ෆිජට් ස්පිනර්

ෆිජට් ස්පිනර්ස් (Fidget spinners) හෙවත් අතේ තබාගෙන කරකැවිය හැකි නව කුඩා උපකරණයක් පිළිබඳව ටික කලකට පෙර හදිසියේ ම අන්තර්ජාලය පුරා කතාබහක් ඇතිවුණා. භාණ්ඩ ඇසිරීම සඳහා භාවිතා කරන හුළං බෝල සහිත අසුරණ, එහෙමත් නැත්නම් බබ්ල් ව්‍රැපර්ස් වලට දශක ගණනාවක් තිස්සේ මීට පෙර පැවති අවධානය මේ වන විට ෆිජට් ස්පිනර්ස් ලබාගෙන තිබෙනවා. සිතේ ඇති නොසන්සුන් බව, මානසික ආතතිය, සමාජ භීතිකාව වගේ ප්‍රශ්න රැසකට පිළිතුරු ගෙන එමින් සිතේ සාමකාමී බව වඩවන මෙය සෙල්ලම් බඩුවකැයි කියනවාටත් වඩා උපාංගයක් ලෙස හැඳින්වීම වඩාත් උචිත වෙනවා. අතීතයේ බවුන් වැඩූ අය අත තිබූ නවගුණ වැලට වඩා නූතනයට ගැලපෙන චිත්ත ඒකාග්‍රතාව ලබාදෙන මෙම උපකරණ මීට පෙර ද ෆිජට් කියුබ් (Fidget cube), ස්ට්‍රෙස් බෝල් (Stress ball) ආදී නම් වලින් වෙළඳපොළේ තිබුණත් හැමෝම කැමති වුණේ නොසන්සුන් බඹරය – ෆිජට් ස්පිනර් එකට යි.

හදිසියේ ම ඇතිවූ ට්‍රෙන්ඩ් එක

විවිධ මාදිලිවල ෆිජට් ස්පිනර් (cnn.com)

ෆිජට් ස්පිනර්ස් එක්වරම හැමෝට ම තමන්ගේ ළඟ අනිවාර්යයෙන් ම තිබිය යුතු දෙයක් ලෙස හැඟෙන්නට තරම් ම ජනප්‍රියත්වයක් සමඟ හදිසියේ ම කතාබහට ලක් වෙන්නට පටන් ගත්තා. යූටියුබ් වීඩියෝ වලින්, ෆේස්බුක් පෝස්ට් වලින් සහ ඊබේ වැනි අන්තර්ජාල වෙළඳසැල් වලත් Fidget spinners ගැන තොරතුරු පළවෙන්නටත් අධික ඉල්ලුමක් සමඟ ඉහළ විකුණුම් ප්‍රමාණයක් සනිටුහන් කරන්නටත් වුණා. ගූගල් සෙවුමෙහි ද ඉහළ සෙවුම් ප්‍රමාණයකට හිමිකම් කී මේ වචන දෙක නිසා ම දැන් ගූගල් එකේත් Fidget Spinner ලෙස සර්ච් කළා ම කරකවමින් විනෝද වීම සඳහා තිරය මතට ස්පිනර් එකක් ද ලබා දෙන්නට ගූගල් සමාගම කටයුතු කරනු ලැබුවා. (“Spinner” ලෙස ගූගල් එකේ සර්ච් කර බලන්න) ට්විටර් එකේ ද වෙන ම හෑෂ්ටැග් ලබමින් ට්‍රෙන්ඩ් වෙන්නටත් Reddit වෙබ් අඩවියේ වෙන ම ෆෝරම් එකක් ලබන්නටත් තරම් ෆිජට් බඹරය වැල්ලේ කැරකුණා.

කුඩා දරුවන් අතර සෙල්ලම් බඩුවක් ලෙස බෙහෙවින් ප්‍රචලිතවූ මෙය පාසලට ගෙන යාමෙන් ගුරුවරුන්ට ද හරිම කරදරයක් බවට පත්වුණේ ඔවුන්ගේ නම් ආතතිය තවත් වැඩිකරලමින්. බොහෝ රටවල ගුරුවරුන් ෆිජට් ස්පිනර් එක ගැන ට්වීට් කළේ #TeacherProbs හෙවත් ගුරුවරුන්ගේ කරදර යන හෑෂ්ටැග් එක යොදාගනිමින්. අවධානය ඒකාකාරී කරන්නට ෆිජට් උපකරණ සමත් වුණත් මෙම බඹර ආකාරයේ උපකරණය කැරකෙන ආකාරය බලාසිටීමට ඇතිවන ආසාව නිසා බාහිර දේවල් වලට, එනම් පන්ති කාමරයේදී ගුරුවරයාගේ ඉගැන්වීමට දරුවන්ගේ ඇති අවධානය නැතිව යනවා.

