Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සලාගේ සිරුර සොයා කළ මෙහෙයුම

ආජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ලෝකයේ අවධානය දිනාගත් තරුණ ක්‍රීඩක එමිලියානෝ සලා පසුගිය දින පාපන්දු ක්‍රීඩාවෙන් මෙන්ම සිය ජීවිතයෙන් ද සමු ගත්තා. ඔහුගේ මරණයට හේතුව වූයේ ගුවන් අනතුරක්. යානයේ නියමුවා හා ඔහු පමණක් ගමන් ගත් අතර එය ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කිරීමේ දී අනතුරට පත් වී තිබෙනවා.

එමිලියානොගේ අතුරුදහන් වීම

එමිලියානෝ සලා (Euronews)

එමිලියනෝ සලා 2015 වසරේ සිට ක්‍රීඩා කරන ලද්දේ ප්‍රංශයේ නැන්ටෙස් (Nantes) පාපන්දු ක්‍රීඩා සමාජයට යි. 2019 වසර දක්වා ඔහු එම ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා කරනවා. 2019 වසරේ ජනවාරි මාසයේ දී වේල්සයේ කාඩිෆ් සිටි (Cardiff City) ක්‍රීඩා සමාජය විසින් ඔහුව මිල දී ගන්නවා.

නැන්ටෙස් පාපන්දු ක්‍රීඩා සමාජයට ආයුබෝවන් කියන සලා එම ක්‍රීඩා සමාජයේ තම මිතුරු ක්‍රීඩකයන්ව සිප වැළඳ සමුගැනීමෙන් අනතුරුව වේල්සය බලා පියාසර කිරීමට ගුවන් යානයට ගොඩ වෙනවා. ඒ පසුගිය ජනවාරි මාසයේ 21 වන දා යි. ඊට දින තුනකට ප්‍රථම ඔහු විසින් කාඩිෆ් සිටි ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්වලට එළඹුනු බව සදහන්.

සලා වේල්සයට ගෙන්වා ගැනීම සඳහා එදින උදෑසන වෙළඳ ගුවන් යානයක් සුදානම් කර දීමට කාඩිෆ් සිටි ක්‍රීඩා සමාජයේ බලධාරීන් තීරණය කර තිබුණා. නමුත් එය ප්‍රතික්ෂේප කරන සලා උදය වරුවේ තම මිතුරන් සමග ක්‍රීඩා කර හවස් වරුවේ වේල්සය බලා පැමිණෙන බව ඔවුන්ට දැනුම් දෙනවා.

ඔහු හා ඩේවිඩ් ඉබට්සන් නම් ගුවන් නියමුවා රැගත් Piper PA-46 Malibu වර්ගයේ සැහැල්ලු ගුවන් යානය, ප්‍රංශයේ නැන්ටෙස් සිට වේල්සයේ කාඩිෆ් බලා ගමන් කරනවා. ගුවන්ගත වී සුළු මොහතකින් පසුව ගුවන්තොටුපොළ හා ගුවන් යානය අතර තිබූ සම්බන්ධතාවය ඇන හිටිනවා. තවත් මොහතකින් එය රේඩාර් තිරයෙන් ද ඉවත් වෙනවා.

ගුවන් යානය රේඩාර් තිරයෙන් ඉවත් වූ ස්ථානය ඉංග්‍රීසි ඕඩයේ පිහිටි දුපතක් වන ඇල්ඩර්නි අසල බව තහවුරු වන අතර ගුවන් යානය සෙවීමේ කටයුතු ආරම්භ වන්නේ ඉන් පසුව යි.

ගුවන් යානය සොයා දින ගණනාවක් තිස්සේ කළ මෙහෙයුම්

එමිලියානෝ සලා (talkSPORT)

එම ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය මධ්‍යයේ ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් ජනවාරි 22 දා ආරම්භ වෙනවා. බ්‍රිතාන්‍යයෙන් මෙහෙයුම් කණ්ඩායමක් සමග හෙලිකොප්ටර් යානා 2ක් එදින එම ප්‍රදේශයට ළඟා වෙනවා. ප්‍රංශයෙන් ද මෙහෙයුම් කණ්ඩායමක් හා එක් හෙලිකොප්ටර් යානයක් එක් වන අතර ඊට අමතරව කිමිදුම්කරුවන් රැගත් බෝට්ටු ද එකතු වෙනවා.

අවසානයේ දී හෙලිකොප්ටර් යාන 5ක් ද බෝට්ටු 2ක් ද යානය සෙවීමේ කටයුතු වල නිරත වෙනවා. මොවුන්ට අමතරව දිනය අවසන් වන විට ප්‍රංශ නාවික හමුදාවේ යාත්‍රාවක් ද මෙහෙයුම් කණ්ඩායම හා එකතු වෙනවා.

