1980 වසරේ සිට මේ දක්වා රැකවලෙහි සිටිද්දී උපත ලබා ඇති අලි පැටවුන් ගණන අතොලොස්සක් වුවද (පින්නවල අලි අනාථාගාරයේ ඉපදෙන අලි පැටවුන්ට ගණනයට නොගෙන), වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචි වන අලි පැටවුන් ගණන නම් පුදුමයකට මෙන් ඉහළ ගොස් තිබේ. කණගාටුවට හේතුවක් වන්නේ මෙම කෘර ජාවාරමට අනුමැතිය සහ අවසරය ලබා දෙන්නේ රජයේ ඉහළ තනතුරු වල සිටින සැලකිය යුතු තරම් දේශපාලනමය බල පරාක්‍රමයක් තිබෙන පුදගලයන් වීමයි. මෙම කරුණ වසර ගණනාවක් පුරාවටම විටින් විටම මතුපිටට පැමිණියද (මෙම ලේඛිකාව 2011 වසරේ දී සන්ඩේ ලීඩර් පුවත්පතේ මෙම කරුණම වාර්තා කළාය) මෑතක් වන තුරුම මේ අපරාධය නවතා දැමීම සඳහා කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත.
කෙටි පෙරදසුනක්
ඇතෙකුගේ නීතිමය හිමිකරුවා වීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන නමුදු අවාසනාකවකට මෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් හිමක්රුවන්ගේ නම් අඩුවක් නොමැත. තවත් සැලකිය යුත්තේ අලියෙකු ලියාපදිංචි කිරීමට සැලකිය යුතු තරම් ලියකියවිලි ප්‍රමාණයක් අවශයය කාරණාවයි. මෙවන් දේ සලක බැලීමේදී තේරී යන්නේ මෙහි හොර පාරක් තිබෙන බවය.
වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනතට අනුව නම් වල් අලි ඇතුන් ඇල්ලීම නීතියෙන් තහනම් ය. ඒ කෙසේ වෙතත්, රැකවළෙහි සිටිද්දී බිහි වී ඇතැයි වාර්තා වූ එකදු අලි පැටවෙකු හෝ නොමැති අතර මේ පෞද්ගලික හිමිකරුවන් හට අලි පැටවුන් ලැබෙන ආකාරය සැකසහිතය.
මින් වසර කිහිපයකට ඉහත දී මෙම පුවත සම්බන්ධයෙන් කළ අධ්‍යයනයන්ගෙන් හෙළි වුයේ මේ ඇතුන් පින්නවල අනාථාගාරයෙන් ලබා ගත් අය, එනම් ලංකාවේ දී අලියෙකු ලබා ගත හැකි එකම නීතිමය ක්‍රමය වන පරිත්‍යාගයක් ලෙස, ලබාගත් අය නොවන බවයි. කුමක් හෝ අපැහැදිලි හේතුවක් මත ඒ දිනවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුව ද මේ පිලිබඳ හරිහැටි තොරතුරක් ලබා දීමට අපොහොසත් විය. මෙහිදී ගත හැකි අලි ඇතුන් හා සම්බන්ධ ප්‍රවීණයන් පවා එකඟවන එකම නිගමනය වන්නේ මෙම අලින් වනාන්තර වලින් අනවසරයෙන් ලබා ගත් සතුන් බවයි..
අලි ජිවිත අනතුරේ
අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වන සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ (CCR) සභාපති, භාරකරු සහ විද්‍යාඥ ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවකදී අපට පැහැදිලි වු පරිදි අලියෙකුට අවශ්‍ය සියළුම පහසුකම් සපුරා දිය හැකි ඇත් අතුරු සෙවනක (සංක්‍රාන්ති නිවහනක) දී වුවද සිය රැලෙන් ඉවත් කරන ලද අලි පැටවෙකු ජිවත් වීමේ සම්භාවිතාව 40%ක් පමණි. “අනවසරයෙන් සිදු කෙරෙන්නේ නම් මෙම සම්භාවිතාව තවත් අඩුයි” යනුවෙන් කී ඔහු තවදුරටත් පැවසුවේ එවන් අනවසරයෙන් අල්ලා ගන්නා අලින් හට බොහෝ විට අවශ්‍ය රැකවරණය නොලැබෙන බවයි.
ජාවාරම සිදු වෙන ආකාරය
විවිධ විවිධ පන්සල් වල සහ පෞද්ගලික හිමිකරුවන් ලඟින් හිටිහැටියේ මතුවන අලි පැටවුන් පිළිබඳ වසර ගණනාවක් පුරාවට අලි ඇතුන් පිළිබඳ ප්රවීණයන්ගේ සැකමුසු අවධානය යොමු වී ඇත. මේ අලි පැටවුන් පින්නවලින් පරිත්‍යාග වූ සතුන් ද නොවේ. දේශපාලනික බලපෑම් සහ යම් යම් පරිසරවේදීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන වනජීවී සම්පත හා සම්බන්ධ සාපරාධී ක්‍රියා පිළිබඳ සොයා බැලීමට නීතිපති කාර්යාලය විසින් විශේෂ ඒකකයක් පිහිටුවනු ලැබූවේ මේ මෑතකදීය. ඉන්පසු මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණු අතර මෙම ජාවාරම කෙතරම් නොබියව හා නිර්ලජ්ජී ලෙස කරගෙන ගොස් තිබේදැයි පැහැදිලි වුයේ එහිදීය.
නිවෙස් වල ඇති කෙරෙන අලින් ලියාපදිංචි කිරීම උදෙසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොග් පොතක් ඇත. එසේම, නිවසක සිටින එවන් සතෙකු ගැබ්ගත් විට දින කිහිපයක් ඇතුලත ඒ බව දෙපාර්තමේන්තුවට දැනුම්දිය යුතු බව පැවසෙන නීතියක් 2009 වසරේ ගෙන එන ලදී.
මෙම නීතියෙන් හොර මගඩි අසු විය හැකි බැවින් සියලුම අලි පැටවුන් ලියාපදිංචි කල දිනය 2008 ලෙස වෙනස් කරන ලද අතර මෙලෙසින් නීතිය ද කලින් දිනයක් යොදා වෙනස් කර ඇත. සමහර තැන් වල පැරණි දත්ත කපා දමා හෝ ටිපෙට්ස් භාවිතයෙන් මකා දමා, පැරණි අලින්ගේ පින්තූර වෙනුවට නව ඒවා ඇතුලත් කර ඇති බව ද පෙනී යන ලදී. අලියෙකු ලියාපදිංචි කිරීමට අවශ්යය් වන ලියකියවිලි අසම්පුර්ණ වී තිබීම නිසාත්, බොහෝ විට කිසිදිනෙක හෙළිදරවු නොවේ යයි සිතා, කපා කොටා හෝ ටිපෙට්ස් භාවිතා කරමින් අතිශය මුග්ධ අයුරින් පැරණි දත්ත වෙනස් කිරීමට යාම නිසාත්, මෙසේ අමු අමුවේ පැහැදිලිව පෙනෙන ලෙස සිදු කර තිබූ වංචා ගණනාවක් ලෙහෙසියෙන්ම නීතිපති කාර්යාලයට අල්ලා ගත හැකි විය.
සත්ව විශේෂ සංරක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක, අලි ඇතුන් පිළිබද ප්‍රවීණයෙකු වන පුබුදු විරරත්නට අනුව නීතිපති කාර්යාලය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවැනි එකිනෙකට වෙනස් වංචා පනහක් පමණ සොයා ගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැටලීම් සිදුකරන ලදී. මෙලෙස සොයා ගන්නා ලද අනවසරයෙන් තබා ගෙන සිටි අලි ඇතුන් ඔවුන්ගේ භාරයට ගෙන පින්නවලට යවන ලදී. මෙම අලින් සඳහා වාසස්ථානය සැපැයීමට උඩවලවේ ජාතික වනෝද්‍යානයේ දැනට විශේෂිත ඇත් කොටුවක් නිර්මාණය වෙමින් පවතී. චුදිත පාර්ශවයන්ට එරෙහි සාක්ෂි තවමත් රැස් කෙරෙන අතර මේ වනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. වීරරත්න මහතා පවසන පරිදි මෙසේ චෝදනා එල්ල වූ ප්‍රසිද්ධ පන්සල් කිහිපයක් ද තිබේ. දේශපාලනික රැකවරණය නිසා සෑහෙන තරම් ආරක්ෂිත අයුරින් මෙම ජාවාරමේ නිරත වීමට සමත් වූ කුප්‍රකට පුද්ගලයෝ ද මේ අතර වෙති.
ජාවාරම් සඳහා අලි පැටවුන් අල්ලාගන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් අලි රංචුවක් තම පැටවුන් වෙසෙසින් රැක ගන්නා නිසා ජාවාරම් කරුවන් යොදන උපක්‍රමය වන්නේ පැටවා රැලෙන්, විශේෂයෙන්ම තම මවගෙන්, ඈත් කරවීමයි. වීරරත්න මහතා පවසන පරිදි මුල් කාලයේ මේ සඳහා උගුල් භාවිතා කර ඇත. “අලි පැටවුන්ගේ ඇඟ කැපී සිරී ගිය ලකුණු දැක ගත හැකියි”, ඔහු විස්තර කළේය.
කෙසේ වුවද දැන් දැන් ජාවාරම් වලට පවා නවීන තාක්ෂණය භාවිතා කෙරෙන හැඩකි. මවට තුවාල සිදු කිරීමට දැන් තුවක්කු භාවිතා කරන අතර පැටවාට නිර්වින්දන තුවක්කු වලින් පහර දෙනු ලැබේ. පැටවුන්ගේ සමෙහි නිර්වින්දන තුඩ වැදුණු ස්ථානයේ බොහෝ විට අඳුරු ලපයක් දැකගත හැකිය.
හොඳම තත්වයේ සිටින අලි පැටවුන් පමණක් මේ සඳහා තෝරා ගැණෙන අතර එතැන් පටන් තත්වය තවදුරටත් නරක අතට හැරෙයි. වීරරත්න මතතා පවසන පරිදි මේ සතුන්ව පුහුණු කරන ආකාරය අතිශය කුරිරුය. යදම් වලින් සහ ලණු වලින් අලි පැටවා බැඳ දමන මොවුන් හිලෑ කර තම වසඟයට ගැනීම සඳහා එම අහිංසක අලි පැටවා නිග්‍රහයට ලක් කරමින්, සියලු ප්රතිරෝධයන් බිඳ දමා ගානට මෙල්ල කරගැන්මට කටයුතු කරයි..
මේ සත්වයන් බොහෝ විට ගෙන යන්නේ කොළඹ ප්රදේශයටයි. ඔවුහු ඒ සඳහා ඩිෆෙන්ඩර හෝ ජීප් රථ භාවිතා කරති. වීරරත්න මහතා පැහැදිලි කළ ආකාරයට, සතුන් නිර්වින්දනය කර ට්‍රක් රථයකට නංවා ප්ලාස්ටික් ටැංකියකින් වසා සඟවා ප්‍රවාහනය කිරීම තවත් උපක්රමයකි.
අලි පැටවුන් ජාවාරමට මුලික හේතු
අලි පැටවෙකු විකිණීමෙන් රුපියල් මිලියන 8ක් 10ක් පමණ උපයා ගත හැකි බැවින් අලි ඇතුන් ජාවාරම එහි යෙදී සිටින්නන්ට ඉතා වාසි සහගත බව කිව යුතුය. පන්සල් ඇතුළු ගෞරව නම්බුව බලාපොරොත්තු වන පාර්ශව වලින්ද සංචාරක ව්‍යාපාරයේ යෙදුණු පුද්ගලයන්ගෙන් ද මෙම ජාවාරමට හොඳ ඉල්ලුමක් තිබේ. අද කාලයේ ඕනෑම ආගමික උත්සවයක අලියෙකු දෙන්නෙකු සිටින අතර එය දැන් විලාසිතාවක් වී ඇත්දැයි විටෙක සිතේ. වීරරත්න මහතා පවසන පරිදි, අලියෙකු ගේ අයිති කරුවෙකු එම සතා විවිධ විවිධ උත්සව වලට සහභාගී කරවා එක් රැයකට රුපියල් 40,000 ක් හා 60,000ක් අතර මුදලක් උපයා ගනියි. ඇතෙකු විකිණීමෙන් රුපියල් මිලියන 11.5ක් පමණ උපයා ගත හැකිය. වීරරත්න මහතා පවසන ආකාරයට නම් තමන් දන්නා කිසිදු ආගමික හෝ අධ්‍යාත්මික විශ්වාසයකට මේ එකදු ක්‍රියාකාරකමක් වත් නොසෑඳේ. මක්නිසාද යත් මේ අනවසර අලි ඇතුන් ජාවාරම හුදෙක්ම සත්ත්ව හිංසනයක් පමණක් බැවිණි.
අනෙක් චූදිත පාර්ශවය සංචාරක ව්‍යාපාරයයි. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංචාරකයින් අතර අතිශය ප්‍රසිද්ධ ය. වීරරත්න මහතා පවසන්නේ “හෝටල් වල අලි පැටවුන් සිටිනවා නම් සංචාරකයෝ නොසෑහෙන තරම් ගෙවීමට සුදානම්” බවයි.
අපගේ ඉතිහාසය දෙස හැරී බලන විට ද, දුටුගැමුණු එළාර යුද්ධය වැනි මහා සංග්රාමයන් ගේ සිට දළදා වහන්සේ වැඩමවන ඇසළ පෙරහැර දක්වාම අලි ඇතුන් අප සංස්කෘතියේ නැතිවම බැරි අංගයක් බව පැහැදිලිය. ඒ කෙසේ වුවද, බුද්ධාගමේ පමණක් නොව ලොව ඇති අන් කිසිදු ආගමක වුවද මූලික හරයට මෙවන් ජාවාරම් වල ප්‍රතිපලයක් ලෙස සිදු කෙරෙන සත්ව හිංසනය නොගැළපෙන බව නම් සහතිකය.