මේ අතරේ අටහැවිරිදි ඔටිසම් සහිත දරුවකුගේ මවක්, ඇගේ දරුවා තම අනෙකුත් යහළුවන් ෆිජට් උපකරණ භාවිතා කරනු දැකීමෙන් ඉතා උද්‍යෝගයට පත්ව “මං වගේ ම යාළුවොත් දැන් ඒවා පාවිච්චි කරනවා” යැයි කියූ බව ඔටිසම් සම්බන්ධ වෙබ් අඩවියක පළ කර තිබුණා. ඔටිසම් සහිත දරුවන්ට මෙම උපකරණ පාසල් තුළ මීට පෙර සිට ම භාවිතයට අවසර දී තිබුණ ද ෆිජට් ස්පිනරය හරහා එය සාමාන්‍යකරණය වීම තමා විශේෂ දරුවෙකැයි හීනමානයක් ඇතිවීම වළක්වාලනවා.

මැනර්ස් වලට හොඳනැති නොසන්සුන් චලන වලට විසඳුමක්

ෆිජට් ස්පිනරයක් සමඟ ක්‍රීඩා කරන දර්ශනයක් (spy.com)

නොසන්සුන් බව නිසා දක්වන චලන හැම කෙනෙක්ට ම තිබෙනවා. කල්පනා කරන අතරතුරේදී, පිරිසක් ඉදිරියේදී හිතට චකිතයකට ඇතිවූ අවස්ථාවකදී, ඔබ කැමති කෙනෙක් ඉදිරියේ අපහසුතාවයට ලක්වේයැයි බියෙන් වැනි විවිධ අවස්ථාවලදී කකුල සෙලවීම, ඔළුව කැසීම, කොණ්ඩය අතගෑම, නියපොතු සැපීම, ඇඳුම් කෙළවර අල්ලමින් සිටීම මෙන් ම ළඟ තියෙන පෑන අරගෙන ඒක එහාට මෙහාට කරකවන්නට බොහෝ දෙනෙක් පුරුද්දට වඩා කුඩා වන ජන්මයෙන් ම රැගෙනවිත් තිබෙනවා.

මේ බොහෝ පුරුදු නරක පුරුදු ලෙස හැඳින්වෙන නිසා ඒවා බලෙන් ම නවතා ගන්නට සිදුවන වෙනවා. එවිට ගතින් පිටවන සිතේ නොසන්සුන් බව සිතේ ම රැඳී තත්වය ටිකක් නරක අතට හැරෙන්නට පුළුවන්. භාණ්ඩ අසුරන සමඟ ලැබෙන බබ්ල් ව්‍රැපර් එකක් භාවිතා කළත් එහි ඇති පොප් ශබ්දය නිසා වටේ ඉන්න අයට කරදරයක් වෙන්නත් පුළුවන්. හැබැයි ෆිජට් උපකරණයක් එක්ක ටිකක් සෙල්ලම් කරන එක දිහා නූතන සමාජය වැරදි ඇසකින් බලන බවක් නම් පෙනෙන්නට නැති නිසා ෆිජට් ස්පිනර් එක කරකවමින් සිටියාට හෝ සාක්කුවේ ම තියාගෙන භාවිතා කළ හැකි ෆිජට් කියුබ් එකක් භාවිතා කළොත් එය එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

මිල නිසා මානසික ආතතිය ඇතිවෙන්නත් පුළුවන්

මිල අධික ටෝක්බාර් ස්පිනරය (torqbar.info)

ළඟ තිබෙන රුපියල් දහයක-පහළොවක විතර පෑන අතට අරගෙන නොමිලේ ම නොසන්සුන්තාව නැති කරගන්නට පුළුවන් වුණත් සරල ම ආකාරයේ අවම මිල සහ අවම ගුණාත්මක බවින් යුත් ෆිජට් ස්පිනරයක් හෝ කියුබ් එකක් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 1.25ක් පමණ එනම් රුපියල් දෙසියයක් විතර වෙනවා. පහළොස් දහසකට පමණ මුල් අවධියේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තිබියදී ලක්ෂයකට පමණ අයිෆෝන් එකක් ගන්න පුළුවන්. පනස් දහසට පමණ සාමාන්‍ය වැඩක් ගත හැකි ආකාරයේ ලැප්ටොප් තිබෙද්දී ලක්ෂයෙන් එපිට මිළට Ultrabook වැනි පරිගණක තිබෙනවා. ඒ වගේ ම, ඩොලරයට ෆිජට් ස්පිනර් තිබෙන අතරේ $250ට එනම් රුපියල් හතලිස්දහසකට පමණ ටෝක්බාර් (Torqbar) නමින් ලැම්බොගිනියක් වගේ මිල අධික ෆිජට් ස්පිනරයකුත් තිබෙනවා.

ඉතා සුමටව චලනය වන එය පිත්තල, තඹ සහ නොදිරන වානේ වලින් සැකසූ මාදිලි වලින් සහ ඇනෝඩීකෘත වශයෙන් ද වෙළඳපොළේ තිබෙනවා. දිගු කල් පවතින සේ සකසා ඇති මෙය කැරකෙන අතරතුර ඉතා හොඳ මෘදු ශබ්දයක් ද සමඟ මනස නිරවුල් කිරීම සඳහා දායක වෙනවා. හැබැයි ඉතින් වැරදිලාවත් අම්මාගේ වචන වලින් ම කියනවා නම් ‘අපායේ’ හෙවත් ‘කාමරේ’ තියෙන බඩු අස්සේ මේතරම් මිලක් දීලා ගත්තු ස්පිනර් එක නැතිවුණොත් ඇතිවෙන මානසික ආතතිය නැති කරන්න තව ස්පිනර්ස් දහයක් තිබුණත් මදි වෙනවා.

සෞඛ්‍යමය බලපෑම

ෆිජට් කියුබ් (laughingsquid.com)

නිශ්චලව ඉඳගෙන කිසියම් ක්‍රියාවක් කරනවාට වඩා මොළයේ චාලක ප්‍රදේශ උත්තේජනය කරමින් ඒ කියන්නේ කකුල පොඩ්ඩක් පද්දමින් ඇඟිලිවල රඳවාගෙන පෑන දෙපැත්තට වනමින් වැනි ප්‍රබල චාලක ක්‍රියා කරනවිට එක් දෙයකට සිත යොදවන්නට සහ මනසේ ක්‍රියාකාරීත්වය වර්ධනය කොට භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. අවධාන ඌණතා සහ අධික්‍රියාකාරී ආබාධ තත්ත්වය (ADHD) සහිත පුද්ගලයන් සඳහා ෆිජට් උපකරණ බෙහෙවින් භාවිතා වෙනවා. මෙම ආබාධයෙහි ඇති ලක්ෂණ වන්නේ කිසියම් කර්තව්‍යයක් අතරතුර නිතර නිතර අවධානය වෙනස්වීම, වැඩ අපිළිවෙල බව, අධික ලෙස සහ වේගයෙන් කතා කිරීම, ආවේගශීලී බව සහ හදිසි තීරණ ගැනීම ආදිය යි. ඔවුන්ට නිර්දේශිත උපකරණ වන රබර් වලින් සෑදූ කෙඳි සහිත කූෂ් (Koosh) බෝල, ස්පර්ශක තැටි ආදියෙන් එම තත්වයන් සංසිඳුවීම සඳහා මනා උපකාරයක් ලැබෙනවා.

ඇතැමුන්ගේ අදහස ෆිජට් ස්පිනර් එකෙන් කකුල් පැද්දීම වැනි වැඩි චාලක ක්‍රියාවක් ශරීරයට නොලැබෙන නිසා එය මොළයේ ක්‍රියාකාරීත්වය බලපාන්නේ නැති බව යි. වෙළඳපොළෙහි නම් කියැවන්නේ “දුන්නා ෆිජට් ස්පිනර් එකක් – මානසික ආතතිය කොහෙන් ගියා ද දන්නෑ” කියලා යි. හැබැයි අයර්ලන්තයේ ට්‍රිනිටි විද්‍යාලයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය බ්‍රෙන්ඩන් කෙලී පවසන්නේ කිසියම් උපාංගයක්, සෙල්ලම් බඩුවක් තමාව සන්සුන් කරන්නට, අවධානය ඒකාකාරීව පවත්වා ගන්නට උපකාරී වෙනවා යැයි තමාට ම හැඟෙනවා නම් සහ විශ්වාස කරනවා නම් ඉන් එහා දෙයක් තවත් නැති බව යි.

ඔබ ෆිජට් ස්පිනර් එකක් පාවිච්චි කරලා බැලුවා ද? ඒ අත්දැකීම කොහොමද කියලා අපිත් එක්කත් Comment එකකින් බෙදාහදා ගන්න.

කවරයේ ඡායාරූපය: indoindians.com

මූලාශ්‍ර

 

  • popularmechanics.com
  • forbes.com
  • newstalk.com
  • ebay.com

 

Related Articles

Exit mobile version