බිර්මා කුන්වාර් එම පෙදෙස්වල වෙසෙන්නන් වෙනුවෙන් ඉදිරිපත් වී ආහාර වැනි දේ පිටෙහි රුවා ගෙන රැගෙන ගිය අතර, කොවිඩ් එන්නත් කරළියට පැමිණි විට ඇය කිසිදු පැකිළීමකින් තොරව ඒවා ද සිය බෑගයේ හොවාගෙන උස් කඳුකර පෙදෙස්වලට රැගෙන ගියා.
බිර්මා කොවිඩ් වසංගතයට පෙර ද මෙලෙස පා ගමනින් එන්නත් රැගෙන ගොස් තිබෙනවා. ඒ පෙදෙස්වල ළමයින්ට අවශ්‍ය එන්නත් ඇය එලෙස රැගෙන ගොස් තිබුණා. වැසි සමය එළැඹි විට නේපාලයේ ඇති වන කටුක පරිසර තත්ත්ව විඳ දරා ගනිමින් ඇය මෙම කර්තව්‍යය සිදු කළා. ඇය බිර්මා ධර්චුලා හි කලංගා නුවර සිට, ‘දුහුන්’ ගමානයේ ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත මෙලෙස එන්නත් රැගෙන එනවා. මේ සඳහා ඇයට පා ගමනින් පැය තුන හතරක් ගමන් කරන්නට සිදු වුණා.
ආරක්ෂිත ලෙස අත් සේදීමට නව නිර්මාණයක් නිපැයූ ටැන්සානියානු තරුණයා – එමානුවෙල් කොස්මොස් ම්සොකා
18 හැවිරිදි ටැන්සානියා තරුණයෙක් වන එමානුවෙල් කොස්මොස් ම්සොකා ස්මාජ ක්‍රියාකාරිකයෙක් මෙන් ම නව නිපැයුම්කරුවෙක් ද වෙනවා. කොවිඩ් වසංගතය ටැන්සානියාවේ පැතිර යන විට, ඔහු ඉතා ආරක්ෂිතව දෑත් සේදිය හැකි ඇටවුමක් නිර්මාණය කළා.
එමානුවෙල් ගේ උපන් ගම පිහිටා ඇත්තේ අප්‍රිකාවේ උස ම කඳු මුදුන වන කිලිමන්ජාරෝ හි පාමුල යි. කිලිමන්ජාරෝ ටැන්සානියාවේ හිම සහ අයිස් පතිත වන එක ම ස්ථානය වෙනවා. පහසුකම් අඩු එම පෙදෙසට කොරෝනා වසංගතය පැමිණි විට එහි වෙසෙන්නන්ට අපහසුකම් රාශියකට මුහුණපාන්නට සිදු වූවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුබද්ධ යුනිසෙෆ් ආයතනය ද එම පෙදෙසට පැමිණියේ ඔවුනට උපකාර කිරීමේ අටියෙනු යි. මෙම තත්ත්වය ටැන්සානියවේ බොහෝ පෙදෙස්වලට පොදු වූ කරුණක් වූ අතර, යුනිසෙෆ් කණ්ඩායම කොරෝනාව සඳහ සටන් වදින්නට එරට තරුණ කණ්ඩායම්වලට ආරාධනා කළා. එලෙස ඉදිරිපත් වූවන් අතර එමානුවෙල් ද වුණා.
එමානුවෙල් තැනූ පාදයෙන් ක්‍රියා කරවිය හැකි අත් සෝදන යන්ත්‍රය යුනිසෙෆ් කණ්ඩායමේ අගය කිරීමට බඳුන් වුණා. ඔවුන්ගේ අනුග්‍රහයෙන් ඔහු එවැනි යන්ත්‍ර නිපදවා ටැන්සානියාව පුරා ආරක්ෂිත අත් සේදීමේ මධ්‍යස්ථාන 400ක් පමණ ඇති කළා. එමඟින් ඒ ඒ පෙදෙස්වල රෝගය පැතිරීම සෑහෙන තරමකින් පාලනය වුණා.
එමානුවෙල්ගේ ක්‍රියාකාරකම් නිසා ඔහු යුනිසෙෆ් සංවිධානයේ ටැන්සානියානු යෞවන උපදේශකවරයෙක් බවට පත් කළ අතර, ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගයටත් නිර්දේශ වුණා. මෙම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරක ම, ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ දරුවකුට ලබා දෙනවා.
සිය පවුල රැකබලාගන්නා ඉන්දුනීසියානු දැරිය – කේෂා
ඉන්දුනීසියාවේ වෙසෙන 14 හැවිරිදි කේෂා ගේ මව කොවිඩ් රෝගයට ගොදුරු වී මිය ගියා. ආපනශාලාවක සේවය කළ ඇගේ මව, රෝගය වැලඳෙන විට දැඩි විඩාවට පත් වී සිටි බැවින්, ඇගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට එය සමඟ සටන් කිරීමට නොහැකි වුණා.
කේෂාගේ මවගේ මරණයත් සමඟ පවුලේ වැඩි බරක් ඇය වෙත වැටුණා. ඇගේ හත් හැවිරිදි සොයුරිය නිතර ම සිය මව ගැන කල්පනා කරමින් සිටියේ අගේ අධ්‍යාපනය ද අඩපණ කරගනිමින්. සුළු රැකියාවක් කළ කේෂා ගේ පියාට ද තනිව ම සිය පවුල නඩත්තු කිරීමේ ආර්ථ්ක හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා ඇය වෘත්තීය අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වන්නට සිතුවා. ඒ රැකියාවක් ඉක්මනින් සොයා ගෙන සිය පියා හට උදව් කිරීමේ අටියෙනු යි.
අද වන විට කේෂා වෘත්තීය අධ්‍යාපනය ලබනවා. සිය සොයුරියන් ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවත්,පියා ගැනත් සොයා බලනවා. ඇයට යුනිසෙෆ් වෙතින් ආධාර ලැබෙන අතර, එලෙස ආධාර ලබන,කොවිඩ් හේතුවෙන් සිය මව් පියන් අහිමි වූ දහස් ගණනක් ඉන්දුනීසියාවේ වෙසෙනවා. ඒ සියල්ලට ම ආදර්ශයක් වෙමින් කේෂා හුදෙක් යුනිසෙෆ් ආධාර මත පමණක් යැපෙන්නේ නැහැ. ඇය තනිව ම නැඟී සිටින්නට උත්සාහ දරන්නේ සිය පවුලත් නඟා සිටුවමිනු යි.