Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 6- විනෝදන් ජෝන්

1982-1987 කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ විනෝදන් ජෝන් ප්‍රසිද්ධව සිටියේ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස යි. ඉතාමත් කෙටි කලක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි ජෝන් එම කාල සමය තුළ පන්දු යවන්නෙකු ලෙස සිය උපරිමය කණ්ඩායම වෙනුවෙන් ඉටු කළා. එම නිසාම ශ්‍රී ලංකාව තුළ පැවති ටෙස්ට් තරගයක දී ඉනිමක කඩුලු 5ක් ලබාගත් මුල්ම ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසින් ජෝන් වාර්තා අතරට එකතු වුණා. 

විනෝදන් ජෝන්ගේ ටෙස්ට් දිවියේ මතක සටහන් 

ටෙස්ට් තරග 6ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ විනෝදන් ජෝන්, පන්දුවාර 213.3ක් යවමින් කඩුලු 28ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී 2 වරක් ඉනිමක දී කඩුලු 5 බැගින් දවාගත් ජෝන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 60කට කඩුලු 5ක් ලබාගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යි. එලෙස ජෝන් කඩුලු 28ක් ලබාගැනීමේ දී සෑම ඉනිමකම අවම වශයෙන් කඩුලු 1ක් හෝ ලබාගෙන තිබීම සුවිශේෂී සිදුවීමක් ලෙසින් දැක්විය හැකියි.

ජෝන් සිය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගී වුණේ 1983 වසරේ දී යි 

1982 වසරේ අග භාගයේ දී එවකට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුර ඇතුළු පිරිසක් තහනම් දකුණු අප්‍රිකානු සංචාරයක නිරත වුණා. එම නිසාම බන්දුල වර්ණපුර ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් දීර්ඝ තරග තහනමකට ලක් වුණා. එම සිදුවීම වී මාස කිහිපයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ සංචාරය කළා. එම තරගාවලිය යටතේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් හිමිකර ගත් ජෝන්, එහි දී ලකුණු 45කට කඩුලු 2ක් දවාගත්තා.

ජෝන් පන්දුවෙන් දස්කම් දැක්වූ ටෙස්ට් තරග 

විනෝදන් ජෝන් සිය ටෙස්ට් දිවිය තුළ අවස්ථා 2ක දී කඩුලු 5 බැගින් දවාගෙන තිබෙනවා. එහි දී ජෝන්  අවස්ථා 2 දී ම එම දස්කම දක්වා තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යි. 

නවසීලන්තයට එරෙහිව 60/5 දවාගත්තේ 1983 වසරේ දී යි 

1983 වසරේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය ක්‍රියාත්මක වුණේ වෙලිංටන් නුවර, බේසින් රිසව් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 240ක් පමණ යි. ඉන්පසුව, සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වුණු නිසා සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 201ක් පමණ යි. එහි දී මනරම් පන්දු යැවීමක නිරත වුණු ජෝන්, කඩුලු 5ක් දවාගත්තේ ලකුණු 60ක් පමණක් ලබාදෙමින්. එම ඉනිමේ දී ජෝන් ලබාගත් කඩුලු 4ක ම උඩපන්දු රැකගත්තේ යොහාන් ගුණසේකර යි. එය ටෙස්ට් ඉනිමක ශ්‍රී ලංකා පන්දු රකින්නෙකු උඩපන්දු 4ක් ලබාගත් මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක් වුණා. 

ජෝන් සුපිරි දස්කම් දැක්වූ 1984 සිංහ-කිවි ටෙස්ට් තරගාවලිය

1984 වසරේ පැවති ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලිය විනෝදන් ජෝන්ට සුවිශේෂී තරගාවලියක් වුණා. එහි දී සිය උපරිම දස්කම් අතරට පැමිණි ජෝන් කඩුලු 16ක් ලබාගත්තේ රිචඩ් හැඩ්ලිට පමණක් දෙවැනි වෙමින්. එම තරගාවලිය තුළ ජෝන් පන්දුවෙන් දැක්වූ දස්කම් සටහන් වුණේ මෙසේ යි.

