Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව සතු ව තවම පවතින 20/20 ලෝක කුසලාන වාර්තා 8ක් 

2005 පෙබරවාරි 17 වැනිදා ලෝක ක්‍රිකට් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එකතු කරමින් ලොව මුල් ම 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වුණා. එම තරගය පවත්වා වසර 2ක් පමණ ගතවෙද්දී 20/20 තරග රටාව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 20/20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා. 

2007 දී පැවැත්වුණු පළමු 20/20 ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ දකුණු අප්‍රිකාව යි. එදා සිට ගෙවුණු වසර 15ක කාලය තුළ පැවැත්වුණු 20/20 ලෝක කුසලාන තරගාවලි ගණන 7ක්. එම තරගාවලිවල දී ඉහළ දස්කම් දැක්වූ කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් ම සිටිනවා. 20/20 ලෝක කුසලාන වාර්තා රැසක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ තවමත් ලියැවී තිබෙනවා. මේ කියන්නට යන්නේ එම වාර්තා පිළිබඳ තොරතුරු යි. 

මහේල සහ සංගක්කාර පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

8). ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළ ම සබඳතාව ගොඩනැඟීම 

20/20 ලෝක කුසලාන තරගයක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළ ම සබඳතාව ගොඩ නඟා තිබෙන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ශ්‍රී ලංකා පිතිකරු යුගළය යි. ඔවුන් දෙපළ එම දස්කම දැක්වූයේ 2010 T20 ලෝක කුසලාන තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ව පැවති තරගයක දී යි. එම තරගයේ දී මහේල සහ සංගක්කාර දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 105කින් ලකුණු 166ක් එකතු කළා.

එහි දී මහේල හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 56කින් නොදැවී ලකුණු 98ක් රැස් කරද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් සංගක්කාර පන්දු 49කින් ලකුණු 68ක් ලබා ගත්තා. එලෙස ඔවුන් දෙපළ තැබූ වාර්තාව බිඳ දැමීමට මෙතෙක් කිසිදු පිතිකරු යුගළයකට හැකි වී නැහැ. 

7). T20 ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකට සීමා කිරීම 

T20 ලෝක කුසලාන තරගයක දී අඩුම ලකුණු ගණනකට දැවී ගියේ නෙදර්ලන්ත කණ්ඩායම යි. ඔවුන් 2014 20/20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා. එම තරගයේ දී නෙදර්ලන්ත ඉනිම පන්දුවාර 10.3ක් තුළ ලකුණු 39කට සීමා වුණා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් ලකුණු 12කට කඩුලු 3ක් ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16කට කඩුලු 3ක් ද ලබමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. එම ඉනිමේ දී නෙදර්ලන්ත අවසන් කඩුලු 5 ලකුණු 6ක් තුළ බිඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා.

 දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මැතිව්ස් – gettyimages.com

 

6). 20/20 ලෝක කුසලාන තරගයක දී වැඩි ම ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීම 

2007 T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති මූලික වටයේ තරගයක දී ශ්‍රී ලංකාව සහ කෙන්යාව උරෙනුර ගැටුණා. එම තරගයේ දී පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තා. එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සනත් ජයසූරිය හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 44කින් ලකුණු 88ක් ලබා ගනිද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් නායක මහේල ජයවර්ධන පන්දු 27කින් ලකුණු 65ක් ලබා ගත්තා. 

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ දී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජෙහාන් මුබාරක් හයේ පහර 5ක් සමඟින් පන්දු 13කින් නොදැවී ලබා ගත් ලකුණු 46 නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 260ක් වැනි ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට එහිදී හැකි වුණා. එලෙස ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 260 T20 ලෝක කුසලාන තරගයක දී යම් කණ්ඩායමක් ලබාගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා.

 ශ්‍රී ලංකාව ලකුණු 260ක් ලබා ගැනීමෙන් පසුව ලකුණු පුවරුව දැක්වුණු ආකාරය – gettyimages.com

 

5). වැඩි ම ලකුණු පරතරයකින් 20/20 ලෝක කුසලාන තරගයක් ජයගැනීම  

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ලකුණු පරතරයකින් තරගයක් ජය ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාව යි. ශ්‍රී ලංකාව එම දස්කම දැක්වූයේ 2007 T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ කෙන්යාවට එරෙහි ව පැවති තරගයේ දී යි. එහි දී පන්දුවට මුලින් පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ගත්තා.

