Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාලගුණය ගැන අනාවැකි කියන වළාකුළු ගැන දැන ගනිමු.

වළාකුළු කියන්නෙ මොනවාද කියලා නොදන්න කෙනෙක් ඉන්න බැහැ. අපිට අත්විඳින්නට සිදු වෙන කාලගුණය, දේශගුණය තීරණය කරන ප්‍රධානම සංසිද්ධියක් විදිහට වළාකුළුවලට අපේ ජීවිතයට වගේම රටේ අාර්ථිකයටත් දැඩි බලපෑමක් සිදු කළ හැකියි. අපිට පහසුවෙන් දැකිය නොහැකි සුළං, වායු දහරා, වායුගෝලයේ උණුසුම, පීඩන වෙනස්‌කම් අැතුළු කාලගුණයට බලපෑම් කරන බලවේග දකින්න තියෙන පහසුම ක්‍රමයක් වන්නේත් වළාකුළු නිරීක්ෂණය කිරීමයි. මේ නිසාම කාලගුණික අනාවැකි කීමේදී වළාකුළු ගැන සුවිශේෂ අවධානයක් යොමු කෙරෙනවා.

මහ විශාල උපකරණ නැතත් අහසේ තියෙන වළාකුළු දිහා බලලා ඕනෑම කෙනෙකුට කාලගුණ අනාවැකි කියන්න පුළුවන්. අහසම කළු කරගෙන අඳුරු පාට වළාකුළු පිරෙනකොට වහින්න එනවා කියලා කියන්න බැරි කාටද? කොහොම වුණත් ටිකක් හොඳට අවධානය යොමු කරලා බැලුවොත් අපිට පුදුම හිතෙන තරම් කාලගුණ තොරතුරු එ්වායේ පෙනුමෙන් දැන ගන්න හැකියාව තිබෙනවා.

ඉතින් මේ ලිපියෙන් උත්සාහ කරන්නේ හැමදාම දකින වළාකුළු වර්ග ගැන වැඩි විස්තර කියන අතරේ එ්වා අැසුරෙන් අනාවැකි කියන උපක්‍රම කිහිපයක් ගැනත් විස්තර කරන්නයි.

pexels.com

වළාකුළු දකින කාටත් අැති වෙන ප්‍රශ්න කිහිපයක්

වළාකුළු කියන්නේ මොනවාද?

සරලව අර්ථ දැක්වුවොත් වළාකුළු කියන්නේ කුඩා ජල බිඳිති හෝ කුඩා අයිස් ස්ඵටිකවල විශාල එකතුවක්. මෙම ජල බිඳිති වායුගෝලයේ පාවිය හැකි තරම් සැහැල්ලුයි සහ කුඩායි. සුළඟ, හිරු එළිය සහ වායුගෝලයේ ස්වභාවය අනුව මේවා ප්‍රමාණයෙන් වගේම හැඩයෙන්, පාටින් සහ තවත් බොහෝ අාකාරවලින් වෙනස් වෙනවා.

වළාකුළු හැදෙන්නේ කොහොමද?

උෂ්ණත්වය ඉහළ යාම නිසා පෘථිවිය මත වායුගෝලයේ තියෙන ඉතා කුඩා ජල බිඳිති හෝ කුඩා අයිස් කැට වාෂ්ප වී ඉහළ ස්ථරවලට ගමන් කර සිසිල් වීමෙන් වළාකුළු ඇති වෙනවා. එක් එක් ස්ථරවලට අනුව සෑදෙන වළාකුළු විවිධයි. උණුසුම් වාතයේ නිර්මාණය වන වළාකුළුවල ජල අංශු වැඩි ප්‍රමාණයක්ද, අඩු උෂ්ණත්ව (ජලය මිදෙන උෂ්ණත්වයට වඩා අඩු) වලදී නිර්මාණය වන වළාකුළුවල අයිස් කැටිති වැඩි ප්‍රමාණයක්ද තිබෙනවා. ඒ වගේම අනෙක් ග්‍රහලෝකවල වෙනත් ආකාරවලින් නිර්මාණය වුණු වළාකුළු තියෙනවා. බ්‍රහස්පති ග්‍රහලොවේ වළාකුළු නිර්මාණය වෙලා තියෙන්නෙ ඇමෝනියා වායුවෙන්.

