සීතාවක රාජධානියේ මාලිගා නටබුන් අද වනවිට බොහෝ දුරට විනාශ වී පැවතුණත් රාජධානියේ මහා විහාරය ලෙස පැවති මානියංගම ලෙන් විහාරය ඉතා අලංකාර වටපිටාවක අද ද අපට දැකගත හැකි යි.
තල්දූවෙන් අවිස්සාවේල්ල – පනාවල මාර්ගයේ හැරී කිලෝ මීටර් 3 ක් පමණ ගිය තැන දී මානියම්ගම කීර්ති ශ්‍රී රාජමහා විහාරය නමින් සඳහන් නාම පුවරුව හමුවෙනවා. එතැන් සිට දිවෙන මඟෙහි තවත් මීටර් 400 ක් පමණ කඳු බෑවුමේ ගමන් කර විහාර බිම වෙතට ළඟා වීමට පුළුවන්.
මානියංගම
මානියම්ගම යනුවෙන් හැඳින්වෙන්නේ පුරාණ නියම් ගමක්. නියම් ගමක් යනු ගම්මාන රාශියක් එක්වීමෙන් සැදුණු ගම් පොකුරකට යි. මෙය පිහිටා අත්තේ කෑගලු දිසාවේ පනාවල් කෝරළෙ යි. ශ්‍රී ලංකාද්විපයේ කඩයිම් පොතේ සඳහන් වන්නේ මානියම් ගල්වලින් කෙටූ ශිලා ස්තම්භ හතරක් හතර කොන පැවති මානියම්ගොමු රට නියම්ගම් දස දහසකින් යුක්ත බව යි.
මහාවංශයේ මෙගම මහානියාග්ගරට්ඨ ලෙස හැඳින්වෙනවා. සීතාවක රාජධානි සමයේ දී ( 1521-1592) රජ මාලිගයට නුදුරින් පිහිටි මේ විහාරයට නොමඳ රාජ අනුග්‍රහයක් ලැබෙන්නට ඇති බව පේනවා. සීතාවක මායාදුන්නේ රජු මෙන් ම මහනුවර රජ සමයේ දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ සහ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරු ද විහාරයට අනුග්‍රහය දක්වා තිබෙනවා.
ලෙන් වෙහෙර
ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙම ඓතිහාසික ස්ථානය වළගම්බා රජු තමන් සැඟ ව සිටි කාලය සිහිපත් වීමට පසු ව සෑද වූ බව යි. විශාල පර්වත කූට සහිත ව දිගට පැතිර යන යකහටුවාව කන්දේ එක් කඳු පර්වතයක් ඇසුරු කරගෙන කටාරම් කොටා සැකසූ ලෙනක මානියංගම රජමහා විහාරය පිහිටා තිබෙනවා. මෙහි බිම් මට්ටම ආසන්නයේ දී පැතිරී ගිය ගල් කෙවෙනියක් දැකගත හැකි යි.
එය උපයෝගී කර ගනිමින් ලෙන සකස් කර විහාරය තනා තිබෙනවා. විහාරය දිගින් අඩි 164 ක් සහ පළලින් අඩි 70 ක් පමණ වෙනවා. ලෙන ඇතුළත පිළිම ගෙය, සංඝාවාසය, මුළුතැන්ගෙය, දානශාලාව, චෛත්‍යය, ගල්ළිඳ, කතරගම දේවාලය යන අංග නිර්මාණය කර පැවතීම විශේෂත්වයක්.
මායාදුන්නේ රජු
වර්ෂ 1521 දී සිදු වූ විජයබා කොල්ලයෙන් පසු මායාදුන්නේ කුමරු සීතාවක රාජධානියක් පිහිටුවන විටත් මානියංගම රජ මහා විහාරය පැවතුණා. එල මෙහි වැඩසිටි සිටිනාමළුවේ සහ කොටකේදෙණියේ සඟ පරපුර මායාදුන්නේ රජුගේ ගෞරවයට පාත්‍ර ව සිටියා. සීතාවක රාජධානිය සුරක්ෂිත ස්ථානයක් කිරීමට මේ භික්ෂුන්ගේ අවවාද රජුට බලපා තිබෙනවා. මායාදුන්නේ කුමරු ශක වර්ෂ 1441 දී මෙහි ප්‍රතිමාකර්මවලට දායක වී තිබෙනවා. ඔහු එකල දහඅට රියන් බුද්ධ රූපයක් ද, සත් රියන් විෂ්ණු රූපයක් ද නිමවා විහාරයේ නඩත්තුවට පෙතංගොඩ මහ කුඹුර තඹ පත්‍රයක ලියා පූජා කර තිබෙනවා.
