Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශ්වයේ ජීවීන්ගේ දියුණුව ගැන අනාවැකි කියන කාර්ඩෂෙව් පරිමාණය

සාමාන්‍ය අර්ථ දක්වීම් අනුව විද්‍යාත්මක සහ තාක්ෂණික අතින් දියුණුවක් ඇති, සංස්කෘතික සහ පොදු සමාජ සම්මතයන් සහිත, මානව සමාජයේ තිබෙන එක්තරා පැවැත්මක් ලෙස ශිෂ්ටාචාරය සැලකිය හැකියි. නමුත් සියලුම විද්වතුන් ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් වූ මේ නිර්වචනවලට එකඟ වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ශිෂ්ටාචාරයක් යනු කුමක්ද යන කාරණයේ දී, එහි තිබිය යුතු ලක්ෂණ මොනවා ද, නොතිබිය යුත්තේ මොනවා ද යන්න ගැන විවාද පවතිනවා. ලෝක ඉතිහාසය පුරා මානව ශිෂ්ටාචාරයන් බිහිවුණා වගේම විනාශයටත් පත්වුණා. නමුත් ශිෂ්ටාචාරය යන්න විස්තර කළ හැක්කේ පෘථිවියේ ජීවත්වන මිනිසාට සාපේක්ෂව පමණක්ම ද? විශ්වීය මට්ටමෙන් අපට ශිෂ්ටාචාරය අර්ථ දැක්විය නොහැකි ද? එලෙස අර්ථ දක්වනවා නම් අප භාවිතා කළ යුතු නිර්ණායක මොනවා ද?

තවමත් පෘථිවියෙන් එපිට පිහිටි ජීවයක් ගැන ස්ථිර සාක්ෂ්‍යයක් ලැබී නොමැති බැවින්, අපට ජීවය සම්බන්ධයෙන් දත්ත ලබාගත හැකි එකම ස්ථානය වන්නේ පෘථිවිය යි. එබැවින් පෘථිවියෙන් එපිට ශිෂ්ටාචාරයන්, සහ ඔවුන්ට සාපේක්ෂව අපි සිටින්නේ කොතැන ද යන්න නීර්ණය කිරීම දුෂ්කර කටයුත්තක්. නමුත් ඕනෑම දියුණු ශිෂ්ටාචාරයකට අවශ්‍යවන එක්තරා සාධකයක් සමග  අද ලෝකයේ සිටින බොහෝ විද්වතුන් එකඟ වෙනවා. මෙම සාධකය වන්නේ ශක්තිය යි.

කාර්ඩෂෙව් පරිමාණය

මීට වසර හැටකට පමණ පෙර රුසියානු ජාතික තාරකා භෞතික විද්‍යාඥයෙකු වූ නිකොලායි සෙමෙනොවිච් කාර්ඩෂෙව් විසින් හරි අපූරු සංකල්පයක් ගෙන එනවා. ඇත්තටම මේ සංකල්පය පරිමාණයක්. එය අද වන විට ඔහුට කරන ගෞරවයක් වශයෙන් “කාර්ඩෂෙව් පරිමාණය” ලෙසින් හඳුන්වනවා. 

මෙම සංකල්පයෙන් ඉදිරිපත් කරන මතය වෙන්නේ සංස්කෘතියක හෝ ශිෂ්ටාචාරයක දියුණුව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ශක්තිය සහ තාක්ෂණය මත බව යි. ශිෂ්ටාචාරයක තාක්ෂණික දියුණුව, එම ශිෂ්ටාචාරය සතු ශක්තිය පරිභෝජනය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාවටසමාන්තරව යන බව එයින් පැවසෙනවා. වැඩි වැඩියෙන් ශක්තිය නිපදවිය හැකි ශිෂ්ටාචාරයන් තාක්ෂණික අතින් වැඩි වැඩියෙන් දියුණුවන බව මෙහි අදහස යි. 