ඇයි වළාකුළු සුදු පාට?

ආලෝකය තරංගයක් ලෙස ගමන් කරන අතර එක් එක් වර්ණයට අදාළ තරංග ආයාමයත් එකිනෙකෙන් වෙනස් වෙනවා. වළාකුළු හැදිලා තියෙන කුඩා ජල බිඳිතිවලින් දෘෂ්‍ය ආලෝකය විසිරුවා හරින නිසා ඒවා සුදු පැහැයෙන් දිස් වෙනවා.

apollo.lsc.vsc.edu

වළාකුළු අළු පැහැයට හැරෙන්නේ ඇයි?

කුඩා ජල බිඳිති සහ අයිස් කැටිතිවලින් හැදුණු වළාකුළුවලට ආලෝකය විභේදනය කර වළාකුළු සුදු පැහැතිව තබා ගැනීමේ හැකියාව තියෙනවා. වළාකුළුවල ඝණත්වය වැඩි වුණොත් සියළුම ආලෝක තරංග වළාකුළ තුළින් ගමන් කිරීම අපහසුයි. ඒ නිසයි වළාකුළු අළු හෝ තද පැහැයෙන් දිස් වෙන්නෙ. ඒ වගේම අවට තියෙන වළාකුළුවල සෙවනැල්ල වැදීමත් මෙයට තවත් හේතුවක්.

වළාකුළු පාවෙන්නේ ඇයි?

අවට වාතය හිරු රශ්මිය නිසා රත් වුණාම වළාකුළුවල හැඩය වෙනස් වෙන අතර තවත් ඉහළ යනවා. වළාකුළු සැදී තිබෙන ජලවාෂ්පවල උෂ්ණත්වය වායුගෝලයේ උෂ්ණත්වයට වඩා වැඩි වෙන තුරු එය පාවෙනවා.

වළාකුළුවල ස්වභාවය

වළාකුළුවල ලක්ෂණ එය නිර්මිත මූලික ද්‍රව්‍ය වන ජලවාෂ්ප, වළාකුළු පවතින මට්ටම්වල උස, සුළඟ සහ අනෙකුත් වාත ස්කන්ධයන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මත රඳා පවතිනවා. ප්‍රධාන වශයෙන් පොළොවේ සිට පිහිටන උස අනුව සහ හැඩය අනුව වළාකුළු වර්ග කෙරෙනවා.

එ් අනුව පවතින උස මට්ටම අැසුරෙන්,

  • උස් වළාකුළු (අඩි 20000 – අඩි 45000)
  • මධ්‍යම වළාකුළු (අඩි 6500 – අඩි 20000)
  • පහළ වළකුළු (පොළොව මට්‍ටමේ සිට අඩි 6500)
  • සෑම මට්ටමකදීම සිරස්ව වර්ධනය වන වළාකුළු ලෙස වළාකුළු වර්ග හතරකට බෙදා තිබෙනවා.

tanya mass

පවතින හැඩයට අමතරව වළාකුළුවල හැඩය සලකා එ්වා,

  • කෙඳි වළාකුළු
  • කැටි වළාකුළු
  • ස්ථර වළාකුළු
  • කෙඳි කැටි වළාකුළු
  • කෙඳි ස්ථර වළාකුළු
  • ස්ථර වැහි වළාකුළු
  • කැටි වැහි වළාකුළු ලෙස වර්ග ගණනාවකට එ්වා වර්ග

මේවා නිවැරදිව හඳුනා ගන්න එක වළාකුළු අැසුරෙන් කාලගුණය ගැන කීමට ගොඩක් වැදගත් වෙනවා.

ඉහළ උසක අැති වළාකුළු වර්ග

කෙඳි වළාකුළු (Cirrus)

කෙඳි වළාකුළු සුදු පැහැ සියුම් නූල් ආකාරයෙන් කාන්තිමත්ව දිස් වන අතර සේද වැනි මේවා කුඩා පටි හෝ සුදු පැහැ පුල්ලි රැසක් ලෙස දකින්නට පුළුවන්. මේවා සැදී තිබෙන්නේ අයිස් කැටිතිවලින්. සූර්යාලෝකය මෙම වළාකුළු හරහා යාමේදී එහි දීප්තිය අඩු වීම ඉතා අවමයි. හිරු උදාවට කලින් සහ හිරු බැසයාමෙන් පසුව කෙඳි වළාකුළු දීප්තිමත් රතු හෝ කහ පැහැයෙන් දිස් වෙනවා.