මායාදුන්නේගෙන් පසු රජ වූ පළමුවැනි රාජසිංහ රජුගෙන් විහාරයට අනුග්‍රහයක් ලැබුණු බවක් පේන්නේ නැහැ. ඔහු බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියක් ගෙන යනවා. පසුව සීතාවක බිඳ වැටීමෙන් පසු පෘතුගීසි ආක්‍රමණ හමුවේ මානියම්ගම විහාරය ද ජරාවාස වි ගොස් තිබෙනවා. විහාරය සතු සන්නසකට අනුව නරේන්ද්‍රසිංහ රජුත් විහාරයට අනුග්‍රහය දක්වා තිබෙනවා. පසු ව මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාරය වැඩි දියුණු කරවා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1776 දී පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ දී විහාරය ප්‍රතිසංස්කරණය කර එහි භාරකාරත්වය වැලිවිට සරණංකර මහ නාහිමියන්ගේ ශිෂ්‍ය නමක් වූ බුද්ධ ගුප්ත හිමියන් වෙතට පවරා තිබෙනවා.
කඳු ගැටය ඉහළ සිට විහාර ලෙන අසලින් ගලායන දිය මාර්ගය නිසා අවට සුන්දරත්වය ඉහළ නැංවී තිබෙනවා. විහාරය පිහිටි බිමට වඩා උස් භූමියක තරමක් එපිටින් ඉදිකර ඇති පැරැණි ධර්මශාලාව ගල් කණු 16 ක් මත නිම කළ ගොඩැනැගිල්ලක්.
භික්ෂුන් වහන්සේ රාජසිංහ රජතුමාගේ ජන්ම පත්‍රය සකසා ඇති බවට සාක්‍ෂි හමුවෙනවා. ක්‍රිස්තු වර්ෂ 1532 දී එය සකස් කර ඇත්තේ එවකට විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දැරූ කොටකේදෙණියේ ධම්මරංසි හිමියන් බව පුස්කොළ ලියවිල්ලකින් පැහැදිලි වෙනවා. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය නම් පුස්කොළ කෘතිය ලියා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1515 – 1600 විහාරාධිපතිත්වය දැරූ සිටිනාමළුවේ ධර්මපාල ස්ථවිරයන්.
මෙම වටිනා පුස්කොළ පොත් විහාර පොත්ගුලෙහි සුරක්‍ෂිත ව තිබූ අතර 1993 දී පමණ එම සියල්ල අධික තෙතමනයට හසුව වේයන් කා දමා විනාශ වූ බව පැවසෙනවා. මේ ලියවිලි අතරින් කිහිපයක් විනාශවීමට පෙර මහාචාර්ය රිසිමන් අමරසිංහ පළ කර තිබීම වාසනාවක් ලෙස සැලකිය හැකි යි.
පිළිම ගෙය
කටාරම් කොටන ලද ලෙන තුළ පිහිටි විහාරය පසුකාලීන ප්‍රතිසංස්කරණවලට ලක්වූ බව පැහැදිලි යි. පැරණි බිතුසිතුවම් තවමත් මෙහි ඉතිරි ව පවතිනවා. විහාරයට ඇතුළුවන ආලින්දය පසෙකින් ගල් ලෙන තුළ කුඩා චෛත්‍යය ඉදිකර තිබෙනවා. විහාර මන්දිරයේ මැටි බිත්ති අඩි කිහිපයක් ඝනකමින් යුක්ත යි. විහාරයට ඇතුළුවිය යුත්තේ දොරටු දෙකකින්. දොරටු දෙකට ම ඉහළින් මකර තොරණ දැකගත හැකි යි.
මායාදුන්නේ කුමරුන් ඉදි කළ බවට සැලකෙන 18 රියන් බුද්ධ ප්‍රතිමාව ද , වඩු හත් රියන් විෂ්ණු දේව ප්‍රතිමාව ද මෙහි ප්‍රධාන පිළිම සේ සැලකෙනවා. මේ පිළිම සහ සිතුවම් අලුත්වැඩියාටවට ලක්විම නිසා පුරාණ ස්වරූපය තරමක් දුරට වෙනස්වී ගිහින්. අලුත්වැඩියාවට ලක් නොවූ සිතුවම් රාශියක් ද ඒ අතර දකින්නට ලැබෙනවා. පහන් දැලි බැඳීම නිසා අඳුරු වී තිබූ ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර තිබෙනවා. මහනුවර සම්ප්‍රදායේ පසුකාලීන ලක්ෂණ පෙන්නුම් කරන මෙම සිතුවම් ගැමි සිත්තරකුගේ නිර්මාණ කෞශල්‍යය විදහා දක්වනවා.
රජමහා විහාරයේ මකර තොරණ දෙක අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අඩි 6 පමණ උස රූපයක් අඹා තිබෙනවා. මාර යුද්ධය, සීවලී, අනුරුද්ධ, මහා කාශ්‍යශප රහතන් වහන්සේලා බුදුන්ට නමස්කාර කරන අයුරු, සුමන සහ සෝපාක සාමනේරවරුka බෝධින් වහන්සේට වඳින අයුරු ආදී සිතුවම් බිත්තිවල නිරූපිත යි.
විහාරයේ ඇති පුරාවස්තු අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පරිත්‍යාග කළ පාත්‍රයක් ද පැරණි ඇත්දළ යුගළක් ද දැකගත හැකි යි. ලෙන් විහාර ගෙට ඇතුළුවන විට ම දකුණු අත පැත්තේ ඇති දෝලාව ලෙව්කේ දිසාව විහාරයට පූජා කළ එකක් බව පැවසෙනවා. එවකට විහාරාධිපති හිමිවරුන් උපසම්පදාව ලබා වැඩම කරවන ලද්දේ එම දෝලාවෙන් බව පැවසෙනවා.
කරල් පෙරහර
දුරුතු පෝය දින මෙම රජ මහා විහාරයේ අලි ඇතුන්ගෙන් සමන්විත මහා පෙරහරක් පැවැත්වෙනවා. විහාරයට අයත් අන්දරගහ කුඹුරට මහ පෙරහරින් ගොස් එහි අලුත් ගොයම් කරල් කපා ඒවා පෙරහරින් ගම වටා ගෙන යාම සිදුවෙනවා.
පෙරහර පිටත්වීම දැනුම් දෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පරිත්‍යාග කළ බව පැවසෙන කාලතුවක්කුව පත්තු කිරීමෙන්. දැවයෙන් පිටුපස කොටස නිමවා ඇති කාලතුවක්කුව කිලෝ තිහක් පමණ බර යි.
මේ දුරුතු පෙරහරේ විශේෂත්වය වන්නේ කරල් කුමාරයා යි. ප්‍රදේශයේ දරුවකු මේ සඳහා තෝරා ගන්නේ රජදවස සිට රජු පිළිබිඹු කිරීම සඳහා යි. හේවිසි කණ්ඩායම්, පෙරටුකර මහා සංඝරත්නය හා කරල් නෙළන කුමාරයා ලියද්දට කැඳවා ගෙන ගොස් සෙත් පිරිත් මැද පිරිත් පැන් ඉස කරල් නෙළා ගන්නවා.
කරල් මිටිය සුදු පිරුවටයකින් ඔතා බන්දේසියක තබා අවට කුඹුරුවල නෙළන කරල් ද ගොවීන් එහි ම තබා බන්දේසිය කුමරු අතින් ගෙන හස්තියකු පිට මතින් ගෙන පෙරහරෙන්ම ගමන් කෙරෙනවා. සීතාවක, අවිස්සාවේල්ල, තල්දූව යන මාර්ගවල වීදි සංචාරය කර පෙරහර විහාරයට ගෙවදීමෙන් පසු පෙරහරින් ගෙනා කරල් බන්දේසියේ අග්‍ර කොටස් ගෙන ”නියපිටින්” සහල් බවට පත්කර බුද්ධ පූජාව පිළියෙළ කර දහවල් කීර්ති ශ්‍රී රජු පූජාකළ පාත්‍රයට බුද්ධ පූජාව තැන්පත් කර බුදුන්ට පූජා කිරීම සිදුවෙනවා.
නිදන් හොරු
මෙහි ඇති ප්‍රතිමා සමහරක් කැඩී බිඳී ගොසින් ඇත්තේ නිදන් හොරුන්ගේ අතවර නිස යි. මානියම්ගම ලෙන කිහිප වරක් ම නිදන් හොරුන්ගේ විනාශයට ලක් වූ ස්ථානයක්. මේ නිසා ඓතිහාසික වටිනාකමින් අනූන බොහෝ පුරා වස්තූ අහිමි වී ගොස් තිබෙනවා.