කාර්ඩෂෙව් පරිමාණය ලොවට හඳුන්වාදුන් නිකොලායි සෙමෙනොවිච් කාර්ඩෂෙව්/ideainventioncompany.com/

කාර්ඩෂෙව් පරිමාණයෙන්, විශ්වයේ ශිෂ්ටාචාරයන් ඒවායේ ශක්ති පරිභෝජන පරාසය අනුව වෙනස් මට්ටම්වලට වර්ග කරනවා. ඒ අනුව උපකල්පිත ශිෂ්ටාචාරයන් කිහිපයක් මේ පරිමාණය අධ්‍යනය කිරීමේ දී අපට හමුවෙනවා. එසේම මේ පරිමාණය විශ්වීය මට්ටමෙන් ශිෂ්ටාචාරයන් වර්ග කිරීමෙන් ඔබ්බට ගොස්, බුද්ධිමත් සක්වළ ජීවීන්ගෙන් නිකුත්වන සංඥා සෙවීමට පවා යම් මඟපෙන්වීමක් ලබා දී තිබෙනවා. දශක කිහිපයක් තිස්සේ එවැනි සංඥා හඳුනාගැනීමට විද්‍යාඥයින් විශාල උත්සාහයක් දරමින් සිටිනවා. නමුත් මේ පරිමාණය ප්‍රායෝගික තලයෙන් එහාට ගිය මෙවලමක් බව සැළකිය යුතු යි. එයට හේතුව වන්නේ කාර්ඩෂෙව් පරිමාණය උපකල්පිත නව බලශක්ති පරිභෝජන යාන්ත්‍රණයක් මත පදනම්ව තිබෙන නිසා යි. නමුත් එය අනාගතයේ දී අපට භාවිත කළ හැකි බලශක්ති ප්‍රභව සම්බන්ධයෙන් වූ චින්තනයට සාධනීය බලපෑමක් ඇති කොට තිබෙනවා.

ආරම්භයේ දී කාර්ඩෂෙව් පරිමාණයේ තිබුණේ ශිෂ්ටාචාර මට්ටම් තුනක් පමණ යි. නමුත් පසුකාලීනව විද්වතුන් විසින් මෙම පරිමාණය හතරවන් සහ පස්වන මට්ටම දක්වා දීර්ඝ කෙරුනා. ඒ අනුව අනාගතයේ දී මේ පරිමාණය තව තවත් පුළුල්විය හැකියි.

බිංදුව මට්ටමේ ශිෂ්ටාචාරයන්

මෙම ශිෂ්ටාචාරයට අයත්වන ජීවීන් තම ශක්ති අවශ්‍යතාවය සපුරාගන්නේ ලී, ගල් අඟුරු, ඛනිජ තෙල් වැනි කාබනික ප්‍රභවයන් භාවිතා කිරීමෙන්. සරලව කිවහොත්, ඔවුන් සිය මව් ග්‍රහලෝකයේ තිබෙන එක් ශක්ති ප්‍රභවයක් හෝ ශක්ති ආකාර කිහිපයක් පමණක් භාවිතා කරන උදවිය. අපි හිතමු එවැනි ශිෂ්ටාචාරයක් අභව්‍යකාශ තරණය කිරීමට තරම් දියුණු වුණා කියලා. එතකොට එවැනි පටු පරාසයක ශක්තිය පරිභෝජනය කරන ජීවීන්ට අභව්‍යකාශ තරණය උදෙසා භාවිතා කරන්න සිදුවෙන්නේත් රසායනික ප්‍රචාලනය වැනි ක්‍රම මඟින් ක්‍රියාත්මක වෙන රොකට් තාක්ෂණයන්. මේ ආකාරයෙන් සිදුකරන අභව්‍යකාශ තරණයන් ඉතා මන්දගාමී සහ සීමා මායිම් රැසකට යටත්වන නිසා ඔවුන්ට තම මව් ග්‍රහලෝකයටම සීමාවෙන්න සිදුවෙනවා. 