මේවා වෙන්ව පිහාටු වැනි ආකාරයට ඇති විට එයින් වියළි, යහපත් කාලගුණයක් පෙන්වන අතර කැටි වළාකුළු සමඟ බද්ධ වූ විට අයහපත් කාළගුණයක පෙරනිමිති දක්වනවා.

කෙඳි වළාකුළු (Matthew Laird Acred)

කෙඳි කැටි වළාකුළු (Cirrocumulus)

සිහින්, සුදු පැහැ පුල්ලි ආකාරයෙන් පෙනෙන, ඇතිරිල්ලක් හෝ ස්ථර ලෙස දිස්වෙන මෙම වර්ගය රැළිති ආකාරයක් දක්වනවා. කෙඳි කැටි වළාකුළු සාමාන්‍යයෙන් කෙඳි වළාකුළු සහ කෙඳි ස්ථර වළාකුළුවල එකතුවක් ලෙස දැක්විය හැකියි. මේවා මාළුවෙකුගේ කොරපොතු මෙන් දිස් වන නිසා ඒවා පිරි අහසක් මැකරල් ස්කයි (Mackerel sky) ලෙසත් හඳුන්වනවා.

කෙඳි ස්ථර වළාකුළු

කෙඳි ස්ථර වළාකුළු පාරදෘෂ්‍ය, සුදු පැහැති තිරයක් ආකාරයට දිස් වෙනවා. මෙම වළාකුළු, පිහිටි ප්‍රදේශයේ අහස පුරාම පුළුල්ව පැතිරෙන අතර මේවා මඟින් සූර්ය දීප්තිය අඩු කළ හැකියි.

මෙම වළාකුළු වර්ග නිරීක්ෂණයෙන් වැසි සහ කුණාටු පිළිබඳව පූර්ව නිගමන වලට එළඹිය හැකියි.

මධ්‍යම උසක අැති වළාකුළු වර්ග

උච්ච කැටි වළාකුළු (Altocumulus)

වායුගෝලයේ මැද ඇති වළාකුළු වර්ගයක් වන මේවා විශාල කපු ගුලියක් ලෙස දිස් වෙනවා. උච්ච කැටි වළාකුළු සුදු හෝ අළු පැහැති කැරළි, පටල හෝ ස්ථර ලෙස පවතින අතර මඳක් කෙඳි සහිතයි. උච්ච කැටි වළාකුළක තුනී ප්‍රදේශයක් සූර්යයාගේ හෝ සඳෙහි ඉදිරියෙන් ගමන් කිරීමේදී රශ්මියක් දැකගත හැකියි. මෙම ආලෝක කවයේ පිටත රතු පැහැ අතර ඇතුළත නිල් පැහැතියි.

මැද ස්ථරයේ වැඩිපුරම දැකගත හැකි වළාකුළු වර්ගය මෙය වන අතර එක වරකදී ස්ථර කිහිපයක් දැකගත හැකියි.

ස්ථර වැහි වළාකුළු (Nimbostratus)

උච්ච කැටි වළාකුළුවල ඝණත්වය වැඩි වීමෙන් මෙම වැහි වළාකුළු ඇති වෙනවා. මෙය තද අළු පැහැයෙන් දිස්වන අතර ද්‍රව ජලය ලෙස හෝ හිම ලෙස වර්ෂාපතනය ඇති වීමට හේතු වෙනවා. සූර්යයා නොපෙනී යාමට තරම් මෙම වළාකුළු ඝණත්වයෙන් ඉහළයි.

ස්ථර වැහි වළාකුළු (Dave Massey)

උච්ච ස්ථර වළාකුළු (Altostratus)

අළු හෝ නිල් පැහැති වළාකුළු ස්ථර ලෙස මේවා පවතිනවා. විටෙක අහසේ විශාල පදාසයක් පුරාද විටෙක කුඩා පෙදෙසකද පැතිරෙනවා.