ලකුණු 261ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කෙන්යානුවන්ට පන්දුවාර 19.3ක් ඇතුළත සියලු දෙනා ම දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 88ක් පමණ යි. එහි දී පන්දුවෙන් දස්කම් පෑ චමින්ද වාස්, ලසිත් මාලිංග සහ තිලකරත්න දිල්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තා. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 172ක දැවැන්ත ජයක් හිමි වුණා. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

4). තනි 20/20 ලෝක කුසලාන තරගාවලියක දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගැනීම 

තනි 20/20 ලෝක කුසලාන තරගාවලියක දී වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙසින් වාර්තා අතර රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග යි. ඔහු එම දස්කම දැක්වූයේ අවසන් වරට 2021 දී පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එවර තරගාවලියේ දී තරග 8කට සහභාගි වුණු වනිඳු කඩුලු 16ක් බිඳ දමමින් දස්කම් දැක්වීමට සමත් වුණා.

එහි දී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම අමතක නොවන සිදුවීමක්. එය 20/20 ලෝක කුසලාන තරගයක දී දඟපන්දු යවන්නෙක් ලබාගත් එකම කඩුලු ත්‍රිත්වය ලෙස වාර්තා අතර රැඳී පවතිනවා. 

 වනිඳු කඩුලු ත්‍රිත්වය දවාගත් මොහොත – gettyimages.com

 

එම තරගාවලියේ දී වනිඳුගේ හොඳ ම පන්දු බවට පත් වුණේ නෙදර්ලන්තයට එරෙහි ව ලකුණු 9කට දවා ගත් කඩුලු 3යි. එවර තරගාවලියේ දී වනිඳු අතින් බිඳ වැටුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් 2012 T20 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගෙන තබා තිබුණු වාර්තාව යි. 

3). 20/20 ලෝක කුසලාන තරගයක සිදු කළ හොඳ ම පන්දු යැවීම 

2012 T20 තරගාවලියේ මූලික වටයේ තරගයක් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණා. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ දී ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිල පන්දුවාර 17.3ක් ඇතුළත සියලු දෙනා ම දැවී ලබා ගත්තේ ලකුණු 100ක් පමණ යි.

එහි දී සිම්බාබ්වේ ඉනිම සුණුවිසුණු කළ අජන්ත මෙන්ඩිස් ලකුණු 8කට කඩුලු 6ක් දවා ගත්තා.  එය 20/20 ලෝක කුසලාන තරගයක දී යම් පන්දු යවන්නෙක් සිදු කළ හොඳ ම පන්දු යැවීම ලෙසින් අදටත් වාර්තා අතර රැඳී පවතිනවා. 

 අජන්ත කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

2). 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ලකුණු ලාභියා  

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ලකුණු ලාභියා ලෙසින් තවමත් වැජඹෙන්නේ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන යි. 2007-2014 කාලය තුළ 20/20 ලෝක කුසලාන ඉනිම් 31කදී පන්දුවට පහර දුන් මහේල අර්ධ ශතක 6ක් සහ ශතක 1ක් සමඟින් ලකුණු 1016ක් ලබා ගත්තා. එහි දී ඔහු වාර්තා කළ වැඩි ම ලකුණු ප්‍රමාණය බවට පත්වුණේ 2010 T20 ලෝක කුසලාන තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පන්දු 64කින් ලබා ගත් ලකුණු 100 යි.

2010 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ලකුණු 302ක් ලබා ගත් මහේල එවර තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වුණා. 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000 ඉක්මවා ලබා ගත් එකම පිතිකරුවා ලෙස මහේල වාර්තා අතර රැඳී සිටිනවා. 

මහේල සිම්බාබ්වේට එරෙහිව ලබා ගත් ශතකයේ අවස්ථාවක් – gettyimages.com

 

1). වැඩි ම 20/20 ලෝක කුසලාන අවසන් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ කණ්ඩායම 

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම අවසන් තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ කණ්ඩායම ලෙසින් වාර්තා අතර රැඳී සිටින්නේත් ශ්‍රී ලංකා කණ්ඩායම යි. ඔවුන් 2009 දී පාකිස්තානයට එරෙහිවත්, 2012 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවත්, 2014 දී ඉන්දියාවට එරෙහිවත් 20/20 ලෝක කුසලාන අවසන් තරගවලට ක්‍රීඩා කළා.

එහි දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වුණේ 2014 අවසන් තරගයේ දී පමණ යි. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරාජය කරමින් කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කර ගත්තා. 

2014 T20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකාව 2014 T20 ලෝක කුසලානය දිනාගැනීමෙන් පසුව - gettyimages.com

මූලාශ්‍ර: 

espncricinfo.com

howstat.com

icct20worldcup.com

wisden.com 

Related Articles