අවාසනාවට මිනිසා තවමත් අයත්වන්නේ මේ බිංදුව මට්ටමේ ශිෂ්ටාචාරවලට යි. අපි තවමත් උපරිම මට්ටමෙන් පෘථිවියේ ශක්තිය පරිභෝජනය කරන ජීවීන් කොටසක් නොවෙයි. නමුත් ඉදිරි අවුරුදු 100-200 ඇතුළත මිනිසා පළවෙනි මට්ටමට ළඟාවනු ඇතැ යි විශ්වාස කරනවා.

කාබනික ශක්ති ප්‍රභවයන් මත යැපුණත්, මිනිසා පළමු මට්ටමේ ශිෂ්ටාචාරයකට ළඟා වෙමින් තිබෙනවා/ishn.com/

පළමු මට්ටමේ ශිෂ්ටාචාරයන්

වර්තමාන මිනිසා සිටින තත්ත්වයට වඩා තරමක් උසස් ශිෂ්ටාචාරයන් මේ මට්ටමට අයත්වෙනවා. පළමු මට්ටමට ළඟාවූ ජීවීන්ට තම මව් ග්‍රහලෝකයේ තිබෙන සියලු බලශක්ති ප්‍රභවයන් දක්ෂ ලෙස උපයෝගී කරගනිමින් මව් ග්‍රහයාගේ සියලු සම්පත් පරිභෝජනය කිරීමට හැකියාව තිබෙනවා. මිනිසා තම පැවැත්ම තමා විසින්ම විනාශ කරගත්තේ නැතිනම් හෝ පෘථිවිය තව දුරටත් ජීවීන්ට නුසුදුසු ස්ථානයක් බවට පත් නොවුණහොත්, කලින් සඳහන් කළ ආකාරයට මිනිසාට නුදුරු අනාගතයේ දී පළමු මට්ටමේ ශිෂ්ටාචාරයක් දක්වා විශ්වය තුළ තම පැවැත්ම උසස්කර ගැනීමට හැකිවේවි. වර්තමාන බලශක්ති නිෂ්පාදනය තවත් 100,000 ගුණයකින් වැඩි කිරීම මඟින් මිනිසාට මේ මට්ටමට ළඟාවෙන්න පුළුවන්. එවිට මිනිසාට සියලු ස්වභාවික බලවේග පාලනය කිරීමට හැකියි. ගිනිකඳු ක්‍රියාකාරීත්වයන්, කාලගුණය, භූමිකම්පා පවා මිනිසාට මේ මට්ටමේ දී පාලනය කළ හැකියි. 

කෙසේ නමුත් එක්තරා තැනක දී පළමු මට්ටමේ ශිෂ්ටාචාරයකට අවශ්‍යවන බලශක්තිය ලබා දීමට මව් ග්‍රහලෝකය අපොහොසත් වෙන්න පුළුවන්. එවිට එම ජීවීන්ට නිරායාසයෙන්ම තම මව් ග්‍රහයාගෙන් එපිට ශක්ති ප්‍රභවයන් ගැන අවධානය යොමු කිරීමට සිදුවෙනවා.

