නවම් පෙරහරින් කොළඹ අලංකාර කරන ගංගාරාම පන්සල

පෙබරවාරි මාසයට යෙදෙන නවම් පෝය මුල් කර ගනිමින් පැවැත්වෙන නවම් පෙරහර නිසා කලක පටන් කොළඹට අපූරු බෞද්ධ ප්‍රබෝධයක් ලැබී තිබෙනවා.  හුණුපිටිය ගංගාරාම විහාරය අද පිටරටවල පවා ප්‍රකට වී ඇත්තේ නවම් පෙරහර නිසා යි.  බේරෙ වැව අසබඩ කොළඹ 2ට අයත්  ව පිහිටි මේ විහාරය දිනපතාම විශාල බැතිමතුන් සංඛ්‍යාවක් දැක ගත හැකි ස්ථානයක්. 

කොළඹට පැමිණෙන විදේශ සංචාරකයන් ද බහුල ව නරඹන තැනක් ලෙසටත් ගංගාරාමය පත් ව තිබෙනවා. නවම් පෙරහර සමයේ ගංගාරාමයේ ඉතිහාසය විමසා බලමු.

පන්සලට නුදුරු බේරේ වැවේ පැරණී සේයාරුවක්- lankapura.com

වගුරු බිමක විහාරයක් ඇරඹේ

මෙය‍ට අවුරුදු 138කට පෙර 1885 වසරේ දී බේරෙ වැව ඉවුරේ පැවති  කවුරුත් ප්‍රයෝජනයට නොගන්නා වගුරු බිමක කුඩා ආරාමයක් ඉදි කෙරෙනවා.  ආරාමය හාත්පස විහිදී පැතිරී පැවැතියේ බේරේ වැව හා වනවදුලු සහිත පෙදෙසක්.

අවට විහාරයක් නොතිබූ නිසා මෙසේ පන්සලක් ආරම්භ කිරීමට මුල් වී ඇත්තේ ප්‍රකට පඬිරුවනක් ලෙස සැලකුම් ලැබූ හික්කඩුවේ සුමංගල නායක හිමියනු යි. සුමංගල හිමියන්ගෙන් පසු විහාරයේ නායක පදවිය හිමිවී ඇත්තේ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය නමක් වූ දෙවුන්දර ජිනරතන හාමුදුරුවන්ට යි. 

සංඝාවාස ගොඩනැඟිල්ල- Gettyimages.com

එදා අදට වඩා බේරේ වැව විශාල ව පැවති අතර විහාරයට බැතිමතුන් සහ දායකයන් පැමිණ ඇත්තේ ඔරුවලින් වැව ඔස්සේ බවයි පැවසෙන්නේ. අද විහාරය ඉදිරියෙන් වාහන යන පාරවල් එකල පිහිටියේ  වැවේ කොටස් ලෙස යි. ජිනරතන නායක හිමියන් විහාරය කොළඹ නගරයේ බෞද්ධ නිකේතනයක් ලෙස වැඩිදියුණූ කිරීමට මුල් වී තිබෙනවා.   විහාරය නගරික පරිසරය මැද  පිහිටි අක්කර 3 1/2ක  බිමක පැතිර තිබෙනවා. විහාර මන්දිරය, ධාතු මන්දිරය, අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරය,   සීමා මාලකය, ඝණ්ඨාකාර චෛත්‍යය,  දේව මන්දිරය, පුස්තකාලය, බෝධින් වහන්සේ ලෙස මෙහි විහාර අංග සැලකිය හැකි යි.

නායක හිමිවරු

ජිනරතන හිමියන්ගෙන් පසුව විහාරයේ නායකත්වය ලැබී ඇත්තේ දෙවුන්දර කිර්ති ශ්‍රී සුමංගල වාචිස්සර නායක හිමියන්ට යි. විහාරය දියුණු කිරිමට විශාල වැඩ කොටසක් කළ භික්ෂුන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ සැලකෙනවා. ඉන්පසුව විහාරාධිපති පදවිය හිමිවුණේ වාචිස්සර හිමියන්ගේ ශිෂ්‍ය වත්මන් විහාරාධිපති ගලබඩ ඥානිස්සර නායක හිමියන්ට හෙවත් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට යි. පොඩි හාමුදුරුවන් ආගමික කාර්යයන්වලට අමතර ව විහාරය සංස්කෘතික කේන්ද්‍රයක් සහ සමාජසේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට සමත් වුණා. 

