Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ පෙර විමසුම

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අසල්වැසි රටවල් 2ක් වුණත් එක්දින  ලෝක කුසලාන ඉතිහාසයේ දී ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනෙක්. අවසන් වරට 2015 වසරේ  පැවති එක්දින ලෝක කුසලාන අවසන් තරගයේ දී තරග වැදුණේත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි. එදා ඕස්ට්‍රේලියානුවන් හමුවේ කිරුළ අහිමි කරගත් කිවියන් මෙවර තරග බිමට පිවිසෙන්නේ එහිදී සිදුවුණු අවමානය මකා ගැනීමේ අරමුණෙන්. එසේම මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකිවන නිසා කණ්ඩායම් 2ම තරගය ජයග්‍රහණය කිරීම සඳහා උපරිම උත්සාහය දරනු ඇති.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-නවසීලන්ත ගැටුම්

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 10ක දී එකිනෙකා ගැටී තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානුවන් තරග 7ක් ජයග්‍රහණය කරන විට නවසීලන්තය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 3ක් පමණ යි.

මුල්ම වරට මෙම කණ්ඩායම් දෙක තරග කළේ 1987 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එහිදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති තරග 2ම තියුණු සටනකින් පසුව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේ ඩේවිඩ් බූන් ලබාගත් ලකුණු 87 සහ ජෙෆ් මාෂ් ලබාගත් ලකුණු 126 නිසා යි.

ඕස්ට්‍රේලියාව – 199/4 (30)

නවසීලන්තය – 196/9 (30)

ඕස්ට්‍රේලියාවට ලකුණු 3ක ජයක් 

ඕස්ට්‍රේලියාව – 251/8 (50)

නවසීලන්තය – 234/10 (48.4)

ඕස්ට්‍රේලියාවට ලකුණු 17ක ජයක් 

ජෙෆ් මාෂ්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වුණේ  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර යි. එම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් මාටින් ක්‍රෝ ලකුණු 100 ලබාගන්නා විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් බූන් ලකුණු 100ක් ලබාගත්තා. නවසීලන්ත කණ්ඩායමට ජය හිමිවුණු මෙම තරගයේ දී නවසීලන්ත නායක මාටින් ක්‍රෝ ආරම්භක පන්දු යවන්නා ලෙසින් දඟ පන්දු යවන්නෙකු වුණු දීපක් පටෙල්ව යොදාගත්තේ නව උපක්‍රමයක් ලෙසින්.

නවසීලන්තය – 248/6 (50)

ඕස්ට්‍රේලියාව – 211/10 (48.1)

නවසීලන්තයට ලකුණු 37ක ජයක් 

1992 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

නැවතත් මෙම කණ්ඩායම් දෙක 1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී උරෙනුර ගැටුණා. එහිදී නවසීලන්තය වෙනුවෙන් ක්‍රිස් හැරිස් අගනා ලකුණු 130ක් ලබාගත්තත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මාක් වෝ  ලබාගත් ලකුණු 110 නිසා ජයග්‍රහණය හිමිවුණේ ඕස්ට්‍රේලියානුවන්ට යි.

නවසීලන්තය – 286/9 (50)

ඕස්ට්‍රේලියාව – 289/4 (47.5)

ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක් 

1996 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේ ලකුණු 214ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 49ක් ලබා අසරණ තත්වයකට පත්ව සිටියා. නමුත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රොජර් ට්වෝස් සහ ක්‍රිස් කෙයාන්ස් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 148ක සබඳතාවය නිසා තරගයේ ජයග්‍රහණය හිමිවුණේ නවසීලන්ත කණ්ඩායමට යි.

