ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී විවිධකාරයේ නඩු හා නඩු තීන්දු පිළිබඳ අපට අසන්නට ලැබෙනවා. ඒ අතරින් තවත් එක් ජනප්‍රිය නඩුවක් වන්නේ කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසට ද කටයුතු කළ මහාදේවන් සතාසිවම්ගේ බිරියගේ ඝාතන නඩුව යි. මෙම නඩුව එකල මහජනයා අතර ප්‍රසිද්ධ වී තිබුණේ ‘වංගෙඩියක් මිනී මරයි’ යන නාමයෙනු යි. ඒ සඳහා මෙම නඩුවේ පැවැති පැටලිලි සහගත බව ප්‍රධානත ම හේතුවක් වුණා.
රෙජිනා සතාසිවම්ගේ අභිරහස් මරණය
1951 වසරේ ඔක්තෝබර් මස 9 වන දින ඔවුන්ගේ නිවසේ ගරාජයේ තිබී ආනන්දන් රජේන්ද්‍ර සතාසිවම් හෙවත් රෙජිනා සතාසිවම් ගේ මළ සිරුර හමු වුණා. මේ මළ සිරුර බැලූ බැල්මට ම ඝාතනයක් බවට සැක පළ වුණ අතර ම එම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙසින් මුලින් ම ඇඟිල්ල දිගු වූයේ වෙන කිසිවකුට නොව ඇගේ සැමියා වූ මහාදේවන් සතාසිවම් වෙතට යි. එයට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් ම තිබුණා.
සතාසිවම් යුවළ විවාහ වන්නේ 1940 වර්ෂයේදී යි. ඔවුන් දෙපළගේ විවාහයට වසර 10ක් සම්පූර්ණ වී තිබුණ අතර ම එම විවාහයෙන් ලද දරුවන් 4 දෙනකු ද සතාසිවම් යුවළට සිටියා. මේ කාලයේ දෙපළගේ අඬ දබර ඉහළ ගිය නිසා අවසානයේ දෙදෙනාගේ ම තීරණය වූයේ දික්කසාද වීම වඩාත් සුදුසු බව යි. එංගලන්තයේ දිවි ගෙවූ මහාදේවන් සතාසිවම්, ශ්‍රී ලංකාවට 1951 සැප්තැම්බර් මස 21වැනි දා පැමිණියා.
රෙජිනා සතාසිවම්ගේ ඉල්ලීම වූයේ ඔවුන් සිටින නිවසෙන් මහාදේවන් සතාසිවම් බැහැර වී යා යුතු බව යි. ඒ අනුව නිවසෙන් නික්මෙන සතාසිවම්ට දික්කසාදය සම්බන්ධයෙන් අවශ්‍ය ලියකියවිලි 1951 ඔක්තෝබර් මස 8 වැනි දා ලැබුණා. මේ සමඟ නිවසට පැමිණෙන ඔහු නිවසින් පිටත් වූයේ ඔක්තෝබර් 9 වැනි දා යි. රෙජිනා සතාසිවම් ඝාතනය වූයේ ද ඔක්තෝබර් 9 වැනි දා වීම සැකය තවත් වැඩි කළා.
එදින ම සවස 5 ට පමණ තම මිතුරකුගේ නිවසේ රැඳී සිටි මහාදේවන් සතාසිවම් සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. ඒ අනුව රෙජිනා සතාසිවම් ඝාතනයට එරෙහි ව ඇගේ සැමියා වූ මහාදේවන් සතාසිවම්ට එරෙහි ව නඩු පැවරීමට කටයුතු කළ අතර ම සතාසිවම් වෙනුවෙන් පෙනී සිටියේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජනප්‍රියත ම නීතිඥවරයකු වන කොල්වින් ආර් ද සිල්වා යි. ඔහු තම සහාය උදෙසා එංගලන්තයේ සිට මහාචාර්ය සිඩ්නි ස්මිත් ද කැඳවා තිබුණා.
