Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ පෙර විමසුම

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රබලම ප්‍රතිවාදීන් දෙපළක් වන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මෙම තරගාවලියේ දී කෙනිංටන් ඕවල් පිටියේ දී උරෙනුර ගැටෙනවා. වැඩිම එක්දින ලෝක කුසලාන අවසන් තරග ගණනක දී  හමුවී ඇති මෙම කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන තරග ඉතාමත් උද්වේගකර යි. එම උද්වේගකර බව නිසාම කැංගරුවන් හමුවන ලෝක කුසලාන තරගයක් පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දක්වන්නේ පුදුම උනන්දුවක්. එලෙස උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සැකසුණු මෙම පෙර විමසුම මඟින්, ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරග පිළිබඳව තොරතුරු මෙන්ම තරගය පැවැත්වෙන කෙනිංටන් ඕවල් පිටිය පිළිබඳව දත්තයන් ඉදිරිපත් කර තිබෙනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා ගැටුම්

1975 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක මුල්ම වරට තරග වැදුණා. එහිදී  ඕස්ට්‍රේලියානු පිතිකරු ඇලන් ටර්නර් ශතකයක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 328/5 දක්වා රැගෙන ගියා.  . ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුලිප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණි ඉතාමත් දක්ෂ පිතිහරඹයක නිරත වුණා. නමුත් එම අවස්ථාවේ ඉතාමත් අශිෂ්ඨ ආකාරයෙන් පන්දු යැවූ ජෙෆ් තොම්සන්ගේ පන්දු හමුවේ දුලිප් මෙන්ඩිස් සහ සුනිල් වෙත්තමුණි අනතුරට පත්වී පිටියෙන් ඉවත්වීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් වුණා.

ඕස්ට්‍රේලියාව – 328/5 (60)

ශ්‍රී ලංකාව – 276/4 (60)

ඕස්ට්‍රේලියාවට ලකුණු 52ක ජයක්

1975 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව වෙතින් පරාජය ලැබුවේ ඔවුන්ගේ  පිතිකරුවන් අසාර්ථක වීම නිසා යි.

ශ්‍රී ලංකාව- 189/9 (50)

ඕස්ට්‍රේලියාව- 190/3 (44)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

1992 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලිය මෙම කණ්ඩායම් 2ටම අමතක නොවන තරගාවලියක් වුණා. එම තරගාවලියේ මූලික වටයේ මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගය ඕස්ට්‍රේලියානුවන් විසින් වර්ජනය කළේ ශ්‍රී ලංකාවේ පැවති ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින්. නමුත් දෛවයේ සරදමකට මෙන් අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානුවන්ට නැවතත් ශ්‍රී ලංකාව හමුවුණා. එහිදී අරවින්ද තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකාවට ලෝක කුසලානය හිමිවුණා. එදා අරවින්ද ලෝක කුසලාන වාර්තා පොත් අලුත් කළේ ලෝක කුසලාන තරගයක දී ශතකයක් සහ කඩුලු 3ක් ලබාගත් මුල්ම ක්‍රීඩකයා ලෙසින්. ඊට අමතරව ලෝක කුසලාන අවසන් තරගයක දෙවනියට පන්දුවට පහරදුන් කණ්ඩායමක පිතිකරුවෙකු ලබාගත් එකම ශතකයත් එය යි.

ඕස්ට්‍රේලියාව – 241/7 (50)

ශ්‍රී ලංකාව- 245/3 (46.2)

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

1996 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 වටයේ තරගයක දී ඕස්ට්‍රේලියානුවන් හමුවේ ශ්‍රී ලංකාව දරුණු පරාජයක් ලැබුවා. එම තරගයේ දී ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං ලකුණු 114ක් ලබාගත්තා. ඊට අමතරව ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 99කට දුවද්දී දැවීයාම ප්‍රේක්ෂකයන් ගේ මතකයේ රැඳෙන සිදුවීමක් වුණා. එලෙස ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දස්කම් දක්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීම සඳහා අරවින්ද ද සිල්වා ලබාගත් ලකුණු 92ක පිළිබඳව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු යි. එම තරගය පරාජය වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් පූර්ව තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට තිබුණු අවස්ථාව අහිමි කරගනිමින්.

සුපිරි 6 වටයේ තරගය

ඕස්ට්‍රේලියාව – 319/5 (50)

ශ්‍රී ලංකාව- 223/10 (47.4)

ඕස්ට්‍රේලියාවට ලකුණු 96ක ජයක්

අවසන් පූර්ව තරගය

ඕස්ට්‍රේලියාව – 212/7 (50)

ශ්‍රී ලංකාව- 123/7 (38.1)

ඕස්ට්‍රේලියාවට ලකුණු 48ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

2003 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී මෙන්ම අවසන් තරගයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියානුවන් වෙතින් පරාජය වීමට සිදුවුණා. එහිදී අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් ලබාගත් ලකුණු 149 ලෝක කුසලාන අවසන් තරගයක දී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් වාර්තා අතරට එක්වුණා. නමුත් එදා ගිල්ක්‍රිස්ට් අත් ආවරණ තුළ ස්කොෂ් පන්දුවක් සඟවාගෙන ක්‍රීඩා කිරීම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

සුපිරි 8 වටයේ තරගය

ශ්‍රී ලංකාව- 226/10 (49.4)

ඕස්ට්‍රේලියාව- 232/3 (42.4)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

අවසන් තරගය

ඕස්ට්‍රේලියාව – 281/4 (38)

ශ්‍රී ලංකාව- 215/8 (36)

ඕස්ට්‍රේලියාවට ලකුණු 53ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

2007 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණේ වර්ෂාව නිසා යි.

ශ්‍රී ලංකාව – 146/3 (32.5)

ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා.

2011 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක 2015 තරගාවලියේ දී හමුවුණු අවස්ථාවේ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 53කින් ලබාගත් වේගවත් ලකුණු 102 නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය හිමිවුණා. නමුත් පරාජිත  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර ලකුණු 104ක් ලබාගත්තා. ඊට අමතරව ජොන්සන්ගේ පන්දු වාරයක දී දිල්ෂාන් එල්ල කළ හතරේ පහර 6 මෙන්ම චන්දිමාල් පන්දු 24කින් ලබාගත් වේගවත් ලකුණු 52 ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ තවමත් රැඳී ඇතිවාට සැක නැහැ. එලෙසම මෙම තරගයේ සිදුවුණු අනිත් සුවිශේෂී සිදුවීම වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලෝක කුසලාන තරගයක දී මුලින්ම ලකුණු 300 ඉක්මවා ලබාගත් කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක් වීම යි.

ඕස්ට්‍රේලියාව – 376/9 (50)

ශ්‍රී ලංකාව- 312/10 (46.2)

ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්

2015 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් පිටිය පිළිබඳව දත්තයන්

මෙම තරගාවලිය යටතේ පැවති තරග 3ක් දිවා තරග ලෙසින් මෙම පිටියේ දී පැවැත්වුණා. එම තරගවල දී මෙම පිටිය වඩාත් යෝග්‍ය වුණේ පිතිකරුවන්ට යි. අවසන් වසර 2 තුළ මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරග 9 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 296ක් වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

කෙනිංටන් ඕවල් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 9 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම ඕවල් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

පසුගිය කාල සමයේ ඕවල් පිටියේ පැවති දිවා තරග වලදී ලකුණු හඹා ගිය කණ්ඩායම්වලට වාසිදායක තත්වයක් උදාවී තිබෙන නිසා කාසියේ වාසිය දිනූ නායකයන් බොහෝ අවස්ථාවල ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. නමුත් මෙවර තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති දිවා තරග 3 දීම ජයග්‍රහණය කළේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසාම අවසන් වරට ඕවල්  පිටියේ පැවති ඉන්දු-ඕස්ට්‍රේලියා තරගයේ දී මෙන්ම මෙවරත් කාසියේ වාසිය දිනාගත් නායකයා මුලින්ම පන්දුවට පහරදීම තෝරා ගැනීමට ඉඩ තිබෙනවා.

කෙනිංටන් ඕවල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම පිටියේ පැවති දිවා තරගවල දී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජයග්‍රහණය කර ඇති කණ්ඩායම ශ්‍රී ලංකාව යි. ඒ 2017 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම පිටියේ දී අවසන් වරට සහභාගි වුණු දිවා තරග 2දී ම පරාජය ලැබුවා. ඊට අමතරව මෙම කණ්ඩායම් 2ක ඕවල් පිටියේ දී අවසන් වරට හමුවුණු අවස්ථාවේ ජයග්‍රහණය ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. 2013 වසරේ පැවති ශූරයන්ගේ කුසලානය යටතේ පැවති එම තරගයේ දී ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනාම දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 233ක් පමණ යි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඕවල් පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක 2016 වසරේ දී හමුවුණු එක්දින තරගාවලිය 4-1ක් ලෙසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළා. මෙවර තරගය ආරම්භ වන විටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් සිටියත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය තුළ අවම වැරදි ප්‍රමාණයක් කරොත් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අවස්ථාවක් තිබෙනවා.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles