හමුදා භටයන් යුද පිටියට යනවිට රැගෙන යා යුත්තේ ආයුධ පමණක් ම නොවෙයි. තමන් මුහුණ දෙන පසුබිම කොතරම් කර්කශක සහ භයානක වුවත්, මූලික මිනිස් අවශ්‍යතාවලින් මිදීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. උද්ගත වන ඕනෑම තත්ත්වයක් යටතේ එම අවශ්‍යතා සුදුසු පරිදි සකසා ගැනීමත් ඉතා වැදගත්.
ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවක්. ආහාර යනු යුද කටයුත්තක දී එහි ප්‍රතිඵලය සඳහා බලපාන වැදගත් ම සාධකයක්. මෙහෙයුම් කටයුත්තක් අතරතුර රැගෙන යන ආහාර මඟින් ප්‍රමාණවත් පෝෂණයක් යුද භටයාට ලැබිය යුතු යි. එපමණක් නොව, ආහාර හැකි තරම් සැහැල්ලු, පහසුවෙන් පිළියෙළ කළ හැකි සහ සටන්වල බිහිසුණු බව විඳ දරා ගැනීමට තරම් ශක්තිමත් ලෙස ඇසුරුම් කළ යුතු යි. ඒ සියල්ල ම සාක්ෂාත් කර ගත්තා යැ යි උපකල්පනය කරමු. රැගෙන යන ආහාරවල ස්වභාවික රසය ආරක්ෂා නොවන්නේ නම් සෙබළුන්ගේ චිත්ත ධෛර්යයටත් එය වක්‍රාකාරයෙන් බලපාන්න පුළුවන්.
ආහාර පරිරක්ෂණයේ සහ ගබඩා කර තබා ගැනීමේ ගැටලු නිසා අතීතයේ දී යුද්ධවලට සහභාගී වූ භට පිරිස් මන්දපෝෂණයෙන් පවා පීඩා විඳි අවස්ථා තිබෙනවා. මේ හේතුවෙන් එකල යුද්ධය අතරතුරේ දී කොල්ල කෑ හැකි ඕනෑම දෙයක් කෙරෙහි විශ්වාසය තැබීමට ඔවුන් පෙලඹුණා. හේතුවෙන් ආයුධවල තාක්ෂණය තරමට ම ආහාර තාක්ෂණයත් කලානුරූප ව දියුණු කිරීමට යුද විශේෂඥයන් උනන්දු වුණා.
ඉතිහාසයෙන් බිඳක්..
නැපෝලියන් බොනපාට් ප්‍රංශය පාලනය කළ සමයේ දී යුද්ධය හා සබැඳි ආහාර තාක්ෂණය දියුණු කිරීමට උත්සහ කළ බව වාර්තා වෙනවා. විශාල ආහාර ප්‍රමාණයක් ගබඩා කිරීම සඳහා පලදායී හා මිල අඩු ක්‍රමයක් සකස් කළ හැකි ඕනෑම නව නිපැයුම්කරුවකුට විශාල මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පවා නැපෝලියන්ගේ පාලනය ක්‍රියා කළා. 1809 දී ආහාර ටින් කිරීමේ තාක්ෂණයේ පුරෝගාමියා ලෙස සලකන නිකලස් ඇපර්ට්, වීදුරු භාජන තුළ ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කළේ එම පෙලඹවීම මත යි.
නිකලස් ඇපර්ට්ගේ එම ප්‍රයත්නය සාර්ථක වුණේ නැහැ. ඔහුගේ ක්‍රමවේදය හරහා නිපද වූ ප්‍රමාණයෙන් කුඩා, අතෘප්තිකර ආහාරවලට වඩා දේශීය සැපයුම්කරුවන් හරහා ලබා ගත් ආහාර කෙරෙහි සොල්දාදුවන් විශ්වාසය තැබුවා. සැපයුම් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවල දී අශ්වයන්ගේ මස් සඳහා එකිනෙකා හා සටන් කිරීමටත් ඔවුන් පෙලඹුණු අතර, මස් රස ගැන්වීම සඳහා වෙඩි බෙහෙත් යොදා ගැනීමට තරම් ඔවුන් අසරණ වුණා. රුසියාව ආක්‍රමණය කරන අතරතුරේ දී නැපෝලියන් හමුදාව මෙවැනි දුෂ්කරතාවලට අධික ව මුහුණ දුන් බව සඳහන්.