අලංකාර බුදු මැදුර- lakpura.com

 දරු දැරියන් වෙනුවෙන් ඉංග්‍රීසි ඇතුළු  භාෂා අධ්‍යාපනය, භාවනා වැඩසටහන්, කාර්මික විද්‍යාලය, නොමිලයේ නවාතැන් සැපයෙන කතරගම විශ්‍රාම ශාලාව, දුගී දුප්පත් ළමයින් පුනරුත්ථාපනය කෙරෙනා ගොඩනැඟිල්ල, දිළිඳු පවුල් වෙනුවෙන් සෑදුණු ගම්මාන, කෝට්ටේ ආබාධිත හා වැඩිහිටියන් වෙනුවෙන් සෑදු නිවහන, අක්කර දහස් ගණනක රුක්රෝපණ ව්‍යාපෘති, පලතුරු, එළවළු වගා බිම්, පිරිවෙන් වෙනුවෙන් කෙරෙනා ආයෝජන ආදි ව්‍යාපෘති රාශියක් පොඩි හාමුදුරුවන් ආරම්භ කර තිබෙනවා. 

 විද්‍යොදය පිරිවෙන

1873 වසරේ දී ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ වීම ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ කඩඉමක් සටහන් කළා. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ විද්‍යෝදය පිරිවෙන 1873 දී  ආරම්භ කළේ ශිෂ්‍යයන් හත්දෙනකුගෙන්.  එය අරඹා වසර 12 ක් ගතවීමෙන් පසුවයි කොම්පඤ්ඤවිදිය හා කුරුඳුවත්ත අවට බෞද්ධ පුනර්ජීවනය සඳහා ගංගාරාමය විහාරය පිහිටුවා තිබෙන්නේ.  

විදෙස් රටවල බුදු පිළිම බේරේ වැව අද්දර තැන්පත් කර ඇති අයුරු- picfair.com

මේ විහාරය මුල්කරගෙන 1890 දී ජිනාලංකාර නමින් මුද්‍රණාලයක් ආරම්භ කරන්නේ බෞද්ධ සාහිත්‍යයට අතහිත දීමට යි. එම  මුද්‍රණාලය මගින් භික්‍ෂු අධ්‍යාපනයට සහ  ගිහි සමාජයේ යහපතට අවශ්‍ය සිංහල, පාලි, සංස්කෘත පොත්පත් බහුල ව මුද්‍රණය කර තිබෙනවා. ඒ සමඟ ම  පිටු 1780 කින් සමන්විත පන්සිය පනස් ජාතක පොත ද මුද්‍රණයකර තිබෙනවා. 

 ශ්‍රී ඥානේශ්වර පිරිවෙන 

විද්‍යෝදය පිරිවෙන ඉතා ජනප්‍රිය වූ  අතර ගංගාරාමය මුල්කරගෙන ද වර්ෂ 1954 දී පිරිවෙනක් ආරම්භ වෙනවා. ඒ   ශ්‍රී ඥානේශ්වර පිරිවෙන යි. එහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන්  නොමිලේ අධ්‍යාපනය ලබාදීම සිදුවුණා. එම පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූ භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් අදටත් මෙරට මෙන් ම පිටරටවලත් ධර්ම ප්‍රචාරයේ යෙදී සිටිනවා.

බුදු පිළිම එකතුවෙන්- andbeyond.com

ජිනරතන පුහුණු මධ්‍යස්ථානය

 විහාරයට අයත් ඉඩමේ මහල් ගොඩනැඟිල්ලක් තනා එහි 1979 වසරේ දී   ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය ආරම්භ කළේ ගලබඩ ඥාණිස්සර නායක හිමියන්ගේ අදහසක් අනුවයි. අ.පො. ස සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජයගත නොහැකි වූ  තරුණයන් වෙනුවෙන් තමයි මෙය ආරම්භ කළේ. තරුණයන්ට තාක්ෂණික ක්ෂේත්‍රවල වෘත්තිය පුහුණුව ලබාදීම මෙහි අරමුණ වුණා.  

තරුණයන් තිදෙනකුගෙන් ඇරඹෙන මෙම මධ්‍යස්ථානයේ අද නවීන කාර්මික තාක්‍ෂණික පාඨමාලා 50 ක් පැවැත්වෙනවා.  ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසලෙන් විවිධ පාඨමාලා සාර්ථක ව හදාරා නික්ම ගිය දරුවන් සංඛ්‍යාව ලක්ෂ සංඛ්‍යාවක් වෙනවා. ජපානය, කොරියාව, තායිවානය, හොංකොං, මැදපෙරදිග ආදී රටවල ඔවුන් විශාල වශයෙන් සේවය කරනවා. අප රටේ විවිධ සමාගම්වල පිරිසක් සේවය කරන අතර තවත් කොටසක් ස්වයං රැකියාවල නිරත වෙනවා.   

අලංකාර සීමා මාලකය- tusktravel.com

බේරේ වැවේ සීමා මාලකය

බේරේ වැව මැද ඉතා සුන්දර දර්ශනයක් මවා පාන ගංගාරාම සීමාමාලකය විදේශීය සංචාරකයන් අතරත් ජනප්‍රිය ස්ථානයක්. කුඩා වුවත් ඉතා අලංකාර සැලසුමකට එය ඉදිකර තිබෙනවා. මෙම සීමා මාලකය මුලින් ම ඉදි කර තිබෙන්නේ අවුරුදු 100කට පෙරදි යි. මුලින් ම එය තනා තිබෙන්නේ වැවේ සිටවූ ලීකණු මත යි. දැව කණු දිරායාම නිසා සීමාමාලක ගොඩනැඟිල්ල 1959 දී කඩාවැටෙනවා.   

නව සීමා මාලකය ඉදිකරන්නේ  වර්ෂ 1979 දී ජෙෆ්රි බාවා නම් විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැලසුමකට අනුව යි. මෙය ඉදිකිරීමට අවශ්‍ය වියදම දරා ඇත්තේ මුස්ලිම් ජාතික මුසාජි යුවළ යි. ඔවුන් තම පුත්‍රයා සිහිපත් කරමින් මෙය ඉදිකරවා තිබෙනවා. පුරාණ උඩරට පන්සල් ගෘහ නිර්මාණ ශිල්පය හා මුසුවූ නූතන සැලසුමක් මත මෙත තනා තිබෙනවා.  එය ඉදි කර තිබෙන්නේ කොන්ක්‍රිට් කණු මත යි. සීමාමාලකයට යාබද ව කුඩා දාගබක් ද දැකගත හැකි යි. සීමා මාලක ගොඩනැඟිල්ල තුළ තායිලන්තය, බුරුමය ආදී රටවල බුද්ධ ප්‍රතිමා රාශියක් තැන්පත් කර තිබෙනවා.  

පැරණී වාහන එකතුවෙන් – atlasobscura.com

එය බෞද්ධ කලාගාරයක් සහ කෞතුකාගාරයක්

ගංගාරාමය බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පිරිපුන්   කලාගාරයක් ලෙස සැලකිය හැකි යි. විවිධ බෞද්ධ රටවල ප්‍රතිමා සහ වෙනත් මූර්ති, සිහිවටන රාශියක් විහාරය තුළ ඇති කෞතුකාගාරයේ  මණ්ඩපවල ප්‍රදර්ශනය කෙරනවා.  පැරණි මෝටර් රථ,  මුද්‍රණ යන්ත්‍ර ඇතුළු කෞතුක භාණ්ඩ රාශියක් ද මෙහි දී නැරඹීමට පුළුවන්. මෙහි නූතන විහාර මන්දිරයත් අලංකාර මූර්ති සහ සිතුවම් සහිත යි. 

පුස්තකාලයේ බුරුම, තායිලන්ත සහ ලංකා ත්‍රිපිටක ග්‍රන්ථ මෙන් ම, පැරැණි පුස්කොළ පොත් රාශියක් ද  තැන්පත් කර තිබෙනවා.  එංගලන්තයේ පාලි ටෙක්ස්ට් සොසයිටි ත්‍රිපිටක ග්‍රන්ථ සහ බෞද්ධ ග්‍රන්ථ 4000 ක පමණ එකතුවකින් පුස්තකාලය සමන්විත යි.   

නවම් මහා පෙරහර – ISHARA S.KODIKARA/AFP via Getty Images

ගංගාරාම නවම් මහා පෙරහරේ ආරම්භය මුලින් ම සිදුව ඇත්තේ 1979 වසරේ යි. එම පෙරහරේ ආරම්භයට පෙර ගංගාරාම කුලගන සමිතිය මඟින්  ඇසළ පෙරහරක් සංවිධානය කර තිබුණා.  ඇසළ පෝයට එය   කොටුව – පිටකොටුව – මරදාන – ආදී ප්‍රදේශවලට දීර්ඝ සංචාරයක නිරත වුණා. 

 මේ පෙරහර  වර්ෂ 1962 සිට  නතරවී තිබුණා. ඉන් පසුව ගලබඩ ඥානිස්සර හිමියන්ගේ මුල්වීම නිසා නැවතත් නවම් මහා පෙරහර වශයෙන් අලිඇතුන් සහිත නවාංග රාශියකින් යුක්ත ව පෙරහර ආරම්භ වුණා. පෙරහර නැරඹීමට දේශීය බැතිමතුන් මෙන් ම විදේශීය සංචාරකයන් රාශියක් ද එක්වනු දැකිය හැකි යි.  

ගංගාරාමය වෙසක් සමයේ – LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images

පූජා භූමියක්

විහාරයේ ආගමික සහ සමාජීය වැදගත්කම සලකා ගංගාරාමය වර්ෂ 2022 දී පූජා භුමියක් ලෙස නම් කෙරෙනවා. ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය මඟින්. ඉන්පසු විහාර සංවර්ධනයට රජයේ සහයෝගය ද ලැබී තිබෙනවා.

කවරයේ ඡායාරූපය : පෙරහරේ කරඬුව වැඩමවමින්- Lankadeepa.lk
මූලාශ්‍ර:
Budusarana.lk
Lankadeepa.lk
Gangaramaya.com

Related Articles

Exit mobile version