දෙවන මට්ටමේ ශිෂ්ටාචාරයන්

මේ ශිෂ්ටාචාර මට්ටමට අයත්වන්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටින ජීවීන්. සමහර විට අපට මේ දක්වා දියුණුවීමට තවත් වසර දහස් ගණනක් ගතවිය හැකියි. මෙවැනි ශිෂ්ටාචාරයකට තම මව් තාරකාවේ සියලුම ශක්තිය උපයෝගී කරගෙන තම කටයුතු කරගෙන යාමට හැකි වෙනවා. මේ තත්ත්වය අපට ආදේශ කළොත්, සූර්යයාගේ සියලුම ශක්තිය භාවිතා කරමින් සූර්යයාව පාලනය කිරීමට අපට හැකිවෙනවා. මේ සා විශාල බලශක්ති ප්‍රභවයක් ජීවීන් පාලනය කරන්නේ කෙසේ ද? ඒ සඳහා ක්‍රම කිහිපයක් යෝජනා වී ඇති අතර එයින් ජනප්‍රියම උපකල්පනය වන්නේ “ඩයිසන් ගෝලය” නම් ඉදිකිරීම යි. එහිදී දෙවන මට්ටමේ ජීවීන් සිය තාරකාව සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි කෘතිම ගෝලයක් ඉදිකොට, එම ඉදිකිරීම හරහා තාරකාවෙන් නිපදවෙන සියලුම බලශක්තිය උකහාගෙන තමන්ගේ පරිභෝජනයට යොදා ගන්නවා. මේ නිසා මෙම ජීවීන්ට තම මව් තාරකාවට අයත් අනෙකුත් ග්‍රහලෝකවල කක්ෂයන් පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා. මිනිසා මේ තත්ත්වයට කවදා හෝ පත්වුණොත්, සෙනසුරු, බ්‍රහස්පති වැනි ග්‍රහ යෝධයන්ගේ පාලනයත් තමන් සතුකර ගැනීමට හැකිවෙනවා.

ඩයිසන් ගෝලයේ කල්පිත රූපයක්/synthesa.net/

සංකල්පයක් ලෙස, ඩයිසන් ගෝලය විශ්වයේ සිටින බුද්ධිමත් ජීවීන් හඳුනාගැනීම සඳහා භාවිතා කළ හැකි තාක්ෂණික සංඥාවක් ලෙස හැඳින්වෙනවා. 2015 වර්ෂයේ දී යේල් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක වූ ටැබිතා බොයාජියන් වැදගත් හෙළිදරව් කිරීමක් සිදුකරනවා. එහිදී KIC 8462852 නම් තාරකාවේ ආලෝකයේ අඩුවීමක් නිරීක්ෂණය කරන්නට ලැබුණු බවත්, මෙම තාරකාවේ අක්‍රමවත් දැල්වීම මීට පෙර කිසිම අයුරකින් නිරීක්ෂණය වී නැති බවත් මේ හෙළිදරව්වෙන් පැවසෙනවා. තාරකාවෙන් නිරීක්ෂණය වූ මේ අමුතු ආලෝක අවප්‍රමාණයවීම, දියුණු සක්වළ ජීවි කොට්ඨාශයක් විසින් අර්ධ වශයෙන් ගොඩනැගූ ඩයිසන් ගෝලයක ප්‍රතිඵලයක් විය හැකි බව අනෙකුත් විද්වතුන් යෝජනා කළා. මේ සිදුවීම මාධ්‍ය අවධානයට පවා එකල ලක්වුණා. නමුත් මෙයට විරුද්ධ මතයන් ඕනෑ තරම් තිබෙනවා.

තෙවන මට්ටමේ ශිෂ්ටාචාරයන්

මෙම මට්ටමට ළඟාවූ ජීවීන්, තමා ජීවත්වන මන්දාකිණියේම ශක්තිය උකහාගැනීමට හැකියාව ලබාගත් අයවලුන් බවට පත්වෙනවා. ඔවුන්ට එම මන්දාකිණියම ජනාවාස කිරීමට හැකියි. එසේම ඉන් එපිටට සංචාරය කිරීමටත් හැකියි. අවසානයේ දී ඔවුන් සමස්ථ මන්දාකිණියේ බලවතුන් බවට පත්වෙනවා. මේ තත්ත්වයට පත්වීම සඳහා මිනිසා තම තාක්ෂණික පරිණාමය තුළ තවත් වසර මිලියන ගණනක් ගමන්කළ යුතු යි. එමෙන්ම මෙවැනි මට්ටමක සිටින ජීවීන්, අර්ධ යාන්ත්‍රික සහ අර්ධ ජීව විද්‍යාත්මක ශරීර පවතින ජීවීන් ද විය හැකියි. ඒ අනුව තුන්වන මට්ටමේ ශිෂ්ටාචාරයක ඉන්නා ජීවීන් භෞතික වශයෙන් මිනිසාට සාපේක්ෂව බෙහෙවින් වෙනස්.  