ආහාර ටින් කිරීමේ ක්‍රමවේදය ආරම්භ වූයේ මේ අසාර්ථක වීම්වල ප්‍රතිඵලයක් ලෙසට යි. ටින් කිරීම හරහා ආහාරවල පෝෂණ සංඝටක වඩාත් සුරැකුණු අතර, පළමු ලෝක යුද්ධයේ දී ඉදිරි පෙළ හමුදාවට එය වඩාත් ප්‍රයෝජනවත් වුණා. ටින් කළ ආහාරවලත් යම් යම් සීමාකාරී සාධක තිබුණා. බරින් වැඩි වීම සහ ආහාර රසවත් නොවීම නිසා ටින් කළ ආහාරත් මෙහෙයුම්වල නිරත සොල්දාදුවන් අතරේ එතරම් ජනප්‍රිය වුණේ නැහැ. අනෙක් අතට, පෝෂණයටත් වඩා ආහාරවල රසවත් බව කෙරෙහි ඔවුන් වඩාත් උනන්දු වුණා.
MRE දක්වා වූ ගමන් මඟ
දෙවන ලෝක සංග්‍රාමය පැවති සමයේ දී එක්සත් ජනපදයේ ජාතික විද්‍යා ඇකඩමිය, පෝෂණය අරබයා ජාතික ආරක්ෂාවට එල්ල වන බලපෑම් විමර්ශනය කිරීමට ආහාර සහ පෝෂණ මණ්ඩලයක් පිහිටුවූවා. දෛනිකව අමෙරිකානු සොල්දාදුවන්ට ලැබෙන කැලරි ප්‍රමාණය සම්බන්ධයෙන් ඔවුන් පර්යේෂණ පැවැත්වූ අතර, එහිදී නියමිත ප්‍රමාණයට වඩා ඔවුන් ආහාර ගන්නා බව නිරීක්ෂණය වුණා. එම ආහාරවල ඛනිජ ලවණ අවම බවත්, මේදය අධික බවත්, අනාවරණය වුණා.
පෝෂ්‍ය පදාර්ථ සඳහා දෛනික නිර්දේශිත අගයන් නියම කරන අතරේ ම සෙබළුන්ට රසකැවිලි කිහිපයක් ලබා දීමටත් ආහාර සහ පෝෂණ මණ්ඩලය නිර්දේශ කළා. ආපනශාලාවෙන් හෝ පිටතින් චොක්ලට් වැනි පැණි රසැති ආහාර පමණ ඉක්මවා මිල දී ගැනීමට සෙබළුන් පෙලඹීම ඊට හේතුව යි. අමෙරිකානු සෙබළුන් සඳහා පෝෂණ ගුණයෙන් සහ රසයෙන් සමබර වූ ආහාර රටාවක් නිර්දේශ කිරීමට මණ්ඩලය සමත් වුණත්, යුද බිමට පිවිසි සෙබළුන්ගේ ආහාරවල තිබෙන ප්‍රායෝගික ගැටලු සම්පූර්ණයෙන් විසඳී තිබුණේ නැහැ. පළමු ලෝක සංග්‍රාමයේ සිට වියට්නාම යුද්ධයේ අවසානය දක්වා ම ආහාර ඇසුරුම්වල සැහැල්ලු බව, පිළියෙළ කිරීම සහ පරිරක්ෂණ ක්‍රම පිළිබඳ අධ්‍යයන පැවැත්වුණා. MRE හෙවත්, “Meals, Ready to Eat” තාක්ෂණය බිහි වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.
Meals, Ready to Eat
MRE යනු සාමාන්‍ය ආහාර සේවා පහසුකම් නොමැති අවස්ථාවල හමුදා පුහුණුවේ හෝ සැබෑ මෙහෙයුම්වල යෙදී සිටින සෙබළුන්ට ලබා දෙන සම්පූර්ණ ආහාර වේලක්. මේ ආහාර සියල්ල ම අසුරා ඇත්තේ සැහැල්ලු සහ නම්‍යශීලි ඇසුරුම්වල යි. ඒවා හමුදා ක්ෂේත්‍ර ඇඳුම්වල ඇති සාක්කු සමඟ පහසුවෙන් ගැළපෙන පරිදි සකසා තිබෙනවා. සාමාන්‍යයෙන් විවිධ ආහාර අඩංගු MRE පැකැට්ටුවක බර රාත්තල් 1.6 ක් පමණ වන අතර, පරිමාව ලීටර් 2.3 ක් පමණ විය හැකි යි. එහි පරිමාව හැකිතාක් අවම කිරීමට නිෂ්පාදකයන් උත්සහ කරනවා.
ඇතැම් සන්නද්ධ හමුදා ඔවුන්ගේ මව් රටේ පමණක් නොව ලෝකයේ අනෙකුත් ස්ථානවල මෙහෙයුම් කටයුතු සඳහාත් සහභාගී වෙනවා. එයට හොඳ ම උදාහරණය වන්නේ එක්සත් ජනපද හමුදාව යි. එවැනි හමුදාවකට උණුසුම් ශුෂ්ක කාන්තාර, වැසි වනාන්තරවල සිට අධික ශීතලෙන් යුතු හිම කාන්තාර දක්වා වූ විවිධ දේශගුණික කලාපවල සේවය කිරීමට සිදු වෙනවා. මේ සියලු තත්ත්ව යටතේ අවුරුදු කිහිපයක් වුණත් සුරැකි ව පැවතීමේ හැකියාවක් MRE තාක්ෂණයෙන් නිපද වූ ආහාර සතු ව තිබෙනවා. එපමණක් නොව, අඩි 1200 ක උසක සිට පහතට පැමිණෙන පැරෂුට් භටයකු සතුව තිබෙන ආහාර පවා මෙම තාක්ෂණයෙන් මනාව සුරැකෙනවා.
නවීන ආහාර තාක්ෂණය උපරිමයෙන් යොදා ගත් මෙම ආහාරවල ප්‍රායෝගිකත්වය අඛණ්ඩ ව දියුණු කිරීමට යුද ශක්තියෙන් ඉහළ රටවල් නිරතුරුව ම ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් වෙන ම අංශ පවා ඔවුන්ගේ හමුදා ව්‍යුහය තුළ ගොඩ නඟා තිබෙනවා. සොල්දාදුවන්ගේ මනාපය සහ තේරීම අනුව වට්ටෝරු ආකාරයෙන් MRE ආහාර පැකේජ නිපදවීමට ඔවුන් උත්සහ කරන අතර, රටින් රටට වෙනස් වන ආහාර සංස්කෘතියත් එහිදී සලකා බැලෙනවා.
MRE ඇසුරුමක ස්වභාවය
විස්තර කිරීමේ පහසුව තකා එක්සත් ජනපද හමුදාවට ලබා දෙන MRE ආහාර ඇසුරුම් මෙහිදී සැළකිල්ලට ගන්නවා.
MRE ඇසුරුමක වර්ණය සාමාන්‍යයෙන් දුඹුරු පැහැති යි. ඇසුරුම අඩු ඝනත්ව පොලිඑතිලීන්වලින් සාදා ඇති අතර, ඒ මත වට්ටෝරු අංකය සහ අනෙකුත් වැදගත් තොරතුරු සටහන් කොට තිබෙනවා. ආහාර පැකට්ටුව රජයට අයත් දේපළක් බවත්, වාණිජ අරමුණු සඳහා යොදා ගැනීම නීතියට පටහැනි බවත්, එහි විශේෂිත ව සටහන් කොට තිබෙනවා.
MRE හි අන්තර්ගතය රඳවා තබා ගන්නා ඇසුරුම් වර්ග දෙකක් තිබෙනවා. විෂබීජහරණය කළ ආහාර ගබඩා කර ඇති ඇසුරුම් “retort bags” ලෙස හඳුන්වන අතර, විෂබීජහරණය අවශ්‍ය නොවන ආහාර ගබඩා කර ඇති ඇසුරුම් “nonretort” ලෙස හඳුන්වනවා. මෙම වර්ග දෙක ම පොලියෙස්ටර් පටලයකින් ආස්තරණය කොට තිබෙනවා. ඊට ඇතුළතින් තෙතමනය, ඔක්සිජන් සහ ආලෝකය වළකන ලෝහ පත්‍රයක් පිහිටා ඇති අතර, පොලිප්‍රොපිලීන් පටලය මඟින් ඇසුරුම මුද්‍රා තැබීමට උපකාරී වෙනවා. මීට අමතර ව රිටෝර්ට් ඇසුරුම්වල නයිලෝන් ආලේපනයක් ඇති බව පැවසෙනවා. රිටෝර්ට් ඇසුරුම් තුළ ආහාර විෂබීජහරණය කිරීමේ දී යම් උෂ්ණත්වයකට යටත් වන නිසා ඊට ඔරොත්තු දීම පිණිස නයිලෝන් ආලේපනයක් යොදනවා.
