Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් පරිණාමය ගැන නැවත සිතන්නට ඉඩ හළ ජපන් වඳුරෝ

මෑතක දී සිදු කළ අධ්‍යයනයකට අනුව ජපානයේ වනාන්තරවල ජීවත් වන ‘මුකාක්’ නම් වඳුරු විශේෂයේ දත්වල ඇති අසාමාන්‍ය සලකුණු මානව පරිනාමය පිළිබඳ මෙතෙක් පැවති මතවලට අභියෝග එල්ල කරන බව විද්‍යාඥයන්ගේ මතය යි.

මෙම සොයා ගැනීම සිදුකරන තුරු, එවැනි විශේෂිත සලකුණු හමු වී තිබුණේ මිනිස් දත්වලින් පමණක් වන අතර, ඒවා ඉපැරණි මිනිසුන් සිදු කළ උපාංග හා ආයුධ භාවිතයට නිදසුනක් ලෙස විද්වතුන් සැලකුවා.

වඳුරු දත්වල ‘හාරන ලද’ සිදුරු

ඉපැරණි මිනිස් දත්වල ඇති විවිධ අවස්ථාවන්හි දී දක්නට ලැබුණු, කුහර පිළිබඳ පර්යේෂණ රාශියක්ම සිදු විද්‍යාඥයන් කර තිබෙනවා. මෙවැනි සලකුණු ඇතිවන එක් හේතුවක් ලෙස ඉපැරණි ජනයා සිය දත් උපයෝගී කොටගෙන සත්ත්ව සම් විවිධ ආකාරයට සැකසීම බැව් අනුමාන කර තිබුණා. තම දත්වල යමක් සිර වූ විට, යම් උපාංගයක් භාවිත කර ඒවා ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දී එම සලකුණු ඇති වුණු බවටත් මතයක් ඉදිරිපත් වුණා. කෙසේ නමුත් වර්තමානයේ ද වනාන්තරවල ජීවත් වන මුකාක් වඳුරන්ගේ දත් වලින් ද එවැනි ම සලකුණු සොයා ගැනීමත් සමඟ එම මත දැඩි ලෙස අභියෝගයකට ලක්ව තිබෙනවා. ඒ එම වඳුරන් දත් හාරන්නට උපාංග සාදා ගැනීමට තරම් බුද්ධි මට්ටමෙන් උසස් බැව් කොතැනක හෝ තහවුරු වී නොතිබීම නිසා යි.

 මුකාක් වඳුරන්- news.mongabay.com

 

විද්‍යාඥයන් දැන් පවසන අන්දමට මෙම වඳුරන්ගේ දත්වල මේ ආකාර කුහර ඇති වී තිබෙන්නේ අහඹු ලෙස ඔවුන්ගේ මුඛ කුහරයට වැලි කැට ඇතුළු වී, ඔවුන් ඒවා තදින් සැපීම නිසා දත්වලට හානි වීම නිසා බව යි. මීට අමතර ව ඔවුන් ගොළුබෙල්ලන් වැනි, තද පිට කවච සහිත මොලුස්කාවන් ආහාරයට ගැනීමේ දී, එම කවච ඉවත් කිරීමට තැත් කිරීමේ දී ද මෙවැනි කුහර ඇති විය හැකි යයි සමහර විද්‍යාඥයන් මත පළ කරනවා.

මේ අනුව පෙර අනුමාන කළ, ඉපැරණි මිනිසුන් ගේ දත්වල තිබී හමු වූ සලකුණු ද හුදු වැලි සැපීම හෝ වෙනත් ආහාරයක් සැපීම නිසා ඇති වූ සලකුණු ම වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බැව් විද්වත් මතය යි. මෙම සලකුණු හා සබැඳි ව ඔවුන් උපකරණ භාවිතා කිරීම හා, සම් පදම් කිරීම වැනි දේද සිදු කළා යැයි යන මත ද නැවත සලකා බැලිය යුතු කාලය පැමිණ ඇති බැව් වැඩි දුරටත් ඔවුන් පවසනවා.

අභියෝග එල්ල වූ මත

විද්‍යාඥයන් සියුම් ව නැවත නිරීක්ෂණය කිරීමේ දී හෙළි වූ පරිදි ඉපැරණි ජනයාගේ දන්තමය අවශේෂවල, ඉදිරි දත්වල ඇති බිඳුම් සහ ගෙවීම්, සම් සැකසීමේ දී සිදු වූ ඒවා යන්න, යන කරුණ ඉහත සොයා ගැනීම හමුවේ අභියෝගයට ලක් වී නැහැ. ඒ මක්ද යත්, ජපානයේ මුකාක් වඳුරන්ගේ දත්වල ඒ ආකාරයේ ගෙවීම් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ ඉදිරි දත්වල විශාල සීරුම් පහරවල් ඇති අතර, ඒවා බොහෝ විට ඔවුන්, ගල් තලා මත සිටින මොලුස්කාවන් සූරා ගෙන කෑම නිසා ඇති වූ ඒවා බවට විශ්වාස කෙරෙනවා.