ඕස්ට්‍රේලියාව – 213/8 (50)

නවසීලන්තය – 214/5 (45.2)

නවසීලන්තයට කඩුලු 5ක ජයක් 

1999 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6  වටය යටතේ පැවති තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවතත් හමුවුණා. එම තරගයේ දී ෂේන් බොන්ඩ් 23/6 ලෙසින් සිදුකළ මනරම් පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 84/7 ලෙස අසීරු අඩියකට වැටී සිටියත් බෙවන් සහ බිකල් අර්ධ ශතක ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම 208/9 දක්වා ඉහළ නැංවුවා. ඉන්පසුව ලකුණු 209ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම බ්‍රෙට් ලී 42/5ක් ලෙසින් සිදුකළ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලුදෙනාම දැවී ලබාගත්තේ ලකුණු 112ක් පමණ යි.

ඕස්ට්‍රේලියාව – 208/9 (50)

නවසීලන්තය – 112/10 (30.1)

ඕස්ට්‍රේලියාවට ලකුණු 96ක ජයක් 

2003 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ කණ්ඩායම් දෙක තරග වැදුණු අවස්ථාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 215ක දැවැන්ත ජයක් හිමිවුණේ මැතිව් හේඩ්න් ලබාගත් ශතකය නිසා යි.

ඕස්ට්‍රේලියාව – 348/6 (50)

නවසීලන්තය – 133/10 (25.5)

ඕස්ට්‍රේලියාවට ලකුණු 215ක ජයක්

2007 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක හමුවුණු අවස්ථාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පහසු ජයක් හිමිවුණේ මිචෙල් ජොන්සන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා යි.

නවසීලන්තය – 206/10 (45.1)

ඕස්ට්‍රේලියාව – 207/3 (34)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් 

2011 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

2015 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක මූලික වටයේ දි සහ අවසන් තරගයේ දී තරග වැදුණා. එහිදී මූලික වටයේ තරගය නවසීලන්තය ජයග්‍රහණය කරන විට අවසන් තරගය ජයග්‍රහණය කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි. පන්දු යවන්නන්ගේ තරගයක් වුණු මූලික වටයේ තරගයේ දී ට්‍රෙන්ට් බෝල්ට් 27/5 සහ මිචෙල් ස්ටාක් 28/6 ලෙසින් පන්දුවෙන් දස්කම් දැක්වුවා.

මූලික වටයේ තරගය 

ඕස්ට්‍රේලියාව – 151/10 (32.2)

නවසීලන්තය – 152/9 (23.1)

නවසීලන්තයට කඩුලු 1ක ජයක් 

අවසන් තරගය 

නවසීලන්තය – 183/10 (45)

ඕස්ට්‍රේලියාව – 186/3 (33.1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් 

2015 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 5 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග ප්‍රමාණය 8ක්. එහිදී මෙම තණතීරුව බොහෝ අවස්ථාවන්වල හැසිරී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය අයුරින්. එම නිසාම මෙම පිටියේ පැවති එම තරග 8 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 282ක්. 

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ලෝඩ්ස් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 8 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග 8න් 6ක් ජයග්‍රහණය කර ඇත්තේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසා පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබුණොත් කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩියි.

ලෝඩ්ස් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වසර 20 තුළ ලෝඩ්ස් පිටියේ දී ක්‍රීඩාකළ එක්දින තරග 12න් පරාජය වී තිබෙන්නේ එක් තරගයක් පමණ යි. එසේම නවසීලන්ත කණ්ඩායමත් මෙම පිටියේ දී සහභාගි වුණු තරග 3ම ජයග්‍රහණය කිරීමෙන් පෙනීයන්නේ ලෝඩ්ස් පිටිය කණ්ඩායම් දෙකටම සුභදායී එකක් බව යි.

අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා-නවසීලන්ත තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එක්දින තරගාවලියක දී හමුවුණේ 2017 වසරේ දී යි. එවර තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ නවසීලන්ත කණ්ඩායම යි. නමුත් මෙවර තරගාවලිය සඳහා එක්ව ඇති කණ්ඩායම් දෙකම ඉතාමත් ශක්තිමත්. එම නිසාම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට යාම සඳහා වැදගත් වන මෙම තරගය තියුණු තරගයක් වීමට ඇති ඉඩ වැඩියි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles