Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගාවලි පරාජයක් ලද ශ්‍රී ලංකාව

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ දී අද නිමාවට පත් වුණා. එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 58ක පහසු ජයක් හිමි වුණේ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට යි.

ඒ අනුව ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය තරග 2-0ක් ලෙස හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයේ දී හිමි කර ගත් 13 වන ටෙස්ට් තරග පරාජය ලෙසින් සටහන් වුණා.

නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

වෙලිංටන් ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්

2023 ශ්‍රී ලංකා-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය වෙලිංටන් නුවර බේසින් රිසව් පිටියේ දී ආරම්භ වුණා. එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 580ක් රැස් කළා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් ලකුණු 215ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 200ක් රැස් කළා.

එම ඉනිමේ දී විලියම්සන් සහ නිකොල්ස් අතර තෙවන කඩුල්ල සඳහා ලකුණු 363ක සබඳතාවක් ගොඩනැඟීම විශේෂ සිදුවීමක් වුණා. නවසීලන්ත පිතිකරු යුගළයක් ටෙස්ට් ඉනිමක ද්විත්ව ශතක ලබා ගත් පළමු අවස්ථාව ලෙස එම ඉනිම වාර්තා අතරට එක් වුණා.

විලියම්සන් සහ නිකොල්ස් පන්දුවට පහරදෙමින් – gettyimages.com

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 164ක් පමණ යි. එහි දී නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් ලබා ගෙන දස්කම් අතරට පිවිසිය ද සෙසු පිතිකරුවන් අසාර්ථක වුණා.

පළමු ඉනිමේ දී අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් පිට පිට ම දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 416ක් අවශ්‍ය වුණා. එවැනි වටපිටාවක සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පිතිකරුවන්ට සියලුදෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 358ක් පමණ යි.

ඉනිම් දෙකේදී ම අර්ධ ශතක ලබා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න – gettyimages.com

එහි දී ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගත්ත ද එය ශ්‍රී ලංකාව ඉනිම පරාජයෙන් බේරා ගැනීමට ප්‍රමාණවත් වුණේ නැහැ.

එම ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 58ක ජයක් හිමි කර ගත් නවසීලන්තය ටෙස්ට් තරග මාලාව තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ඉනිමක සහ ලකුණු 58ක ජයක් හිමි කර ගත් නවසීලන්තය ටෙස්ට් තරග මාලාව තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළා – twitter.com/OfficialSLC

කෙටි ලකුණු පුවරුව
නවසීලන්ත පළමු ඉනිම- 580/4, (විලියම්සන්- 215, නිකොල්ස්- 200*, කොන්වේ- 78, රාජිත- 126/2)
ශ්‍රී ලංකා පළමු ඉනිම- 164/10, (කරුණාරත්න- 89, චන්දිමාල්- 37, හෙන්රි- 44/3, බ්‍රේස්වෙල්- 50/3)
ශ්‍රී ලංකා දෙවන ඉනිම- 358/10, (ධනංජය- 98, චන්දිමාල්- 62, සවුති- 51/3, ටික්නර්- 84/3)
නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 58ක ජයක්
තරගයේ වීරයා- හෙන්රි නිකොල්ස්
තරගාවලියේ වීරයා- කේන් විලියම්සන්

නවසීලන්ත නායක ටිම් සවුති ජයග්‍රාහී කුසලානය සමඟ – gettyimages.com

ශ්‍රී ලංකා එක්දින සහ T20 ක්‍රිකට් කණ්ඩායම් නවසීලන්තය

තරග 3කින් සමන්විත එක්දින සහ T20 තරගාවලිවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ T20 කණ්ඩායම් ඊයේ (19) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත් ව ගියා. එම සංචාරය සඳහා එක් වුණු ශ්‍රී ලංකා එක්දින සංචිතයට කලකට පසුව ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබීම විශේෂත්වයක්. නවක ක්‍රීඩකයෙක් වන සහන් ආරච්චිගේට ද මෙම සංචිතයේ ස්ථානයක් හිමි ව තිබෙනවා. මේ නවසීලන්ත එක්දින තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය යි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මදුෂාන්, දිල්ෂාන් මදුසංක, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ

මේ ශ්‍රී ලංකා-නවසීලන්ත එක්දින තරගාවලියේ තරග කාලසටහන යි.
1). පළමු එක්දින තරගය- මාර්තු 25 වැනි දා සෙනසුරාදා ඕක්ලන්ඩ් හි දී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30)
2). දෙවන එක්දින තරගය- මාර්තු 28 වැනි දා අඟහරුවාදා ක්‍රයිස්චර්ච් හි දී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30)
3). තෙවන එක්දින තරගය- මාර්තු 31 වැනි දා සිකුරාදා හැමිල්ටන් හි දී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30)

නවසීලන්තය බලා ගිය ශ්‍රී ලංකා එක්දින පිලේ ක්‍රීඩකයෝ – facebook.com/Sri Lanka Cricket

සංචාරය සඳහා එකතු වුණු ශ්‍රී ලංකා T20 සංචිතයට කලකට පසුව කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබෙනවා. නවක ප්‍රහාරාත්මක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ මෙම සංචිතයට එකතු කර තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ සිටින ප්‍රධානත ම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා. එය ශ්‍රී ලංකා කණ්ඩායමට දැරිය නොහැකි පාඩුවක් බව මෙහි දී කිව යුතු යි. මේ නවසීලන්ත T20 තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය යි.

ශ්‍රී ලංකා T20 සංචිතය
දසුන් ශානක (නායක), වනිඳු හසරංග (උප නායක), කුසල් මෙන්ඩිස් , පැතුම් නිස්සංක, නුවනිඳු ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, ලසිත් කෲස්පුල්ලේ, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මදුෂාන්, දිල්ෂාන් මදුසංක, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ

මේ ශ්‍රී ලංකා-නවසීලන්ත T20 තරගාවලියේ තරග කාලසටහන යි.
1). පළමු T20 තරගය- අප්‍රේල් 2 වැනි දා ඉරිදා ඕක්ලන්ඩ් හි දී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30)
2). දෙවන T20 තරගය- අප්‍රේල් 5 වැනි දා බදාදා ඩනිඩීන් හි දී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30)
3). තෙවන T20 තරගය- අප්‍රේල් 8 වැනි දා සෙනසුරාදා ක්වීන්ස්ටවුන් හි දී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.30)

දුෂ්මන්ත චමීර – gettyimages.com

යුරෝපා චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 16 වටය අවසන්

යුරෝපයේ පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 16 වටයේ දෙවන අර්ධයේ තරග පසුගිය සතියේ දී අවසන් වුණා. මේ එම තරග වටයේ අවසන් ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

1). මැන්චෙස්ටර් සිටි (එංගලන්තය) සහ RB ලිප්සිග් (ජර්මනිය)- 8-1 (1-1 සහ 7-0)
2). බෙන්ෆිකා (පෘතුගාලය) සහ ක්ලබ් බෘග් (බෙල්ජියම)- 7-1 (2-0 සහ 5-1)
3). රියාල් මැඩ්‍රිඩ් (ස්පාඤ්ඤය) සහ ලිවර්පූල් (එංගලන්තය)- 6-2 (5-2 සහ 1-0)
4). මිලාන් (ඉතාලිය) සහ ටොටෙන්හැම් හොට්ස්පර් (එංගලන්තය)- 1-0 (1-0 සහ 0-0)
5). නාපොලි (ඉතාලිය) සහ ෆ්රෑන්ක්ෆර්ට් (ජර්මනිය)- 5-0 (2-0 සහ 3-0)
6). චෙල්සි (එංගලන්තය) සහ බොරුසියා ඩෝට්මන්ඩ් (ජර්මනිය)- 2-1 (2-0 සහ 0-1)
7). ඉන්ටර් මිලාන් (ඉතාලිය) සහ පෝර්ටෝ (පෘතුගාලය)- 1-0 (1-0, 0-0)
8). බයන් මියුනිච් (ජර්මනිය) සහ PSG (ප්‍රංශය)- 3-0 (2-0 සහ 1-0)

රියාල් මැඩ්‍රිඩ් සහ ලිවර්පූල් අතර පැවති තරගයේ අවස්ථාවක් – gettyimages.com

මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන අප්‍රේල් 11 වැනිදා ආරම්භ වීමට නියමිත යි. එහි දී කණ්ඩායම් තරග වදින්නේ පහත ආකාරයට යි.
1). රියාල් මැඩ්‍රිඩ් (ස්පාඤ්ඤය) සහ චෙල්සි (එංගලන්තය)
2). බෙන්ෆිකා (පෘතුගාලය) සහ ඉන්ටර් මිලාන් (ඉතාලිය)
3). මැන්චෙස්ටර් සිටි (එංගලන්තය) සහ බයෙන් මියුනිච් (ජර්මනිය)
4) නාපොලි (ඉතාලිය) සහ මිලාන් (ඉතාලිය)

කොළඹ රාජකීයයෝ වසර 7කට පසුව නිල් මහා සටන ජයගනිති

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 144 වන වරටත් පැවැත්වුණු මහා ක්‍රිකට් තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පසුගිය සෙනසුරාදා නිමාව දුටුවා. එම තරගය ලකුණු 180කින් ජය ගත් කොළඹ රාජකීය විද්‍යාලය වසර 7කට පසුව නිල් මහා සටන ජයග්‍රහණය කළා. එය රාජකීය විද්‍යාලය නිල් මහා සටන ජය ගත් 36 වන අවස්ථාව ලෙසින් සටහන් වුණා.

එහි දී ජයග්‍රාහී රාජකීය විද්‍යාලය වෙනුවෙන් නායක දසිස් මංචනායක පළමු ඉනිමේ දී ලකුණු 137ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 57ක් රැස් කළා. ඒ අනුව මහා ක්‍රිකට් තරගයක දී ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගත් මුල්ම රාජකීය නායකයා ලෙසින් ඔහු වාර්තා අතරට එකතු වුණා. ඒ වාගේම රාජකීය පිතිකරු රමිරු පෙරේරා පළමු ඉනිමේ දී ලකුණු 128ක් සහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 46ක් ලබා ගෙන දස්කම් දැක්වූවා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ රාජකීය නායක දසිස් මංචනායක – island.lk

කෙටි ලකුණු පුවරුව

රාජකීය පළමු ඉනිම- 326/8 (74)
දසිස් මංචනායක- 137 (150)
රමිරු පෙරේරා- 128 (186)
ආකාශ් ප්‍රනාන්දු- 55/4 (13)
කවිඳු ඩයස්- 58/3 (13)

ශාන්ත තෝමස් පළමු ඉනිම- 153/10 (55)
සේනාධි බුලන්කුලම- 40 (104)
මහිත් පෙරේරා- 30 (43)
බුලන් වීරතුංග- 26/3 (14)
සිනෙත් ජයවර්ධන- 9/2 (7)

රාජකීය දෙවන ඉනිම- 168/4 (26)
දසිස් මංචනායක- 57 (49)
රමිරු පෙරේරා- 46* (34)
ආකාශ් ප්‍රනාන්දු- 59/4 (9)

ශාන්ත තෝමස් දෙවන ඉනිම- 161/10 (58.5)
සෙනේෂ් හෙට්ටිආරච්චි- 46 (87)
සිනෙත් ජයවර්ධන- 14/2 (9.5)
රමිරු පෙරේරා- 25/2 (9)
නෙත්වින් ධර්මරත්න- 27/2 (10)

කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 180ක ජයක්
තරගයේ වීරයා- දසිස් මංචනායක (කොළඹ රාජකීය)