පැරණි මානවයාගේ පසුපස දත්වල ඇති කුහරවල පරිද්දෙන් ම මෙම වඳුරන්ගේ පසුපස දත්වල ද එවැනි කුහර දක්නට ලැබීම මත, ඉපැරණි මිනිසා දත් පිරිසුදු කිරීමට විවිධ උපකරණ භාවිත කළාය යන මතය පමණක් අභියෝගයට ලක් වී තිබෙනවා. වර්තමානයේ පැවසෙන පරිදි, බොහෝ විට එම ජනයා ද සිය දත්, උපකරණ භාවිත කොට පිරිසුදු කර නොමැති අතර, මුකාක් වඳුරන්ට මෙන් ම, ආහාර භාවිතයේ දී සිදු වූ අහඹු වැලි සැපීම් වැනි හේතු නිසා මෙලෙස සිදු වී තිබෙනවා.

මේත් සමඟ පැන නැඟී ඇති තවත් මතයක් වන්නේ ඉපැරණි මිනිසාගේ ආහාර රටාව ද මුකාක් වඳුරන්ට බොහෝ සෙයින් සමාන වන්නට ඇතැයි යන්න යි. මුකාක් වඳුරන් පිළිබඳ වසර හැත්තෑවක පමණ කාලයක සිට විද්‍යාඥයන් අධ්‍යයනය කරමින් සිටින අතර, ඔවුන් තමන් ආහාරයට ගන්නා මසුන් ජලයේ ඔබා පිරිසුදු කර ගැනීම වැනි මිනිසුන්ට සමීප, දියුණු චර්යා ද පෙන්වනවා.

 ඉපැරණි මිනිස් දතක ඇති සලකුණු- Ian Towle

 

සුහුරු ලෙස උපකරණ භාවිතය

මිනිසා වඳුරන්ගෙන් පරිණාමය වී ඇති බැව් පිළිගත් මතය යි. මෙහිදී වඳුරන් විෂයෙහි මිනිසාට සමාන චර්යා රටා රාශියක් පෙන්වනවා. අත් ඇඟිලිවල ක්‍රියාකාරීත්වය, දත්වල සැකැස්ම වැනි දේ ඉන් දෙකක් පමණ යි. ආදි මිනිසා ද වර්තමානයේ අපට හමු වන වඳුරන්ට සහ චිම්පන්සින් වැනි වානර කුලයේ අනෙකුත් සතුන්ට වඩා දියුණු චර්යා රටා පෙන්වූ බව කිහිප ආකාරයකින් ම තහවුරු වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වුව ද හමු වන සමහර ඉපැරණි නටබුන්වලින් ඒ බැව් සනාථ වී තිබෙනවා.
විශේෂයෙන් ඉබ්බන්කටුව, බෙලි ලෙන වැනි ස්ථානවලින් හමු වී ඇති සාක්ෂිවලට අනුව ඉපැරණි මානවයා ඉතා සුහුරු ලෙස උපකරණ භාවිතය සිදු කොට තිබෙනවා.

මේ නිසා ඉහත අධ්‍යයනයන්ගෙන් පසු ඇති වී තිබෙන, මිනිසා දත් පිරිසුදු කිරීමට උපකරණ භාවිත කළේ නැතැයි යන මතයට ද සමහරෙක් එකඟ නැහැ. ඔවුනට අනුව මුකාක් වඳුරන් වැලි හෝ වෙනත් තද යමක් සැපීම නිසා ඔවුන්ගේ පසුපස දත් හෙවත්, මිනිසුන්ගේ චාර්වක හා පුරස්චාර්වක දත්වලට සමාන දත් වල ඇති වී තිබෙන කුහරවලට සමාන කුහර සැබවින් ම මිනිසා උපකරණ භාවිත කොට දත් පිරිසුදු කිරීමේදී ද ඇති වි‍ය හැකි යි. මෙය ද සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභ කරන්නට කිසිවකුත් සමත් වී නැහැ.

 ඉබ්බන්කටුව සුසානය- trawell.in 

 

මේ කරුණු සියල්ල සලකා බැලීමේ දී බොහෝ දෙනා පවසන්නේ කිසිවකුත් මෙම කරුණ පිළිබඳ තීරණ ගැනීමට ඉක්මන් විය යුතු නැති බව යි. තවත් පර්යේෂණ රාශියක් සිදු කොට සත්‍ය කරුණු පැහැදිලි කරගත යුතු බැව් ඔවුන්ගේ මතය යි. කෙසේ හෝ යම් දිනෙක ඉපැරණි මිනිසා විෂයෙහි, ඔවුන්ගේ පසුපස දත්වල කුහර ඇති වූයේ හුදු වැලි සැපීමෙන් නිසා පමණක් බැව් ඔප්පු වුවහොත්, එම සාක්ෂිය මිනිස් පරිණාමය පිළිබඳ මෙතෙක් ලියැ වී ඇති පොත පතෙහි සඳහන් කරුණු රාශියක් වෙනස් කිරීමට සිදුවන සොයා ගැනීමක් වෙනු ඇති. 

කවරයේ ඡායාරූපය - 'මුකාක්' නම් වඳුරු විශේෂය - earth.com

මූලාශ්‍ර:
Independent.co.uk
Unilad.co.uk
Imprensamundial.com

Related Articles