ගුවන් තොටුපොළ තොරතුරු හා ජංගම දුරකථන තරංග ඔස්සේ සෙවීමේ මෙහෙයුම් දිගින් දිගටම සිදු වූ අතර 23 වන දා හවස් වරුව වනතුරුත් අතුරුදහන් වූ ගුවන් යානයේ සලකුණක් සොයා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නෑ. 23 වන දා වන විට සැක කෙරෙන කලාපය තුළ කිසිවෙකුත් ජීවග්‍රහයෙන් නොසිටින බව මෙහෙයුම් කණ්ඩායම් සනාත කරනවා. ඉන් පසුව මෙහෙයුම් කණ්ඩායම් එම ප්‍රදේශයෙන් ඉවත්ව යනවා.

ගුවන් යානයේ සුන්බුන් හා සලාගේ සිරුර සොයා ගැනීම

සලා වෙනුවෙන් ශෝකය (Sputnik International)

ජනවාරි 26 වන දා පෞද්ගලික මෙහෙයුම් කණ්ඩායමක් නැවතත් ගුවන් යානය සෙවීමේ කටයුත්ත ආරම්භ කරනවා. ඒ සඳහා ධීවර යාත්‍රා දෙකක් උපයෝගී කර ගන්නවා. ජනවාරි 30 වන දා එම ගුවන් යානයේ යැයි සිතිය හැකි ආසන දෙකක් ප්‍රංශ වෙරළට ගොඩ ගසා තිබෙනවා.

ආසන දෙකක් හමු වීමත් සමග බ්‍රිතාන්‍ය නාවික කණ්ඩායමක් මෙහෙයුම් සමග එකතු වෙන අතර පෙබරවාරි 3 වන දා වන විට ගිලි ගිය ගුවන් යානයේ සොයා ගැනීමට නාවික කණ්ඩායම්වලට හැකියාව ලැබෙනවා.

සාගරයේ මීටර් 67 ක් ගැඹුරින් ගිලි ගිය ගුවන් යානය, තිබූ අතර සලාගේ හා ගුවන් නියමුවාගේ සිරුර මේ තුළ සිර වී ඇතැයි යන්න මෙහෙයුම් කණ්ඩායම් විසින් උපකල්පනය කරනවා. පෙබරවාරි 4 වන දා වන විට ජායාරූප මගින් ගිලීගිය ගුවන් යානය සලා ගමන් කළ යානයම බව සැක හැර දැන ගැනීමට හැකියාව ලැබෙනවා.

පෙබරවාරි 7 වන දා සුන්බුන් අතර සිර වී තිබූ එමිලියානොගේ සිරුර සොයා ගත් අතර ඇගිලි සලකුණු මඟින් එය ඔහුගේම සිරුර බව තහවුරු කරනවා. පෙබරවාරි 11 වන දා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මෙය හිසට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස තීරණය කරනවා.

මෙහෙයුම සඳහා අරමුදල්

ක්ලියන් (Planet Football)

මෙම සිරුර සොයා ගැනීම සඳහා දින ගණනක් තිස්සේ කළ පෞද්ගලික මෙහෙයුම් සඳහා විශාල මුදලක් වැය වී තිබෙනවා. ඒ සඳහා අරමුදල් ලබා දුන් අය අතර ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්ලියන් එම්බැපේ හා එංගලන්ත පා පන්දු කණ්ඩායමේ හිටපු නායක ගැරී ලිනකර් කැපී පෙනෙනවා.

මෙම මෙහෙයුම සඳහා ක්ලියන් ස්ටලින් පවුම් 27,000ක් ද ගැරී ස්ටලින් පවුම් 1000ක් ද ලබා දී තිබෙනවා.

පාපන්දු ක්‍රීඩා සමාජ දෙක අතර මුදල් අර්බුදය

ශෝකය පළ කරන නැන්ටෙස්වරුන් (The Independent)

කාඩිෆ් සිටි ක්‍රීඩා සමාජයට එකතු වූවත් ඔහු එකදු තරගයක්වත් ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති අතර ඔහුව පවුම් මිලියන පහකට නැන්ටෙස් ක්‍රීඩා සමාජයෙන් මිලට ගෙන තිබෙනවා.

කාඩිෆ් සිටි ක්‍රීඩා සමාජයෙන් නැන්ටෙස් වෙත හිමි විය යුතු මුදල කොටස් වශයෙන් ගෙවීමට නියමිතව තිබුණා. ඔහුගේ මරණයත් සමග ගෙවිය යුතු එහි පළමු වාරිකය ඉල්ලා නැන්ටෙස් ක්‍රීඩා සමාජය, කාඩිෆ් වෙත පණිවුඩ යවා තිබෙනවා. එසේ නොගෙව්වොත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බව  නැන්ටෙස් ක්‍රීඩා සමාජය ප්‍රකාශ කර තිබෙනවා.

මෙහෙයුම් කණ්ඩායම් (Sky News)

එම මුදල් ගෙවීම ප්‍රශ්නයක් නොවන බවත් සලාගේ මරණය පිළිබඳව විමර්ශන කටයුතු අවසන් කෙරෙන තෙක් ඉවසන ලෙසත් කාඩිෆ් සිටි බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය – Metro

මූලාශ්‍රයයන්:

bbc.com

thesun.co.uk

Related Articles