හොඳම පිතිකරු- රමිරු පෙරේරා (කොළඹ රාජකීය)
හොඳම පන්දු යවන්නා- ආකාශ් ප්‍රනාන්දු (ගල්කිස්ස ශාන්ත තෝමස්)
හොඳම පන්දු රකින්නා- උවිඳු වීරසේකර (කොළඹ රාජකීය)

ජයග්‍රාහී කොළඹ රාජකීය කණ්ඩායම – facebook.com/Daily Mirror

අයර්ලන්තයට සුපිරි රග්බි තරගාවලි ජයග්‍රහණයක්

රටවල් 6ක සහභාගිත්වයෙන් දින 42ක් පුරා පැවති ගිනස් සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය අයර්ලන්තයේ ඩබ්ලින් හි දී පසුගිය සෙනසුරාදා (18) නිමාව දුටුවා. එම තරගාවලිය සඳහා අයර්ලන්තය, ප්‍රංශය, වේල්සය, එංගලන්තය, ඉතාලිය සහ ස්කොට්ලන්තය යන රටවල් සහභාගි වුණා.

එහි දී දක්ෂ ලෙස ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම ඔවුන් සහභාගි වුණු තරග පහ ම ජයග්‍රහණය කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. එහි දී ඔවුන් වේල්සය හමුවේ 34-10, ප්‍රංශය හමුවේ 32-19, ඉතාලිය හමුවේ 34-20, ස්කොට්ලන්තය හමුවේ 22-7, එංගලන්තය හමුවේ 29-16 ලෙසින් එම ජයග්‍රහණය වාර්තා කළා.

එසේ අයර්ලන්තය තරගාවලියේ ශූරතාව දිනා ගනිද්දී තරග 4ක් ජයග්‍රහණය කළ ප්‍රංශය තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තා.

තරගාවලියේ ශූරතාවය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායම – gettyimages.com

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් ශූරතාව දෙවන වරටත් ලාහෝර් ක්වාලන්ඩර්ස්ට

2023 පාකිස්තාන සුපර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලාහෝර් ක්වාලන්ඩර්ස් සහ මුල්තාන් සුල්තාන්ස් යන කණ්ඩායම් අතර පසුගිය සෙනසුරාදා (18) පැවැත්වුණා. ලාහෝර් නුවර ගඩාෆි පිටියේ පැවති එම තරගයේ දී පන්දුවට මුලින් ම පහරදුන් ලාහෝර් ක්වාලන්ඩර්ස් පිල නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 200ක් ලබා ගත්තා.

ලකුණු 201ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුල්තාන් සුල්තාන්ස් පිලට නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 199ක් පමණ යි. ඒ අනුව එම තරගයෙන් ලකුණු 1ක තියුණු ජයක් හිමි වුණේ ලාහෝර් ක්වාලන්ඩර්ස් පිලට යි. එම ජයග්‍රහණයත් සමඟින් ලාහෝර් ක්වාලන්ඩර්ස් පිල පිට පිට ම දෙවන වරටත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තා. මේ එම තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව
ලාහෝර් ක්වාලන්ඩර්ස්- 200/6 (20), (ශෆීක්- 65, අෆ්රිඩී- 44*, සමාන්- 39, මිර්- 24/3)
මුල්තාන් සුල්තාන්ස්- 199/8 (20), (රොසෝව්- 52, රිස්වාන්- 34. අෆ්රිඩී- 51/4, රෂීඩ්- 26/2)

ලාහෝර් ක්වාලන්ඩර්ස්ට ලකුණු 1ක ජයක්
තරගයේ වීරයා- ෂහීන් අෆ්රීඩි (ලාහෝර් ක්වාලන්ඩර්ස්)
තරගාවලියේ වීරයා- ඉහ්සානුල්ලාහ් (මුල්තාන් සුල්තාන්ස්)

ජයග්‍රාහී ලාහෝර් ක්වාලන්ඩර්ස් කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම - Gettyimages.com
මූලාශ්‍ර:
espncricinfo.com
Srilankacricket.lk
howstat.com
royalthomian.info
uefa.com
sixnationsrugby.com

Related Articles