විලියම් සිංඤෝගේ රජයේ සාක්ෂිය
ඒ වන විට සතාසිවම් නිවසේ සේවය කළ දෙදෙනෙක් සිටියා. ඒ ළමයින් බලා ගැනීමට සිටි ආයා කෙනකු සහ ගෙදර වැඩපළ කළ විලියම් සිංඤෝ නමැති තරුණයෙක්. මෙම ඝාතනයෙන් පසු විලියම් අතුරුදහන් වී සිටි අතර ම ඔහු 1951 ඔක්තෝබර් මස 18 වැනි දා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. අනතුරුව විලියම් සිංඤෝගෙන් ප්‍රශ්න කිරීමේ දී වැදගත් සාක්ෂියක් පොලීසියට ලැබුණු අතර ම ඔහු රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් කිරීමට ද තීරණය කෙරුණා.
විලියම් සිංඤෝගේ සාක්ෂියෙන් රෙජිනා සතාසිවම් ඝාතනය සිදු වූ දා උදෑසන 9 ට පමණ රෙජිනා සතාසිවම් ඝාතනය කළ බව තමන්ට මහාදේවන් සතාසිවම් පැවසූ බවත් එයට තමන් සහාය වූ බවත් ප්‍රකාශ කළා. තමන් සතාසිවම් මහත්මියගේ කකුල් දෙකෙන් අල්ලා ගෙන සිටින විට දී මහාදේවන් සතාසිවම් ඇයගේ උගුරු දණ්ඩ පාගා මරා දමා ඉන් පසු මගුල් මුද්ද ඇතුළු ආභරණ සියල්ල ම තමන්ට ලබාදී තමන් පිටත් කළ බවත් විලියම් සිංඤෝ ප්‍රකාශ කළා. තමන්ගේ ස්වාමියාට කීකරු වෙනවා හැර වෙනත් විකල්පයක් නොමැති වූ බව ද ඔහුගේ සාක්ෂියේ සඳහන් වූවා.
ගෙන ආ රත්රන් බඩු උදෑසන 9.30 ට පමණ කඩයකට විකිණූ බවට ද විලියම් සිංඤෝ තම පාපොච්ඡාරණයෙන් සඳහන් කළා. මෙම සාක්ෂිය ඉතාමත් වැදගත් එකක් ලෙසින් සැලකූ පොලිසිය ඒ මත පදනම් ව මහාදේවන් සතාසිවම්ට එරෙහි ව චෝදනා ගොනු කළා. ඒ අනුව 1951 ඔක්තෝබර් මස 9 වනදා උදෑසන 9.30ට පෙර රෙජිනා සතාසිවම් ඝාතනය කිරීම ලෙසින් මහාදේවන් සතාසිවම්ට එරෙහි නඩුව ගොනු වී තිබුණා. මේ සියල්ල විලියම් සිංඤෝගේ පාපොච්ඡාරණය මත ම පදනම් වූ ඒවා වුණා.
පරස්පර විරෝධී සාක්ෂි
මේ වන විට මහාදේවන් සතාසිවම් පාර්ශවයෙන් මළ සිරුර පිළිබඳ පරීක්ෂා කොට තම සාක්ෂි ඉදිරිපත් කොට තිබුණා. ඒමේ සඳහා කිහිප දෙනකුගේම සාක්ෂි ලැබුණ අතර ඒවා අතිශය වැදගත් කරුණු ලෙසින් සටහන් කළ හැකියි. ඉන් පළමුවැන්න වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය යි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මහාචාර්ය ද සේරම් මළ සිරුරේ උෂ්ණත්වය වෙනස් වීමට ගත වූ කාලය, මළ සිරුර දරදඬු වූ කාලය මෙන් ම ආහාර මාර්ගයේ ආහාර ගමන් කර තිබූ කාලය ආදිය සැලකිල්ලට ගෙන මෙම මරණය සිදුව ඇත්තේ පෙරවරු 10 ත් 11 : 30 ත් අතර කාලයේ බව නිගමනය කළා.
මේ අතරට එක් වූ ටැක්සි රථ රියදුරකුගේ සාක්ෂිය වූයේ එදින මහාදේවන් සතාසිවම් රැගෙන ඒම සඳහා බංගලාවට ගියේ තමන් බවත්, තමන් බංගලාවෙන් මහාදේවන් සතාසිවම් ටැක්සියට නංවා ගන්නා විට වේලාව උදෑසන 10 : 35 පමණ වූ බවත් ඔහු ප්‍රකාශ කළා. මේ මොහොතේදී තමන් රෙජිනා සතාසිවම් නිවසේ දොර ළඟ සිටිනු දුටු බව ද සාක්ෂියේ සඳහන් වූවා. එම සාක්ෂියට අනුව ඇය උදෑසන 10 : 35 අතර කාලයේ ද ජීවත් ව සිට තිබෙනවා. මහාදේවන් සතාසිවම්ගේ නීති උපදේශකවරයාගේ පුතාගේ සාක්ෂිය වූයේ එදින උදෑසන ඇය දුරකතන ඇමතුමක් ලබා දුන් බවත් එය දහවල් 12ත් උදෑසන 10 : 30ත් අතරේ සිදු වූ බව තමන්ට හොඳට ම විශ්වාස බව යි.
තවදුරටත් පරීක්ෂණය ඉදිරියට සිදු කළ මහාචාර්ය සිඩ්නි ස්මිත් අපූරු ඉල්ලීමක් සිදු කළා. ඒ එක ම දිනයේ එකම වේලාවට එල්ලා මැරීමට නියමිත වූ තරුණයන් තිදෙනෙක් මිය ගිය විගස ම ඇඳුම් ඉවත් කොට යට සාය සහ සාරි අන්දවා (රෙජිනා සතාසිවම් අවසානයට හැඳ සිටි ඇඳුම්) මළ සිරුර හමු වූ ගරාජයේ පරිසරයට සමාන පරිසරයක තබන ලෙස යි. රෙජිනා සතාසිවම්ගේ මරණ පරීක්ෂණයට පෙර ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 5.2 කින් අඩු වී තිබුණා.
එලෙස තැන්පත් කළ තරුණයන් තිදෙනාගේ මළ සිරුරු සෑම පැය බාගයකට වරක් ම උෂ්ණත්ව පරීක්ෂණයකට ලක් කළ කළ අතර මළ සිරුරුවල උෂ්ණත්වය අංශක 5.2 කින් වෙනස් වීමට පැය 7ක කාලයක් ගත වුණා. මහාචාර්ය ද සේරම් මරණ පරීක්ෂණය සිදු කළේ සවස 6 ට පමණ වන නිසා මරණය සිදු වී තිබුණේ උදෑසන 11-12 ත් අතර කාලයේ බවට පැහැදිලි වුණා. නිවසේ ආයාගේ සාක්ෂිය වූයේ රෙජිනා සතාසිවම් උදෑසන 8.15 ට පමණ ආහාර ගෙන තිබූ බව යි. ඇයගේ ආහාර මාර්ගයේ ආහාර නැවතී තිබූ ස්ථාන අනුව උදෑසන ආහාරයෙන් පැය 3 කට පමණ පසු ව මරණය සිදු වී ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කළා. ඒ අනුව රෙජිනා සතාසිවම් ඝාතනය වී ඇත්තේ උදෑසන 11.15 පමණ බව නිගමනය කළ හැකි වූවා.
මහාදේවන් සතාසිවම් උදෑසන 10.35 වන විට නිවසෙන් පිටත් වූ බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබූ අතර ම මළ සිරුරින් හෙළි වන සාක්ෂි සහ මහාදේවන් සතාසිවම්ගේ පාර්ශවයෙන් ලැබෙන සාක්ෂි සියල්ල මනාව එකිනෙකට සම්බන්ධ වුණා. මෙහිදී නොගැළපුණු එකම සාක්ෂිය බවට පත් වී තිබුණේ විලියම් සිංඤෝගේ සාක්ෂිය යි.
