Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ “No deal Brexit”?

රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමය ලෝකයේ විශාලම කලාපීය සංවිධානයක් ලෙස හැඳින්විය හැකිය. එසේම එය ලෝක ආර්ථික හා වෙළඳ කටයුතුවලින් සැලකිය යුතු ප්‍රතිශතයකට හිමිකම් කියන්නාක් මෙන්ම, ලෝක පර්යාය, නැතිනම් ලෝකයේ දිශානතිය, පිළිබඳ විසල් බලපෑමක් කළ හැකි සංවිධානයක් ලෙසත් සැලකිය හැකියි. ලොව ප්‍රමුඛ පෙලේ ආර්ථික ශක්තීන්ගෙන් හා මිලිටරි බලයකින් හෙබි රටවල් ගණනාවකින් සැදුණු යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහා බ්‍රිතාන්‍යය මෑතක දී කටයුතු කළ අතර, එම ක්‍රියාවලිය කෙටියෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් (Brexit) යනුවෙන් හැඳින්වේ.

බ්‍රිතාන්‍ය ඉවත් වීම හෙවත් Brexit
බ්‍රිතාන්‍ය ඉවත් වීම හෙවත් Brexit/2bm.com

 

ලෝක බලවතෙකු මෙන්ම ලොව ප්‍රමුඛතම ආර්ථිකයක් හිමි මහා බ්‍රිතාන්‍යය මෙහිදී මතු කළ කාරණය වූයේ, යුරෝපා සංගමයේ ඇති බැඳීම්වලට තමන් අකමැති බව යි. හිටපු අගමැති ඩේවිඩ් කැමරන් හා හිටපු අගමැතිනී තෙරේසා මේ යන දෙපලම මෙම ගැටළුවේ දී පසුබෑමකට ලක්වුව ද, Brexit ක්‍රියාවලියට තම මැතිවරණ සටනේ දී පවා මූලිකත්වය දුන් වත්මන් අගමැති බොරිස් ජොන්සන්, එම ක්‍රියාවලියේ දී දැනට සාර්ථකත්වයට පත්ව තිබේ. ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පවා පිළිබිඹු වූයේ බහුතර රටවැසියන්ගේ ද කැමැත්ත මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බව යි.

 බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්
 බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්/ft.com

 

වසර ගණනාවක දේශපාලන හැලහැප්පීම් හා දේශපාලන අස්ථාවරත්වයන් මත්තේ දෝලනය වෙමින් පැවති Brexit ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් 2020 වසරේ මුල දී සටහන් විය. මෙහිදී 2020.01.31 වන දින නිල වශයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වු අතර, මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා, දෙපාර්ශවය අතර වූ වෙළඳ ගිවිසුම් හා වෙනත් ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව අවසන් තීරණවලට එළඹීම සඳහා 2020.12.31 දක්වා දින නියම කෙරුනි. එසේ දෙපාර්ශවයේ එකඟත්වයෙන් දින නියම කරගැනීමක් සිදුවුව ද, එම අවසන් දිනයට ඉතා ආසන්න මොහොතක් බවට පත්ව ඇති වසරේ අවසන් මාසය වන තුරුත් දෙපාර්ශවයට අවසන් එකඟතාවකට එළැඹීමට නොහැකි වී තිබේ. මෙසේ දෙපාර්ශවය අතර එකඟත්වයකින් තොරව ක්‍රියාවලිය අවසන් කිරීමට සිදුවීම “No deal Brexit” ලෙස හඳුන්වන අතර, එවැනි ප්‍රතිඵලයක් සඳහා සූදානමින් සිටින ලෙසට හැගෙන ප්‍රකාශ නිකුත් කිරීමට දැනටමත් යුරෝපා සංගමයේ නියෝජිතයන්  හා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යන දෙපාර්ශවයම කටයුතු කිරීම, එවැනි තත්ත්වයක් අපේක්ශා කිරීමට ලෝකයට මඟ පාදා තිබේ.

ද්විපාර්ශවීය එකඟතා අවශ්‍ය ඇයි?

Brexit ක්‍රියාවලිය සඳහා එකඟතාවන්ට පැමිණීමේ මූලික අර්මුණ වන්නේ, ඉවත්වී යාමෙන් පසුව මහා බ්‍රිතාන්‍යය තවත් එක් ස්වාධීන රාජ්‍යයක් ලෙස යුරෝපා හවුල සමග අනාගතයේ දී වෙළඳාම් කටයුතු, දේශසීමා කටයුතු, බදු සහන, ආනයන අපනයනයන් ආදී කටයුතු සිදුකරන ආකාරය තීරණය කිරීම යි. වෙන් වී ගියත් යම් යම් බැදීම් සහ වගවීම් මෙමඟින් ඇතිවන අතර, දෙපාර්ශවයම තම පාර්ශවයට වඩා වැඩි වාසි සහගත තත්ත්වයක් ඇතිවන අයුරින් වෙන් වීමට උත්සහ දැරීමක් ද පෙනී යයි. මේ සඳහා යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන්-ඩ-ලේන් හා බොරිස් ජොන්සන් අගමැතිවරයා අතර පැවති සාකච්ඡා වටයන් බොහොමයක් එකඟතාවයන්ගෙන් තොරව අවසන් වී ඇත. මෙහිදී බ්‍රිතාන්‍යයට පිළිගැනීමට අපහසු කොන්දේසිවලට එළැඹීමට තමා සූදානම් නොවන බව අගමැති බොරිස් ජොන්සන් පවසා තිබේ.

යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්-ඩ ලේන්
යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්-ඩ ලේන්/theconversation.com

 

ප්‍රධාන වශයෙන් වෙළඳ ගනුදෙනු හා මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත පිළිබඳ ගැටලු සඳහා එකඟත්වයකට පත් වීමට නොහැකි වී තිබේ. වෙළඳපොල තරගකාරීත්වය සබැඳි නීති සම්බන්ධයෙන් යුරෝපා සංගමයෙන් ඉදිරිපත් කරන නව නීති රීති සම්මත කරගතහොත්, ඒ හරහා අනාගතයේ දී එම නීති පිළිනොපැදීම යන කාරණය මුල් කරගනිමින් ස්වයංක්‍රීය දඩුවම් පැමිණවීමකට යටත් වීමට බ්‍රිතාන්‍යට සිදුවන බවත්, මෙසේ සංගමයෙන් පිට සාමාජික නොවන රටක් ලෙස සංගමයේ බැඳීම්වලට යටත්ව කටයුතු කිරීමට තමන් සූදානම් නැති බවත් බ්‍රිතාන්‍යය පවසා සිටී. එසේම එකඟතා අතර ඉදිරිපත් වී ඇති, මහා බ්‍රිතාන්‍යට අයත් සාගර සීමාව තුළ ධීවර කටයුතුවල යෙදීමට යුරෝපා සංගමයට අයත් රටවල ධීවරයන්ට අවසර දීම යන කාරණයට ද තමන් එකඟ නැති බව පවසන බ්‍රිතාන්‍යය, තමන්ගේ මුහුදු සීමාව තුළ ස්වෛරී පාලනයක් නොමැති රටක් බවට පත් වීමට තමන්ට නොහැකි බව පෙන්වා දෙයි.

No deal Brexit පිලිබඳ කාටූනයක්
No deal Brexit ගැන කාටූනයක් /politico.eu/Caption

 

බ්‍රිතාන්‍යයට කුමක් වෙයි ද?

කෙසේ වෙතත් යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග බ්‍රිතාන්‍යට වෙනස්කම් රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඒ අතර,

  • නව බදු එකතුවීම මත, එක්සත් රාජධානිය හා යුරෝපා සංගමයෙන් විකුණන භාණ්ඩ සඳහා මිල ගණන් ඉහළ යාම
  • තීරු බදු ආදිය මත සිදුවන වෙනස්කම් හේතුවෙන් විවිධ කර්මාන්ත පීඩනයට ලක් වීම 
  • ආනයන අපනයන සීමා පැමිණවීම්
  • ආහාර ප්‍රමිතීන් වෙනස්වීම් මත ඒවා වෙළඳපොලට පැමිණීමට කල්ගත වීම
  • දේශසීමා සෝදිසි කිරීම්
  • භාණ්ඩ ප්‍රවාහනයේ බාධා
  • යුරෝපා සංගමයට අයත් රටවල් හරහා බ්‍රිතාන්‍යයට වැටුනු ගෑස්, බොරතෙල් වැනි සැපයුම් ජාලා සම්බන්ධ නව නීති
  • භාණ්ඩ ප්‍රවාහණයේ කල්ගත වීම් ඔස්සේ ආදේශකවලට යොමුවීමට සිදුවීම
  • මූල්‍ය සේවා හා වෙනත් සේවාවන්හි සිදුවන වෙනස්කම්වලට මුහුණ දීමට සිදුවීම
  • යුරෝපා අධිකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ක්‍රියාවලින්ගේ වෙනස්කම්
  • යුරෝපා සංගමයට අයත් රටවල බ්‍රිතාන්‍යන්ට තිබූ රැකියා අවස්ථා හා ව්‍යාපාර අවස්ථාවන්හී ප්‍රමුඛතාව අහිමි වීම  

වැනි නව තත්ත්වයන් ප්‍රමුඛ වේ.

බ්‍රිතාන්‍යය ට කුමන අභියෝග ඉදිරියේදී ඇතිවේද..
බ්‍රිතාන්‍යයට කුමන අභියෝග ඉදිරියේ දී ඇතිවේ ද?/confectionerynews.com/

 

මෙසේ Brexit එකඟතා No deal Brexit තත්ත්වයක් කරා ගමන් කිරීමේ දී යුරෝපා සංගමයට අයත් වෙනත් රටවල ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අවධානය ද යොමු කිරීම වටී. මෙහිදී යුරෝපා සංගමයට බ්‍රිතාන්‍යය එකතු වීම කෙරෙහි මූලික අවස්ථාවල දී පවා කැමැත්තක් නොදැක්වූ ලෝක බලවතුන් වන ජර්මනිය හා ප්‍රංශය, බ්‍රිතාන්‍යට අවශ්‍ය අයුරින් යුරෝපා සංගමය හැසිරවීමට නොකැමැත්තක් පලකිරීම කැපී පෙනේ. අවසන් මොහොත දක්වා අපේක්ෂා දල්වා සිටිමින්, මනා එකඟත්වයකින් යුතුව ක්‍රියාවලිය අවසන් වනු දැකීම බොහෝ රටවල කැමැත්ත යි. මෙසේ  ලෝක දේශපාලන මෙන්ම ලෝක ආර්ථිකයේ ද වැදගත්කමක් ගන්නා Brexit ක්‍රියාවලිය ඉදිරියටත් ලෝකයේ පුවත් මවනු ඇති බවට විචාරක මතය යි.

Related Articles