මෙම මට්ටමේ දී, ස්වයංව ගුණනය විය හැකි රොබෝවරුන් ආශ්‍රයෙන් මන්දාකිණිය පුරා ජනපද නිර්මාණය කිරීමට හැකිවෙනවා. තාරකාවෙන් තාරකාව යටත්විජිතකරණය කරමින් මන්දාකිණියේ බලය තහවුරුකර ගන්නට හැකිවෙනවා.

තෙවන මට්ටමේ ශිෂ්ටාචාරයකට මුළු මන්දාකිණියේම ශක්තිය පරිභෝජනය කළ හැකියි/futurism.com/

නමුත් මුළු මන්දාකිණියකම ශක්තිය උකහාගැනීමට තරම් ඔවුන් යොදා ගන්නා තාක්ෂණය කුමනාකාරයේ එකක් විය හැකි ද? එම ගැටළුවට පිළිතුරක් නැවතත් ඉහත සඳහන් කළ “ඩයිසන් ගෝලය” නම් කල්පිත ඉදිකිරීම මඟින් ලබාගත හැකියි. එනම් මන්දාකිණිය පුරා පැතිරුණ තාරකාවන් වටා ඩයිසන් ගෝල ඉදිකරමින් එම ශක්තිය තම මව් ග්‍රහලෝකය වෙත ගෙන ඒමෙන් හෝ මන්දාකිණිය මධ්‍යයේ ඇති කළු කුහරයේ ශක්තිය උකහාගත හැකි ක්‍රමවේදයක් භාවිතා කිරීමෙන් ඔවුන්ට මේ තත්ත්වයට පත්විය හැකි බව උපකල්පනය කරනවා.

හතරවන මට්ටමේ ශිෂ්ටාචාරයන්

මේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කෙරුණු කාලයේ මිනිසා සතුව තිබූ දැනුමට සාපේක්ෂව, හතරවන මට්ටමේ ශිෂ්ටාචාරයක් අර්ථ දැක්වීම එතරම් ප්‍රායෝගික නොවන බව කාර්ඩෂෙව් විශ්වාස කළා. ඔහු සිතුවේ නියත වශයෙන්ම ඕනෑම ජීවියෙකුට යම් සීමාවක් ඇති බව යි. ඒ නිසා ඔහු තම පරිමාණය තුන්වන මට්ටමෙන් ඉදිරියට ගෙන ගියේ නැහැ. නමුත් ඇතැම් විද්‍යාඥයින් මෙවැනි සීමාවක් ගැන විශ්වාස කළේ නැහැ. ඒ අනුව හතරවන මට්ටමත් කරළියට ආවා.

මුළු විශ්වයේම ශක්තිය උපයෝගී කරගත හැකි විශ්වීය ශිෂ්ටාචාරයක් ලෙස හතරවන මට්ටම අර්ථ දැක්වෙනවා. ඔවුන් තාරකාවන් සහ ඒ ආශ්‍රිත ග්‍රහ පද්ධතීන් ට්‍රිලියන ගණනක තම බලය තහවුරු කරගනිමින් විශ්වය පුරා ගමන් කරන ජීවීන් කොට්ඨාශයක් විය හැකි බව උපකල්පනය කරනවා. මොවුන්ට අති විශාල සහ අධිමානුෂික මට්ටමේ ව්‍යාපෘති, අභව්‍යකාශ-කාල ව්‍යුහයේ වෙනස්කිරීම් හෝ එන්ට්‍රොපිය මන්දගාමී කරවීම මඟින් අමරණීයත්වයට පත්වීම වැනි ක්‍රියාවන් සිදුකළ හැකියි. මේ තත්ත්වයට ළඟාවීම සඳහා සිව්වන මට්ටමේ ජීවීන් ශක්තිය භාවිතා කරන්නේ අප තවමත් නොදන්නා බලශක්ති ප්‍රභවයකින් හා තවමත් අපට අනාවරණය හෝ තේරුම් ගැනීමට නොහැකි භෞතික විද්‍යාවේ න්‍යායන් මත පිහිටා බව උපකල්පනය කෙරෙනවා.