ආහාර උණුසුම් කරන ආකාරය පිළිබඳ වීඩියෝවක්
ගිනි රහිත තාපක
මෙම ආහාර කලින් පිසූ ඒවා වුවත්, රුචිකත්වය වර්ධනය කිරීම සඳහා ආහාර නැවත උණුසුම් කර ගැනීමේ ක්‍රමයක් ඇතැම් රටවල හමුදා අතර භාවිත වෙනවා. මේවා ගිනි රහිත තාපක ලෙස හැඳින්වීම වඩාත් සුදුසු යි. විශේෂිත බෑගයක් ලෙස සකසා ඇති මෙම තාපකය තුළ සියුම් කුඩක් ආකාරයෙන් මැග්නීසියම් අඩංගු කර තිබෙනවා.
කෑමට තෝරාගත් MRE පැකැට්ටුවක් මෙම විශේෂිත බෑගය තුළට දමා ජලය ස්වල්පයක් එක් කිරීම පමණ යි සිදු කළ යුත්තේ. මැග්නීසියම් සහ ජලය එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කරන අතර, ප්‍රතික්‍රියාවේ දී ජනනය වන තාපය උපකාරයෙන් ආහාර උණුසුම් වීම සිදු වෙනවා. ප්‍රතික්‍රියාවේ අතුරුපලයක් ලෙස නිපදවෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විෂ රහිත වන අතර, අහිතකර බලපෑමකින් තොරව පරිසරයට බැහැර කළ හැකි යි.
MRE ඇසුරුම් වාණිජ ගුවන් ගමනක් අතරතුර රැගෙන යනවා නම් ඒවා අනිවාර්යෙන් ම මුද්‍රා තැබිය යුතු යි. මැග්නීසියම් බෑගයෙන් සිදු විය හැකි අනතුරු සැලකිල්ලට ගෙන එම පියවර ගෙන තිබෙනවා. MRE ඇසුරුම් මත “flameless heater is prohibited on commercial flights unless sealed in the MRE bag” යනුවෙන් මුද්‍රණය කර ඇත්තේ ඒ නිසා යි. ඇතැම් රටවල මැග්නීසියම් බෑග් වෙනුවට ළිපක් ආකාරයෙන් සකස් කරගත හැකි කුඩා ලෝහ කැබැල්ලක් MRE පැකේජය සමඟ අඩංගු කර තිබෙනවා.
සැකසූ ආහාරවල රසය, පෝෂණය සහ දේශගුණික තත්ත්වය අනුව ඒවායේ ගුණාත්මකභාවය නොවෙනස් වන පරිදි කල් තබාගත හැකි ක්‍රම ගැන දිගට ම පරීක්ෂණ පැවැත්වෙනවා. එම අඛණ්ඩ පරීක්ෂණ නිසා MRE ආහාරවලට අමතර ව සුවිශේෂී ජයග්‍රහණ ලැබීමට ආහාර විද්‍යාඥයන් පසුගිය දශක කිහිපය තුළ සමත් වුණා. කාන්තාර පරිසරයේ දී පවා දිය නොවන චොක්ලට් ( Desert Bars), වසර ගණනාවක් රාක්ක මත තබා තිබුණත් දිරාපත් නොවන පාන්, උදාහරණ ලෙස දැක්විය හැකි යි. මෙම පාන් විශේෂය “pouch bread” ලෙස හඳුන්වන අතර, ආරක්ෂිත ට්‍රයි-ලැමිනේට් මල්ලක මුද්‍රා තබා ඇති නිසා ඒ නම ලැබී තිබෙනවා.
යුදමය කටයුතුවල දී අවි ආයුධ තාක්ෂණය තරමට ම ආහාර තාක්ෂණයටත් විශාල සැලකිල්ලක් ලැබී තිබෙන බව මෙයින් පෙනී යනවා. කලානුරූපව යුදමය ඉලක්ක අරබයා වඩාත් දියුණු කළ ආහාර තාක්ෂණයන් ඉදිරියේ දී අපට දැක බලා ගැනීමට හැකි වේවි.