මෙම වළාකුළු වර්ෂාවක පෙරනිමිති කියාපානවා.

පහළම කොටසේ අැති වළාකුළු වර්ග

කැටි වළාකුළු (Cumulus)

කැටි වළාකුළු වෙන් වෙන්ව පවතින අතර සාමාන්‍ය ඝණකමකින් යුක්යි. තියුණු මායිමක් සහිතව සිරස්ව ගොඩනැගුණු ගොඩැලි ලෙස මේවා සැකසී තිබෙනවා. මේවායේ පෙනුම මල්ගෝවාවල උඩ කොටසට බොහෝ සමානකමක් දක්වනවා. මෙම වළාකුළුවල හිරු එළියෙන් ආලෝකමත් වන පෙදෙස් ඉතා දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වෙනවා.

පැහැදිලි අහසක් ඇති දිනවල මෙම වළාකුළු බහුල වන අතර බොහෝ විට උදේ කාලයේදී දැකගත හැකියි.

කැටි වැහි වළාකුළු

අකුණු සහිත කුණාටු ඇති වීමට පෙර මෙම වළාකුළු දකින්නට පුළුවන්. කඳු හැඩැති මේවා ඉතා ඉහළ ඝණත්වයකින් යුක්තයි. එහි ඉහළ කොටස සුමටව, කෙඳි ආකාරව පවතින අතර පහළ කොටස අඳුරු පැහැතිව කඩතොළු ලෙස දිස්වෙනවා.

තද හිම කුණාටු හෝ චණ්ඩ මාරුත ඇති වීමට හේතු වන්නේ මෙම වළාකුළු වර්ගයයි.

ස්ථර වළාකුළු (stratus)

සාමාන්‍යයෙන් අළු පැහැයෙන් දිස්වන අතර ප්‍රමාණවත් තරමේ ඝණත්වයක් ඇති විට මඳ වැසි හෝ හිම කැටිති ඇති කළ හැකියි. සූර්යයාලෝකය වැටීමේදී මෙම වළාකුළුවල මායිම ඉතා පැහැදිලිව පෙනෙනවා.

ස්ථර වළාකුළු (Kevin Udy)

ස්ථර කැටි වළාකුළු (stratocumulus)

අළු හෝ සුදු පැහැති මෙම වළාකුළු ස්ථර ලෙස හෝ ගොඩැලි ලෙස පවතිනවා.

සෑම මට්ටමකදීම සිරස්ව වර්ධනය වන වළාකුළු වර්ග

එක තිරස් මට්ටමක නොතිබී සිරස්ව ඉහළට හා පහළට වර්ධනය වන වළාකුළු මේ නමින් හැඳින්වෙනවා.

සාමාන්‍ය කැටි වළාකුළු

සිරස්ව වර්ධනය වන ගෝලාකාර හැඩැති මෙම වළාකුළු සූර්යයාලෝකය විනිවිද නොයන තරමට ඝණකම් වන අතර අකුණු සහිත කුණාටු වැහි ඇති කරනවා.

කැටි වැහි වළාකුළු

සාමාන්‍ය කැටි වළාකුළුවලට වඩා විශාල වන අතර වළාකුළු අතරින් වඩා විශාලම සිරස් වර්ධනයක් පෙන්වන්නේ මේවායි. කැටි වැහි වළාකුළු සංවහන ධාරා ඇතිකරමින් අධික සුළං සහ විදුලි කෙටිම් සහිත වැහි ඇති කරන්න සමත් වෙනවා.

කෙනෙකුට කාලගුණ අනාවැකි කියන්න තියෙන හොඳම ක්‍රමය වන වළාකුළු ගැන හොඳ දැනුමක් මේ ලිපියෙන් ලැබෙන්න අැති කියලා විශ්වාස කරනවා.

කවරයේ පින්තූරය: SkinTech

මූලාශ්‍ර:

  1. www.weatherwizkids.com
  2. www.weatheronline.co.uk
  3. ciclops.org
  4. www.srh.noaa.gov
  5. www.danuma.lk

Related Articles