පස්වන මට්ටමේ ශිෂ්ටාචාරයන්

පස්වන මට්ටමේ ජීවින්ට විශ්වයන් අතර සැරිසැරීම බාධාවක් නොවෙයි/forbes.com/

මෙම ශිෂ්ටාචාර මට්ටමට අයත්වන ජීවීන්, ඔවුන්ගේ මූලාරම්භය සිදුවූ විශ්වය ඉක්මවායාමට සමත්වෙන ජීවීන් කොට්ඨාසයක්. එනම් විශ්වයන් අතර සැරිසරමින් තම බලය විහිදුවීමට සමත්කම් දක්වන ශිෂ්ටාචාරයක සාමාජිකයන් බවට පත්වෙනවා. මිනිසාට සාපේක්ෂව මොවුන් දෙවිවරුන් හෝ ඊටත් එහා ගිය උසස් බවක් ලබාගත් ජීවීන් කොටසකට සමාන කළ හැකියි. භෞතික විද්‍යාවේ සීමාවන් පමණක් නොව පාරභෞතිකමය දේ පවා තේරුම්ගෙන, ඒවා අතික්‍රමණය කිරීමට මොවුන්ට හැකියාව පවතිනවා. දැනට මිනිසා සතු විද්‍යාත්මක න්‍යායන් සහ දැනුමෙන් මෙවැනි ශිෂ්ටාචාරයන් ගැන දළ අදහසක්වත් මිනිසාට ලබාගන්නට බැහැ.

කාර්ඩෂෙව් පරිමාණය දිගේ ඉදිරියට යාමට නම්, මිනිසා තමාගේ නිවහන රැකිය යුතු යි/churchofgod.net/

මිනිසුන්ට මෙවැනි මට්ටමකට ළඟාවීම උදෙසා ඉතා දිගු වූ දුරක් ගමන්කළ යුතු යි. කාර්ඩෂෙව් පරිමාණයට අනුව සැබැවින්ම විශ්වය තුළ ජීවීන් හැසිරෙයි නම්, මෙම පරිමාණයේ කෙළවරට සාපේක්ෂව මිනිසා තම ගමන යන්තම් ඇරඹුවා පමණ යි. නමුත් මිනිසාට කවදා හෝ පස්වන මට්ටම දක්වා වූ අවස්ථාවකට ළඟාවිය නොහැකියි කියා එයින් අදහස් වෙන්නේ නැහැ. පළමුව කළ යුත්තේ පෘථිවිය නම් වූ අපේ කුඩා නිවහන ආරක්ෂාකර ගැනීම යි. එමෙන්ම යුද්ධය වැනි, මිනිසා විසින් මිනිසාගේම පැවැත්මට හානි පමුණුවන දෙයින් වැළකී, එකිනෙකා කෙරෙහි අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ අතරේ විද්‍යාත්මක දියුණුව සහ නව සොයාගැනීම් උදෙසා මිනිසා තම සහය අඛණ්ඩව ලබාදිය යුතු වෙනවා. නමුත් කාලීන ලෝක ප්‍රවණතාවයන් සැලකීමේ දී මිනිසාගේ අනාගත පැවැත්ම ගැටලු සහගත යි.

Cover photo: powerofpositivity.com/

මූලාශ්‍රයයන්: futurism.com/

astrobites.org/

space.com/

ancient.eu/

Related Articles