අස්ගිරිය ටෙස්ට් තරගය- පළමු ඉනිම- 86/5 (29.1)

                                  දෙවැනි ඉනිම- 73/3 (17.5)

SSC ටෙස්ට් තරගය- පළමු ඉනිම- 89/3 (24)

                              දෙවැනි ඉනිම- 26/2 (21)

CCC ටෙස්ට් තරගය- පළමු ඉනිම- 99/3 (37)                       

ලෝඩ්ස් පිටියේ දී ඔහු දස්කම් අතරට පැමිණියා 

1984 වසරේ දී ලෝඩ්ස් පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය විනෝදන් ජෝන් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගය වුණා. එම තරගයේ දී එංගලන්ත පළමු ඉනිම ලකුණු 370කට සීමා කිරීම සඳහා පන්දුවෙන් දායකත්වය ලබාදුන් මෙම පන්දු යවන්නා කඩුලු 4ක් දවාගත්තේ ලකුණු 98ක් පමණක් ලබාදෙමින්. 

විනෝදන් ජෝන්ගේ එක්දින දිවියේ මතක සටහන් 

එක්දින තරග 45ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ විනෝදන් ජෝන් පන්දුවාර 385.1ක් යවමින් කඩුලු 34ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා. එහි දී 3 වරක් ඉනිමක දී කඩුලු 3 බැගින් දවාගත් ජෝන්, සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 28කට කඩුලු 3ක් ලබාගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව යි. 

ජෝන් සිය මංගල එක්දින තරගය සඳහා සහභාගී වුණේ 1982 වසරේ දී යි 

1982 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය යටතේ පැවති පළමු තරගයේ දී විනෝදන් ජෝන්ට එක්දින වරම් හිමි වුණා. එම තරගයේ දී පන්දුවාර 9ක් යවමින් ලකුණු 44ක් ලබාදුන් මෙම පන්දු යවන්නා සිය මංගල එක්දින කඩුල්ල ලෙසින් මොහින්දර් අමර්නාත්ව දවාගැනීමට සමත් වුණා. 

ජෝන් පන්දුවෙන් දස්කම් දැක්වූ එක්දින තරග 

විනෝදන් ජෝන් සිය ටෙස්ට් දිවිය තුළ දී මෙන්ම එක්දින දිවිය තුළ දීත් කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායම හමුවේ යි. එම නිසාම ඔහු එක්දින පිටියේ වාර්තා කළ හොඳම පන්දු යැවීම් තුනම සටහන් වී තිබෙන්නේ නවසීලන්තයට එරෙහිව පැවති තරගවල දී යි.

නවසීලන්ත බිමේ දී වාර්තා වුණු ජෝන්ගේ හොඳම එක්දින පන්දු යැවීම 

1983 ශ්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ඩනිඩීන් නුවර දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලබාගත්තේ ලකුණු 183ක් පමණ යි. එහි දී මනරම් පන්දු යැවීමක නිරත වුණු ජෝන් ලකුණු 28කට කඩුලු 3ක් දවාගත්තේ නිලකුණු පන්දුවාර 4ක් යවමින්.

කිවියන්ට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ තවත් තරග 2ක් 

1984 ශ්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගාවලිය යටතේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි වුණා. එහි දී ශ්‍රී ලංකා ජයග්‍රහණයට පන්දුවෙන් දායක වුණු ජෝන්, කඩුලු 3ක් දවාගත්තේ ලකුණු 39ක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින්. 1985 බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය ක්‍රියාත්මක වුණේ මෙල්බර්න් පිටියේ දී යි. එම තරගයේ දී නවසීලන්ත පිතිකරුවන්ට එරෙහිව ප්‍රබල පන්දු යැවීමක නිරත වුණු ජෝන්, ලකුණු 29කට කඩුලු 3ක් ලබාගැනීමට සමත් වුණා. 

විනෝදන් ජෝන් ඉතාමත් කෙටි කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළත්, එම කාල සමය තුළ සැලකිය යුතු තරම් දස්කම් පෙන්වීමට සමත් වුණා. එම නිසාම ඔහු කළ මෙහෙය පැරණි ක්‍රිකට් රසිකයන්ගේ මතකයේ රැඳී තිබෙන බවට සැකයක් නැහැ. 

කවරයේ ඡායාරූපය- විනෝදන් ජෝන් (gettyimages)

Related Articles