මළ සිරුරෙන් හෙළි වූ තවත් රහස්
මිය යාමට ප්‍රථම ව රෙජිනා සතාසිවම්ගේ යට සායේ මුත්‍ර පැල්ලමක් දක්නට ලැබුණා. එම මුත්‍ර ගමන් කොට තිබුණේ ඉහළ සිට පහළට යි. විලියම් සිංඤෝ ප්‍රකාශ කළ ආකාරයට ඇය බිම දමා ගෙන ඇගේ ගෙල පෑගුවා නම් එලෙස මුත්‍ර ගමන් කළ නොහැකි යි. ඇයගේ පිටේ විශාල තැල්මක් ද දැකිය හැකි වුණා. එම තැල්ම මුළුතැන්ගෙයි වූ දොර පොල්ල දැමීම සඳහා සකස් කළ කොක්ක සමගින් සැසඳුණා. ඒ අනුව මහාචාර්ය සිඩ්නි ස්මිත් නිගමනය කළේ ඇය හිටගෙන සිටින විටදී ගෙල මිරිකා පසුව ගරාජයට රැගෙන විත් ඇති බව යි.
මෙම සියලුම සාක්ෂි අතරේ තවත් එක් සාක්ෂියක් මඟ හැරී ගොස් තිබුණා. ඒ මළ සිරුරේ යට සායේ තිබූ විශාල ශුක්‍රාණු පැල්ලමක්. මෙම සාක්ෂිය මඟ හැරියේ ඇයි ද යන්න අදටත් ප්‍රශ්නයක් වනවා. මේ හේතුව නිසා ඇය මිය යාමට පෙර දූෂණයට ද ලක් වී තිබූ බවට සාධක හමු වුණා. විලියම් සිංඤෝගේ සිරුරේ සීරීම් සලකුණු තිබූ අතර ම ඒවා රෙජිනා සතාසිවම් තමන් සීරූ සලකුණු බවට ඔහු ප්‍රකාශ කළා. විලියම් සිංඤෝගේ සාක්ෂිය වූයේ තමන් ඇයගේ දෙපා තදකොට අල්ලාගෙන සිටි බව යි. එසේ නම් ඔහුගේ මුහුණ සීරුණේ කෙසේ ද යන්න ගැටලුවක් වුණා.
අවසන් තීන්දුව
සාක්ෂි සියල්ල මේ ආකාරයෙන් සටහන් වෙද්දී නඩුව කැඳවුණා. විලියම් සිංඥෝගේ සාක්ෂිය මත පදනම්ව පැමිණිලිකාර පාර්ශවය නඩුවට පැමිණි අතර ම කොල්වින් ආර්. ද සිල්වා සහ මහාචාර්ය සිඩ්නි ස්මිත් විත්ති පාර්ශවය නියෝජනය කළා. සියලු සාක්ෂි සලකා බැලීමෙක් පසු අවසන් නඩු තීන්දුව බවට පත් වූයේ රෙජිනා සතාසිවම් ඝාතනය කිරීමේ චෝදනාවලින් මහාදේවන් සතාසිවම් නිදොස් කොට නිදහස් කළ බව යි.
මෙම නඩුව නිමා වූයේ ඝාතකයා කවුරුන් ද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනුයි. කෙසේ හෝ මේ නඩුව එකල ශ්‍රී ලංකාව පුරා ඉතාමත් ම ජනප්‍රිය වී තිබුණා. බොහෝ දෙනා විශ්වාස කළේ මෙහි වැරදිකරු විය යුත්තේ මහාදේවන් සතාසිවම් බව යි. ඔහු නිදහස් වීමෙන් අනතුරු ව මහාචාර්ය සිඩ්නි ස්මිත් වෙතට ශාප කරමින් ඇතැමුන් ලිපි එවූ බව සඳහන්. එමෙන් ම කොල්වින් ආර්. ද සිල්වාටත් මිනිසුන් තම අප්‍රසාදය පළ කළා.
ඇය මියගොස් සිටි ගරාජයේ තිබුණු වංගෙඩියක් නිසා ද, ඝාතකයෙක් නොමැති නිසා දැයි එකල කතාබහක් මතු වුණා. මෙය වංගෙඩියක් කළ මිනී මැරුමක් ලෙසින් රට පුරා උපහාසයට ලක් වුණා. මේ නිසා ම කොල්වින් ආර්. ද සිල්වාගේ ජනප්‍රිත්වයට ද යම් යම් බාධා පැමිනුණා. ඔහු 1952 වසරේ මැතිවරණයේදී වැල්ලවත්ත-ගල්කිස්ස ආසනය පරාජය වූ අතර එයට මෙම නඩුව ද විශාල බලපෑමක් ඇති කළ බව සඳහන්.